නව මෝටර් රථ පනතක් හඳුන්වාදීමට යයි

නව මෝටර් රථ පනතක් හඳුන්වාදීමට යයි


නව මෝටර් රථ පනතක් හඳුන්වාදීමට යයි

(17.01.2024 – 17:40 +0530 – sinhala.adaderana.lk)

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මේ වනවිට මතුවී තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝබර් මාසය වනවිට විසඳන බව රජය පවසයි.

ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන දිස්ත්‍රික් කාර්යාල සියල්ල මේ වසර (2024) අවසානයට පෙර වේරහැර ප්‍රධාන කාර්යාලයේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙසේ ද පැවසීය :

“පවතින මෝටර් රථ පනත සංශෝධනය කර නව පනතක් ගෙන ඒමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.”

“ඒ වගේම මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා වන වේග සීමා ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරමින් පවතිනවා. තවද රියදුරන් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන්නේ බීමත් රියදුරන් හඳුනා ගැනීම පමණයි. නමුත් මේ වසරේ සිට මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද රටපුරා ක්‍රියාවට නංවා තිබෙනවා. එහි මූලික අදියර බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ ක්‍රියාත්මක කෙරුණා.”

“එමෙන්ම රිය අනතුරකදී අවශ්‍ය ප්‍රථමාධාර පිළිබඳව රියදුරන් දැනුවත් කිරීම සඳහා වන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඉදිරියේදී රියදුරු බලපත්‍ර පරීක්ෂණයේදී ප්‍රථමාධාර සම්බන්ධ ප්‍රශ්න ඇතුළත් කිරීමටද සැලසුම් කර තිබෙනවා.”

“අප රටේ වාහන මිලියන 8.9 ක් පමණ භාවිත වෙනවා. එලෙසම රියදුරන් ලක්ෂ 85 ක් පමණ රියදුරු බලපත්‍රය ලබාගෙන තිබෙනවා. රියදුරු බලපත්‍ර නිකුත් කරන දිස්ත්‍රික් කාර්යාල සියල්ල මේ වසර අවසානයට පෙර වේරහැර ප්‍රධාන කාර්යාලයේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනවා.”

“ඒ වගේම විදේශිකයින්ට අවශ්‍ය රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන ලබන අප්‍රේල් මාසය වන විට ගුවන්තොටුපලේදීම ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. එසේම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වන විට මතුවී තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝබර් මාසය වන විට විසඳනවා. ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනවා” ෴


ඩෙංගු වැළඳුණු සරසවි සිසුවිය ජීවිතක්ෂයට

(17.01.2024 – 23:06 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු රෝගය උත්සන්න වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි සරසවි සිසුවියක මියගොස් තිබෙනවා.

හොරණ, පෝරුවදණ්ඩ, මාපුටුගල, මානෙල් උයන ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී.එම්. හෂිණි භාග්‍ය නම් තරුණියක් මෙලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

විවිධ දක්ෂතාවලින් හෙබි හෂිණි කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළමු (1) වසරේ අධ්‍යාපනය ලබමින් සිටි තරුණියක්.

ඉකුත් 05 වැනිදා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කෙරුණු ඇය 11 වැනිදා දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබු බව, රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මව්පියන් පැවසුවේ, ඒ වනවිටත් ඇය සිහිසුන්ව සිට ඇති බවයි.

පරීක්ෂණවලින් අනතුරුව ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බව වෛද්‍යවරු සනාථ කර තිබුණා.

කෙසේ වෙතත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හෂිණි භාග්‍යා ඊයේ (16) මිය ගියා.

ඩෙංගු රෝගය හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනය වීම සමග ඇති වූ සංකුලතා මත සිදු වූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වුණා.

2023 වසරේ දිවයින පුරා ඩෙංගු රෝගීන් 86,232 දෙනෙකු වාර්තා වී ඇති අතර ඩෙංගු යැයි සැක කෙරෙන රෝගීන් කොළඹ නගරය තුළින් 3,992 දෙනෙකු හමු වී තිබෙනවා.

මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු යැයි සැක කෙරෙන බවට හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 5,892ක්. ඉන් 1,956 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.

මේ අතර, කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කොළඹ පුරහල, බොරැල්ල, කුරුඳුවත්ත යන ප්‍රදේශවල ඩෙංගු හිතකර පරිශ්‍ර සොයා මෙහෙයුමක් දියත් කළා.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසුවේ, ජනවාරි පළමු වැනිදා (01) සිට මේ දක්වා කාලය තුළ දිවයිනේ පරිශ්‍ර 17,156 ක් පරීක්ෂා කර ඇති අතර, ඉන් 1,879 ක් මදුරුවන් බෝ විය හැකි ස්ථාන ලෙස හඳුනා ගැණුනු බවයි.

එම ස්ථාන සඳහා රතු නිවේදන ද නිකුත් කර තිබෙනවා.

+


යෝධ කිඹුලා ඩැහැගත් දරුවාගේ සිරුර හමුවෙයි

(17.01.2024 – 22:03 +0530 – hirunews.lk/sinhala)

කැලණි ගඟේ කිඹුලෙකු විසින් ඩැහැගත් දස (10) හැවිරිදි දරුවාගේ නිසල සිරුර හමුවී තිබෙනවා.

අඹතලේ ජල පවිත්‍රාගාරය අසල තිබී මෙම සිරුර සොයාගත් බවයි වාර්තා වෙන්නේ.

ඊයේ (16) පස්වරුවේ මෙලෙස කිඹුලෙකුට බිලි වී තිබුණේ දිස්න ප්‍රබෝද් පෙරේරා නැමති 10 හැවිරිදි දරුවෙකු වන අතර ඔහු කඩුවෙල වැලිවිට ශාන්ත අන්තෝනි මාවතේම පදිංචිකරුවෙක්.

කඩුවෙල වැලිවිට ශාන්ත මරියා විද්‍යාලයේ 5 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි ඔහු දිය නෑමට ගොස් තිබුණේ සිය මිත්තණිය සහ බාල සහෝදරයාද සමඟයි.

පොලිසිය මෙන්ම නාවික හමුදාවද කිඹුලා ඩැහැගෙන ගිය දරුවා සොයා අඛන්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කළා.

මිත්තණිය රෙදි සෝදන අතරතුර දරු දෙදෙනා (2) ඇය ආසන්නයෙන් ගඟට බැස දිය නාමින් සිට තිබෙනවා.

එහිදී එක් වරම පැමිණි කිඹුලෙකු මෙම දරුවා ඩැහැගෙන ගොස් තිබුණා.

සොයාගත් සිරුර කොළඹ අධිකරණ වෛද්‍යනිලධාරී වෙත යොමුකිරීමෙන් අනතුර හෙට (18) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

++++++++

+


යුක්තියේ සැකකරුවන් 36,097 ක් අත්අඩංගුවට

(18.01.2024 – 08:09 +0530 – hirunews.lk/sinhala)

යුක්තිය මෙහෙයුමට සමගාමීව ගතවූ මාසයක කාලසීමාව තුළ සැකකරුවන් 36,097 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ වැටලීම් 36,405 කින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය මස 17 වනදා ‘යුක්තිය’ මෙහෙයුම ආරම්භ කළ මේ වන විට මෙහෙයුමට සමගාමීව හෙරොයින් කිලෝ 72 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 205 ක් සහ ගංජා කිලෝ 646 ක්ද පොලිස් භාරයට ගනු ලැබුවා.

මීට අමතරව මත් පෙති 98,638 ක් මෙම මෙහෙයුම තුළදී සොයා ගනු ලැබුවා.

මේ අතර මෙහෙයුමට මාසයක් සපිරීම හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අස්ගිරි සහ මල්වතු මහ නාහිමියන් ඊයේ (17) බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබුණා ෴


‘හූති’ කැරළිකරුවන් නිසා ශ්‍රී ලංකාවට වාසියක්

(18.01.2024 – 08:04 +0530 – hirunews.lk/sinhala)

යේමනයේ ඉරාන පාක්ෂික ‘හූති’ කැරලිකරුවන් රතු මුහුදේ යාත්‍රා කරන වාණිජ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම හමුවේ බොහෝ ජාත්‍යන්තර නෞකා සමාගම් රතු මුහුද මගහැර යාත්‍රා කිරීමට මේ වනවිට තීරණය කර තිබෙනවා.

නව ගමන් මාර්ගය ලෙසින් නම් කර ඇත්තේ, රතු මුහුද මගහැර අප්‍රිකාව ආශ්‍රිත ‘කේප් ඔෆ් ගුඩ් හෝප්’ නාවුක මාර්ගයයි.

එම මාර්ගයට ආසන්නයෙන් කොළඹ වරාය පිහිටීම හේතුවෙන් මෙම වාතාවරණය ශ්‍රී ලංකාවට ඉතා වාසිදායක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෝකයේ වාණිජ නාවුක යාත්‍රා ක්ෂේත්‍රයේ කාර්යබහුලම මාර්ගය වන රතු මුහුද ආශ්‍රිත මුහුදු කලාපය තුළ සිදුවන හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් ජාත්‍යන්තර නෞකා ගමනාගමනයට මේ වනවිට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

රතු මුහුද මගහරිමින් බොහෝ නෞකා අප්‍රිකාව ආශ්‍රිත ‘කේප් ඔෆ් ගුඩ් හෝප්’ නාවුක මාර්ගය ඔස්සේ යාත්‍රා කිරීමට තීරණය කිරීම හේතුවෙන් මෙතෙක් දින 25 කින් පමණ නිම වූ නාවුක ගමනාගමනය දින 34 ක් දක්වා දීර්ඝ වනු ඇති.

ඒ අනුව ලොව වාර්ෂික නාවුක ගමනාගමනයෙන් 12% ක්ම සම්පූර්ණ කරන රතු මුහුද ආශ්‍රිත නාවුක ගමනාගමනය වෙනස් වීමේ වැඩිම වාසියක් සැලසෙන්නේ ශ්‍රී ලංකාවටයි.

දීර්ඝ නාවුක ගමනක් අතරතුර සිය සේවා අවශ්‍යතා සපුරා ගැනීමට ජාත්‍යන්තර නෞකාවලට ඇති පහසුම සහ ආසන්නතම වරාය කොළඹ වරාය වීම විශේෂත්වයක්.

කොළඹ වරාය, අප්‍රිකාව, බටහිර ආසියාව සහ නැගෙනහිර ආසියාව අතර උපාය මාර්ගික වශයෙන් වැදගත්ම ස්ථානයක පිහිටා තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ, එම භූගෝලීය පිහිටීමේ උපාය මාර්ගික වැදගත්කම හමුවේ රතු මුහුදේ නාවුක ප්‍රවාහන අර්බුදය ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ඉතා වාසිදායක බවයි.

පසුගිය මාස එක හමාරක (1½) කාලය තුළ කොළඹ වරායට ඇතුළු වීම සඳහා නෞකාවලින් ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

එම වාර්තාවල දැක්වුණේ, බොහෝ නෞකාවලින් ගෙන එන භාණ්ඩ, ප්‍රති නැව්ගත කිරීම හරහා ඉතා විශාල ආදායමක් කොළඹ වරායට උපයා ගත හැකි බවයි.

මේ අතර, කොළඹ වරායේ හටගෙන ඇති තදබදය හේතුවෙන් වරායට ඇතුළුවිමේ අපේක්ෂාවෙන් වරායෙන් පිටත නෞකා රැසක් පැය 24 කට වැඩි කාලයක් නැංගුරම්ලා තිබෙන බව කොළඹ වරායේ මෙහෙයුම් අධ්‍යක්ෂ යූ. කුමාර ප්‍රකාශ කළා.

එමගින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන ආදායම ඉහළ යනු ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

රතු මුහුදු කලාපයට එල්ල කෙරෙන ප්‍රහාර තීව්‍ර වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් බ්‍රිතාන්‍යයේ ඉන්ධන සහ ගෑස් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ෂෙල් සමාගම සිය වාණිජ කටයුතු වෙනුවෙන් රතු මුහුද ආශ්‍රිත සමුද්‍රීය කලාපය භාවිත නොකිරීමට ද තීරණය කර තිබෙනවා.

ඒ, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර පසුගිය සතියේ බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව හූති සටන්කාමීන් රතු මුහුදේ වාණිජ නෞකා ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර තීව්‍ර වනු ඇතැයි මත පළ වීමත් සමඟයි.

රතු මුහුද හරහා යාත්‍රා කිරීම නතර කළ විශාලතම සමාගම ෂෙල් සමාගම බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

+


ගාල්ල කරාපිටිය රෝහලේ සේවකයින්ට පහර දුන් වෛද්‍යවරයා අත්අඩංගුවට

(18.01.2024 – 07:48 +0530 – hirunews.lk/sinhala)

කරාපිටිය රෝහලේ කණිෂ්ඨ කාරය මණ්ඩලයේ සේවකයෙකුට සහ සේවිකාවකට ඊයේ (17) සවස පහරදුන් බව කියන පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෙද්‍යවරයා ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පොලිස් ආරක්ෂාව යටතේ පෞද්ගලික රෝහලක නතරව සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් අද (18) අලුයම 03:00 සිට කණිෂ්ඨ කාරය මණ්ඩලයේ විස්සක (20) පමණ පිරිසක් සේවයෙන් ඉවත්ව රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වී තිබෙනවා.

පෙරේදා (16) පැවැත් වූ වැඩ වර්ජනයට පිළිකා වාට්ටුවේ සේවකයින් එක් නොවන බව කියා සිටියත් ඔවුන් වැඩ වර්ජනයට එක්වීම සම්බන්ධයෙන් වෛද්‍යවරයා සහ සේවක පිරිස අතර ඇතිවු ආරවුලක් හේතුවෙන් මෙසේ පහර දී ඇති බවයි වාර්තා වී ඇත්තේ ෴


දින 15 ට ඩෙංගු රෝගීන් 5892 ක්

(18.01.2024 – 07:29 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ගත වූ දින 15 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 5892 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඉන් 1956 දෙනෙකු බස්නාහිර පළාතෙන් හමුවී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 1228 ක් වාර්තා වී තිබුණා.

කොළඹ නගර සීමාවෙන් පමණක් රෝගීන් 390 ක් හදුනාගෙන ඇති අතර එය සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 6.6 % ක ප්‍රතිශතයක්.

පසුගිය වසරේදී මෙරටින් ඩෙංගු රෝගීන් 86,232 දෙනෙකු වාර්තා වී තිබුණා.

ඩෙංගු රෝගය උත්සන්න වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළමු (1) වසරේ අධ්‍යාපන ලැබූ සිසුවියක ද පෙරේදා (16) මියගියා.

එමෙන්ම කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් කොළඹ පුරහල අවට, බොරැල්ල, කුරුදුවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක ඩෙංගු පරීක්ෂාවන් ඊයේ (17) සිදුකළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *