‘අවලෝකිතේෂ්වර’ ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු අධිකරණය ඇතුළේ කළ දේ

‘අවලෝකිතේෂ්වර’ ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු අධිකරණය ඇතුළේ කළ දේ


‘අවලෝකිතේෂ්වර’ ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු අධිකරණය ඇතුළේ කළ දේ

(16.01.2024 – 19:21 +0530 – sinhala.adaderana.lk)

අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ විත්තිකූඩුවේ සිනාසෙමින් සිටි ‘අවලෝකිතේෂ්වර’ නාමයෙන් පෙනී සිටී ‘මහින්ද කොඩිතුවක්කු’ නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් අංගොඩ ජාතික මානසික වෛද්‍ය රෝහලෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරු විත්තිකූඩුවේ සිටි කාලය තුළ ඔහු මානසික ව්‍යාකූලතාවයකින් සිටින බවට අධිකරණය නිරීක්ෂණය කළ බවය.

ඒ අනුව සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් පන්නිපිටිය වීරමාවත ප්‍රදේශයේදී ඊයේ (15) අත්අඩංගුවට ගත් ‘අවලෝකිතේෂ්වර’ නමින් පෙනීසිටින ‘මහින්ද කොඩිතුවක්කු’ අද (16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

“ස්වාමීනි, මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) සහ (ආ) වගන්ති, පරිගණක අපරාධ පනත සහ මුදල් විශුද්ධිකරණ පනතේ විදි විධාන ප්‍රකාරව. 2012 දී ඊජිප්තුවට ගිය මේ තැනැත්තා රැකියාව ලෙස කරලා තියෙන්නේ අමෙරිකානු කඳවුරක සුනඛයන් බලාගැනීම. පසුව වීසා කල්ඉකුත්වී වසර 04 ක් රැඳී සිටි මොහු එරටින් පිටුවහල් කර තිබෙනවා. බිරිඳ සහ මොහුගේ නිවුන් දරුවන් ඒ රටේ සිටියදී මොහු ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ඩොලර් 450 ක දඩයකුත් ගෙවලා. ඊයේ (15) අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොහු රැඳී සිටි පන්නිපිටියේ කුලී නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකුගේ බිරිඳකට අයත් නිවසක්.”

සැකකරු සිදුකරන දේශන සහ ඔහුගේ අනුගාමිකයන් සම්බන්ධයෙන්ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී කරුණු දැක්වූවා.

“ස්වාමීනි මොහු කියන පරිදි මොහුට මේ විශේෂ විඥානය පහළවෙලා තියෙන්නේ 2016 දී. පරිහානියට පත්වෙලා තියෙන ශ්‍රී ලංකාවේ වැසියන්ට නිවන අවබෝධ කරලා දෙන්න ඔහු වැඩම කළා කියලයි සැකකරු කියන්නේ. මොහුට රහතුන් වහන්සේ 41 ක් ඉන්නවා කියලා ඔහු කියනවා. ඒ වගේම අනුගාමිකයන් ලක්ෂ 03 ක් ඉන්නවාලු. ගුවන්තොටුපලේ සිට කැලණිය පුදබිමට එන්න ලිමෝසින් කාරය කුලී පදනමට ගන්න රුපියල් 25,000 ක් වැයකරලා තියෙනවා. කැලණිය පුදබිමේ විකාරරූපි රංගනයක් කරලා තියෙන්නේ කිසිදු අවසරයක් නොමැතිව. අත්අඩංගුවට ගන්නා අවස්ථාව තෙක් මොහු කළ සමස්ත රංගන ව්‍යාපෘතියටම රුපියල් ලක්ෂ 15 ක් පමණ වැයකර තිබෙනවා. මොහු කියන අගසව්වරු අතර ඉන්නවා බඩල්කුඹුර පොලිසියේ ‘පුන්‍යසිරි’ කියන සැරයන්වරයා, වෛද්‍යවරු දෙදෙනෙක් (2) සහ ඔස්ටේලියාවේ පදිංචිකාරියක්”

අනතුරුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සැකකරුට ඇප ලබාදීමට එරෙහිව සිය විරෝධය මෙලෙස ප්‍රකාශ කළේය :

“ස්වාමිනි ත්‍රෛනිකායික මහානාහිමිවරු ඊයේ (15) නිවේදනයක් නිකුත් කළා බුදු දහම සුරක්ෂිත කිරීම රාජ්‍ය සතු වගකීමක් වන බැවින් මෙවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. පසුගිය කාලය පුරාවටම දේවගැතිවරු, දිව්‍යපුත්‍රයෝ හතු පිපෙන්නා වගේ පහළ වුණා. දැන් මේ කියන බෝධිසත්වයා ප්‍රාතීර්භූතවුනාට පස්සේ කළුතරින් තවත් බෝධිසත්වයෙක් පහළවෙලා. මේ සියල්ල රංගන. පසුගියදා අධිකරණයට කරුණු දැක්වීමෙන් පස්සෙත් මොහු දේශන පවත්වමින් කියලා තියෙනවා “මාව අත්අඩංගුවට ගත්තොත් රටටම හෙණ ගහනවා” කියලා. ඒ වගේම මොහු සතු සර්වඥ ඥානයෙන් නඩු විසඳන්න පුළුවන් කියලාත් මොහු කියනවා. නමුත් ස්වාමිනි මීට කළින් දේවගැතිවරුන්ට වගේම ඔය කියන බෝධි සත්වයන්ටත් අන්තිමට ඉතුරුවෙන්නේ ‘නීතිඥ සරණං ගච්ඡාමී’ තමයි. ස්වාමීනි මේ පුද්ගලයාගේ ක්‍රියාකලාපය පිළිබඳ විශාල මහජන කැලඹිමක් තියෙන නිසා ඇප දීමට නීතිපතිවරයා විරුද්ධයි. නමුත් ස්වාමිනි අපි මෙවැනි පුද්ගලයින්ට දඬුවමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වගේ මානසික ලෙඩුන්ට අනුකම්පා කරලා බෙහෙත් දෙන්න ඕනේ. ඒ නිසා ස්වාමිනි මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මොහුගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවන්න කියලා.”

අනතුරුව සැකකාර ‘අවලෝකිතේෂ්වර’ නාමයෙන් පෙනී සිටි තැනැත්තා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංඝ ඉන්දතිස්ස මහතා ඇප අයැදුමක් ඉදිරිපත් කළා.

“ස්වාමිනි මෙම තැනැත්තා කිසිදු ආගමක්, ශාස්තෘවරයෙක් විවේචනය කරලා නැහැ. අනික ස්වාමීනි මොහු දැනට පහළවෙලා ඉන්න බුදුන් වහන්සේට නිගරු කරලා නැහැනේ. මොහු කියන්නේ බුදුවෙන්න ඉන්න බෝධිසත්වයෙක් ගැන. පහළවෙන්න ඉන්න බුදුවරු ගැන අපිට කියන්න බැහැනේ ස්වාමිනි. මෙතුමා බුදුවෙයිද, මම බුදුවෙයිද කියන්න බැහැ. හෙට උදේ නැගිටිද්දී මට වුනත් බුදුවීම ගැන සිතුවිල්ලක් එන්න පුළුවන්. මොකද දුටුගැමුණු යළි ඉපදුනා කියපු රටක්නේ මේක. මම ඉල්ලා සිටින්නේ මේ තැනැත්තාගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් වරදක් සිදුව නැති නිසා ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයාට ඇප දෙන්න කියලා.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරු ඇපමත මුදාහැරීම ප්‍රතික්ෂේප කළා.

නීති කෘත්‍යය සලකා බැලූ සම්පූර්ණ කාලය පුරාවටම විත්තිකූඩුවේ සිටිමින් විටින් විට සිනාසුනු සැකකාර ‘අවලෝකිතේෂ්වර’ නාමයෙන් පෙනී සිටින්නාගේ හැසිරීම සම්බන්ධයෙන්ද මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝගයක් නිකුත් කළා.

“නීතිඥ මහත්වරුන්ගේ කරුණු දැක්වීම අතරතුර විත්තිකූඩුවේ සිටි විත්තිකරු දැක්වු ප්‍රතිචාර සහ ඔහුගේ අංගතුලාව අධිකරණයේ විශේෂ අවධානයට යොමුවුණා. මෙම සැකකරු මානසික ව්‍යාකූලතාවයකින් සිටිනවා කියලා අධිකරණය නිරීක්ෂණය කරනවා. ඒ අනුව මෙම සැකකරු අංගොඩ ජාතික මානසික වෛද්‍ය රෝහලට යොමුකර මානසික වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝග කරනවා.”

සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාව ඉදිරි නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරු ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළේය.

+


සරසවි සිසුවිය ඩෙංගු රෝගයෙන් මරුට

(16.01.2024 – 19:56 +0530 – sinhala.adaderana.lk)

ඩෙංගු රෝගී තත්ත්වයෙන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් අද (16) මියගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂක, විශේෂඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය.

මෙසේ මරණයට පත්වී ඇත්තේ පෝරුවදණ්ඩ, මාපුටුගල මානෙල් උයන පදිංචිව සිටි කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළමුවෙනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ‘හසිනි භාග්‍යා’ නමැති තරුණියකි.

ඉකුත් 05 වන දින උණ රෝගය වැළඳීම හේතුවෙන් හොරණ දිස්ත්‍රික් රෝහලට ඇයව ඇතුළත් කර තිබුණි.

ඉන් අනතුරුව ඇයව 11 වනදා දැඩිසත්කාර ඒකකයට යොමුකර තිබූ අතර ඇයට ඒ වනවිට සිහිය නොමැතිවී ඇති බව දෙමාපියන් පැවසීය.

එහිදී තරුණියව විවිධ පරීක්ෂණවලට යොමුකර තිබූ වෛද්‍යවරු, ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සනාථ කරගෙන තිබුණි.

එලෙස දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය අද (16) අලුයම මිය ගොස් ඇත.

තරුණියගේ මරණය ඩෙංගු රෝගය හේතුවෙන් රුධිර වාහනයවීම සමඟම ඇතිවූ සංකූලතා මත සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීරණය කර ඇත ෴


දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ බැලූ සහ හැදූ 98,000 ක් ගැන පැමිණිලි

(16.01.2024 – gossiplankanews.com)

මෙරට පුද්ගලයන් විසින් අන්තර්ජාලය ඔස්සේ දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප, වීඩියෝ නැරඹීම, දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සකස් කිරීම, වීඩියෝ පට නිර්මාණය, ඒවා බෙදා හැරීම ආදිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර දත්ත පද්ධතියකින් ඉකුත් වසරේදී (2023) පැමිණිලි 98,000 ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර පැවසුවාය.

කිසියම් පුද්ගලයෙකු ලෝකයේ කුමන ස්ථානයක සිටිමින් හෝ අන්තර්ජාලය හරහා දරුවෙකුගේ අසභ්‍ය ඡායාරූපයක්, වීඩියෝ පටයක් නිර්මාණය කිරීම (වෙනත් පුද්ගලයෙකු විසින් දරුවෙක් අපයෝජනය කරන අයුරු පටිගත කිරීම), දැනටත් අන්තර්ජාලයේ තිබෙන දරුවන් යොදාගෙන කරන ලද ඡායාරූප, වීඩියෝ පට නරඹන්නේ නම්, එය තවත් කෙනෙකුට බෙදාහරින්නේ නම් වරදක් බවද , ඊට දඬුවමක්ද තිබෙන බවද ඇය පැවසුවාය.

දරුවන් සම්බන්ධ මෙවැනි කටයුතු ලෝකයේ අනෙකුත් රටවල් විසින් නිරීක්ෂණය කරන බවත්, අනතුරුව එක්තරා දත්ත පද්ධතියකට එම දත්ත ගොනු කිරීම සිදුකරන බවත් ඇය සඳහන් කළාය.

උදාහරණයක් ලෙස ගූගල් ආයතනයට සම්බන්ධ වී සිටින යම් සේවාලාභියෙකු දරුවන් සම්බන්ධයෙන් මෙවැනි වැරදි කටයුත්තක් සිදු කරන්නේ නම්, අදාළ පුද්ගලයාගේ සියලු තොරතුරු ගූගල් ආයතනය විසින් එම දත්ත පද්ධතියට ලබාදෙන බවද ඇය පැවසුවාය.

එම ජාත්‍යන්තර දත්ත පද්ධතිය මගින් මෙම සියලු තොරතුරු එම පුද්ගලයන්ට අදාළ රටවල්වලට සපයන බවත්, වින්දිතයා බේරා ගැනීම සඳහා අදාළ සිද්ධීන් ඔවුන් ප්‍රමුඛතා ගතකර මෙලෙස රටවල්වලට නිකුත් කරන බවත් ඇය කියා සිටියාය. මෙම පහසුකම මෙරට ලැබී ඇත්තේ ළමා හා කාන්තා කාර්යාංශයට බවද ඇය පැවසුවාය.

මෙහිදී ලංකාවට අදාළව පැමිණිලි 98,000 ක් ලැබුණද, ඇතැම් පුද්ගලයන් සිද්ධීන් ගණනාවකට සම්බන්ධ බවද ඇය සඳහන් කළාය ෴


කඩුවෙල, ශාන්ත අන්තෝනි මාවතේ, කැලණි ගං තොටුපොළේදී අවුරුදු 11 ක දරුවෙක්ව කිඹුලෙක් ඩැහැගනී

(17.01.2024 – 07:35 +0530 – sinhala.adaderana.lk)

දියනෑමට ගිය දරුවෙක්ව කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදන්ව ඇතැයි කඩුවෙල පොලීසියට තොරතුරක් ලැබී තිබේ.

ඊයේ (16) සවස කඩුවෙල පොලිස් වසමේ ශාන්ත අන්තෝනි මාවතේ, කැලණි ගං තොටුපොළේ දියනෑමට ගිය දරුවෙක් මෙලෙස අතුරුදන්ව තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ, අවුරුදු 11 ක වැලිවිට, කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය, ප්‍රදේශවාසීන් සහ නාවික කොට්ඨාස කිමිදුම් නිලධාරීන් එක්ව අතුරුදන් වූ දරුවා සෙවීමේ නිරතව සිටී ෴


ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ ඉහළ යාමක්

(17.01.2024 – 06:49 +0530 – hirunews.lk/sinhala)

යාපනය, මන්නාරම, කොළඹ හා ගාල්ල ප්‍රදේශ වල වායූ ගුණාත්මකභාවය තවදුරටත් පහළ වැටි ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවට උපදෙස් ලබා දෙන්නේ විමසිලිමත්ව සිටින ලෙසයි.

ඉන්දයාවේ සිට හමාගෙන එන සුළංවල බලපෑම මත ඊයේ (16 වැනිදා) දිනයේදී මෙරට දිස්ත්‍රික්ක රැසක වාතයේ ගුණාත්මක තත්ත්වය ඉතා පහළ අගයක් වාර්තා කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දත්තවලට අනුව ඊයේ (16) පෙරවරු 08:30 ට කුරුණෑගල නගරයේ වායු තත්ත්ව දර්ශයේ දත්ත අනුව දූවිලි අංශු ප්‍රමාණය (Pm 2.5) 275 ක් වැනි ඉතා වැඩි අගයක් පෙන්නුම් කර තිබුණා.

මෙම තත්ත්වය සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බැවින් විමසිලිමත්ව සිටින ලෙසයි මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවට උපදෙස් ලබා දෙන්නේ ෴


‘යුක්තිය’ට සැකකරුවන් 1,000 කට අධික පිරිසක් කොටුවෙති

(17.01.2024 – 08:48 +0530 – sinhala.adaderana.lk)

රට පුරා ක්‍රියාත්මක ‘යුක්තිය’ පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (16) සිට අද (17) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,024 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් සැකකරුවන් 13 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.

එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 8 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්ය බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 45 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම, අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 325 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් අතර, විෂ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 92 දෙනෙකුද, විෂ මත්ද්‍රව්‍ය නොවන වෙනත් වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත්ව තිබු සැකකරුවන් 211 දෙනෙකු ද, ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 11 දෙනෙකු සහ බාල අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 11 දෙනෙකු අපරාධ අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විශේෂ මෙහෙයුමේදී පහත දැක්වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත :

හෙරොයින් 227 g , අයිස් 168 g , ගංජා 8 kg 40 g , ගංජා පැල 13,892 ක් , මාවා 227 g , මදන මෝදක 24 g , මත්පෙති 647 ක් ෴


අන්තර්ජාලයෙන් මුදල් වංචා කළ පුද්ගලයෙක් CCDයට මාට්ටු

(17.01.2024 – 08:27 +0530 – sinhala.adaderana.lk)

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වංචනික ලෙස අන්තර්ජාලයේ මුදල් ආයෝජනය කරවන බවට දැනුම්දී මුදල් තැන්පත් කරවීමට පොළඹවා එම මුදල් පුද්ගලික බැංකු ගිණුමකට තැන්පත් කරවා ගෙන රුපියල් 1,680,000 ක මුදලක් වංචනිකව ලබාගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

අදාළ සැකකරු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඊයේ (16) සවස් කාලයේ දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි සිරිමල්ගොඩ, බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි ෴


රාත්‍රී කාලයේ ගෙවල්වලට පැන්න හොරා අත්අඩංගුවට

(17.01.2024 – 08:04 +0530 – sinhala.adaderana.lk)

රාත්‍රී කාලයේ නිවෙස් බිඳ දේපොළ සොරාගැනීමේ අපරාධ සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාස නිලධාරීන් සමත්ව තිබේ.

ඊයේ (16) දින උදෑසන සීදුව පොලිස් වසමේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාස නිලධාරීන් විසින් 34 හැවිරිදි නව නගරය, ඇඹිලිපිටිය යන ලිපිනයේ පදිංචිකරුවෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ගල්කිස්ස පොලිස් වසමේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 20 ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීම, දෙහිවල පොලිස් වසමේ අල්විස් පෙදෙස හා ඉන්වැන්ඩර්ඩ් ප්‍රදේශවල පිහිටි නිවාස 2 ක් බිඳ මුදල් රුපියල් 12,000 ක් හා පවුම් 6 හමාරක් බර රන් භාණ්ඩ සොරකම් කිරීම, බම්බලපිටිය ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ තිබූ රුපියල් 4,000 ක් හා එහි තිබූ ATM කාඩ් දෙකක් (2) රැගෙන ගොස් මුදල් රු. 646,000 ක් සොරා ගැනීම යන අපරාධ සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.

එමෙන්ම මෙම සැකකරුට එරෙහිව කොල්ලුපිටිය පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පවරා ඇති නඩුවලට අදාළව වරෙන්තු 5 ක් නිකුත් කර ඇති බව ද අනාවරණය වී ඇත.

සැකකරුගේ ප්‍රකාශ මත උණු කරන ලද ග්‍රෑම් 65 යි මිලිග්‍රෑම් 418 ක් බර රන් කැබලි කිහිපයක්, පවුම් 8 යි මිලිග්‍රෑම් 440 ක් බර රන් මුදු 2 ක්, මැණික් ගලක්, දියමන්ති 24 ක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ ෴


කොළඔ නගරයේ සුළු‍ වැසි තත්ත්වයකදී ජලයෙන් යටවන ස්ථාන 22 ක්

(17.01.2024 – 09:45 +0530 – hirunews.lk/sinhala)

කොළඔ නගරයේ සුළු‍ වැසි තත්ත්වයකදී පවා ජලයෙන් යටවන ස්ථාන 22 ක් පවතින බව කොළඔ මහ නගර සභාව පවසනවා. එහි සහකාර නාගරික කොමසාරිස් නදීකා දමයන්ති සඳහන් කළේ කොළඔ නගරයේ ඇළ මාර්ග අවහිර කරමින් ඉදිකර ඇති ගොඩනැගිලි මෙයට ප්‍රධාන හේතුව බවයි.

එම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට මහ නගර සභා ආඥා පනතට අනුව එම ඉදිකිරීම් සිදුකළ පුද්ගලයින්ට දැනුම් දී ඇති අතර එසේ නොකරන්නට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඇය කියා සිටියා.

එමෙන්ම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් පසු ඔවුන්ගේ අවශ්‍යතා හදුනාගෙන සහන සැලසීමට කටයුතු කර බවද සහකාර නාගරික කොමසාරිස්වරිය තවදුරටත් සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *