‘අවලෝකිතේෂ්වර’ මානසික රෝගියා සී.අයි.ඩී. අත්අඩංගුවට

‘අවලෝකිතේෂ්වර’ මානසික රෝගියා සී.අයි.ඩී. අත්අඩංගුවට


‘අවලෝකිතේෂ්වර’ මානසික රෝගියා සී.අයි.ඩී. අත්අඩංගුවට

(15.01.2024 – 12:46 +0530 – hirunews.lk/sinhala)

= අවලෝකිතේෂ්වර නැමැත්තා සී.අයි.ඩී. අත්අඩංගුවට =

බුදු දහම විකෘති කරමින් දේශනා පවත්වන බවට චෝදනා එල්ල වන ‘මහින්ද කොඩිතුවක්කු’ හෙවත් ‘අවලෝකිතේෂ්වර’ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පන්නිපිටිය ප්‍රදේශයේදියි.

මෙම පුද්ගලයාට විදෙස් ගමන් තහනම් පැනවීමට සහ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට ද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පසුගියදා නියෝග කරනු ලැබුවා.

මොහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඇතුලු පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටයි කටයුතු කර තිබුණේ.

එම විමර්ශනවල ප්‍රගතිය හෙට (16) දිනයේ අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා නියෝග කර තිබුණා ෴

+++++++++

නායක හිමිවරු අවලෝකිතේෂ්වරයා කියන පිස්සාට ආශිර්වාද කරනවා ; පුදුම වෙන්න දෙයක් නැහැ (13.01.2024)

+++++++++

වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි (ළමයින්ට සුදුසු නැත) (15-01-2024)

++++++++

මහින්ද කොඩිතුවක්කුගේ සුපිරි නිවසේ එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්

(15.01.2024 – 20:24 +0530 – sinhala.adaderana.lk)

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටි ‘මහින්ද කොඩිතුවක්කු’ නැමැති පුද්ගලයා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී අද (15)අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු ප්‍රශ්න කිරීම්වලින් පසු හෙට (16) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

‘අවලෝකිතේෂ්වර’ නාමයෙන් පෙනී සිටින, අත්අඩංගුවට ගත් තැනැත්තාව පසුව පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් ඔහු නවාතැන් ගෙන සිටි කැස්බෑව, මාකන්දන සර්වෝදය පාරේ පිහිටි දෙමහල් නිවස වෙත රැගෙන එනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සැකකරු භාවිතා කළ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථන සිය භාරයට ගත්තේය.

විමර්ශන නිලධාරින් පවසන්නේ සැකකරු රැඳී සිටී මෙම නිවස ඔහුගේ ඔස්ට්‍රේලියාවේ සිටින අනුගාමිකයෙකු විසින් ඔහුට ලබාදී ඇති බවය.

ප්‍රදේශවාසීන් පවසන්නේ සැකකරු මෙම නිවසට පැමිණියේ මීට දින 10 කට පමණ පෙර බවය.

එමෙන්ම පසුගිය දින කිහිපය තුළ මෙම නිවසේ අලුයම් කාලය වනතුරු දේශන පැවති බවත් ඊට රැවුල සහ කොණ්ඩ වැවූ පුද්ගලයින් පිරිසක් සහභාගී වූ බවත් ප්‍රදේශවාසීන් පවසයි.

අත්අඩංගුවට ගත් ‘අවලෝකිතේෂ්වර’ නාමයෙන් පෙනී සිටින ‘මහින්ද කොඩිතුවක්කු’ නැමැත්තා පසුව අද (15) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ආවේය.

සැකකරුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු හෙට (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

++++++++

+


දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සුඛෝපභෝගි බස් රථයක් ගිනි ගනියි

(15.01.2024 – 15:13 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවුම ආසන්නයේදී බස් රථයක් ගිනි ගෙන තිබෙනවා.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ සුඛෝපභෝගි බස් රථයක් මෙලෙස ගිනිගෙන ඇති බවයි වාර්තා වී ඇත්තේ.

බස් රථය මුළුමනින් ගිනි ගෙන තිබෙන අතර ගින්න නිවීමට පොලිස් විශේෂ කාර්‍ය බලකා නිළධාරින් කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ අදාළ අනතුර හේතුවෙන් මගීන්ට කිසිදු හානියක් සිදු වී නොමැති බවයි.

මේ හේතුවෙන් බෙලිඅත්ත පිවිසුම සිට කසාගල පිවිසුම දක්වා අධිවේගි මාර්ග කොටස වසා දමා තිබෙන අතර කසාගල පිවිසුමෙන් එළියට ගෙනෙන වාහන යළි බෙලිඅත්ත පිවිසුමෙන් ඇතුල් කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

++++++++

+++++++++

+


නොමිලේ දෙන දුම්රිය එන්ජින් දෙකක් බලන්න 65ක් ඉන්දියාවට?

(15.01.2024 – 16:58 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව පාවිච්චි කර ඉවත් කරන ලද ඩීසල් දුම්රිය එන්ජින් දෙකක් (2) මෙරටට රැගෙන ඒමට පෙර ඒවා පරීක්ෂා කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ 65 දෙනෙකු ඉන්දියාවට යාමට සැරසෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් පවසනවා.

ඉංජිනේරුවන් සඳහන් කරන්නේ ඉන්දියාවේ දුම්රිය විද්‍යුත්කරණය නිසා ඉන්දියාවේ භාවිතයෙන් ඉවත්කරන ලද ඩීසල් එන්ජින් 20 මෙරටට ලබා දීමේ සූදානමක් පවතින බවයි.

ඔවුන් සඳහන් කර සිටින්නේ, ඒ අනුව පළමුව මෙරටට දුම්රිය එන්ජින් දෙකක් (2) එවීමට නියමිත බවත්, එම එන්ජින් දෙක පරීක්ෂා කිරීම සඳහා මෙරටින් 65 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාව බලා යාමට සූදානමක් පවතින බවයි.

තවද, ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ දුම්රිය එන්ජින් 20 ක් නොව 100 ක් පරීක්ෂාකිරීමට වුවත් ටෙක්නිකල්, මිකැනිකල්, ඉලෙක්ට්‍රික් සහ සිවිල් යන ක්ෂේත්‍ර 04 න් ප්‍රවීණ ඉංජිනේරුවන් හතර දෙනෙකු (4) පමණක් යාම ප්‍රමාණවත් බවයි.

කෙසේ වෙතත්, ඉන්දියාවෙන් නොමිලේ ලබා දෙන දුම්රිය එන්ජින් පිළිබඳ සොයා බැලීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 65 දෙනෙකු ඉන්දියාවට යාමට නියමිතව ඇති බවට එල්ලවන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්දියාවෙන් ලබා දීමට එකඟ වී ඇති රුපියල් බිලියන 16 ක පමණ වටිනාකමින් යුත් දුම්රිය එන්ජින් 20 සම්බන්ධයෙන් මෙලෙස අසත්‍ය ප්‍රචාර පළ කිරීම එම පරිත්‍යාග හෑල්ලුවට ලක් කිරීමක් බවයි.

+


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(15.01.2024 – 16:17 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වන දුම්රිය ග්‍රේට්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන අතර පිලී පෑනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

+++++++++

+


උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධියට තවත් අයෙකු අත්අඩංගුවට

(15.01.2024 – 15:50 +0530 – hirunews.lk/sinhala)

මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන (2) ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යට එක් කිරීමේ සිද්ධියට අදාළව අම්පාර ඩී.එස්. සේනානායක විභාග මධ්‍යස්ථානයේ රාජකාරි කළ සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දැනට සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාසල් ගුරුවරයා ලබා දුන් ප්‍රකාශවලට අනුවයි.

පසුගිය 10 වනදා පැවත්වීමට නියමිතව තිබූ මෙවර උසස් පෙළ කෘෂි විද්‍යාව දෙවන (2) ප්‍රශ්න පත්‍රය අවලංගු කරමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර නිවේදනය කළේ අදාළ ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යට නිකුත් වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කළ අතර ඉන් අනතුරුවයි මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණේ ෴

+++++

මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව පළමු (1) ප්‍රශ්න පත්‍රයත් කලින් එළියට ඇවිත්

(15.01.2024 – 09:47 +0530 – hirunews.lk/sinhala)

මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව පළමු (1) ප්‍රශ්න පත්‍රය ද පිට වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කර ඇති විමර්ශනවල දී.

කෘෂි විද්‍යාව පළමු (1) ප්‍රශ්න පත්‍රය වන බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 න් 16 ක් ඡායාරූප ගෙන පිට කර ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, කෘෂි විද්‍යාව දෙවන (2) ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිට කිරීම සම්බන්ධයෙන් පසුගිය (13) දා අම්පාර ප්‍රසිද්ධ පාසලක කෘෂි විද්‍යාලක ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගුරුවරයාගේ අත් අකුරින්ම ලියන ලද උසස් පෙළ කෘෂි විද්‍යා දෙවන (2) පත්‍රය ඔහුගේ නිවසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළමු (1) කොටස ජනවාරි 08 වැනිදා නිකුත් වී ඇති අතර, එහි දෙවැනි (2) කොටස ජනවාරි 10 වෙනිදා සමාජ මාධ්‍ය වෙත කිකුත් වී ඇති බව වාර්තා වනවා ෴


පුවක්ගහෙන් වැටී මියගිය තරුණයා දෙදිනක් (2) බඩගින්නේ සිට ඇති බව හෙළිවෙයි

(15.01.2024 – 15:37 +0530 – hirunews.lk/sinhala)

පුවක් කැඩීමට ගිය තරුණයෙකු පුවක් ගසෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා.

ඒ ගම්පොළ නා උල්ල ප්‍රදේශයෙන්.

එම තරුණයාගේ මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඔහු දින දෙකක් (2) කුස ගින්නේ සිටි අයෙකු බවයි.

මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඒ.පී. ජයසූරිය මේ පිළිබඳව සඳහන්කර සිටියා.

මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පොළ නාඋල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 ක අවිවාහක තරුණයෙකු බවයි වන්නේ.

ආහාර නොමැතිව කුසගින්න දරාගත නොහැකි වී ඔහු මෙලෙස පුවක් කැඩීමට යන්නට ඇති බවයි පොලීසිය සැකපළ කරන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *