ලොරි රථයක රියදුරුට වෙඩි තබා මරාදැමූ උප පොලිස් පරීක්ෂකයෙකු අත්අඩංගුවට

ලොරි රථයක රියදුරුට වෙඩි තබා මරාදැමූ උප පොලිස් පරීක්ෂකයෙකු අත්අඩංගුවට


ලොරි රථයක රියදුරුට වෙඩි තබා මරාදැමූ උප පොලිස් පරීක්ෂකයෙකු අත්අඩංගුවට

(18.01.2024 – 20:50 +0530 – hirunews.lk/sinhala)

නාරම්මල – දම්පලස්ස ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ ලොරි රථයක රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිසිය කළ වෙඩි තැබිමකින් ඔහු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධව උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

++++++++

රියදුරෙකු බිලිගත් පොලිස් වෙඩිල්ල ගැන තවත් තොරතුරු

(18.01.2024 – 22:12 +0530 – sinhala.adaderana.lk)

නාරම්මල, දම්පැලැස්ස ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් අද (18) පස්වරුවේ පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස් අන නොතකා ධාවනය කළ ලොරි රථයක් නවතා පරීක්ෂා කිරීමට යාමේදී මෙම වෙඩිවැදීම සිදුවී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෙඩිවැදීම සිදුවී තිබුණේ අද (18) පස්වරු 06:30 ට පමණය.

වෙඩිවැදීමට ලක්වූ පුද්ගලයා ඔහුට අයත් කුඩා ලොරි රථයෙන් කටුපොත ප්‍රදේශයේ සිට දම්පැලැස්ස ප්‍රදේශය ඔස්සේ සිය නිවස බලා ගමන් කරමින් සිට තිබුණි.

පොලීසිය පැවසුවේ නාරම්මල ප්‍රදේශයේදී මාර්ගයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) ලොරි රථය නවත්වන ලෙස කළ දැනුම්දීම නොතකා රියදුරු එය ඉදිරියට ධාවනය කර ඇති බවය.

ඒ අනුව රථය පසුපස හඹාගිය පොලිස් නිලධාරීන් දෙදෙනා (2) දම්පැලැස්ස ප්‍රදේශයේදී එය නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී මෙම වෙඩිවැදීම සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

එහිදී වෙඩිවැදීමෙන් තුවාල ලැබූ ලොරි රථයේ ගමන් කළ පුද්ගලයා නාරම්මල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

සිද්ධිය වූ අවස්ථාවේ ඒ අසල සිටි පුද්ගලයෙකු එය ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණි.

වෙඩිවැදීමෙන් මියගොස් ඇත්තේ වෑත්තෑව ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි.

මේ අතර අප වාර්තාකරු පැවසුවේ සිද්ධිය සැලවීමත් සමග ප්‍රදේශවාසීන් නාරම්මල පොලිස් ස්ථානය අසලට පැමිණීමත් සමග එම ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ බවය.

https://www.youtube.com/watch?v=9tM0UkUf3os

+++++++

++++++++

https://www.youtube.com/watch?v=pTQC7bC3QLw

+


පාස්කු ප්‍රහාරය පොලිසියේ අතපසුවීමක් – ටිරාන් අලස්

(18.01.2024 – 22:16 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සමයේ දී පොලිසියේ ඇතැමුන් නිසි ලෙස ක්‍රියා කළේ නම් ‘සහරාන්’ ඇතුළු පිරිස මීට පෙර අත්අඩංගුවට ගැනීමට තිබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

එය පොලිසියේ අතපසුවීමක් බව පිළිගත යුතු බවයි අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

+


රොෂාන් ආණ්ඩුවක් හදන්න සැරසෙයි

(18.01.2024 – 22:27 +0530 – hirunews.lk/sinhala)

දූෂණය නවතමු – මව්බිම ගොඩනගමු සන්ධානය හරහා ඉදිරියේදී මෙරට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බිහි කරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සන්ධානය එළි දැක්වීමේ දීපව්‍යාප්ත රැස්වීම් මාලාවේ සමාරම්භක වැඩසටහනට එක්වෙමින්.

‘දූෂණය නවතමු – මව්බිම ගොඩනගමු’ Unity of Sri Lanka සන්ධානය එළිදැක්වීමේ සමාරම්භක උත්සවය පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩප පරිශ්‍රයේදී අද (18) පැවැත්වුණා.

ඒ සඳහා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් එක්වූ අතර රටේ පවතින දූෂණයට එරෙහිව මෙම සන්ධානය සමඟ එක්වන ලෙසට එහිදී ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණා.

+


ශුක්‍ර සුනඛ ‘විමල බුද්ධි’ට අධිකරණයේ පෙනී සිටින්න නොතිසි

(19.01.2024 – dinamina.lk)

= රත්නපුරේ විමල බුද්ධි චීවරධාරියාට අධිකරණයේ පෙනී සිටින්න නොතිසි =

බෞද්ධ ආගමට නිගා කර ආගමික සංහිඳියාව බිඳෙන අයුරින් ‘ටික් ටොක්’ සමාජ මාධ්‍යවල ගිහියකු මෙන් අශ්ශීලව හැසුරුණු බව කියන ‘රත්නපුරේ විමල බුද්ධි’ නොහොත් ‘විශ්ව බුද්ධ මුනි’ නමැති චීවරධාරියාට ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (18) නොතිසි නිකුත් කළේය.

මෙම සැකකාර චීවරධාරියා බුදු දහමට අපහාස වන අයුරින් ක්‍රියාකිරීමේ වරදට ඇප මත සිටිමින් නැවත නැවතත් එම වරදම දිගින් දිටම සිදුකරන බැවින් ඒ පිළිබඳව කරුණු විමසීම සඳහා ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට සැකකරුට නොතිසි නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මෝසමක් මඟින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න, පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිබ්බටුවැව යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මෙම සැකකරු ඇප මත නිදහස් වී කෙටි කලක් ඉක්මයද්දී යූටියුබ් චැනල මඟින් මාධ්‍ය සාකච්ඡා පවත්වා නැවතත් බුදු දහමට අපහාස කරමින් සිටින බවය.

මොහු සිදුකරන මෙම ප්‍රකාශවලින් බුදු දහමට පමණක් නොව, ආගමික සංහිඳියාවට විශාල ගැටලුවක් මතුවී ඇති බවත් මේ සම්බන්ධයෙන් අන්තර්ජාල ආවේක්ෂණයේදී මහජන කැළඹීම් තත්ත්වයක් මතුව ඇති බවට නිරීක්ෂණය වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම චීවරධාරියා බුදු දහම සම්බන්ධයෙන් කරන මෙම ප්‍රකාශවලින් මහජනතාව ප්‍රකෝප වී ඇති බවට අන්තර්ජාල නිරීක්ෂණවලදී තහවුරු වී ඇති බවත් ඔහු ඇප කොන්දේසි කඩ කරමින් කරන මෙම ක්‍රියාවෙන් අධිකරණයට ද අපහාසයක් සිදුව ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන 24 වැනිදා සැකකරුට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාර චීවරධාරියාට ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතිසි නිකුත් කළේය.

සැකකරු සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් 2007 අංක 56 දරන ‘සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ’ (අයි සී සී පී ආර්) 3 (2) සහ (3) වගන්ති ප්‍රකාරව වරදක් ගම්‍ය නොවන නමුත්, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය ප්‍රකාරව වරදක් ගම්‍ය වන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙමින් සැකකරුට ඇප නියම කළේ ඉකුත් 09 වැනිදාය.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය ප්‍රකාරව සැකකරු වරදක් සිදුකර ඇති බවට පෙනී යන බැවින් මොහු නඩුවෙන් නිදහස් කළ නොහැකි බවට සැකකරුගේ ඇප සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා ඉකුත් 09 වැනිදා සඳහන් කළේය ෴

+++++++

+


නව වීසා ක්‍රමවේදයක්

(19.01.2024 – 10:56 +0530 – hirunews.lk/sinhala)

පෙර පැවැති විසා ක්‍රමවේදයේ තිබූ සංකීර්ණභාවය සරල කරමින් නව වීසා ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කර සිටියේ ඉදිරි සති දෙකේ (2) එය ක්‍රියාත්මක කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ඊයේ (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

විද්‍යුත් ගමන් බලපත්‍රය හඳුන්වා දී මේ රටේ ගමන් බලපත්‍රය ලෝකයම පිළිගන්නා ගමන් බලපත්‍රයක් බවට මේ වසරේදී පත්කරන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාලක ජනරාල්වරයා පැවසුවේ.

මෙම නව ක්‍රමවේදය ඔස්සේ විසා අලුත් කර ගැනීමට මෙරටට නොපැමිණ තමන් සිටින රටේ සිට ඔන්ලයින් මාර්ගයෙන් කර ගැනීමටත් හැකියාව ලැබෙනවා.

එමෙන්ම මෙරටට පැමිණෙන ආයෝජකයන්ට වසර 10 ක වීසා ලබාදීමටත්, නිත්‍ය වාස වීසාවක් ලබාදීමටත් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද සඳහන් ෴


සිහි නැතිවන බීම දී කොල්ලකෑ අනියම් යුවල පොලිස් දැලේ…

(19.01.2024 – 12:40 +0530 – lankacnews.com)

සිහිය නැතිවෙන බෙහෙතක් කලවම් කළ පැණි බීම පානය කිරීමට ලබාදී සිහිය නැති වූ විගස කනකර පැළඳි රන් ආභරණ දුරකථන සහ මුදල් පසුම්බියේ ඇති මුදල් කොල්ලකන තවලන්තැන්න හා වටවල ප්‍රදේශයේ පදිංචි අනියම් යුවලක් (17) දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එස්. රාජසිංහ මහතා පැවසිය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොත්මලේ තවලන්තැන්න ප්‍රදේශයේ පදිංචි සෙල්ලයියා සසිකුමාර් (වයස අවු: 46) හා වටවල පදිංචි සුභාෂ් සෙල්වරාණි (වයස අවු: 39) නම් කාන්තාවකි.

මිහිරියගල දෙමෝදර පදිංචි කාන්තාවක් ඉකුත් (31) දින නිවසට අවශ්‍ය කරන බඩු බාහිරාදිය මිලදී ගැනීමට බණ්ඩාරවෙල නගරයට පැමිණි අවස්ථාවේදී සැකකාර යුවල පැමිණ ‘අම්මා ඔයා කොහෙද යන්නේ? මොනවද කරන්නේ ?’ යනුවෙන් පවසා ක්ෂණික හැදුනුම්කමක් ගොඩනගාගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා (2) එම කාන්තාව ආර්ථික අපහසුතාවයෙන් පෙලෙන කෙනෙකු බව හඳුනාගෙන එම පවුලට ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒමට සහයෝගය ලබා දෙනවා යැයි පවසමින් නිමි ඇඳුම් කිහිපයක් ඇයට ලබාදී සැකකරුවන් දෙදෙනාගේ දුරකථන අංකයද ලබාදී නිමි ඇදුම් කිහිපය අලෙවි කිරීමෙන් පසු දැනුම් දෙන ලෙස පවසා ඇත.

ලබාදුන් නිමි ඇදුම් කිහිපයක් විකුණා නිමි ඇදුම් කිහිපයක් ඉතිරි වි ඇති බවට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් පසුව එම සැකකාර යුවල පවසා ඇත්තේ එම රෙදි රැගෙන නුවරඑළියට පැමිණෙන ලෙසත් තවත් අලෙවි කිරීමට රෙදි පිළි තොගයක් ලබාදෙන බව පවසා ඇත.

එම කාන්තාව සිය පුතා සමග නුවරඑලිය නගරයට පැමිණිමෙන් පසු සැකකාර යුවල දුරකථන ඇමතුමක් ලබා දි නුවරඑළිය පොදු වෙළදසැල අසලට පැමිණෙන ලෙස පවසා එහිදී නාදුනන පිරිමි පුද්ගලයා හා එම කාන්තාව කතා බහ කරමින් සිටින අතරතුරදි ගමන් මහන්සිය නිවා ගැනිමට බීම වර්ගයක් සහ රෝල්ස් වගයක් ලබා දි ඇත.

එම රෝල්ස් සහ බීම පානය කිරීමෙන් අනතුරුව එම කාන්තාව සහ ඇයගේ පුතා සිහිය නැති වි ඇති අතර, ඔවුන්ට සිහිය පැමිණෙන විට ඔවුන් නුවරඑලිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

පොලිසිය මගින් සිදුකළ විමර්ශනයේදී ඔවුන් සඳහන් කර ඇත්තේ රෝහල් ගත කල කාන්තාව සතුව තිබුණු රණ් තැල්ලක් , කරාබු ජෝඩුවක් , රන්මාලයක් ඇතුළු ලක්ෂ පහකට (5) ආසන්න රන් ආභරණ සහ අතේ තිබුණු රුපියල් 5000 ක මුදලක් රුපියල් 5000 වටිනා දුරකථනයක් හා පුතා සතුව තිබුණු මිල අධික ජංගම දුරකථනයක් රැගෙන ගොස් ඇති බවයි.

සැකකරුවන්ගේ අනන්‍යතාවය නොදන්නා බවට මව සහ පුතා පැවසීමෙන් අනතුරුව සිද්ධිය වු ස්ථානයට නිරීක්ෂණය සදහා ගිය නුවරඑළිය පොලිස් නිලධාරීන් අවට වෙළදසැල් කිහිපයක සීසිටීවී දර්ශන පරීක්ෂා කරමින් ඉතාම සූක්ෂම ක්‍රමවේදයක් ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

එලෙස සැකකාරු පන්නිල ප්‍රදේශයෙන් හා සැකකාරිණිය වටවල ප්‍රදේශයෙන් අත්තඩංගුවට ගත් බවට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පැවසීය.

සැකකරු හා සැකකාරිණිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ දැනට දින කිහිපයකට ප්‍රථම මාස තුනක (3) සිර දඬුවමක් ද ලබා නිදහස්වී පැමිණ නැවත මෙවන් වූ නීති විරෝධී ක්‍රියාවල යෙදී කොල්ලකෑම් සිදු කරන අතර මෙලෙසම ස්ථාන කිහිපයකම සිදු කර ඇති බවයි.

සැකකරුට හා සැකකාරිණිය යන දෙදෙනාට (2) එරෙහිව මහනුවර යාපනය බණ්ඩාරවෙල ජාඇල කුරුණෑගල හැටන් පොලිස් ස්ථාන වලද පෙර වැරදි සටහන් වී ඇති බවද පොලිසිය පැවසිය.

සැකකරු හා සැකකාරිණිය (18) දින නුවරඑළියේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා එළඹෙන (29) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර (29) දින පැමිණිලිකාර පාර්ශවය හා සැකකරු හා සැකකාරිනිය අධිකරණය වෙත කැඳවා හඳුනා ගැනීමේ පෙරටුවවක් පැවැත්වීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දනී මහත්මිය නියෝග කර ඇත.

රංජිත් රාජපක්ෂ

+++++++

+


කරාපිටිය රෝහලේ වෙදදුරු විශ්‍රාම ගැනීම සඳහා ලිපිය භාරදෙයි

(19.01.2024 – 17:17 +0530 – hirunews.lk/sinhala)

කරාපිටිය රෝහලේ කනිෂ්ඨ සේවකයන් දෙදෙනෙකුට (2) පහරදුන් බවට චෝදනා එල්ලවූ විශේෂඥ වෛද්‍යවරයා, නියමිත දිනට වසර දෙකකට (2) පෙර සේවයෙන් විශ්‍රාම ගැනීම සඳහා වන ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී ඇති බව වෛද්‍ය වෘත්තීය සමිති සඳහන් කරනවා.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුව ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් එක්ව සිදුකළ වර්ජනයට පිළිකා වාට්ටුවේ සේවකයින් එක් නොවන බව සදහන් කර තිබුණත්, ඔවුන් වර්ජනය සිදු කිරීම සම්බන්ධයෙන් සේවක පිරිස සහ අදාළ වෛද්‍යවරයා අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදීයි මෙම පහරදීම සිදුව ඇත්තේ.

පහරදීම සිදුකරන අවස්ථාවේ අදාළ වෛද්‍යවරයා බීමතින් සිට ඇති බවට ද රෝහල් සේවකයින් චෝදනා කරනවා ෴

++++++++

+

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *