සීනි බදු වංචා කළ සමාගම්වලින් වහාම මුදල් අය කර ගන්නැයි නියෝග

සීනි බදු වංචා කළ සමාගම්වලින් වහාම මුදල් අය කර ගන්නැයි නියෝග


සීනි බදු වංචා කළ සමාගම්වලින් වහාම මුදල් අය කර ගන්නැයි නියෝග

(19.01.2024 – 07:22 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනාත්මක සීනි ආනයනික බදු වංචාවට සම්බන්ධ සමාගම්වලින් අදාළ මුදල් අය කර ගැනීමට වහාම ක්‍රියාමාර්ග ගන්නැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශයට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. 2020 වසරේ ඔක්තෝම්බර් 13 වනදා සීනි ආනයනය සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සියයට 99.5 කින් අඩු කර තිබියදීත් අදාළ බලධාරීන් විසින් ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ කාරක සභාවේදී ප්‍රශ්න කෙරුණා.

එම වංචාවට අදාළ මුදල් අය කර ගැනීමේ වත්මන් තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා එම සමාගම්වලින් බදු එකතු කිරීමේ ප්‍රමාණයන් පිළිබඳ වාර්තාවක් සතියක් ඇතුලත ඉදිරිපත් කරන ලෙසයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නියෝග කළේ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කළ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සීනි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 සිට රුපියල් 50 දක්වා ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් බදු ප්‍රතිපත්තිය යළි සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

මේ අතර බෙදා හරින්නන් විසින් උපරිම සිල්ලර මිල පිළි නොපැදීම පිළිබඳව ගැටලු විමසීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ද කැඳවා තිබුණා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් භාණ්ඩ අලෙවි කළ ව්‍යාපාර ස්ථාන 342 ක් වටලා දඩ නියම කළද ගැසට් පත්‍රයේ උපරිම තොග මිලක් සඳහන් නොවීම හේතුවෙන් තොග බෙදා හරින්නන්ට දඩුවම් කිරිමේ ගැටලු පවතින බවයි එහිදී හෙළි වුණේ.

එමෙන්ම මෙරට රක්ෂණ කර්මාන්තය සාධනීය මාවතකට ගැනීමට අදාළ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණි වලේබොඩගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි.

ජනතාවට රක්ෂණ හිමිකම් ගෙවීමේදී මුහුණදීමට සිදුවන පීඩා සහ අසාධාරණකම් නැවැත්වීමට රක්ෂණ සමාගම් නියාමනය වඩාත් ශක්තිමත් විය යුතු බව කාරක සභාව මෙහිදී අවධාරණය කළා.

කොරෝනා සමයේ වාහන රක්ෂණාවරණ සහ රක්ෂණ ප්‍රතිලාභ ලබාදීම සියයට 80 කින් පමණ අඩුවූ බවත්, ඒ අනුව එම කාල තුළ සමාගම් විශාල ලාභයක් උපයා ඇති බවත් මෙහිදී සාකච්ඡා වුණා.

++++++++

+


මළ සිරුරෙනුත් මුදල් ඉපයූ නගර සභා සේවිකාවක් අල්ලයි

(19.01.2024 – 07:12 +0530 – hirunews.lk/sinhala)

මළ සිරුරු ආදාහනය කිරීම සඳහා රුපියල් පන්ලක්ෂ පනස්දහසක (5,50,000) මුදලක් වංචා කළ මාතලේ මහ නගර සභාවේ සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෘත දේහයක් ආදාහනය කිරීම සඳහා මහ නගර සභා සීමාව තුළ පදිංචිකරුවෙකුගෙන් රුපියල් 20,000 ක් අය කෙරෙන අතර බිල්පත් ව්‍යාජ ලෙස වෙනස් කර රුපියල් 25,000 ක් බැගින් මුදල් ලබාගෙන ඇති බවයි හෙළිවුණේ.

පසුව මේ සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විමර්ශන ආරම්භ කළ අතර, සැකකාරිය පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් නියෝග කෙරුණේ සැකකාරිය මෙම මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටයි ෴


‘හරක්කටා’ සහ ‘කුඩු සළිඳු’ මුදාගැනීමේ මෙහෙයුම් චෝදනාවට අත්අඩංගුවට ගත් ස්නයිපර්කරු නිදහස්

(19.01.2024 – 19:46 +0530 – hirunews.lk/sinhala)

‘හරක්කටා’ සහ ‘කුඩු සළිඳු’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදා ගැනීමට කමාන්ඩෝ මාදිලියේ ප්‍රහාරයක් දියත් කිරීමට, සැලසුම් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි ස්නයිපර් වෙඩික්කරු මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අද (19) නියෝග කළා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු කර්මාන්ඩෝ සාමාජිකයන් දෙදෙනෙකු (2) ඇතුලු සෙසු සැකකරුවන් තිදෙනා (3) ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ.

සිද්ධියට අදාළ නඩුව අද (19) කොටුව මහේස්ත්‍රාත් තිළින ගමගේ ඉදිරියේ විභාගයට ගැණුනා.

ස්නයිපර් වෙඩික්කරුවෙකු වූ ‘තිළිණ තේජන’ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම හේතුවෙන් සිය සේවා දායකයා මුදා හරින ලෙසයි.

මහේස්ත්‍රාත්වරයාද එහිදි වැඩිදුරටත් පැවසුවේ දුරකථන ඇමතුමකින් නම්කළ පමණින් එය සාක්ෂියක් ලෙස පිළිගත නොහැකි බවයි.

ඒ අනුව අවශ්‍ය ඕනෑම අවස්ථාවක නැවත චෝදනා ගොනුකිරීමට යටත්ව සැකකරු මුදා හැරීමට නියෝග කෙරුණා.

+


‘ගනේමුල්ල සංජීව’ගේ ගෝලයකුගේ නිවසක බංකරයක සඟවා තිබු රුපියල් ලක්ෂ 22 කට අධික මුදලක් සොයා ගනී

(19.01.2024 – 19:36 +0530 – hirunews.lk/sinhala)

දැනට රැදවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රඳවා සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ගනේමුල්ල සංජීව’ යන අයගේ ප්‍රධාන ගෝලයෙකු වන දැනට විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ‘පැට්ටා මංජු’ නැමති අයගේ සමීපතමයෙකුගේ නිවසක ඉතා සුක්ෂම ලෙස නිවසේ බංකරයක සගවා තිබු රුපියල් ලක්ෂ 22 කට අධික මුදලක් සොයාගෙන තිබෙනවා.

මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින්ගේ කණ්ඩායමක් විසින් සිදුකළ පරික්ෂණයක දී.

පරික්ෂා කරන ලද නිවසේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සිට ඇති අතර, නිවසේ සිටි කාන්තාවගේ ජංගම දුරකථන පරික්ෂා කරන අවස්ථාවේ දී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා මුදල් මොවුන් හරහා සංසරණය වන බවට අනාවරණය වීමෙන් පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් නිවස වැඩිදුරටත් සෝදිසි කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් කාන්තාව වයස අවුරුදු 29 ක කෙහෙල්බැද්දර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් පවසන්නේ මත්ද්‍රව්‍ය ජාලය අනාවරණය කර ගැනීම සඳහා මෙම සැකකාර කාන්තාව රැඳවුම් නියෝග මත රදවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව‍යි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහකාර පොලිස් අධිකාරී තරංග සේමසිංහගේ මූලිකත්වයෙන් මෙම වැටලීම සිදුකර තිබෙනවා ෴

+++++++++

+


රට රස්සාවක් දෙන බව කියා ගුරුවරියකගෙන් මුදල් වංචාකළ ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පිනියක් අත්අඩංගුවට

(19.01.2024 – 18:19 +0530 – hirunews.lk/sinhala)

විදේශ රැකියාවක් ලබාදෙන බවට මුලා කොට යාපනයේ ගුරුවරියකගෙන් රුපියල් ලක්ෂ 42 ක මුදලක් වංචාකළ කොළඹ ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පිනියක් යාපනය පොලිසිය විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස මුදල් ලබාගෙන බොහෝ කාලයක් ගතවීම නිසා එම ගුරුවරිය එම රූපලාවන්‍ය ශිල්පිනියගෙන් තමන්ගේ මුදල් හා විදේශ ගමන් බලපත්‍රය ඉල්ලා ඇතත් ඒවා ලබා දීමටද ඇය පමා වී තිබෙනවා.

ඒ අනුව, ගුරුවරිය යාපනය පොලීසියට කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය එම රූපලාවන්‍ය ශිල්පිනිය කොළඹදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඇයව අත්අඩංගුවට ගන්නා විට ඇය නවාතැන්ගෙන සිටි ස්ථානයේ තිබී අන්සතු විදේශ ගමන් බලපත්‍ර රැසක්ද, වීසා අයදුම්පත් කීපයක්ද, තවත් ලිපි ලේඛන රැසක්ද සොයා ගැනීමට පොලීසියට හැකි වී තිබෙනවා.

ඇයගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී, ඇය මසකට රුපියල් කෝටි පහකට (5,00,00,000) වඩා අධික මුදලක් ඇගේ ගිණුම හරහා හුවමාරු කොට තිබීම නිසා මේ කාන්තාව තවත් විශාල පිරිසක් මේ ආකාරයටම රවටා ඇති බවයි යාපනය පොලිසිය සඳහන් කළේ ෴


ප්‍රදේශ දෙකක (2) අභිරහස් මළ සිරුරු 2 ක්

(19.01.2024 – 18:45 +0530 – sinhala.adaderana.lk)

අභිරහස් ලෙස මියගොස් ඇති අයෙකුගේ මළ සිරුරක් අතහැර දමා තිබූ කොහු මෝලක් ආසන්නයේ තිබී හමු ව ඇති බව මාදම්පේ පොලීසිය පවසයි.

අද (19) පෙරවරුවේ පොලීසියට ලද තොරතුරක් මත සිරුර සොයා ගෙන ඇත.

මිය ගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, දින දෙකකට (2) පමණ පෙර මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙය ඝාතනයක් ද නැතිනම් සියදිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අතර වැඩිදුර විමර්ශන කටයුතු මාදම්පේ පොලීසිය විසින් සිදු කරයි.

මේ අතර, මුලතිව් වෙරළට ඉන්දීය ධීවරයෙකුගේ බවට සැක කරන මළ සිරුරක් ගොඩගසා තිබේ.

මුලතිව් පොලීසිය පැවසුවේ අද (19) උදැසන මෙම සිරුර වෙරළට ගොඩ ගසා ඇති බවයි.

එම මළසිරුර හඳුනාගැනීමට නොහැකි වන ලෙසට නරක් වි ඇති බවත් මළසිරුර සමග ඉන්දියාවේ නිෂ්පාදිත බවට සැක කෙරෙන උපකරණ කිහිපයක් ද තිබෙන බව පොලීසිය සඳහන් කළේය.

ධීවර යාත්‍රාවක් කිසියම් අනතුරකට ලක්වීමත් සමඟ මියගිය ධීවරයෙකුගේ මළසිරුර එලෙස ගොඩගසන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මේ සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි ෴


සේවාවලට බාධා කළ විදුලි සේවකයන්ගේ වැඩ තහනම්

(19.01.2024 – 09:46 +0530 – sinhala.adaderana.lk)

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවා තිබේ.

විදුලිබල මණ්ඩලය පවසන්නේ, පසුගියදා පැවති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවය.

විදුලිබල මණ්ඩලය පුද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගියදා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණි.

ඒ අනුව සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට පසුව උපදෙස් ලබාදී තිබුණි.

++++++

+++++++++

+


දූමින්ද හිර කාරයෙක් | ජයවර්ධනපුර රෝහලේ තුන්වෙනි මහලම අරගෙන ජිම් එකකුත් දාගෙන | කොහොමද ඉන්නෙ..? (19.01.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *