පාසලේ සිසුන්ට ටියුෂන් දුන් මධ්‍යම පළාතේ ගුරුවරුන් 51 කට දඬුවම්

පාසලේ සිසුන්ට ටියුෂන් දුන් මධ්‍යම පළාතේ ගුරුවරුන් 51 කට දඬුවම්


පාසලේ සිසුන්ට ටියුෂන් දුන් මධ්‍යම පළාතේ ගුරුවරුන් 51 කට දඬුවම්

(17.01.2024 – 12:05 +0530 – hirunews.lk/sinhala)

පාසලේ තම පන්තියේ අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් මුදල් අය කර උපකාර පන්ති නොපවත්වන ලෙස චක්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබියදීත් ඊට පටහැණිව කටයුතු කරමින් මුදලට පන්ති පැවැත් වූ මධ්‍යම පළාතේ පාසල් ගුරුවරු 51 දෙනකු ඔවුන් සේවය කළ පාසල්වලින් වෙනත් පාසල්වලට මාරු කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා.

ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි හා සිංහල විෂයන් සඳහා මුදල් අයකර පාසලේ තමන්ගේම පන්තියේ සිසුන්ට අමතර පන්ති පවත්වන ගුරුවරු සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී තිබුණු පැමිණිලි පදනම් කර ගනිමින් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ ගේ උපදෙස් මත විශේෂ චක්‍රලේඛයක් පසුගිය වසරේ (2023) ජුනි මස නිකුත් කරනු ලැබුණා.

මෙම චක්‍රලේඛය උල්ලංඝනය කරමින් ඇතැම් ගුරුවරු අමතර පන්ති පවත්වන බවට ලද තොරතුරු මත අදාළ ස්ථාන වැටලීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැටලීම් ඒකකයක් ද ස්ථාපිත කරනු ලැබුවා.

ඇතැම් ගුරුවරු තම පන්තියේ දරුවන්ට තමන්ගේ අමතර පන්තියට සහභාගි වන ලෙස බලපෑම් කරන බවට ද අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තොරතුරු ලැබී ඇති බවටයි වර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු විගස වැටලීම් ඒකකයේ කණ්ඩායමක් අදාළ ස්ථානවලට යොමු කර තොරතුරු ලබා ගැනීමෙන් පසු විධිමත් විමර්ශනයක් සිදු කර චක්‍රලේඛය උල්ලංඝනය කළ ගුරුවරුන් වෙනත් පාසල්වලට මාරුකර යැවීමට පියවර ගෙන ඇති බවයි මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ෴


අන්තරේට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

(17.01.2024 – 16:57 +0530 – hirunews.lk/sinhala)

අන්තරේ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලදී මෙසේ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (17) සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකට අදාළව මාළිකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අදාළ විරෝධතාවය හේතුවෙන් මහජන පීඩාවක් ඇති වියහැකි බවට මරදාන පොලිස් ස්ථාන මඟින් සිදුකරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද දින කුලරත්න මාවත (මරදාන පාර), ඔරාඹිපාෂා මාවත, සංඝරාජ මාවත, ඩීන්ස් පාර (පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත) ඩාලි පාර (ටී.බී. ජයා මාවත) හා රෝහල් චතුරස්‍ර තුළ හා පිටත මාර්ගවල පදික වේදිකා භාවිත කළ නොහැකි බවට අධිකරණය දැනුම් දී තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු වගඋත්තරකරුවන් 9 දෙනෙකු වෙත මෙම නියෝගය නිකුත් කර ඇති බවද සඳහන්.

++++++++

+


වී වගාවට සැරසෙන ඩ්‍රෝන යානා

(17.01.2024 – 13:30 +0530 – hirunews.lk/sinhala)

වී වගාව සඳහා පළමුවරට යොදා ගැනීමට නියමිත ඩ්‍රෝන යානා 100, විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අද නිල වශයෙන් භාර දුන්නා.

මේ අතර, හඳුනා නොගත් පණු විශේෂයක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ අක්කර 10,000 කට අධික වී ගොයමට හානි කර තිබෙනවා.

අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ, හුරුළු වැව යටතේ කුඹුරු අක්කර 10,400 ක ප්‍රමාණයක මෙවර මහ කන්නයේදී වී වගා කර තිබෙනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ, මේ වනවිට හඳුනා නොගත් පණු විශේෂයක් ගොයමට හානි කරමින් තිබෙන බවයි.

ගොයමට කෘෂි රසායන කොපමණ යෙදුවද මෙම පණු විශේෂය පාලනය කිරීමට නොහැකි බැවින් තමන් දැඅඩි අපහසුතාවකට පත්ව ඇති බවද ගොවීන් පෙන්වා දෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ පළමු වරට වී වගාවට පළිබෝධ නාශක ඉසීම සඳහා මහ කන්නයේදී ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම වෙනුවෙන් රුපියල් මිලයන 250 ක වියදමින් ආනයනය කළ ඩ්‍රෝන යානා 100 ක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අද (17) භාර දුන්නා.

ඒ, කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදීයි.

මෙම ව්‍යාපෘතිය යටතේ කෘෂි අංශ කුසලතා සභාව, දිවයිනේ වී වගා කරන සියලුම දිස්ත්‍රික්කවල පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථානවලට ඩ්‍රෝන යානා 01 ක බැගින් බෙදා දීමට නියමිතයි.

පොළොන්නරුව ඇලහැර සරුබිම ප්‍රදේශයේ අක්කර 25 ක භූමි ප්‍රමාණයක විහිදී ඇති බටුහේනවැව මේ වනවිට සම්පූර්ණයෙන්ම ආක්‍රමණශීලි ජලජ ශාඛවලින් වැසී ගොස් තිබෙනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් බටුහේනවැවෙන් පෝෂණය‍ වන ප්‍රදේශයේ කුඹුරු හෙක්ටයාර 50 කට ආසන්න ප්‍රමාණයක ගොවි ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි.

බටුහේනවැව 2018 වර්ෂයේදී සහ 2022 වර්ෂයේදී දෙවතාවක් ප්‍රතිසංස්කරණය කළද මෙම ජලජ ශාඛ ඉවත් නොකළ බවට ද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මේ අතර තේ වගාව සඳහා යොදන පොහොර වර්ග සියල්ලේම මිල රුපියල් 2,000 කින් අඩු කිරීම, තේ ගොවියා රැවටීමක් බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා.

+


කැරට් කිලෝවක් රුපියල් 2,500 ක් වෙයි

(17.01.2024 – 13:17 +0530 – hirunews.lk/sinhala)

වාර්තාගත අන්දමින් ඊයේ (16) ඉහළ ගිය කැරට් තොග මිලට සාපේක්ෂව සිල්ලර වෙළෙඳපොළේ කැරට් මිල ද අසීමිත ලෙසින් අද (17) ඉහළ ගොස් තිබෙනවා.

බොහෝ පොදු වෙළඳ සංකීර්ණවල අද (17) කැරට් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 2,500 ක මිලකටයි.

ඉතිහාසයේ පළමු වරට කැරට් කිලෝවක තොග මිල රුපියල් 2,000 ක් ලෙස ඊයේ (16) වාර්තා වුණා.

ඊට සාපේක්ෂව රට පුරා සිල්ලර වෙළෙඳපොළේද කැරට් කිලෝග්‍රෑම් එකක මිල අසීමිත ලෙසින් ඉහළ ගොස් ඇති අතර, අද (17) පෙරවරුවේ නුගේගොඩ පොදු වෙළෙඳපොළෙන් වාර්තා වූ කැරට් මිල රුපියල් 2500 ක්.

කොළඹ මැනිං වෙළඳපොළේ අද (17) කැරට් කිලෝග්‍රෑම් එකක් අලෙවි වූ තොග මිල දැක්වුණේ රුපියල් 2,000 ත් 2,200 ත් අතරයි.

නුවරඑළිය, දඹුල්ල හා කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානවලද අද (17) කැරට් මිලෙහි යම් අඩුවක් දක්නට ලැබුණු නමුත් උත්සව සමයට පෙර පැවති මිලට සාපේක්ෂව එය ඉහළ අගයක් ගන්නවා.

එළවළු මිල ඉහළ යාම හමුවේ සිල්ලර වෙළෙඳුන්ට සිය ව්‍යාපාර කරගෙන යාමේ අපහසු තත්ත්වයක් උද්ගතව ඇති අතර බොහෝ වෙළෙඳසැල්වල එළවළු අලෙවියද නවතා ඇති අයුරු දක්නට ලැබුණා.

+


මත් වී රාජකාරි කළ ග්‍රාම නිලධාරීවරු දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(17.01.2024 – 13:15 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරු දෙදෙනෙකු (2) බීමතින් රාජකාරී කරමින් සිටියදී අද (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සිදු කළ පරීක්ෂා කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනාම අධිමාත්‍රාවලින් යුතුව හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38 ක් වන පුද්ගලයෙක් සහ වයස අවුරුදු 27 ක් වන පුද්ගලයෙක්.

මෙම නිලධාරීන් දෙදෙනා ගෙන් රාජකාරී ඉටු කරගැනීමට ගිය පිරිසක් සමඟ ග්‍රාම නිලධාරීන් දෙදෙනා රණ්ඩුවක් ඇතිකර ගත් නිසා ගම්වැසියන් ඔවුන් දෙදෙනා බීමත්ව සිටින බවට පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පොලිසිය විසින් අදාළ නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවයි.

මෙසේ අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරීවරු දෙදෙනා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පුදුකුඩිඉරුප්පු පොලිසිය පියවර ගෙන තිබෙනවා ෴


අල්ලස් ගත් පොලීසියේ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(17.01.2024 – 13:04 +0530 – hirunews.lk/sinhala)

රුපියල් දස දහසක (10,000) මුදලක් අල්ලස් ලෙස ලබා ගත් උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාරම්මල ප්‍රදේශයේ නිවසක තිබියදී මත්පැන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීමට ඔවුන් අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බව සඳහන්.

එම නිවසේ හිමිකරු ඒ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව, ඔහුගේ නිවසේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් මෙම උප පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


‘පැට්ටා’ට වෙඩි තැබීමට ආ යතුරුපැදිය සොයා ගැනේ

(17.01.2024 – 12:58 +0530 – hirunews.lk/sinhala)

කඩුවෙල – කොරතොට ප්‍රදේශයේදී ‘බුද්ධික ප්‍රසාද්’ හෙවත් ‘අල්විස් වත්තේ පැට්ටා’ නමැත්තා පැහැරගෙන ගොස් වෙඩි තැබීමට භාවිත කළ යතුරුපැදිය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගෙන තිබෙනවා.

ඒ නවගමුව – සේදවත්ත – කලුපාලම අසල ඊයේ (16) සවස සිදුකළ වැටලීමකදීයි.

පසුගිය 10 වනදා රාත්‍රියේ කඩුවෙල – තුන්අදහේන ප්‍රදේශයේදී අදාළ පුද්ගලයා මාර්ගයේ බිම නිදිකරවා පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබුණේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින්.

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබූ මෙම පුද්ගලයාගේ නිවසට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් බව පවසා මුහුණු ආවරණය කර පැමිණි සැකකරුවන් මොහුව පැහැර ගෙන ගොස් තිබුණා.

34 හැවිරිදි වියේ පසු වූ ඔහු අතුරුගිරිය රෝහලට ඇතුළත් කර කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමෙන් පසුවයි ජිවිතක්ෂයට පත්වුණේ.

මේ අතර, ගත වූ පැය 24 තුල යුක්තිය මෙහෙයුමේදී තවත් සැකකරුවන් 1,024 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 699 සහ අපරාධකරුවන් ලැයිස්තුවේ සිටි සැකකරුවන් 325 ක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඉන් 13 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මෙම මෙහෙයුමේදී හෙරොයින්, අයිස්, මෙන්ම ගංජා පැල 13,892 ක් සහ මත්පෙති 647 ක් ද පොලිස් භාරයට ගත් බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ ෴


විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලීමක්

(17.01.2024 – 10:05 +0530 – hirunews.lk/sinhala)

විදේශ රැකියාවක් සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට තම ගමන් බලපත්‍රය හෝ මුදල් ලබාදිමට පෙර ඔවුන්ගේ වලංගුභාවය පරීක්ෂා කරන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂකයන්ගෙන් ඉල්ලීම් කරනවා.

ඔවුන්ගේ බලපත්‍රය සහ රැකියා ඇණවුම් සම්බන්ධයෙන් කාර්යාංශයේ වෙබ් අඩවියෙන් හෝ 1989 අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකියි.

විදෙස් රැකියා වංචාකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි එම කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පසුගිය කාලය තුළ විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධින් රැසක් වාර්තා වී තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *