වෛද්‍යවරුන්ට අනුමත කළ රුපියල් 35,000 ඉල්ලා වෘත්තිය සමිති රැසක් හෙට (16) වර්ජනයේ

වෛද්‍යවරුන්ට අනුමත කළ රුපියල් 35,000 ඉල්ලා වෘත්තිය සමිති රැසක් හෙට (16) වර්ජනයේ


වෛද්‍යවරුන්ට අනුමත කළ රුපියල් 35,000 ඉල්ලා වෘත්තිය සමිති රැසක් හෙට (16) වර්ජනයේ

(15.01.2024 – 13:42 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරුන්ට වැඩිකළ රුපියල් තිස් පන්දහසක (35,000) දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඇතුලු වෘත්තිය සමිති 72 ක නියෝජිතයන් හෙට (16) පැවැත්වීමට තීරණය කළ එක්දින (1) වර්ජනය කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක කරන බව එම වෘත්තිය සමිති පවසනවා.

කෙසේ වෙතත් මහරගම අපේක්ෂා රෝහල, වකුගඩු, මාතෘ සහ ළමා රෝහල් ඇතුලු අත්‍යවශ්‍ය රෝගී සත්කාරක සේවා සඳහා වර්ජනයෙන් බලපෑමක් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වෛද්‍යවරුන්ට රුපියල් 35,000 ක්ව පැවති රාජකාරි හා ප්‍රවාහන දීමනා රුපියල් 70,000 දක්වා රුපියල් 35,000 කින් ඉහළ දැමීමට පසුගියදා රජය පියවර ගත් අතර, ඊට විරෝධය පළ කරමින් පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් පසුගිය 09 වනදා ද පැය 48 ක සංකේත වැඩවර්ජනයක නිරතවුණා.

කෙසේ වෙතත් ඊට රජයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් හෙට (16) උදෑසන 06:30 සිට යළි පැය 24 ක වැඩවර්ජනයක් ආරම්භ කිරීමටයි ඔවුන් තීරණය කළේ.

දඹුල්ලේ අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ලේකම් අජිත් රත්නායක කියා සිටියේ සිය සංගමය ද මෙම වැඩවර්ජනයට සහය පළ කරන බවයි.

මේ අතර ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය අදාළ වර්ජනයට සහය පළ කිරීම ප්‍රශ්න සහගත බවට ඇතැම් වෘත්තිය සමිති චෝදනා කරනවා.

සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත කියා සිටියේ එය යම් දේශපාලන කුමන්ත්‍රණයක්දැයි සැක මතුවන බවයි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ද මෙම වැඩවර්ජනය පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා හෙට (16) තම වෘත්තිය සමිති නියෝජිතයන් කැඳවා සාකච්ඡා කරන බව අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියා.

කෙසේ වෙතත් පසුගිය සතියේ වැඩවර්ජනය ක්‍රියාත්මක වූ අවස්ථාවේ යුද හමුදාව සේවයට යොදවා රෝහල් කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය අද (15) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා.

ඊට ප්‍රතිචාර දැක්වූ එම සංගමයේ සභාපති රවී කුමුදේෂ් කියා සිටියේ රජයේ එම ක්‍රියාමාර්ග ගැටුමකට මුලපිරීමක් වනු ඇති බවයි.

කෙසේ වෙතත් නියමිත පරිදි වර්ජනය ක්‍රියාත්මක වුවහොත් රෝහල්වල වෛද්‍ය රසායනාගාර සේවා, ඖෂධ නිකුත් කිරීම, මාතෘ හා ළමා සායනවල එන්නත්කරණ කටයුතු ඇතුලු සේවා රැසකට හෙට (16) දිනයේදී බලපෑම් එල්ලවනු ඇති ෴


කඩදාසි බණ්ඩලයක් අල්ලස් ලෙස ඉල්ලූ කොස්තාපල්වරයෙකුගේ සේවය අත්හිටුවයි

(15.01.2024 – 13:44 +0530 – hirunews.lk/sinhala)

රථවාහන වරදකට හසු වූ පුද්ගලයෙකුගෙන් කඩදාසි බණ්ඩලයක් අල්ලස් ලෙස ඉල්ලූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

කුරුණෑගල කොට්ඨාස 4 භාර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ පොල්ගහවෙල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුගේ බව සඳහන්.

පසුගිය 02 වනදා මෝටර් රථයක අංක තහඩු පහන් නොමැතිව ධාවනය කිරීමේ වරදට අදාළ පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය පොලිස් භාරයට ගෙන තිබූ අතර, ඔහු එය සකස් කර ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව දැනුම්දීමට පොල්ගහවෙල පොලිසියට පැමිණ තිබුණා.

එම අවස්ථාවේදී වැඩ තහනමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා රියදුරු බලපත්‍රය ලබාදීමට නම් කඩදාසි බණ්ඩලයක් රැගෙන එන ලෙස දැනුම්දුන් නමුත් ඒ පිළිබඳ සිදු කළ පැමිණිල්ලට අනුවයි සේවා අත්හිටුවීම සිදුකර ඇත්තේ ෴


‘හිරු FM App’ දුරකථන යෙදවුම Google Play Store හි මුල්තැනට

(15.01.2024 – 11:48 +0530 – hirunews.lk/sinhala)

ඉතාමත් කෙටි කාලයක් තුළ ‘හිරු’ අති නවීන ඩිජිටල් අත්දැකීම වන ‘හිරු FM App’ දුරකථන යෙදවුම Google Play Store හි මුල්තැනට පැමිණ තිබෙනවා.

මෙරට සුවහසක් ප්‍රේක්ෂක හා ශ්‍රාවක ජනතාව වෙත කවදත් නවමු අත්දැකීම් තිළිණ කරන ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කතාවේ ප්‍රමුඛයා වන ‘හිරු’, ලොව ප්‍රථමවරට ක්‍රියාත්මක වන අති නවීන ඩිජිටල් අත්දැකීමක් තිළිණ කළේ මීට දින 3 කට පෙරදියි.

ඒ, Hiru FM App ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දෙමින්.

ඒ අනුව Google Play Store හෝ Apple Store වෙත පිවිස පහසුවෙන් Hiru FM App ජංගම දුරකථන යෙදවුම Download කරගත හැකියාව ලබාදෙනු ලැබුවා.

ඒ තුළින් Hiru TV මෙන්ම Hiru FM, Gold FM, Sooriyan FM යන ගුවන් විදුලි නාලිකාවන්හී සජීවී විකාශයන් සහ වැඩසටහන් නැරඹීමේ හැකියාව සුවහසක් ප්‍රේක්ෂක හා ශ්‍රාවක ජනතාවට හිමිවුණා.

මොහොතින් මොහොත උණුසුම් වන දෙස් විදෙස් නැවුම් තොරතුරු රැගෙන එන මෙරට ප්‍රවෘත්ති කලාවේ ප්‍රමුඛයා වන Hiru News වෙත පිවිසීම ද මෙම ජංගම දුරකථන යෙදවුම හරහා පහසුවෙන් කළ හැකියි.

එමෙන්ම Hiru FM App යෙදවුම හරහා විකාශය වූ වැඩසටහන් නැවත බැලීම හෙවත් Rewind පහසුකම ද ලබා දී තිබෙන්නේ ප්‍රේක්ෂක ඔබගේ රසවින්ඳනයට උපරිම ගෞරවය හා සාධාරණත්වය ඉටු කරමින්.

පහත සැබැදිය ඔස්සේ හිරු FM App එක ඔබට download කර ගැනීමේ හැකියාව පවතිනවා.


රන් මාලය සොරා කෑ පුද්ගලයා පිරිසකගේ පහරදීමෙන් ජිවිතක්ෂයට

(15.01.2024 – 08:04 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවකගේ ගෙලබැදි රන්මාලය කොල්ලකා පලායමින් සිටී පුද්ගලයෙකු පිරිසක් කළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයා කාන්තාවගේ රන් මාලය කොල්ල කා ඇත්තේ පානදුර නගර මධ්‍යයේදීයි.

ඔහු රන්මාලය කොල්ල කා පළා යමින් සිටි අවස්ථාවේදී අවට පිරිස එකතු වී ඔහුට පහර දී තිබෙනවා.

එම පහර දීමත් සමඟ ඔහු පානදුර රෝහලට ඇතුළත්කර ඇති අතර එහිදී මෙලෙස ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වෙන්නේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර පිංවල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙක්.

පානදුර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


රුහුණු කුමාරි දුම්රිය මරදාන සිට මාතර දක්වා පමණි

(15.01.2024 – 20:40 +0530 – hirunews.lk/sinhala)

රුහුණු කුමාරි දුම්රිය බෙලිඅත්ත දක්වා ගමන් කරවීමට ගත් තීරණය වෙනස් කිරීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එම දුම්රිය සාමාන්‍ය පරිදි හෙට (16) සිට ධාවනය කෙරෙන්නේ මාතර සිට මරදාන දක්වා පමණි.

රුහුණු කුමාරි දුම්රිය බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කිරීමට මාතර ජනතාව පසුගිය දිනවල දැඩි ලෙස විරෝධය පළ කරමින් එම දුම්රියේ ගමන් කිරීමද වර්ජනය කළා ෴


බන්ධනාගාරවල තදබදය වැඩිවෙයි

(15.01.2024 – 20:15 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරවල සිරමැදිරිවල වාට්ටුවල ධාරිතාව ඉක්මවා රඳවා සිටින රැඳවියන්ගේ ප්‍රතිශතය 232% ක් දක්වා ඉහළ නැඟ ඇති බව බන්ධනාගාරයන්හි පවත්නා තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ දැක්වෙනවා.

එහිදී රැඳවියන් නඩත්තු කිරීම සඳහා රජයට වාර්ෂිකව රුපියල් කෝටි 800 කට වැඩි මුදලක් වැයවන බවද එම වාර්තාවේ සඳහන්.

එමෙන්ම සමස්ථ රැඳවියන්ගෙන් 53% ක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටින අය බවද එම වාර්තාවේ සඳහන්.

බන්ධනාගාර 27 ක වැසිකිළි 187 ක හිඟයක් පවතින අතර, දැනට ඇති වැසිකිළිවලින් 287 ක් අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පවතින බවත් විගණන වාර්තාවේ දැක්වෙනවා.

බන්ධනාගාර ගත කෙරෙන රැඳවියන් වෙනුවෙන් ඇප නියම කර තිබුණද, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් රැඳවියන් 1795 දෙනෙකු බන්ධනාගාර ගතව සිටින බවයි එහි සඳහන් ෴


14 හැවිරිදි දරුවකුගේ ඇඟිල්ල කඩුවකින් වෙන් කළ අයෙකු රිමාන්ඩ්

(15.01.2024 – 18:47 +0530 – hirunews.lk/sinhala)

බාලවයස්කාර දරුවෙකුගේ ඇඟිල්ලක් වෙන්වන අන්දමට කඩුවෙන් කොටා දින 11 තිස්සේ සැඟවී සිටි රාගම ප්‍රදේශයේ පුද්ගලයකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදානන අද (15) නියම කරනු ලැබුවා.

ඇඟිල්ල වෙන්වන අන්දමට දරුවාට කෙටූ කඩුව සොයා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කරන බව දැනුම් දෙමින් රාගම පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලද්දේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ රාගම, පොඩි වී කුඔුර ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක්.

පසුගිය ජනවාරී මස 04 වැනිදා දෙපාර්ශවය අතර ඇති වු ආරවුලක් හේතූවෙන් සැකකරු ඔහුගේ අසල්වැසි නිවසක පදිංචිව සිටි 14 හැවිරිදි බාලවයස්කාර දරුවෙකුට කඩුවෙන් කොටා ඇති අතර, එහිදී එම දරුවාගේ වම් අතේ ඇඟිල්ලක් සම්පුර්ණයෙන්ම වෙන් වී ඇති බවත්, පසුව දරුවා ජාතික රෝහලට ඇතුලත් කර ශල්‍යකර්මයකට ලක් කිරීමෙන් පසු නේවාසිකව ප්‍රතිකාර ලබා දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දරුවා රෝහලෙන් මුදාහළ පසුගිය 13 වැනිදා තෙක් පොලිසියට ඉදිරිපත් නොවූ අදාල සැකකරු දරුවා රෝහලෙන් මුදාහළ පසු පොලිසියට පැමිණී අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව අධිකරණයට දැනුම් දුන් පොලිස් නිලධාරීන් දරුවාට කෙටූ කඩුව සොයා ගැනීම සඳහා විමර්ශන කරන බවද අධිකරණයට දැනුම් දුන්නා ෴


අවුරුදු 07 දැරියට බරපතළ ලිංගික හිංසා කළ තරුණයන් අත්අඩංගුවට

(15.01.2024 – 15:34 +0530 – hirunews.lk/sinhala)

ඇතිමලේ පොලිස් වසමට අයත් විලඔය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අවුරුදු හතක (7) දැරියකට බරපතළ ලිංගික අතවර සිදුකළ තරුණයින් දෙදෙනෙකු (2) ඊයේ (14) ඇතිමලේ පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන තිබෙනවා.

අතවරයට පත්වූ දැරියගේ මව කොළඹ කොට්ටාව ප්‍රදේශයේ රැකියාවක් සඳහා පිටවගොස් ඇති අතර අතවරයට පත්වූ දැරිය මිත්තණිය භාරයේ සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය පිළිබඳව මව විසින් ඇතිමලේ පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත්තේ 2023 ඔක්තෝබර් මාසයේ දිනක අසල්වැසි තරුණයෙකු විසින් දැරියට බරපතළ ලිංගික අතවර සිදුකළ බවටත් එම ප්‍රදේශයේම තවත් තරුණයෙකුද 2024 ජනවාරි මස 13 වෙනි දින බරපතළ ලිංගික අතවර කළ බවටත් දියණිය පැවසු බවයි.

අනතුරුව දැරියට අතවරකළ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු පහළොවයි (15) මාස හයක් (06) වයසැති පාසල් ශිෂ්‍යයෙක් සහ අවුරුදු දහසයක් (16) වයසැති තරුණයෙකු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ.

අතවරයට පත්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර තිබෙනවා ෴


පාසල් නිල ඇඳුම් සහ පෙළ පොත් බෙදාදීම පෙබරවාරි 19 ට පෙර

(15.01.2024 – 15:27 +0530 – hirunews.lk/sinhala)

පාසල් නිල ඇඳුම් සහ පෙළ පොත් පෙබරවාරි මස 19 වනදාට පෙර බෙදා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

මේ වන විටත් පෙළ පොත් 80% ක් මුද්‍රණය කර බෙදා හැර ඇති බවයි ඔහු පවසන්නේ.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (14) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴


බත්තරමුල්ල, අකුරේගොඩ වැවේ ගිලී තරුණයෙක් මරුට

(15.01.2024 – 15:21 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල, අකුරේගොඩ වැවේ විනෝදයට පාසල් මිතුරන් අට දෙනෙකු (8) සමඟ දිය නෑමට ගිය විසි හැවිරිදි (20) තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව තලංගම පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ, තලංගම බණ්ඩාරවත්ත පදිංචි පැතුම් උදයන්ත නමැති 20 හැවිරිදි පරිගණක තාක්ෂණ ශිල්පියෙකු බවයි අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ.

මෙම තරුණයා තවත් පාසල් මිතුරන් අට දෙනකු (8) සමග බත්තරමුල්ල, අකුරේගොඩ වැවේ විනෝදයට දිය නෑමට ගොස් සිටියදී එක්වරම දියේ ගිලීමෙන් අනතුරට පත්ව ඇති අතර, ඒ බව එහි සිටි තවත් මිතුරෙකු දැක වහාම ක්‍රියාත්මක වී සෙසු මිතුරන්ද සමඟ මෙම තරුණයා ඔසවාගෙන ගොඩට ගෙනැවිත් තිබෙනවා.

අනතුරුව එම තරුණයා තලංගම රෝහලට ඇතුලත් කර ඇති අතර, රෝහල් ගත කිරීමේදී මියගොස් සිටි බවයි සඳහන් ෴


පයාගල මුහුදු වෙරලේ තරුණයකුගේ මළ සිරුරක්

(15.01.2024 – 14:47 +0530 – hirunews.lk/sinhala)

මියගොස් සිටි විසි හැවිරිදි (20) තරුණයෙකුගේ මළ සිරුරක් අද (15) පෙරවරුවේ බේරුවල ප්‍රාදේශීය සභාවේ පලාගල සතිපොළ පිටුපස මුහුදු වෙරළේ තිබියදී සොයාගත් බව පයාගල පොලිසිය පවසනවා.

මෙම තරුණයා මුහුදේ දිය නෑමට ගොස් මෙලෙස මියගියේද, නැතිනම් මෙය ඝාතනයක්ද යන්න වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

පයාගල, පැලපොල්වත්ත, සේදියර් පියගම පදිංචිව සිටි විසි හැවිරිදි (20) තරුණයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

මෙලෙස මියගිය තරුණයා තම මිත්තණියගේ නිවසට යන බව පවසා පසුගිය ඉරිදා දින පස්වරුවේ නිවසින් පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් පයාගල පොලිසිය විසින් විමර්ශන ක්‍රියාත්මකයි ෴


මට්ටක්කුලියේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

(15.01.2024 – 21:41 +0530 – hirunews.lk/sinhala)

මෝදර, මට්ටක්කුලිය, ‘රන්දිය උයන’ නිවාස සංකීර්ණය අසලදී මීට සුළු මොහොතකට පෙර වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

එහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 42 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූ එම පුද්ගලයා එහිදී ජීවිතක්ෂයට පත්වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *