නාරම්මල රියදුරෙකුට වෙඩි තැබු උප පොලිස් පරීක්ෂකවරයා රක්ෂිත බන්ධනාගාරයට

නාරම්මල රියදුරෙකුට වෙඩි තැබු උප පොලිස් පරීක්ෂකවරයා රක්ෂිත බන්ධනාගාරයට


නාරම්මල රියදුරෙකුට වෙඩි තැබු උප පොලිස් පරීක්ෂකවරයා රක්ෂිත බන්ධනාගාරයට

(19.01.2024 – 13:29 +0530 – hirunews.lk/sinhala)

නාරම්මල වෙඩි තැබීමේ සිද්ධියේ දී පොලිස් නිලධාරීන් අත්තනෝමතික ලෙස ක්‍රියාකර ඇත්දැයි සොයා බැලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත් කර හැර තිබෙනවා.

මේ අතර, පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන්ට වන්දියක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමක දී සඳහන් කළා.

නාරම්මල – දම්පැලැස්ස වළංකඩේ ප්‍රදේශයේ දී උප පොලිස් පරීක්ෂකවරයෙකු සිදු කළ වෙඩි තැබීමකින් 41 හැවිරිදි තිදරු පියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ ඊයේ (18) රාත්‍රියේ දී.

ඔහු මහරච්චිමුල්ල – වෑත්තෑකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

ඊයේ (18) රාත්‍රී 7 ට පමණ නාරම්මල නගරයේ දී ගිරිඋල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් නතර කිරීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) අණ කර තිබුණා.

කෙසේ වෙතත් එම ලොරි රථය අණ නොතකා ධාවනය කළ බැවින් යතුරුපැදියක නැගුණු පොලිස් නිලධාරීන් එය පසුපස ලුහුබැඳ ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස ගොස් ලොරි රථය නතර කිරීමෙන් අනතුරුව රියදුරු අසුනේ සිටි පුද්ගලයා හිසට ගිනි අවිය තබා පරීක්ෂා කිරීමට යාමේ දී අත්වැරදීමකින් එය ක්‍රියාත්මක වී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසු සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනාට (2) ප්‍රදේශවාසීන්ගෙන් එල්ලවූයේ දැඩි විරෝධයක්.

එහිදී නාරම්මල පොලිසියට ද ප්‍රදේශවාසීන් පහර දී තිබුණා.

පසුව සිද්ධිය පාලනයට පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවූ අතර, පසුව වෙඩි තැබීමට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා, පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

නාරම්මල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරවයා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු අද (19) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

+

+

නාරම්මල ප්‍රදේශයේදී ලොරි රථ රියදුරෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ කොස්තාපල්වරයාට තාවකාලිකව වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා ෴


‘අස්වැසුම’ වැඩසටහන සඳහා නව අයදුම්පත් කැඳවීම පෙබරවාරි මුල් සතියේ

(19.01.2024 – 15:22 +0530 – hirunews.lk/sinhala)

‘අස්වැසුම’ වැඩසටහන සඳහා නව අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස මුල් සතියේ සිදුකිරීමට නියමිතයි.

පසුගියදා අස්වැසුම අභියාචනා සහ විරෝධතා ලක්ෂ 7 ක් සලකා බැලීමෙන් පසු තවත් පවුල් ලක්ෂ 3 ක් අස්වැසුම ලබා ගැනීමට සුදුසුකම් ලැබුවා.

එහිදී නුසුදුසු බවට තීරණය වූ පවුල් සංඛ්‍යාව 5,000 ක්.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇති බවයි වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඊයේ (18) රැස්වූ අවස්ථාවේ දී ෴


වසර 50ක ආයු කාලයක් සහිත බැටරියක් නිපදවයි

(19.01.2024 – 13:14 +0530 – hirunews.lk/sinhala)

charge කිරීමකින් තොරව වසර 50 ක් විදුලිය නිපදවිය හැකි නව බැටරියක් චීනයේ පුද්ගලයෙකු විසින් නිර්මාණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය Betavolt විසින් නිපදවන ලද න්‍යෂ්ටික බැටරියක් බවයි.

Betavolt පරමාණුක බලශක්ති බැටරිවලට අභ්‍යවකාශය, AI උපකරණ, වෛද්‍ය උපකරණ, මයික්‍රොප්‍රොසෙසර්, උසස් සංවේදක, කුඩා ඩ්‍රෝන සහ ‘micro රොබෝ’ වැනි විවිධ අවස්ථාවලදී දිගුකාලීන බල සැපයුමේ අවශ්‍යතා සපුරාලීමට හැකියාව පවතිනවා.

මෙම නව බලශක්ති නවෝත්පාදනය AI තාක්‍ෂණික විප්ලවයේ නව ප්‍රමුඛස්ථානයක් ලබා ගැනීමට චීනයට උපකාරී වනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

න්‍යෂ්ටික බැටරිය දැනට වෝල්ට් 3 කදී මයික්‍රොවොට් 100 ක බලයක් ජනනය කරයි. කෙසේ වෙතත්, මෙහි ඉලක්කය වන්නේ 2025 වන විට වොට් 1 ක බලයක් ලබා ගැනීමයි.

Betavolt පැවසුවේ විකිරණ මගින් මිනිස් සිරුරට කිසිදු අනතුරක් සිදු නොවන අතර එය pacemakers වැනි වෛද්‍ය උපකරණවල භාවිතා කළ හැකි බවයි.

මෙම බැටරි පරිසර හිතකාමී වන අතර දිරාපත්වීමේ කාලයෙන් පසු, සමස්ථානික 63 තඹවල ස්ථායී සමස්ථානිකයක් බවට පත් වන බවද එය විකිරණශීලී නොවන අතර පරිසරයට කිසිදු තර්ජනයක් හෝ දූෂණයක් ඇති නොකරන බවයි වාර්තා වී ඇත්තේ.

සමාගම විසින් පරීක්ෂණ අවසන් කර අවශ්‍ය සියලුම නිෂ්කාශන ලබා ගැනීමෙන් පසු බැටරියේ මහා පරිමාණ නිෂ්පාදනය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද සඳහන්.


නරක් වූ සහල් කන්ටේනර් 32 ක් මුදාගැනීමේ සූදානමක්

(19.01.2024 – 13:11 +0530 – hirunews.lk/sinhala)

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කන්ටේනර් 32 ක් වරායෙන් මුදා ගැනීමට, අනුමැතිය ලබාදීම සදහා පාරිභෝගික අධිකාරියේ සූදානමක් පවතින බව, ‘පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ පවසනවා.

එහි සභාපති රංජිත් විතානගේ සඳහන් කළේ , පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය හදිසියේ අද (19) දිනයේ කැඳවා ඇත්තේද ඒ සදහා අනුමැතිය ලබා දීමට බවයි.

සත්ත්ව ආහාර සඳහා ලබා දීමට බව පවසමින් මෙම සහල් තොගය මුදා වෙළදපොළේ ඇති සහල් සමඟ කළවම් කර අලෙවි කරන ජාවාරම්කරුවන් මෙම සිදුවීම පිටුපස සිටසන බවද, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතාන පවසනවා ෴


දුම්රිය ගේට්ටු මුරකරුවන්ගෙන් ඉල්ලීමක්

(19.01.2024 – 13:04 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා විසිරී සිටින දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ දෛනික වැටුප ඉහළ නංවා දෙන ලෙස දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විට අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 655 ක් සඳහා මුරකරුවන් 2,065 දෙනෙකු රාජකාරී සිදුකරන අතර පැය අටක (8) සේවා කාලය වෙනුවෙන් දෛනිකව ඔවුන්ට වෙන්වන්නේ රුපියල් 250 ක් වැනි සුළු මුදලක්.

එය ප්‍රමාණවත් නොවන බැවින් වැටුප වැඩිකරන ලෙසයි දුම්රියගේ ගේට්ටු මුරකරුවන් ඉල්ලා සිටින්නේ ෴


කැලණි ගගේ දිය නෑමට ගොස් කිඹුලෙකුට ගොදුරුවූ දස (10) හැවිරිදි පුංචි දිස්නගේ දේහය නිවසට

(19.01.2024 – 13:02 +0530 – hirunews.lk/sinhala)

කැලණි ගගේ දිය නෑමට ගොස් කිඹුලෙකුට ගොදුරුවූ දස (10) හැවිරිදි දරුවාගේ දේහය කඩුවෙල – වැලිවිට ප්‍රදේශයේ නිවසට රැගෙන එනු ලැබුවා.

අතුරුදන් වූ දරුවාගේ සිරුර සොයා ගනු ලැබුවේ අඹතලේ ජල පවිත්‍රගාරයට ආසන්නයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදි.

කඩුවෙල – වැලිවිට ප්‍රදේශයේ පදිංචි දිස්න ප්‍රබෝද් පෙරේරා නමැති 10 හැවිරිදි දරුවෙකු සිය මිත්තණිය කැලණි ගං ඉවුරේ රෙදි සෝදමින් සිටින අතර වාරයේ බාල සහෝදරයා සමඟ ඔහු කැලණි ගඟේ කඩුවෙල වැලිවිට ශාන්ත අන්තෝනි මාවත තොටුපලට දිය නෑම සඳහා ගඟට බැස තිබූ අවස්ථාවේ කිඹුලෙකු විසින් ඔහු ඩැහැගෙන ගොස් තිබුණේ පසුගිය 17 වැනිදායි.

ප්‍රදේශවාසීන් එක්ව පසුගියදා රාත්‍රියේ කැලණි ගං ඉවුර ආසන්නයේ කරන ලද සෝදිසි කිරීම්වලදි කිඹුලා ඩැහැගත් දරුවාගේ සිරුර සොයා ගැනීමට හැකි වුණා.

පසුව පොලිස් නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව සිරුර ගොඩගැනීමට පියවර ගත්තා.

පොලිසිය පැවසුවේ සිරුරේ ස්ථාන කිහිපයක කිඹුලාගේ දත් පහර කිහිපයක් පමණක් දක්නට ලැබුණු අතර කිසිදු කොටසක් කිඹුලා විසින් ආහාරයට ගෙන නොතිබු බවයි.

කැලණි ගඟට මුදා හැරෙන කසළ, ආහාරයට ගැනීමට පැමිණෙන බැවින් කිඹුලන්ගේ ගහනයද වැඩි වී ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් අප වාර්තාකරු ප්‍රකාශ කළේ විවිධ පිරිස් කැලණි ගඟේ වැලි ගොඩදැමීම හේතුවෙන් එය නැවැත්වීමට ගඟට කිඹුලන් දමා ඇති බවයි.

කැලණි ගඟ දෙපස දිය නෑම සඳහා තොටුපල රැසක් ඇතත්, එම තොටුපල ආශ්‍රිතව කිසිදු ආරක්ෂක වැඩපිළිවෙලක් සකසා නැහැ.

කඩුවෙල – වැලිවිට ශාන්ත අන්තෝ මාවතේ පිහිටි දිස්නගේ නිවසට ඊයේ (18) රාත්‍රී දේහය රැගෙන එනු ලැබුවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (20) වැලිවිට රෝමානු කතෝලික පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

+


ණය වාරිකය ගෙවා ගත නොහැකිව පුද්ගලයෙකු සියදිවි හානි කර ගනී

(19.01.2024 – 12:30 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල, මාගන්දන ප්‍රදේශයේ පුද්ගලයෙකුට ණය වාරිකය ගෙවා ගත නොහැකිව ගෙවත්තේ ගසක එල්ලි ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඔහු පෞද්ගලික මුල්‍ය සමාගමකින් රුපි‍යල් ලක්ෂ 10 ක මුදලක් ණයට ලබා ගෙන ඇති අතර, මාසික වශයෙන් රුපියල් 34,000 ක මුදලක් දීමට පොරොන්දු වී ඇති බවත් එය ගෙවා ගත නොහැකිව ඔහු සිත් තැවුලට පත් වී ඇති බවයි.

ඔහුට මෙම ණය මුදල ගෙවා ගත නොහැකි වී ඇත්තේ ඔහුගේ ව්‍යාපාරික කටයුතු අඩාල වීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

වාරික කිහිපයක් ගෙවීමට නොහැකි වීමෙන් එම මුල්‍ය ආයතනය හා ණය ඇපකරුවන් නිතර ණය මුදල ගෙවන ලෙස ඔහුට කරදර කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 36 ක දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි ෴


මගී බස් රථයක මත්කුඩු පාර්සලයකින් රියදුරු අත්අඩංගුවට

(19.01.2024 – 12:02 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සිට අනුරාධපුරය දක්වා ගමන් කළ දුරගමන් බස් රථයක තිබී හෙරොයින් අඩංගු මත්කුඩු පාර්සලයක් හමුවීම සම්බන්ධයෙන් එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහව – ඇල්ල මාර්ග බාධකයේ දී මහව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (18) සිදුකළ හදිසි පරීක්ෂාවක දී මෙම මත්කුඩු පාර්සලය සොයාගත් අතර, එහි බර ග්‍රෑම් 143 ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

සැකකරු 43 හැවිරිදි රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මේ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මන්නාරම ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමක දී මත්කරල් 24,000 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම – තාල්පාඩු ප්‍රදේශයේ සිදුකළ මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ ෴

++++++

+


දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

(19.01.2024 – 11:37 +0530 – hirunews.lk/sinhala)

උතුරු දුම්රිය මාර්ගයේ මේ දිනවල ගමන් කරන එකම දුම්රියට හසු වීමෙන් කිළිනොච්චියේ පුද්ගලයෙකු අද (18) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චියේ පදිංචි නමැති 43 හැවිරිදි කේතීස්වරන් විජයානන්දන් නැමති ටිපර් රථ රියදුරෙක්.

අදාළ පුද්ගලයා දුම්රිය පැමිණෙන ආකාරය නොදැන දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී අනුරාධපුරයේ සිට යාපනය බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙසේ මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කිළිනොච්චිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴

මග්ගොන දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක ගැටී විශ්‍රාමික ග්‍රාම නිළධාරීවරයෙකු මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන, මිල්ලගහකන්ද ප්‍රදේශයේ පදිංචිව වයස අවුරුදු 73 ක් වන පුද්ගලයෙක්.

අලුත්ගම සිට පොල්ගහවෙල බලා ධාවනය වූ දුම්රියක මෙම පුද්ගලයා ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කර සිටියේ අදාළ අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි ෴


පොළොන්නරුවේ පාසල් වෙත ‘සුහුරු පුවරු’ සහ පරිගණක 86 ක්

(19.01.2024 – 10:22 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් වෙත ‘සුහුරු පුවරු’ හෙවත් ‘ස්මාර්ට් බෝඩ්’ සහ නවීන පරිගණක 86 ක් ලබා දී තිබෙනවා.

ඒ, ලෝක බැංකු ණය ආධාර ක්‍රියාත්මක සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ වැඩසටහන යටතේයි.

මේ අනුව පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් විසින් ඊයේ (18) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් 20 ක් සඳහා සුහුරු පුවරු 20 ක් සහ පාසල් 28 ක් සඳහා පරිගණක 66 ක් ලබාදීම සිදු කර තිබෙනවා.

එම පළාත් සභාව නිවේදන කළේ උතුරු මැද පළතේ පාසල් සඳහා මේ වන විට ලබා දී ඇති සුහුරු පුවරු සංඛ්‍යාව 150 ක් බවයි ෴


විද්‍යුත් හැඳුනුම්පත් ගැන දැනුම්දීමක්

(19.01.2024 – 09:31 +0530 – hirunews.lk/sinhala)

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අදාළව පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ලබා ගැනීම එළඹෙන ජුනි මාසය ඇතුළත සිදු කිරිමට නියමිතව තිබෙනවා.

ඊයේ (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ නව විද්‍යුත් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීමට අදාළව මූලික කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙන අතර එයට අදාළ යටිතල පහසුකම් මේ වන විට සකස් කරමින් සිටින බවයි.

එළඹෙන ජුනි මාසය ඇතුළත පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත, ඇඟිලි සලකුණු සහ Facial recognitionවලට අදාළ දත්ත එකතු කිරීම සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ආරම්භ කිරීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *