දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදා හැරපු පුද්ගලයින්ට වැඩ වරදී

දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදා හැරපු පුද්ගලයින්ට වැඩ වරදී


දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදා හැරපු පුද්ගලයින්ට වැඩ වරදී

(18.01.2024 – 19:15 +0530 – hirunews.lk/sinhala)

2023 වසරේ පමණක් බාලවයස්කාර දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ පට ලක්ෂයකට (100,000) වැඩි ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් සමජ මාධ්‍යවලට මුදා හැර ඇති බවට අනාවරණය වී ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් පවසනවා.

ඒ අනුව එවැනි අසභ්‍ය වීඩියෝ පට සමාජ ජාලාවලට ඇතුළත් කළ පුද්ගලයන් පිළිබඳව විමර්ශන ආරම්භ වී තිබෙනවා.

මෙම වීඩියෝවක් සම්බන්ධවම විමර්ශනය කර ඒවා සමජ මාධ්‍යවලට ඇතුළත් කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම මෙම වසර තුළ දී සිදුකරන බව‍යි ඔහු වැඩිදුරටත් පවසන්නේ ෴


ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට පැමිණි සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(18.01.2024 – 18:09 +0530 – hirunews.lk/sinhala)

මත්ස්‍ය වෙළදාම් සිදුකරන ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීම සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකා විශේෂ යතුරුපැදි කණ්ඩායමක් අම්බලංගොඩ ප්‍රදේශයේ දී සමත් වී තිබෙනවා.

යුක්තිය මෙහෙයුම්වලට සමගාමීව සිදු කළ වැටලීමක දී අදාළ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, එහිදී අදාළ පුදගලයන් පැමිණි යතුරුපැදිය සමඟ පිස්තෝල අවියක්ද අත්අඩංගුවට ගත් බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටී’ නැමැත්තාගේ මෙහෙය වීම මත සැකකරුවන් පැමිණ ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එහිදී අත්අඩංගුවට ගත් වෙඩික්කරු යුද හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කරන 38 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු යුද හමුදා විශේෂ බලකායේ රාජකාරි කර දැනට විජයබා රෙජිමේන්තුවේ සේවය කරන අතර නිවාඩු ලබා පැමිණ සිටියදී මෙම අපරාධය සඳහා පැමිණ ඇති බවයි සඳහන් වන්නේ ෴


අත්හිට වූ වැඩවර්ජනය පෙබරවාරි පළමු දින (01) යළි ඇරඹේ

(18.01.2024 – 17:13 +0530 – hirunews.lk/sinhala)

අත්හිට වූ වැඩවර්ජනය පෙබරවාරි මස 01 වැනිදා යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ අද (18) පැවැති විශේෂ සමුළුවක දී ඔවුන් මේ පිළිබඳව සඳහන් කළේ ෴


කරාපිටිය රෝහලේ වෛද්‍යවරයා රිමාන්ඩ්

(18.01.2024 – 16:44 +0530 – hirunews.lk/sinhala)

කරාපිටිය ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකුට සහ සේවිකාවකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම රෝහලේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවට පොලිසිය විසින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුර නෙත්තිකුමාර වෙත කරුණු ඉදිරිපත් කළා.

එය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා රෝහලට ගොස් අදාළ සැකකාර වෛද්‍යවරයා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කළේ.

පෙරේදා සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් එක්ව සිදුකළ වර්ජනයට පිළිකා වාට්ටුවේ සේවකයින් එක් නොවන බව සදහන් කර තිබුණත්, ඔවුන් වර්ජනය සිදු කිරීම සම්බන්ධයෙන් සේවක පිරිස සහ අදාළ වෛද්‍යවරයා අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

එම අවස්ථාවේදීයි මෙම පහරදීම සිදුව ඇත්තේ.

පහරදීම සිදුකරන අවස්ථාවේ අදාළ වෛද්‍යවරයා බීමතින් සිට ඇති බවට ද රෝහල් සේවකයින් චෝදනා කරනවා ෴


දුරකථන භාවිතය පහළට

(18.01.2024 – 15:18 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ භාවිතා කරනු ලබන ස්ථාවර හා ජංගම දුරකථන සංඛ්‍යාව ඉකුත් වර්ෂයට (2023) සාපේක්ෂවම පහළ වැටී ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙනවා.

ජංගම දුරකථන ඇතුළු උපකරණ සඳහා වැට් පැනවීමත් සමඟ මේ වන විට ජංගම දුරකථනයක මිල රුපියල් 15,000 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම අන්තර්ජාල සම්බන්ධතා ඇතුළු අන්තර්ජාල ග්‍රාහකයින් සංඛ්‍යාව 2023 වසරේ පළමු මාස හයේ දී මිලියන 21.9 දක්වා 1.0% කින් පහළ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

2022 වර්ෂයේ මුල් මාස කිහිපය තුළ මෙරට පුද්ගලයින් 100 කට ජංගම දුරකථන හා වෙනත් දුරකථන 146.9 ක් පැවැති අතර 2023 වර්ෂයේ දී මෙම කාලසිමාවේ දී පුද්ගලයින් 100 කට ඇති ජංගම හා වෙනත් දුරකථන සංඛ්‍යාව 137 දක්වා 6.8% කින් අඩු වී තිබෙනවා ෴


සරම්ප එන්නත්කරණ වැඩසටහනක්

(18.01.2024 – 15:11 +0530 – hirunews.lk/sinhala)

මාස 09 සිට වයස අවුරුදු 15 දක්වා මෙතෙක් සරම්ප එන්නත ලබා නොගෙන සිටින දරුවන්ට එම එන්නත අනිද්දා (20) සහ ඊට පසු දින (21) ලබාදීමට වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.එම්. ආර්නෝල්ඩ් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මාස 06 ත් 09 ත් අතර, දරුවන්ට ලබාදෙන සරම්ප අතිරේක එන්නතද එම දින දෙක (2) තුළ දී ලබාගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴


“වැට් අය කරනවා නම් වැට් ලියාපදිංචි සහතිකය අනිවාර්යයෙන් ප්‍රදර්ශනය කළ යුතුයි” මුදල් ඇමති

(18.01.2024 – 14:46 +0530 – hirunews.lk/sinhala)

වැට් අයකරන්නේ නම් වැට් ලියාපදිංචි සහතිකය අනිවාර්යෙන්ම ප්‍රදර්ශනය කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (17) පස්වරුවේ යටියන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

එසේම, වැට් අය කිරීමේ සීමාව ඉදිරියේදී රුපියල් මිලියන 80 සිට රුපියල් මිලියන 60 දක්වා පහළට ගෙන එන බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

+


රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩීවිම ගැන මුදල් ඇමතිගෙන් දැනුම්දීමක්

(18.01.2024 – 14:27 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවකයින්ට 2024 අයවැය මගින් යෝජිත රුපියල් 10,000 වැටුප් වැඩි කිරීමේ පළමු (1) අදියර වන රුපියල් 5000 වැටුප් වැඩි වීමට අදාළ මුල්ම කොටස වන ගුරු වැටුප් සඳහා වන මුදල් භාණ්ඩාගාරය මගින් නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 95 ක පමණ මුදලක් වැය වන බවයි.

ජනවාරි මස සිට එම මුදල් තවත් රුපියල් බිලියන 7 කින් ඉහළ යන අතර, අප්‍රේල් මස සිට යෝජිත රුපියල් 10,000 ක වැටුප ඉහළ නැංවූ පසු එම අතරේක මුදල රුපියල් බිලියන 14 ක් පමණ බවයි සඳහන් වන්නේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මුදල් මුද්‍රණය සහ ණය ගැනීම නවතා ඇති තත්ත්වයක වියදම් කළමනාකරණය කිරීම තුළින් පමණක් අදාළ මුදල් ඉතිරි ගත යුතු බවයි ෴


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට සේවක විරෝධතාවයක් විසුරුවා හැරීමට කඳුලු ගෑස් ප්‍රහාරයක්

(18.01.2024 – 13:28 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (18) සිදුකළ විරෝධතාවයක් විරුසුවා හැරීම සදහා පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පමණක් වැටුප සියයට 25 කින් වැඩි කිරීමට විරෝධය පළ කරමින් දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය අද (18) සංකේත වැඩවර්ජනයක නිරත වනවා.

ඊට සමගාමීවයි ඔවුන් අද (18) දහවල් සියලුම විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතා ද සංවිධාන කර තිබුණේ ෴


සුප‍්‍රකට ‘තාත්තා පුතාලා’ අලෙවි සැල් ජාලය මිනිසුන්ට නුදුසුදු ආහාර විකුණා වරද පිලිගනී.. දඩ ගසයි..

(18.01.2024 – 15:00 +0530 – lankacnews.com)

මිනිස් පරිභෝජනයට නුසුදුසු ‘ලම්ප‍්‍රයිස්’ අලෙවි කළ බවට වරද පිළිගන්නා ලද මෙරට සුප්‍රසිද්ධ ආහාර නිෂ්පාදන ආයතනයකට අධිකරණය විසින් දඩ නියම කර තිබේ.

ඒ අනුව රුපියල් 180,000 දඩයක් ගෙවන ලෙස එහි අධ්‍යක්ෂවරුන් නව දෙනා (9) වෙත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇත.

මෙම ආයතනයේ නිෂ්පාදනය කරන ලද අදාළ ආහාරයේ නිදර්ශක බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කිරීමෙන් පසුව ලැබුණු වාර්තාව මත අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

අදාළ ආහාරවල බැක්ටීයා අපද්‍රව්‍ය ඇති බවට වාර්තාවෙන් තහවුරු වී තිබිණි.

ඒ අනුව අදාළ චෝදනාවන්ට වරද පිළිගත් හෙයින් එම ආයතනයට මෙලෙස දඩ නියම කර තිබේ ෴

P+S ?


‘හරක්කටා’ට අතුරුපස දෙන්න නියෝගයක්

(18.01.2024 – 21:39 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන ‘හරක්කටා’ සහ ‘කුඩු සළිඳු’ යන දෙදෙනා (2) ඝාතනය කරන බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයෙකු කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් වාර්තාවක් ගොනුකරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා එම බලකායේ අණදෙන නිලධාරිවරයාට නියෝග කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ සැකකරුවන් නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (17) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්ද වන ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ සහ ‘සළිඳු මල්ෂික ගුණරත්න’ හෙවත් ‘කුඩු සළිඳු’ නිරීක්ෂණය සඳහා කොටුව මහේස්ත්‍රාත් තිළින ගමගේ ඊයේ (17) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

මිනිත්තු 45 ක පමණ කාලයක් මහේස්ත්‍රාත් වරයා ඔවුන් සම්බන්ධයෙන් කරුණු නිරීක්ෂණය කර තිබුණා.

එහිදි ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ දෙදෙනා (2) ජනවාරි මස තුන්වැනිදා (03) ඝාතනය කරන බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයෙක් ඔවුන්ට කර ඇති බව කියන තර්ජනයක් සම්බන්ධයෙන් වාර්තාවක් ගොනුකරන ලෙස එම බලකායේ අණදෙන නිලධාරිවරයාට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

එමෙන්ම, අදාළ තර්ජනය සිදු කළ බව කියන දිනයට අදාළ සිසිටිවි දර්ශන ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

එහිදී සැකකරුවන් දෙදෙනා (2) කළ ඉල්ලීම් සලකා බැලු මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ ඔවුන්ගේ ඉල්ලීම පරිදි නිවසින් ගෙන එන හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පුස්තකාලයේ ඇති සති අන්ත පුවත්පත් ඔවුන්ට කියවීමට ලබාදෙන ලෙසයි.

තවද සෑම සෙනසුරාදා දිනයකදීම නිවසින් ගෙන එන ආහාර ලබාදීමේදි ඔවුන්ට අතුරුපසක් ලබා දෙන ලෙසටද කොටුව මහේස්ත්‍රාත් තිළින ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව ද නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ඇති බවට ද සටහන් කර තිබෙනවා.

මේ අතර, තම පුත්‍රයාගේ ආරක්ෂාව උදෙසා ඔහු දැනට රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන නොයන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ගේ පියා වන නෙල්සන් වික්‍රමරත්න ද ඊයේ (17) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටියා.

එම පෙත්සම සළකා බැලු අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ‘හරක් කටා’ නැමැත්තා දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යන්නේ නම් ඒ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ අභියාචනාධිකරණය දැනුවත් කර අවසර ලබාගත යුතු බවයි.

‘හරක්කටා’ සහ ‘කුඩු සළිඳු’ දෙදෙනා (2) මේ වන විට මාස 10 ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටිනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *