ගණේමුල්ල සංජීව හා සම්බන්ධ නීතිඥවරියක් නාකොටික් ASPට අල්ලස් දෙන්න හදලා

ගණේමුල්ල සංජීව හා සම්බන්ධ නීතිඥවරියක් නාකොටික් ASPට අල්ලස් දෙන්න හදලා


ගණේමුල්ල සංජීව හා සම්බන්ධ නීතිඥවරියක් නාකොටික් ASPට අල්ලස් දෙන්න හදලා

(20.01.2024 – 16:05 +0530 – hirunews.lk/sinhala)

දැනට රැඳවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රඳවා සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ගණේමුල්ල සංජීව’ යන අයගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ඊයේ (19) මාකිලංගමුව ප්‍රදේශයේදී නිවසක් පරීක්ෂාකර ඉතා සූක්ෂමව නිවස තුල බංකරයක සඟවා තිබු රුපියල් ලක්ෂ 22 කට අධික මුදලක් සොයාගැනීමට සමත් වූ බව අප පුවත් තුළින් වාර්තාකර සිටියා.

එහිදී එම විමර්ශනය සිදුවන අවස්ථාවේදී ‘ගණේමුල්ල සංජීව’ගේ නඩුවකට පෙනී සිටින නීතිඥවරියක් යැයි කියනු ලබන කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සිටින එම ස්ථානයට පැමිණ අදාළ නිවස පරික්ෂා නොකරන ලෙසට එම නිලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරනවා.

එහිදී අදාල සිද්ධියට සම්බන්ධ නිතිඥවරිය ගම්පහ ප්‍රදේශයේ කාර්‍යලයක් පවත්වාගෙන යනු ලබන ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, නීතිඥවරියගේ උත්සාහය ව්‍යාර්ථ වූ පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී නීතිඥ තරංග සේමසිංහට දුරකථනය ඔස්සේ අමතා අල්ලස් මුදලක් ලබාදීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශනයක් සිදුකරනු ලබන බවටත් හිරු ප්‍රවෘත්ති අප වෙත වැඩිදුරටත් තොරතුරු වාර්තා වූ අතර, නීතිඥවරිය විසින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරීවරයාට අල්ලස් ලබාදීමට උත්සාහකරන දුරකතන ඇමතුමක හඬ පටයක්ද අප වෙත ලැබී තිබෙනවා.

එමෙන්ම, මෙම හඬපටය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උපදෙස් මත හා ඔවුන්ගේ අනුදැනුම මත පටිගතකළ බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩිදු‍රටත් සඳහන් කර සිටියේ.

එම හඬපටය පහතින් :

++++++

+


යුක්තිය මෙහෙයුමෙන් අපරාධකරුවන් 986 ක් අත්අඩංගුවට

(20.01.2024 – 08:36 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 986 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 66 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 319 ක් සමගින් මුළු සැකකරුවන් 986 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 667 දෙනා අතරින් සැකකරුවන් 10 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 18 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවද සඳහන්.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 25 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 319 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 57 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 249 ක්ද සිටිනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 4 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 9 ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

මෙම මෙහෙ‍යුමෙන් පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් :

  • හෙරොයින් 586 g
  • අයිස් 180 g
  • ගංජා 40 kg 500 g
  • මාවා 01 kg 100g
  • කුෂ් 204 g
  • මදන මෝදක 63 g
  • මත්පෙති 44

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ බෝට්ටු 2 ක් පොලිස් භාරයට

(20.01.2024 – 08:22 +0530 – hirunews.lk/sinhala)

දකුණු මුහුදේ දෙවුන්දර තුඩුවට කිලෝමීටර 100 ක පමණ දුරින් හෙරොයින් කිලෝග්‍රෑම් 70 කට ආසන්න තොගයක් නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී සොයාගෙන තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවාව මගින් ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමේදී ‘බහුදින ධීවර යාත්‍රාවක්’ සහ ‘එක්දින ධීවර යාත්‍රාවක්’ සිය භාරයට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය කියා සිටියේ.

ඊයේ (19) සිදුකළ මෙම මෙහෙයුමේදී අදාළ යාත්‍රා දෙකේ (2) සිටි ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු සිය භාරයට ගත් බවද ඔහු සඳහන් කළා.

අද (20) උදෑසන ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ හෙරොයින් තොගය අඩංගු යාත්‍රාවේ පස්දෙනෙකු (5) ගමන් කර ඇති අතර, 6 දෙනෙකුගෙන් යුත් අනෙක් යාත්‍රාව එහි ආරක්ෂාවට ගමන් කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් පවතින අතර, අදාළ මත්ද්‍රව්‍ය තොගය ගණනය කරමින් පවතින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මොවුන්ට මෙම මත්ද්‍රව්‍ය තොගය ලැබී ඇති ආකාරය සම්බන්ධයෙන් හෙළිවී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

දෙවුන්දර මුහුදේ යාත්‍රාවකින් සොයාගත් හෙරොයින්වල වටිනාකම රුපියල් මිලියන 1626 ක් බවට නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

+


E-Visa මාර්තු 1 වනදා සිට අලුත් වෙයි

(20.01.2024 – 08:07 +0530 – hirunews.lk/sinhala)

E-Visa නිකුත් කිරීමේ ක්‍රමවේදය නව වැඩපිළිවෙළක් යටතේ මාර්තු මස 01 වනදා සිට ක්‍රියාත්මක කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසනවා.

ඔහු කියා සිටියේ මේ හරහා රටවල් 145 කට වීසා නිකුත් කිරීමේ කටයුතු ඔන්ලයින් හරහා සිදු කළ හැකි බවයි ෴


දෙහිවල හෝටලයේ සිද්ධිය මානව හිමිකම් කොමිසමට

(20.01.2024 – 07:51 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල ගෝල්ඩ් බීච් හෝටලය කඩා දැමීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අනුව පැමිණිලිකාර සහ වගඋත්තරකාර පාර්ශව ඊයේ (19) එම කොමිසමට කැඳවා තිබුණා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥවරිය කියා සිටියේ තම සේවාදායකයා දැනුවත් නොකොට මෙම හෝටලය අත්තනෝමතික ලෙස කඩා දැමීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවටයි.

මෙරටින් පලාගොස් විදෙස් රටක සැගවී සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ‘ෂිරාන් බාෂික්’ නමැත්තාට අයත් බව පවසමින් දෙහිවල වෙරළ ආශ්‍රිතව පවතින මෙම හෝටලය පසුගිය පළමුවනදා (01) කඩා ඉවත් කෙරුණා.

කොමිසම මෙහිදී මූලික වශයෙන් සොයා බැලුවේ වගඋත්තරකාර පාර්ශවය මෙය එකවරම කඩා දැමීම සම්බන්ධයෙන් වන කරුණුයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.එස්. රණවකගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ පනත ප්‍රකාරව, අදාල නීතිවිරෝධී ඉදිකිරීම ඉවත් කළ බවයි ෴


නාරම්මලදී මියගිය රියදුරුගේ ඥාතීන්ට වැඩ බලන පොලිස්පතිගෙන් මිලියනයක්

(20.01.2024 – 07:40 +0530 – hirunews.lk/sinhala)

නාරම්මලදී වෙඩි වැදීමකින් මියගිය ලොරි රථ රියදුරුගේ පවුලේ ඥාතීන් වෙත වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් රුපියල් මිලියනයක (1,000,000) මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

මේ අතර අදාළ සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ කොස්තාපල්වරයාට තාවකාලිකව වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

නාරම්මල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරවයා ඊයේ (19) පස්වරුවේ ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට නියෝග කරනු ලැබුවා.

ඒ ඔහු ඊයේ (19) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නාරම්මල – දම්පැලැස්ස වළංකඩේ ප්‍රදේශයේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් ලොරි රථ රියදුරෙකු වන 41 හැවිරිදි තිදරු පියෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස මිය ගියේ මහරච්චිමුල්ල – වෑත්තෑකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴


පෝලන්ත ජාතිකයා පානදුර මුහුදේ ගිලී මරුට

(20.01.2024 – 21:20 +0530 – hirunews.lk/sinhala)

පානදුර මුහුදේ දියනාමින් සිටි පෝලන්ත ජාතිකයෙකු අද (20) පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පෝලන්ත ජාතික 61 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇති පුද්ගලයා දියනාමින් සිටි අවස්ථාවේ ඒ අවට අසූවකට (80) ආසන්න පිරිසක්ද දියනාමින් සිට ඇති බවත්, දියේ ගිලී ඇති පෝලන්ත ජාතිකයා ජීවිත ආරක්ෂක නිළධාරීන් විසින් ගොඩගෙන රෝහල් ගතකිරීමේදී මියගොස් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ ෴


මාතර, තෙලිජ්ජවිල වෙඩි තැබීමක්; අයෙක් මරුට

(20.01.2024 – 21:33 +0530 – hirunews.lk/sinhala)

මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයේ අද (20) සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුවී ඇති බව පොලිසිය පවසනවා.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් (2) මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ජංගම දුරකථන අලෙවිකරන ස්ථානයක එම වෙළඳසැල තුළ සිටි පුද්ගලයෙකුයි මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ.

මෙලෙස මියගිය පුද්ගලයා වයස අවුරුදු 24 ක වැලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට හේතුව හෝ සැකකරුවන් කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණය වී නැතැයි පොලිසිය පැවසුවා.

+


ගාල්ල විභාග මධ්‍යස්ථානයක අර්බුදයක්

(20.01.2024 – 22:02 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල ප්‍රදේශයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක අද (20) පැවති ගණකාධිකරණය 01 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි තම දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි එම විභාගයට මුහුණ දුන් දරුවන්ගේ දෙමව්පියන් පවසනවා.

ඔවුන් පවසන්නේ දරුවන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටියදි ඔවුන් ගෙනෙන ලද ගණක යන්ත්‍ර (කැල්කියුලේටර්) ශාලාධිපතිනිය විසින් එකතුකර ගෙන ඇති බවයි.

ඊට හේතුව වී ඇත්තේ අපේක්ෂකයින් කිහිපදෙනෙකු විසින් අනුමත නොකරන ලද ගණක යන්ත්‍ර විභාග ශාලාව තුළට ගෙන ඒම බවයි වාර්තා වෙන්නේ.

පසුව ශාලාධිපතිනිය දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියට පවසා ඇය විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නා ලද උපදෙස් මත පැය භාගයකට (½) පසු ආපසු ඒවා ලබාදී තිබෙනවා.

නමුත් එම අවස්ථාවේදී තම තමන්ගේ ගණක යන්ත්‍ර තෝරා ගැනිමටද දරුවන්ට බොහෝ වේලාවක් ගත කරන්නට සිදුව ඇතත් එසේ ගතවූ කාල සිමාව වෙනුවෙන් අමතර කාලයක් ලබාදී නැති බවට දෙමව්පියන් චෝදනා එල්ල කරනවා.

++++++++

උසස් පෙළ විභාගයේ පෙරේදා පැවති ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයට අදාළව ගාල්ල නගරයේ විභාග මධ්‍යස්ථානයක ශාලාධිපතිනියක් කටයුතු කළ ආකාරය හේතුවෙන් සිසුන්ට යම් අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා සහනයක් ලබා දෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ සහනයක් ලබාදිය හැකි ක්‍රමවේදය පිළිබඳ අවධානය යොමු කර ඇති බවයි.

+


කිළිනොච්චියේ තරුණයෙකුගේ මළ සිරුරක් කුණු ඇළකින් හමුවෙයි

(20.01.2024 – 23:16 +0530 – hirunews.lk/sinhala)

කිළිනොච්චිය, පන්නන්කණ්ඩි ප්‍රදේශයේ කුණු ඇළක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් අද (20) සොයාගෙන තිබෙනවා.

එහිදී මියගිය තරුණයා කිළිනොච්චියේ මරදනගර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ‘ජෙයරාම් ඩයිනස්’ නමැති අයෙකු බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

ඔහු මියයාමට හේතුව හෝ ඔහු මෙම ස්ථානයට පැමිණ ඇත්තේ කුම හේතුවක් සඳහාද යන්න මෙතෙක් හෙළි වී නොමැති බවත්, එබැවින් මියගිය තරුණයාගේ දෙමව්පියන් විසින් එම මරණය සම්බන්ධයෙන් සැක සහිත බවට පොලිසියේ පැමිණිල්ලක්ද දමා තිබෙනවා.

කිළිනොච්චිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම මළ සිරුර තිබූ ස්ථානයට පැමිණ මියගිය තරුණයාගේ දෙමව්පියන් හා ඥාතීන්ගෙන් තොරතුරු විමසීමෙන් පසුව මෘතදේහය කිළිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කිළිනොච්චිය පොලිසියට නියෝග කොට තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *