ගමේ පාර හදන්න මුල පුරන්න ආ රාජ්‍ය ඇමතිට ගමෙන් විරෝධයක්
(19.01.2024 – lankadeepa.lk)
පුත්තලම දළුව ගම්මානයෙ පැවති මාර්ග සංවර්ධන වැඩසටහනක් ආ ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහජනතාවගෙන් එල්ල වූ විරෝධයක් හේතුවෙන් අතර මගින්ම හරවා යෑමට සිදු වූ බව වාර්තා වේ.
මහජනතාවගෙන් එල්ල වූ විරෝධය නිසා රාජ්‍ය ඇමැතිවරයා දළුව හන්දියට පමණක් පැමිණ පසුව ආපසු ගොස් ඇත.
ලෝක ආධාර මත ක්රීයාත්මක වන අන්තර්ගතිකව ක්රීයාත්මක වන සංවර්ධන වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයෙ දළුව නිර්මලපුර නාවක්කාඩු ඇතුළු මාර්ගයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහනට මෙසේ ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අමල් චින්තක මායාදුන්න එක්විමට නියමිතව තිබී ඇත.මේ සම්බන්ධයෙන් ගම්වාසින්ට ලැබුන තොරතුරක් මත එයට ගම්වාසිහු දැඩි විරෝධයක් එල්ල කළහ.
දළුව ගම්වාසින් නිර්මලපුර කතෝලික දෙවස්ථාන භුමියෙ රැදි සිටිමින් පැමිනි නිළධාරීන් සමග සාකච්ඡ පවත්වා ඇති අතර රාජ්‍ය නිලධාරීන්ට සංවර්ධන වැඩවලිදී බාධා නොකරන බවත් දේශපානාඥයන් ඊට සහභාගීවීමට විරෝධය දක්වා ඇත ෴
++++++
+
සරුංගලයේ එල්ලී අහසට යාම පොලිසියෙන් තහනම් කෙරේ
(19.01.2024 – 20:14 +0530 – hirunews.lk/sinhala)
යාපනයේ තරුණයින් විසින් සරුංගල් වල ආධාරයෙන් අහසේ පියාසර කිරීමට උත්සාහ කිරීම යාපනය පොලිසිය විසින් ඊයේ (18) සිට තහනම් කර ඇති බව අප වාර්තාකරු පවසනවා.
සෙල්ෆි ඡායාරූප ගැනීමට හා තමන්ගේ වීරත්වය පෙන්වීමට යාපනයේ තරුණයින් මේ දිනවල සරුංගල්වල කඹවල එල්ලි ඉහළ අහසට යාම ජනප්‍රිය සිදුවීමක් බවට පත්වී තිබෙනවා.
එහිදී මෙවැනි සිදුවීම් නිසා වියහැකි අනතුරුදායක තත්ත්වයන් අවම කර ගැනීම පිණිසයි පොලිසිය විසින් මෙම තහනම පනවා ඇත්තේ.
යාපනය, තොණ්ඩමානාරු ප්‍රදේශයේ තරුණයෙකු සරුංගලයක කඹයේ එල්ලී අඩි 80 ක් පමණ ඉහළ අහසට ගොස් සිය දස්කම් පෙන්වන විඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර, ඉන් අනතුරුවයි පසුවයි පොලිසිය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.
යාපනය පොලිසිය සඳහන් කළේ මෙම තහනම නොසලකා හැර සරුංගල්වල කඹවල එල්ලී අහසට යාමට උත්සහ කරන තරුණයින් අනතුරු වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා බවයි ෴
ඩෙංගු වැළඳී නේවාසිකව ප්‍රතිකාර ගෙන පැමිණි තරුණයෙක් බැංකුවට යද්දී මහ මඟ ඇද වැටී මරුට
(19.01.2024 – 22:32 +0530 – hirunews.lk/sinhala)
ඩෙංගු රෝගය සඳහා යාපනය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවසට පැමිණ නිවස අසල වූ බැංකුවකින් මුදල් ලබා ගැනීමට යමින් සිටි පුද්ගලයෙකු මහ පාරේ ඇද වැටී අද (19) මියගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ යාපනය, අරියාල, රාසතෝට්ටම් ප්‍රදේශයේ පදිංචි සෙල්වරාසා සින්ධුජන් නමැති 31 හැවිරිදි දෙදරු පියෙක්.
අප වාර්තාකරු සඳහන් කළේ මෙම පුද්ගලයා උණ රෝගයට මීට දින කීපයකට ඉහතදී ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශික්ෂණ රෝහලට ගිය අවස්ථාවේදී ඔහුට ඩෙංගු උණ රෝගය වැළදී ඇති බව තහවුරු වීමෙන් පසු නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති බවයි.
ඉන් අනතුරුව අද (19) රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවසට පැමිණි ඔහු නිවස අසල වූ බැංකුවට පයින් යාමේදී මහපාරේ ඇද වැටී එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
එහිදී වහාම ඔහුව යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතත්, ඊට පැය බාගයකට පමණ ඉහතදී ඔහු මියගොස් ඇතැයි වෛද්‍යවරු ප්‍රකාශ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ ෴
පරාටා ඉල්ලා හෝටලය කුඩුපට්ටම් කළ පස් චණ්ඩි
(19.01.2024 – 21:18 +0530 – sinhala.adaderana.lk)
රාත්‍රී හෝටලයකට කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙකු (2) හෝටලයේ හිමිකාර යුවළට අමානුෂික ලෙස පහර දී හෝටලයට දැඩි අලාභහානි කිරීමේ පුවතක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා විය.
පාදුක්ක – අංගම්පිටිය ප්‍රදේශයේ පිහිටි මෙම රාත්‍රී හෝටලය පවත්වාගෙන යනු ලබන්නේ යුවළක් විසිනි.
ඊයේ (18) රාත්‍රි 10:45 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු (2) එහි පැමිණ කොත්තුවක් ඇණවුම් කර තිබේ.
කොත්තුව පිසින අතරවාරයේ දී ඔවුන් යළි පවසා ඇත්තේ, තමන්ට අවශ්‍ය කොත්තුවක් නොව පරාටා බවය.
එහි දී හෝටලයේ හිමිකරුවන්, පරාටා නොමැති බව පැවසීමත් සමඟ එම පුද්ගලයින් දෙදෙනා ඔවුන්ට පහර දී කලහකාරී ලෙස හැසිරී ඇත.
හෝටලයේ යුවළ සිය දරුවන් ද රැගෙන එම ස්ථානයෙන් වහා පළා ගොස් ඇත්තේ දිවි බේරාගැනීමටය.
පසු ව ඔවුන් පාදුක්ක පොලීසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.
මෙලෙස හෝටලයට පැමිණ පහර දී ඇත්තේ, ප්‍රදේශයේ පස් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු, හෝටලයේ හිමිකරුවන් තමාට පහර දුන් බව පවසා රෝහල්ගත වී තිබේ.
තමන්ට සිදු වූ අසාධාරණයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස හා තමන්ට සිදු වූ අලාභහානිය පියවා ගැනීමට සහාය වන ලෙසට හෝටලයේ හිමිකාර යුවළ පොලීසියෙන් ඉල්ලා සිටිති.
+
වැඩ තහනම් කළ ලංවිම සේවක සංඛ්‍යාව 66 දක්වා ඉහළට
(20.01.2024 – 10:37 +0530 – hirunews.lk/sinhala)
ලෙඩ නිවාඩු වාර්තා කර විරෝධතාවකට සහභාගිවීමේ චෝදනාව මත තවත් සේවකයින් 51 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.
විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත කියා සිටියේ මෙම සියලු සේවකයින් මුදල් අයකැමිවරුන් බවයි.
ඊයේ (19) දිනයේද මුදල් අයකැමිවරුන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබුණා.
ඒ අනුව මේ වනවිට වැඩ තහනම් කළ මුලු සේවක සංඛ්‍යාව 66 ක් දක්වා ඉහළ යනවා.
විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබියදී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව මණ්ඩලයේ සේවකයින් පසුගිය 3, 4 සහ 5 යන දිනවල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙමින් විරෝධතාවලට එක්වුණා.
මේ නිසා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා සිදුවූ බවට අමාත්‍යාංශය වෙත පැමිණිලි ලැබී තිබුණා.
ඒ අනුව විදුලිබල සැපයුමට බාධා කරමින් වර්ජනයේ නිරත වූ සේවකයින්ගේ සේවය වහාම අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත දැනුම් දෙනු ලැබුවා.
කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත කියා සිටියේ සේවක විරෝධතා හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ සේවාවන්ට කිසියම් බාධාවක් සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන බවයි.
එසේ කිසියම් සේවකයෙකු තවදුරටත් රාජකාරි කටයුතුවලට බාධා කර ඇත්නම් ඔවුන්ගේද සේවය අත්හිටුවීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළා ෴
++++++++
විදුලි සේවකයන්ගේ ණය පොලී යළි අය කර ගැනීම ගැන ඇමතිගෙන් තීරණයක්
(20.01.2024 – 18:41 +0530 – hirunews.lk/sinhala)
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් එම මණ්ඩලයෙන් ලබා ගෙන ඇති රුපියල් බිලියන 12 ක් වන ණය මුදල්වලට අදාළ මුලු පොලිය එම ණය හිමියන්ගෙන් අය කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර කළමනාකාරීත්වයට උපදෙස් ලබා දී තිබෙනවා.
මීට පෙර එම ණය සඳහා වන පොලියෙන් තුනෙන් දෙකක් (2/3) ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවූ අතර, ඒ සඳහා මුදල් ලබා ගැනුණේ ජනතාවගේ විදුලි බිලෙන් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර තිබුණේ තම X ගිණුමේ සටහනක් තබමින්.
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් ලබා ගෙන ඇති ණය පහසුකම් සම්බන්ධයෙන් සහ නව සේවක බඳවා ගැනීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා වාර්තාවක් කැඳවා තිබූ අතර, එමගින් මේ පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබුණා ෴
‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය’ නම් පනත් කෙටුම්පත වහාම හකුලා ගන්න – විපක්ෂ නායක
(20.01.2024 – 15:07 +0530 – hirunews.lk/sinhala)
‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත’ විවාදයට ගැනීම කල් දමන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා.
එම කෙටුම්පත ලබන 23 සහ 24 යන දිනවලදී විවාදයට ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.
කෙසේ වෙතත් සියලුදෙනාට පිළිගත හැකි පරිදි ප්‍රායෝගික පනත් කෙටුම්පතක් නැවත ඉදිරිපත් කිරීම සදහා අවශ්‍ය කාලය ගැනීම සදහා මෙම විවාදය කල් තබන ලෙසයි විපක්ෂ නායකවරයා, යොමුකළ ලිපියෙන් ඉල්ලා ඇත්තේ.
පූර්ණ සංවාදයකින් තොරව මෙම කෙටුම්පත සම්මත කර ගැනීමට කටයුතු කළහොත් රටේ ආර්ථිකයට, ජනතාවට සහ පොදුවේ රටටද, ජාත්‍යන්තර සමාජ ජාලා සේවා සම්පාදනය කරන ආයතන මගින් එල්ල විය හැකි බලපෑම් පිළිබද පූර්ණ වගකීම, එය සම්මත කර ගැනීමට සහය දක්වන සියලු පාර්ශවයන්ට දැරීමට සිදුවන බවද එම ලිපියේ තවදුරටත් දැක්වෙනවා.
+
කඩුවෙල – තුන්අඳහේනේ දී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට තවත් දෙදෙනෙකු (2) අල්ලයි
(20.01.2024 – 11:25 +0530 – hirunews.lk/sinhala)
කඩුවෙල – කොරතොට ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුන්අදහේන ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් දෙදෙනෙකු (2) නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (19) පස්වරුවේ සිදුකළ මෙහෙයුමක දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන් දැඩිගමුව සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචි අවුරුදු 19 සහ 25 යන වයස්වල පසුවන්නන්.
තුන්අඳහේන ප්‍රදේශයේදී ‘බුද්ධික ප්‍රසාද්’ හෙවත් ‘අල්විස් වත්තේ පැට්ටා’ නමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කර තිබුණේ පසුගිය 10 වනදායි ෴
සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා නොකරන්නැයි පොලිසියට යළි උපදෙස්
(20.01.2024 – 10:55 +0530 – hirunews.lk/sinhala)
මින් ඉදිරියට සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා නොකරන්නැයි පොලිසියට යළි උපදෙස් ලබාදුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ නාරම්මල දී පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (20) උදෑසන එම නිවසට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
සිද්ධියෙන් මියගිය 41 හැවිරිදි ‘රොෂාන් කුමාරතිලක’ගේ පවුලේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් ලබාදීමට අද උදෑසන වැඩබලන පොලිස්පතිවරයා එම නිවසට ගිය අවස්ථාවේ දී සිදුකරනු ලැබුවා ෴
අයිස් ජාවාරම් කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට
(20.01.2024 – 10:24 +0530 – hirunews.lk/sinhala)
වැල්ලම්පිටිය ප්‍රදේශයේ උග්‍ර විෂ මත්ද්‍රව්‍යක් වන ‘අයිස්’ ජාවාරම් කරමින් සිටි කාන්තාවක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැටලීම විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 යි මිලි ග්‍රෑම් 280 ක් සහ රුපියල් 16,500 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
තවද ඇය එම ප්‍රදේශයේ දිගු කලෙක පටන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති බවයි වාර්තා වන්නේ ෴
කාන්තාවන්ටම පමණක් සීමා වූ මහා පරිමාණයේ බූරු පොළක් වටලයි
(20.01.2024 – 10:14 +0530 – hirunews.lk/sinhala)
ජාඇල ප්‍රදේශයේ දඬුගම, උඩවැල්ල පිහිටි නිවසක පවත්වාගෙන ගිය කාන්තාවන්ටම පමණක් සීමා වූ මහා පරිමාණයේ බූරු පොළක් වැටලීමට ජාඇල පොලිසියට හැකි වී තිබෙනවා
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් 5 දෙනා වයස අවුරුදු 35 ත් 50 ත් අතර වියේ පසුවන අය බවයි පොලිසිය පවසන්නේ.
ඔවුන්ගෙන් එක් (1) අයෙක් මුදල් පොලියට ලබාදීම සිදු කර ඇති අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු (2) ඌරු ගොවිපොළවල් හිමියන් බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, කොච්චිකඩේ, සීදූව සහ ජාඇල යන ප්‍රදේශවල පදිංචි කාන්තාවන්.
අප වාර්තාකරු සඳහන් කළේ මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ තිබී රුපියල් 30,900 ක මුදලක් පොලිස් භාරයට ගත් බවයි.
එසේම මෙම සැකකාරියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴