කාදිනල් හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
(14.01.2024 – 13:29 +0530 – sinhala.adaderana.lk)
මීට වසර 02කට පෙර බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබුවේ මෙරට බලවතුන් විසින් බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (14) බරපතළ චෝදනාවක් එල්ල කළහ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලූ අරගලය බියවැද්දීම එහි අරමුණ වූ බව උන්වහන්සේ පැවසූහ.
2022 වසරේ ජනවාරි 11 වනදා බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබි අත්බෝම්බයක් සොයා ගැනිණි.
ඒ සම්බන්ධයෙන් දේවස්ථානයේ සේවකයෙකු ඇතුළු සිව්දෙනෙක් (4) අවස්ථා කිහිපයක දී අත්අඩංගුවට ගැනුණු අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මුදාහැරිණි.
එවැනි වටපිටාවක කතෝලික සභාව චෝදනා කරන්නේ, මේ ගැන විධිමත් විමර්ශනයක් සිදු නොවූ බවටයි.
එම සිදුවීමට වසර 2 ක් ගතවීම නිමිත්තෙන් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ දී අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ විශේෂ දිව්‍ය යාගයක් සංවිධානය කර තිබිණි.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් :
“වාසනාවකට එදා අත්බෝම්බය පිපිරුවේ නැහැ. CCTV බලන්නේවත් නැතුව පල්ලියේ සේවකයෙකු ඇතුළු 04 ක් අත්අඩංගුවට ගත්තා. විමර්ශන සම්බන්ධයෙන් නොයෙකුත් බොරු කිව්වා. CCTV වල අත්බෝම්බය තියපු කෙනා පැහැදිලිව පෙනුණා. පොලිසිය ඒ මනුස්සයා ගැන සෙව්වේවත් නැහැ. අවුරුදු 02 කට පසුවත් අපි යුක්තිය ඉල්ලනවා මේ පිළිබඳ සාධාරණ විමර්ශනයක් කරන්න.”
“ඒ අත්බෝම්බය ගෙනල්ලා දේවස්ථානයේ තියපු පුද්ගලයා කවුරුන් හෝ ශ්‍රී ලංකාවේ කෙනෙක්. ඔහු ඉන්නවා. කිසිදු සොයා බැලීමක් වෙලා නැහැ. මොකද ඔහු ඔවුන්ගේ ආධාරකරුවෙක්. ඔවුනුයි ඔහුව එව්වේ. ප්‍රබලයෝ තමයි මේ අත්බෝම්බය දේවස්ථානයට එව්වේ.”
“රැලිය පවත්වන්න එපා කියලා අවවාද කරන්නයි අත්බෝම්බය දේවස්ථානයට එව්වේ මිනිස්සුන්ව බය කරන්න හැදුවේ.”
“මේ වර්ෂය මැතිවරණ වසරක්. යම් හෙයකින් මැතිවරණය පැවැත්වුණ හොත් අපිට අවස්ථාවක් තියෙනවා තීරණය කරන්න මේ දූෂිත දේශපාලනඥයින් රට තවදුරටත් පාලනය කරනවා ද නැතිනම් කවුරුන් හෝ අලුත් කෙනෙක්ට රට ඉදිරියට රැගෙන යාමේ වගකීම භාර දෙනවා ද කියන කාරණාව.”
දිව්‍ය පූජා යාගය අවසානයේ දේවස්ථානය ඉදිරිපිට අගරදගුරු හිමිපාණන් සහ ප්‍රදේශවාසින් නිහඬ විරෝධතාවක් ද පවත්වා තිබේ.
+
ලිංගික අතවර චෝදනාවකට නැටුම් ගුරුවරයෙක් අත්අඩංගුවට
(14.01.2024 – 13:05 +0530 – sinhala.adaderana.lk)
පිරිමි දරුවෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට අදාළව නර්තන ගුරුවරයෙක් පිළියන්දල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.
උපකාර පන්ති නිමවී නිවසට යමින් සිටි දොළොස් (12) හැවිරිදි දරුවෙකු පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ දී උපකාර පන්ති නැටුම් ගුරුවරයෙක් සිය යතුරුපැදියට නංවාගෙන තිබේ.
ඒ තමාට මිතුරෙකුගේ නිවසක් සොයා ගැනීමට සහාය වන ලෙස දරුවාට පවසමිනි.
යතුරුපැදිය කෙටි දුරක් ගමන්ගන්නා අතරතුර සැකකරුගේ බඳ වටා තිබූ දරුවාගේ අතක් ගෙන ඔහුගේ රහස් පෙදෙස දෙසට යොමු කරගනිමින් ඔහු දරුවා අපහරණය කර තිබූ බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.
එලෙස සැකකරු දරුවා සමඟ ගමන්ගන්නා ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ අතර ඔහු මාර්ගයක් අසල තිබූ පිරවුම්හලකින් ඉන්ධන ලබාගත් බව ද වාර්තා වේ.
එම ස්ථානයෙන් පිටව යන සැකකරු පාළු මාර්ගයක් කරා යතුරුපැදිය ධාවනය කිරීමට උත්සාහ කිරීමේ දී බියට පත් දරුවාගේ කෑ ගැසීම නිසා ඔහු දරුවා දමා පළා ගොස් ඇත.
සිද්ධිය පිළිබඳ දරුවාගේ මව්පියන් පිළියන්දල පොලිස් ස්ථානය දැනුම්වත් කිරීමෙන් පසු 27 හැවිරිදි සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු මීට මාස කීපයකට පෙර ප්‍රධාන පෙළේ නැටුම් පන්තියක් පවත්වාගෙන යමින් පිරිමි දරුවන් කිහිප දෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු නැටුම් ගුරුවරයාගේ ප්‍රධානම ගෝලයා බව අනාවරණය වී තිබේ.
සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ව ඇප මත මුදා හැර ඇත.
+
‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 03ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
(14.01.2024 – 11:01 +0530 – sinhala.adaderana.lk)
පුත්තලම – කුරිඤ්ඤම්පිටිය ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමක දී ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 03 ක් සමඟ 30 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
යුක්තිය මෙහෙයුමට සමගාමී ව ඊයේ (13) ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කොළඹ බලා යාම සඳහා අක්කරෛපත්තු බස් රථයට නැගී කොළඹ දෙසට ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව වාර්තා වේ ෴
කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රය සමාජ මාධ්‍යයේ සංසරණය කිරීමට ගුරුවරයෙක් අත්අඩංගුවට
(14.01.2024 – 19:01 +0530 – hirunews.lk/sinhala)
අපොස උ/පෙළ කෘෂිකර්ම විද්‍යා විෂයයේ 02 වැනි ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම සම්බන්ධයෙන් අම්පාර රජයේ පාසලක ගුරුවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ පාසලක උසස් පෙළ කෘෂිකර්ම ගුරුවරයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.
සැකකරු විසින් මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 01 කොටස ජනවාරි මස 08 වනදා නිකුත් කර ඇති බවත්, එහි දෙවන කොටස ජනවාරි මස 10 වනදා නිකුත් කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා ෴
ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්
(14.01.2024 – 16:34 +0530 – hirunews.lk/sinhala)
බුදුදහම විකෘති කරන්නන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකසන ලෙස ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබෙනවා.
පසුගිය දිනවල සිදු වූ සිදුවීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම ලිඛිත දැනුම්දීම සිදුකර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මෑතකම සිදු වූ සිදුවීම වූයේ ‘අවලෝකිතේශ්වර’ නමින් බුදු දහමට අවමන් සහගතවන ප්‍රකාශයන් සිදුකළ පුද්ගලයෙකුගේ ක්රියාකලාපයයි.
‘අවලෝකිතේශ්වර’ නාමයෙන් පෙනී සිටිමින් මෙම පුද්ගලයා පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණියා.
‘මහින්ද කොඩිතුවක්කු’ නැමැති මෙම පුද්ගලයා අනුගාමිකයින්ගේ වැඳුම් පිඳුම් ලබන අයුරු සමාජ මාධ්‍යය ඔස්සේද සංසරණය වූවා.
ඔහු කැලණිය රජමහා විහාරයට සුඛෝපභෝගි මෝටර් රථයකින් පැමිණිමෙන් පසු සිල්මාතාවක් ඇතුළු පිරිසක් ඔහුට වැදුම් සිදුකරන අයුරු ද ඊට ඇතුළත් වුණා.
එමෙන් ම මෙම පුද්ගලයා සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඊයේ (13) පියවර ගත්තා.
+
කැලණියේදී ඩඩ්ලිට විරෝධයක්
(14.01.2024 – 16:19 +0530 – hirunews.lk/sinhala)
කැලණිය විශ්වවිද්‍යාලය වෙත ගිය ප්‍රකට සහල් ව්‍යාපාරික ‘ඩඩ්ලි සිරිසේන’ට එම විශ්වවිද්‍යාල සිසුන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා.
‘ඩඩ්ලි සිරිසේන’ දේශනයක් සඳහා විශ්වවිද්‍යාල වෙත ගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ.
මේ හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය තුළ උණුසුම් තත්ත්වයක් ද හට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.
+
ඇළක තිබී තරුණයින් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු හමුවෙයි
(14.01.2024 – 15:32 +0530 – hirunews.lk/sinhala)
කිළිනොච්චිය ගෝවින්දන් කඩ හන්දිය අසල ඇළක තිබී මියගිය තරුණයින් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු දෙකක් කිළිනොච්චිය පොලිසිය විසින් අද (14) සොයා ගෙන තිබෙනවා.
මෙම තරුණයින් දෙදෙනා (2) ඊට පෙර දින (13) රාත්‍රියේ යතුරු පැදියකින් මෙම ඇළ අසලින් අධික වේගයෙන් ගමන් කිරීමේදී යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව එය ඇළට පෙරළි ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
නමුත් මේ ගැන කිසිවෙකු තොරතුරු දැන නොසිටි නිසා ඔවුන්ගේ මළ සිරුරු සොයා ගැනීමට හැකි වී ඇත්තේ ඊට පසුදිනයේදීයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිළිනොච්චියේ අලගපුරි ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි දයාලන් තනුසන් සහ 18 හැවිරිදි ක්‍රිෂ්ණන් සතීසන් නමැති තරුණයන් දෙදෙනෙක්.
ස්ථානීය මරණ පරීක්ෂණය පැවැත් වූ මහෙස්ත්‍රාත්වරයා කිළිනොච්චිය පොලිසියට නියෝග කළේ මෘත ශරීර දෙක කිළිනොච්චිය රෝහලට රැගෙන ගොස් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා සිරුරු ඥාතීන්ට බාර දෙන ලෙසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
+
සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් අනිද්දා වර්ජනයක
(14.01.2024 – 14:19 +0530 – hirunews.lk/sinhala)
සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් ඒකාබද්ධව අනිද්දා උදෑසන 06:30 සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ, රජය විසින් වෛද්‍යවරුන්ට ලබාදීමට තීරණය කර ඇති රුපියල් 35,000 දීමනාවට තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින්.
මෙම වර්ජනය සදහා පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරුන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, ඖෂධවේදීන් මෙන්ම හෙද සේවාවද එක්වීමට නියමිතයි.
එමෙන්ම අතුරු වෛද්‍ය සේවාවට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්,අක්ෂි තාක්ෂණවේදින්, දන්ත කාර්මිකයින්, මෙන්ම සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවා, සෞඛ්‍ය ගිලන් රථ සේවකයින් ඇතුලු වෘත්තීය සමිති 72 ක් එක්වනවා.
රුපියල් 35,000 දීමනාව ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් පසුගිය සතිය පුරාවටම විටින් විට සිදුකළ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගී ජනතාව පත්වූයේ දැඩි අපහසුතාවකටයි.
ඒ අනුව අනිද්දා (16) දිනයේදී දිවයින පුරා රෝහල්වල වෛද්‍ය සේවා සැපයීම හැර අනෙකුත් සේවාවන් අඩපණ වනු ඇති බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේ ෴
කැරට් කිලෝවක තොග මිල රුපියල් 1000 ඉක්මවයි
(14.01.2024 – 10:46 +0530 – hirunews.lk/sinhala)
නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කැරට් කිලෝවක තොග මිල 13 දිනයේ රුපියල් 1000-1100 අතර මිලකට අලෙවි වු බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පවසනවා.
එමෙන් ම චීන ආහාර සදහා උපයෝගි කර ගන්නා එළවලු වර්ගවල කිලෝවක මිල රුපියල් 7000 දක්වා ඉහල ගොස් ඇති බවයි ඔහු සඳහන්කර සිටියේ.
නුවරඑළිය ප්‍රදේශයේ ගොවින්ගෙන් ඊයේ (13) දින කැරට් කිලෝවක් රු. 900 ක් වැනි තොග මිලට ලබාගත් බවත්, එසේ ලබාගත් කැරට් නිසි ප්‍රමිතියෙන් තොර බවයි නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙලෙදුන් පවසා සිටියේ.
ලික්ස් , බීට්රූට් , ගෝවා කිලෝවක් රුපියල් 450-500 අතර තොග මිලකට අලෙවි කරන බවත්, බෝංචි සහ මාළු මිරිස් කිලෝවක් රුපියල් 750-800 අතර තොග මිලකට අලෙවි කරන බවයි වෙලෙදුන් පවසා සිටියේ.
තවද අමු මිරිස් කිලෝවක් රු 1600, රාබු කිලෝවක් රු 350 වැනි මිලයකට අලෙවි කරන බව සඳහන්.
මීට සති දෙකකට (2) ප්‍රථම කැරට් කිලෝවක් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය තුල රු. 350- 400 අතර මිලකට අලෙවි කළ බවත්, චීන ආපන ශාලා සදහා භාවිතා කරන බ්‍රොකලි කිලෝවක් රුපියල් 750 වැනි මිලකට අලෙවි වු බවයි වෙලෙදුන් පවසා සිටියේ.
නුවරඑලිය ප්‍රදේශයට පසුගිය මාස කිහිපය තුල අඛණ්ඩව ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගා විනාශ වි අස්වැන්න අඩුවිම නිසා ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ගොවින්ට ලබාදිමට නොහැකි නිසා මෙසේ එලවළු මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත්, මෙම තත්ත්වය තවත් මාස තුනක් (3) වැනි කාලයක් පවතින බවයි වෙළෙදුන් පවසා සිටියේ.
+
ආනයනික කිරිපිටි මිල ඉහළට
(14.01.2024 – 10:03 +0530 – hirunews.lk/sinhala)
ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට සිදුවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසනවා.
ඒ අනුව 400g කිරි පැකට්ටුවක මිල රුපියල් 30 කින් ඉහළ දමන බවයි එම සංසදය පවසන්නේ.
VAT බද්ද 15% සිට 18% දක්වා වැඩිවීම නිසා නිසා ආනයනික කිරිපිටි මිල මෙසේ ඉහළ දැමීමට සිදු වූ බවයි එම සංසදයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර හිරු ප්රවෘත්ති කළ විමසීමකදී සඳහන්කර සිටියේ.
මේ සතියේ මැද භාගයේ සිට මෙම නව මිල ක්‍රියාත්මකයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴