රුපියල් 35,000 ඉල්ලා සෞඛ්‍ය සමිති 72 ක් අද (16) වර්ජනයේ

රුපියල් 35,000 ඉල්ලා සෞඛ්‍ය සමිති 72 ක් අද (16) වර්ජනයේ


රුපියල් 35,000 ඉල්ලා සෞඛ්‍ය සමිති 72 ක් අද (16) වර්ජනයේ

(16.01.2024 – 06:37 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරුන්ට වැඩිකළ රුපියල් තිස් පන්දහසක (35,000) දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඇතුලු වෘත්තිය සමිති 72 ක නියෝජිතයන් අද (16) එක්දින වැඩවර්ජනය නිරත වෙනවා.

වෛද්‍යවරුන්ට රුපියල් 35,000 ක්ව පැවති රාජකාරි හා ප්‍රවාහන දීමනා රුපියල් 70,000 දක්වා රුපියල් 35,000 කින් ඉහළ දැමීමට පසුගියදා රජය පියවර ගත් අතර, ඊට විරෝධය පළ කරමින් පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් පසුගිය 09 වැනිදා ද පැය 48 ක සංකේත වැඩවර්ජනයක නිරතවුණා.

කෙසේ වෙතත්, ඊට රජයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අද (16) උදෑසන 06:30 සිට යළි පැය 24 ක වැඩවර්ජනයක් ආරම්භ කිරීමටයි ඔවුන් තීරණය කළේ.

මේ අතර ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය අදාළ වර්ජනයට සහය පළ කිරීම ප්‍රශ්න සහගත බවට ඇතැම් වෘත්තිය සමිති චෝදනා කරනවා.

සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත කියා සිටියේ එය යම් දේශපාලන කුමන්ත්‍රණයක්දැයි සැක මතුවන බවයි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද මෙම වැඩවර්ජනය පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා අද (16) පෙරවරුවේ තම වෘත්තිය සමිති නියෝජිතයන් කැඳවා සාකච්ඡා කරන බව ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියා.

කෙසේ වෙතත් පසුගිය සතියේ වැඩවර්ජනය ක්‍රියාත්මක වූ අවස්ථාවේ යුද හමුදාව සේවයට යොදවා රෝහල් කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය ඊයේ (15) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා.

ඊට ප්‍රතිචාර දැක්වූ එම සංගමයේ සභාපති රවී කුමුදේෂ් කියා සිටියේ රජයේ එම ක්‍රියාමාර්ග පාර්ශ්වයන් අතර ගැටුමකට මුලපිරීමක් වනු ඇති බවයි.

කෙසේ වෙතත් වෘත්තීය ක්‍රියාමාර්ගයට විසඳුම් ලබාදීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් අද (16) උදෑසන 11 ට කැඳවා ඇතැයි සෞඛ්‍ය ලේකම්වරයා විසින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

+


Hiru TV Salakuna Live | Wimal Weerawansa | Episode 416 | 2024-01-15

+


BMICH රථ අලෙවිහලේ ජාවාරමා : බොරැල්ල පොලිසියේ කූඩුවේ කම්බි කපා විදුලිය විසන්ධි කර පැන්න අයෙක්

(16.01.2024 – dinamina.lk)

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති කාර්යාල කාමර දෙකක් (2) කුලියට ගෙන වාහන වෙළෙඳ ආයතනයක කාර්යාලයක් පවත්වාගෙන යමින් වාහන දෙකක් (2) මිල දී ගැනීමට පැමිණි ගැනුම්කරුවන් දෙදෙනකුගේ (2) රුපියල් හාරකෝටි පනස්පන් ලක්ෂයක (4,55,00,000) මුදලක් රැගෙන පලා ගිය… පුද්ගලයා, වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් වාහන පැහැර ගැනීමක් සම්බන්ධයෙන් 2009 වසරේදී බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී පොලිස් ස්ථානයේ විදුලිය විසන්ධි කරවා පලා ගිය අයකු බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම පුද්ගලයා බොරැල්ල පොලිස් සිර මැදිරියේ රඳවා ගැනීමේ නියෝගයකින් රඳවා සිටියදී විදුලිය විසන්ධි කර පලා යන්නේ පොලිස් ස්ථානයේ සුළු සේවකයකුගේ සහාය ඇතිව පොලිසියේ උපසේවා අංශයේ විදුලි වයර් දෙකක් එකට ගෑවීමට සලස්වා ට්‍රිප් ස්විචය ක්‍රියාත්මක කරවාය.

එම සේවකයාගේ සහාය ඇතිව මෙම පුද්ගලයා කියත් පටියක් සිරමැදිරය තුළට ගෙන්වාගෙන සිර මැදිරියේ කම්බි කූරු කපා ඇති බවත් විදුලිය විසන්ධි කළ දිනයේ එම කම්බි කූරු ඈත් කර ඔහු අඳුරේම පලා ගොස් ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. මෙම පුද්ගලයා සංවිධානාත්මකව වංචාවල නිරතව සිටින්නකු බවත් යතුරු කැපීමේ සහ අගුල් විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂඥයකු බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. බොරැල්ල පොලිසියෙන් පලා ගිය සැකකරුව පසු කාලයක අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. වැඩි කලක් ඔහු බන්ධනාගාරගතව සිට නැති අතර, බන්ධනාගාරයෙන් ද පලා ගොස් තිබේ. ඊට ද බන්ධනාගාර නිලධාරියකුගේ සහාය ඔහුට ලැබී තිබුණු බව විමර්ශනවලින් අනාවරණය වී තිබිණි.

එසේ බන්ධනාගාරයෙන් පලා ගිය මෙම පුද්ගලයා නැවත මතුවන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිදුවූ රුපියල් හාරකෝටි පනස්පන් ලක්ෂයක මුදල් වංචාවත් සමඟිනි. එම වංචාව සිදු වන්නේ පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනිදාය.

ස්ථීර පදිංචි ස්ථානයක් මෙම පුද්ගලයාට නැත. ‘රෆීක් මොහොමඩ් ෂරීෆ්’ නමැති ඔහු ‘මයිකල්’, ‘රිවස්’, වැනි නම්වලින් හඳුන්වන බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා විට නවාතැන් ගෙන සිට ඇත්තේ ජාඇළ පිහිටි නිවෙසකය. වැල්ලම්පිටියේ ද ඔහු කාලයක් නවාතැන් ගෙන සිට ඇත.

සිංහල, දෙමළ හා ඉංශ්‍රීසි භාෂා ඔහුට චතුර ලෙස හැසිරවීමට හැකි බවත් පරිහරණය කරනු ලබන්නේ සුඛෝපභෝගී ජීප් රථ බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. එකල ඔහු තමන් ගමන් කරන වාහනයේ ඉදිරිපස වීදුරුවේ ආරක්ෂක අමාත්‍යාංශය ලෙස පුවරුවක් සවි කර ගමන් කර ඇති බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය. පොලිස් නිලධාරීන් ඔහු ගමන් ගන්නා වාහන නවතා පරීක්ෂා කිරීමේදී ඉංශ්‍රීසි භාෂාවෙන් ඔහු තමන් ආරක්ෂක අමාත්‍යාංශයේ බව සඳහන් කරමින් එක දිගට කතා කරන බවත් එහිදී පොලිස් නිලධාරීන් ද කලබල වී පරීක්ෂා කිරීමකින් තොරව ඔහුට යන්නට ඉඩ දෙන බවත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් එකල බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශය මඟින් කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මුස්ලිම් ජාතිකයකු වන මෙම පුද්ගලයා බොහෝ තැන්වල පෙනී සිට ඇත්තේ සිංහල ජාතිකයකු ලෙසිනි. බදුල්ලේ ලිපිනයකින් සිංහල ජාතිකයකු ලෙස සකස් කළ ව්‍යාජ ජාතික හැඳුනුම්පතකින් ඔහු බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ කාර්යාල දෙකක් (2) කුලියට ගෙන ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මෙම පුද්ගලයාව බොරැල්ල පොලිසිය මඟින් එකල අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘රිජ්වේ ආර්යා ළමා රෝහලේ’ සේවය කරන වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් මෝටර් රථයක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

එකල මෙම පුද්ගලයා පෙනී සිට ඇත්තේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවයේ නිරත ශල්‍ය වෛද්‍යවරයකුගේ නමින් සකස් කළ ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් ද අතැතිවය.

පුවත්පත්වල වාහන විකිණීම් සම්බන්ධයෙන් පළ කර ඇති දැන්වීම්වල සඳහන් මිල අධික වාහන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන මෙම පුද්ගලයා වෛද්‍ය වෙසින් එම වාහන පරීක්ෂා කිරීමට ගොස් වාහන පණ ගන්වන යතුර සබන් කැටයක සටහන් කර ගන්නා බව ඒ සම්බන්ධයෙන් එකල විමර්ශන පැවැත්වූ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. අනතුරුව ඔහු සටහන් කරගත් යතුරු අනුරුවට අනුව ව්‍යාජ යතුරක් සකස් කර ගන්නා බව එම නිලධාරියා පැවසීය.

ව්‍යාජ යතුර සකස් කර ගැනීමෙන් අනතුරුව වාහනයේ හිමිකරුට දුරකතන ඇමතුමක් දෙන මෙම පුද්ගලයා සියලු ලියකියවිලි සමඟ වාහනය රිජ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන එන ලෙස දැනුම් දෙන බව ද එම නිලධාරියා කීය. රථය රිජ්වේ රෝහලේ රථ ගාලේ තමාගේ නම පවසා නතර කරන ලෙස දැනුම් දෙන ඔහු තමාව හමුවීමට ශල්‍යාගාරයට පැමිණෙන ලෙස පවසන බවත් එම නිලධාරියා පැවසීය.

එම දුරකතන ඇමතුමට අනුව වාහනය රැගෙන ගොස් රථ ගාලේ නතර කර ශල්‍යාගාරයට යන අතරතුර මෙම සැකකරු ව්‍යාජ යතුරෙන් වාහනයේ දොරගුළු විවෘත කර වාහනය පණ ගන්වා රැගෙන යන බව එම නිලධාරියා කීය.

මේ ආකාරයට මෙම පුද්ගලයා විසින් කොළඹ හා ඒ අවට රෝහල් ආශ්‍රිතව වාහන පැහැර ගැනීම් රැසක් සිදු කර ඇති බවට තොරතුරු ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය. බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශය තුළ මෙන්ම අපරාධ හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය තුළ පවා මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ගොනුවක් ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම පුද්ගලයා එක් වෛද්‍යවරයකුගේ නමින් පමණක් නොව, වෛද්‍යවරු කිහිප දෙනකුගේ නම්වලින් පෙනී සිටිමින් වාහන පැහැර ගැනීම් කර ඇති බව පොලිස් තොරතුරුවල සඳහන්ය.

වෛද්‍යවරයකු ලෙස මෙම පුද්ගලයා වැඩි වශයෙන් පෙනී සිටියත් ඉංජිනේරුවකු, ගුරුවරයකු, ව්‍යාපාරිකයකු වැනි විවිධ වෙස් ගෙන වංචා කිරීම්වල නිරතව සිට ඇති බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට සාර්ථක තොරතුරක් අපරාධ හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ලබා දෙන්නන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදල් තෑග්ගක් පවා ලබා දෙන බව 2021 වසරේ අප්‍රේල් මාසයේදී පොලිස් මූලස්ථානය මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කර තිබිණි. එහෙත් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි සාර්ථක තොරතුරක් මහජනතාවගෙන් ලැබී තිබුණේ නැත.

ගයාන් කුමාර වීරසිංහ


උසස් පෙළ කෘෂිකර්ම ප්‍රශ්න පත්‍රය පිට කළ මොරටු ‘පියන්’ කොටුවෙයි – මිටිය කඩා ෆොටෝ ගසා වටේ යවලා

(16.01.2024 – dinamina.lk)

  • පළමු ප්‍රශ්න පත්‍රයත් සිසුවකුට වට්ස්ඇප් කරලා
  • මුදල් ගනුදෙනුවක්ද හිතවත් කමක්දැයි පරීක්ෂණ

මේ දිනවල පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවැනි (2) ප්‍රශ්න පත්‍රයේ සඳහන් ප්‍රශ්න පසුගිය 10 වැනිදා එම විෂයට අදාළ විභාගය පැවැත්වීමට පෙර පිට කර ඇත්තේ මොරටුව මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයාගේ සහායකයා වන කාර්යාල කාර්ය සහායකයකු විසින් බව හෙළිකරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම කාර්යාල සහායකයා ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබිණ.

විභාග මධ්‍යස්ථානයට කල්වේලා ඇතිව ප්‍රශ්න පත්‍ර ලැබෙන බැවින් කාර්යාල සහායකයා එම ප්‍රශ්න පත්‍ර බණ්ඩලයේ මුද්‍රා කඩා එක් ප්‍රශ්න පත්‍රයක් පිටතට ගෙන සිය ජංගම දුරකතනයෙන් එහි ඡායාරූපයක් ගෙන එම ඡායාරූපය වට්ස්ඇප් මඟින් සිසුවකුට යොමුකර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. එම සිසුවා තවත් සිසුන් ඇතුළු කිහිපදෙනකු වෙත වට්ස්ඇප් ඔස්සේ එම ප්‍රශ්න පත්‍රය යොමු කර ඇති බවත් එය විශාල පිරිසක් අතට ගොස් තිබෙන බවත් විමර්ශනයේදී හෙළිවී ඇත. මෙම පුද්ගලයා මේ ආකාරයටම 08 වැනිදා පැවැත්වූ එම විෂයට අදාළ පළමු (1) ප්‍රශ්න පත්‍රය ද ඡායාරූපයක් ගෙන වට්ස්ඇප් මඟින් සිසුවකුට යොමුකර ඇති අතර එම ප්‍රශ්න පත්‍රය විභාගයට මුහුණදෙන සිසුන් අතර හුවමාරු වී ඇති බව පෙනී යන්නේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. එහෙත් එම ප්‍රශ්න පත්‍රය දෙවැනි (2) ප්‍රශ්න පත්‍රය මෙන් විශාල සිසුන් පිරිසක් අතරට ගොස් ඇති බවක් පෙනී නොයන බව ද නිහාල් තල්දූව මහතා කීය.

සිසුන් අතර වට්ස්ඇප් ඔස්සේ හුවමාරු වූ එම ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දුරකතන ජාල විමර්ශනයක් කර ප්‍රශ්න පත්‍රය මුලින්ම පිට කළ පුද්ගලයා හඳුනාගෙන තිබේ. මොරටුවේ පාසලක කාර්යාල සහායකයකු ලෙස කටයුතු කරන සැකකරු මොරටුවේ පදිංචි අවුරුදු 38 ක් වයසැති පුද්ගලයෙකි. මෙම පුද්ගලයා විසින් මෙසේ ප්‍රශ්න පත්‍රය ඡායාරූපයක් ගෙන වට්ස්ඇප් ඔස්සේ යොමු කරනු ලබන්නේ මුදල් ගනුදෙනුවක් මත ද එසේත් නැති නම් හිතවත්කමක් මතදැයි විමර්ශනයේ පවතින බව නිහාල් තල්දූව මහතා කීය. මෙය බොහෝ විට මුදලට සිදු වූවක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සැක කරන බැවින් ඒ සම්බන්ධව විමර්ශන සිදු කරන බව ද තල්දූව මහතා කීවේය.

මෙම ප්‍රශ්න පත්‍රය ඔහු විසින් වට්ස්ඇප් කළ දුරකතන අංකය මෙන්ම එම දුරකතනය අත දරන අයවද හඳුනාගෙන ඇති බව නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. මෙම ප්‍රශ්න පත්‍රය හුවමාරු වී ඇත්තේ සිසුන් අතර බැවින් එම සිසුන් විභාගයට මේ වන විට මුහුණදෙමින් සිටින බැවින් ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන විභාගය අවසන් වීමෙන් අනතුරුව පැවැත්වීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

වට්ස්ඇප් ඔස්සේ හුවමාරු වූ දෙවැනි (2) ප්‍රශ්න පත්‍රය අම්පාර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සේවය කරන උපකාරක පන්ති පවත්වන ගුරුවරයා අතට පත්වීමෙන් අනතුරුව එම ගුරුවරයා විසින් එම ප්‍රශ්න පත්‍රය කඩදාසියක අතින් සටහන් කර එම සටහන් කළ කඩදාසිය සමාජ මාධ්‍ය වෙත යොමු කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අනාවරණය කරගෙන තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ එම ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් අවධානය යොමු කළ විභාග කොමසාරිස්වරයා, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය 12 වැනිදා කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කරමින් 13 වැනිදා අම්පාරේ ගුරුවරයාව අත්අඩංගුවට ගෙන තිබිණි. එසේ අත්අඩංගුවට ගත් ගුරුවරුයා අවුරුදු 52 ක් වයසැති අයෙකි. අම්පාර විජිතපුර පදිංචිකරුවකු වන ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළි වූ තොරතුරු මත ඔහු පදිංචි නිවෙස පරීක්ෂා කර සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු ප්‍රසිද්ධ කළ අතින් ලියූ ප්‍රශ්න පත්‍රය ද සොයාගෙන තිබේ.

එම සැකකාර ගුරුවරයා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. ප්‍රශ්න පත්‍රය පිට කිරීම සම්බන්ධයෙන් ඊයේ (15) අත්අඩංගුවට ගත් කාර්යාල කාර්ය සහායකයා මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව නිහාල් තල්දූව මහතා පැවසුවේය.

ගයාන් කුමාර වීරසිංහ


‘යුක්තිය’ මෙහෙයුමෙන් අපරාධ ලැයිස්තුවේ සිටි 42,248 න් පැය 24 කදී 1,468 ක් අත්අඩංගුවට

(16.01.2024 – dinamina.lk)

පොලිස් දෙපාර්තමේන්තුව මඟින් රට පුරා අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් වෙත යොමු කළ මෙතෙක් අත්අඩංගුවට නොගෙන සිටි සැකකරුවන් 42,248 දෙනාගේ ලයිස්තුව ලබා දී පැය 24 ක කාලයක් ගතවීමටත් පෙර ඉන් සැකකරුවන් 1,468 දෙනකු යුක්තිය මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 4,088 දෙනා අතුරින් සැකකරුවන් 254 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. විෂ මත්ද්‍රව්‍ය නොවන වෙනත් වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවන් 31,417 දෙනා අතුරින් සැකකරුවන් 942 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතිව සිටි සැකකරුවන් 4,258 අතුරින් සැකකරුවන් 123 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. වසර 2022 සහ 2023 වර්ෂවලට අදාළව බරපතළ අපරාධ සම්බන්ධයෙන් හඳුනාගෙන මෙතෙක් අත්අඩංගුවට නොගත් සැකකරුවන් 2,485 දෙනකු අතුරින් සැකකරුවන් 149 දෙනකු අපරාධ අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි ෴


පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටි පිරිසක් ගසාගෙන යයි

(16.01.2024 – 07:27 +0530 – sinhala.adaderana.lk)

පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණ පිරිසක් දිය වැලකට හසුව දියේ ගසාගෙන යමින් සිටියදී පාදුනර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බේරාගෙන තිබේ.

එසේ බේරාගෙන ඇත්තේ, තරුණයින් දෙදෙනකු (2) හා තරුණියන් දෙදෙනකු (2) ය.

දිවි බේරාගත් තරුණියන් දෙදෙනා අවුරුදු 25 හා 19 වයස්වල පසුවන අතර තරුණයන් දෙදෙනා අවුරුදු 17 හා 23 වයස්වල පසුවන ගොනපල හා කලවාන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මෙම පිරිස බේරාගෙන ඇත්තේ, පානදුර වෙළර තීරයේ රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරික්ෂ නිමල්සිරි, පොලිස් කොස්තාපල් පුෂපකුමාර සහ පොලිස් කොස්තාපල් දේශාන් යන නිලධාරීන් විසින්ය.

බේරාගත් සිව්දෙනාගේ (4) තත්ත්වය බරපතළ නොවන බැවින් ඥාතීන් වෙත භාර දී ඇත ෴


රත්නප්‍රියයි, කොළඹ කුලපතියි හාන්සියි.. – රවී කුමුදේශ්

(16.01.2024 – 09:20 +0530 – lankacnews.com)

සෞඛ්‍ය කාර්ය මණ්ඩල මුහුණ දෙන ගැටළු හමුවේ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හාන්සි වූ ආකාරයකින් සිටින බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බරපතල ගැටළු රැසක් නිර්මාණය වී ඇති බවය.

සැබෑ ගැටළු අමතක කරවීමට වෘත්තිකයින් අතර ගැටුමක් නිර්මාණය කිරීමට පාලකයින් කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා හමුදාව ද යොදා ගනිමින් සෞඛ්‍ය කාර්යමණ්ඩල බිය වැද්දවීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වී සිටින බවද කුමුදේශ් මහතා මෙහිදී සඳහන් කර ඇත.

කැබිනට් මණ්ඩලය විසින් වෛද්‍යවරුන්ට DAT දීමනාව ගෙවීමට ගත් තීරණය හේතුවෙන් සෙසු සෞඛ්‍ය වෘත්තිකයින් අසාධාරණයට ලක්ව ඇති බවත් ඔවුන් සඳහා පිළිගත හැකි විසදුමක් ලබා නොදෙන්නේ නම් ලබන අඟහරුවාදා සිට සියලුම සෞඛ්‍ය සේවකයින් දීප ව්‍යාප්ත මට්ටමින් වැඩවර්ජනයකට අවතීරණය වන බවත් රවී කුමුදේශ් මහතා කියා සිටී.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ආණ්ඩුවේ කසකරුවෙකු ලෙසහැසිරෙමින් ක‍්‍රියාකිරීම සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ දෝෂදර්ශනයට ලක්ව ඇති බවද කුමුදේශ් මහතා මෙම සාකච්ඡාවේදී සඳහන් කරයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *