අනුරපුර ගොවීන්ගෙන් මැසිවිලි – අක්කර 1000 කට අධික බඩඉරිඟු වගාවක් විනාශ වෙයි
අනුරපුර ගොවීන්ගෙන් මැසිවිලි – අක්කර 1000 කට අධික බඩඉරිඟු වගාවක් විනාශ වෙයි
(13.01.2024 – 13:04 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර – නාච්චියාදූව ව්‍යාපාරයේ අක්කර සියයට (100) වැඩි කුඹුරු ප්‍රමාණයක ගොයම් පැළ සුදු වීමේ රෝගයකට ගොදුරු වී ඇති බවට ගොවීන් පවසනවා.
මේ හේතුවෙන් තමන්ට නිසි අස්වැන්නක් ලබා ගැනීමට නොහැකිවී ඇති බවටයි ගොවීන් චෝදනා කළේ.
එමෙන්ම සේනා දළඹු උවදුර හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 1000 කට අධික බඩඉරිඟු වගාවක් විනාශ වී තිබෙනවා.
මේ අතර, තේ වගාවට යොදාගන්නා පොහොර මිටියක් රුපියල් 8,500 කට අලෙවි කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මේ වනවිට එම පොහොර මිටියක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 12,000 ත් 14,000 ත් අතර මිලකටයි.
ගාල්ල දිස්ත්‍රික්ක තේ වගාකරුවන් සහ විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර අතර ඊයේ (12) තේ වගාකරුවන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබුණා ෴
නායයෑමකින් මොණරාගල වරාදොළවත්තේ පවුල් 21 ක් ඉවතට
(13.01.2024 – 12:53 +0530 – hirunews.lk/sinhala)
මොණරාගල – බඩල්කුඹුර – අංකඩ ග්‍රාම නිලධාරි වසමේ වරාදොළවත්තේ නායයෑමක් හේතුවෙන් පවුල් 21 ක සාමාජිකයින් 64 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.
මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ (12) රාත්‍රියේ නායයෑමේ ලක්ෂණ ඇතිවීමත් සමඟ පවුල් 12 ක් වහා ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු බවයි.
ඒ අනුව, අනෙක් පවුල් නවයේ සාමාජිකයින් ද අද (13) වෙනත් ස්ථානයකට යොමු කෙරුණු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ ෴
අමානුෂික ලෙස තරුණයෙක් ඝාතනය කරයි
(13.01.2024 – 11:52 +0530 – hirunews.lk/sinhala)
නෙළුව – මණ්ඩලපුර – දුම්මලහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
අතින් පයින් හා ගලකින් පහර දී මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
අප වාර්තාකරු සඳහන් කළේ මිය ගිය පුද්ගලයා සහ ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයා එක්ව ඊයේ (12) දිනයේ මත්පැන් පානය කර ඇති අතර එහි දී දෙදෙනා (2) අතර බහින් බස් වීමක් සිදු ව ඇති බවයි.
පසු ව සිදු කළ පහරදීමක දී මෙම ඝාතනය සිදු ව ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 32 ක් වන දුම්මලහේන – නෙළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ සැකකරු නෙළුව පොලීසියට පැමිණ ඒ සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදු කර පොලීසියට භාර වී තිබෙනවා ෴
‘යුක්තිය’ ඔස්සේ 897ක් අත්අඩංගුවට
(13.01.2024 – 09:14 +0530 – hirunews.lk/sinhala)
රටපුරා ක්‍රියාත්මකවන ‘යුක්තිය’ මෙහෙයුම යටතේ ගෙවුණු පැය 24 තුළදී සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් සැකකරුවන් 24 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වෙන්නේ.
එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 37 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙහෙයුම අතරතුර අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ.
- හෙරොයින් 299g
- අයිස් 172g 40mg
- ගංජා 4kg 400g
- ගංජා පැල 26,075 ක්
- ගංජා සුරුට්ටු 01 ක්
- ඈෂ් 2g
- මාවා 522g
- තුල් 34g
- මදන මෝදක 3kg
- මත්පෙති 1233 ක්
ලයිට් කපන්න ආ සේවකයන්ව මේජර් බිරිඳ හිරකරගෙන
(13.01.2024 – 09:08 +0530 – hirunews.lk/sinhala)
විදුලි විසන්ධි කිරීමට පැමිණි සේවකයින් දෙදෙනෙකු (2) වත්තේ සිරකර නිවසේ ඇති කරන සැර බල්ලා ලිහා දමන බව තර්ජනය කරමින් විදුලි සැපයුම ලබාගැනීමට උත්සාහ කළ හමුදා මේජර්වරයෙකුගේ බිරිඳක් සහ මේජර්වරයාගේ මිතුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේජර්වරයා, බිරිඳ සහ ඇයගේ මව පදිංචි මෙම ඉඩමෙහි මේජර්වරයාගේ බිරිඳගේ සහෝදරියකගේ ද නිවස පිහිටා ඇති අතර ඇය ජපානයේ පදිංචිව සිටින බවයි වාර්තා වන්නේ.
විදුලිය විසන්ධි කිරීමට පැමිණි සේවකයින් යාබද පිහිටි සහෝදරියගේ නිවසෙහි විදුලිය විසන්ධි කර තිබෙනවා.
එහිදී ජපානයේ සිටින ඇයගේ සහෝදරිය විසින් සඳහන් කර ඇත්තේ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ බිල ගෙවා ඇති බවයි.
එහි රිසිට්පත මේජර්වරයාගේ බිරිඳ විසින් දුරකථනයෙන් සේවකයින් දෙදෙනාට පෙන්වීමට උත්සාහ කළත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.
අදාළ සිදුවීමෙන් උරණ වී ඇති මේජර්වරයාගේ බිරිඳ ගේට්ටුව වසා දමා, නිවසේ ඇති කරන සැර බල්ලා ලිහා දමන බවට තර්ජනය කර විසන්ධි කළ විදුලි සැපයුම යළිත් ලබාදෙන ලෙස ඉල්ලා සිට ඇති බවද සඳහන්.
ඇය මේජර්වරයාගේ මිතුරෙකුට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුද එම ස්ථානයට ගෙන්වා ගෙන ඇති අතර, ඔහු සිය ජීප් රථය විදුලි සේවකයින් පැමිණි වෑන් රථයට අවහිර වන සේ නතර කර තිබෙනවා.
වෑන් රථයේ සිටි විදුලි සේවකයෙක් මේ බව කාර්යාලයට දැනුම් දී ඇති අතර, ඔවුන් මොරොන්තුඩුව පොලිසියට කළ දැනුම්දීමකින් පසු පොලිස් නිලධාරීන් පිරිසක් නිවස වෙත ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව අදාළ නිවසට ඇතුළු වූ පොලිස් නිලධාරීන් විසින් පැය දෙකකට (2) පමණ පසු සේවකයින් දෙදෙනා බේරා ගෙන තිබෙනවා ෴
ඔන්ලයින් ණය ජාවාරමේ 06 දෙනෙක් අත්අඩංගුවට
(13.01.2024 – 21:37 +0530 – sinhala.adaderana.lk)
ඔන්ලයින් මගින් ණය ලබාදෙන ආයතන එම ණය වාරික ගෙවීම පැහැර හැරි පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඔවුන් පීඩාවට පත්කිරීමේ සිද්ධි පසුගිය කාලයේ වාර්තා විය.
ඒ අනුව ලද පැමිණිලි රැසක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඊට සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතර චීන ජාතික කාන්තාවන් තිදෙනෙකු (3) ඇතුළු චීන ජාතිකයන් පස්දෙනෙකු (5) ද වෙයි.
ඔන්ලයින් හරහා ණය ලබාදෙන Star VIP Loan නම් ආයතනය මගින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති ප්‍රචාරක දැන්වීම් රැසක් මේ දිනවල දැකගත හැකිය.
ඒවායින් ණය ලබාගන්න පුද්ගලයන් එම ණය ගෙවීම පැහැර හැරියහොත් ඔවුන්ට සිය පෞද්ගලික තොරතුරු සමාජගත කරන බවට තර්ජනය කරන අයුරුද පසුගිය දිනවල දැකගත හැකිවිය.
ණය ලබාදෙන ආයතනයේ සේවිකාවක්,
“මිස් ඔයා මේක ගෙවන්නේ නැත්තම් මේ මාසේ… ඊට පස්සේ මේගොල්ලෝ කරන්නේ ඔයාගේ ඔය රු. 87,000 ගෙවනකන් අනිවාර්යයෙන් ඔයාගේ ෆෝන් එකේ දුරකථන නාමාවලියේ අංකවලට කතා කරකර ෆොටෝ ෂෙයා කරන එක.
ඒ හින්දා නිකන් කල් ගන්නේ නැතුව අදම පේමන්ට් එක දාලා ඉවර කරන්න ඕනේ. ඔයා දන්නවද ඔයාට මොනවද කරන්න ඇවිල්ලා තියෙන උපදෙස් කියලා. ඔයාගේ ගෲප්ස් වලට ෂෙයා කරන්න කියලා අපිට මැනේජ්මන්ට් එකෙන් කියලා තියෙනවා ඔයාගේ ෆොටෝ එක. ඊට පස්සේ ඔයාගේ ළමයින්ගේ ගුරුවරුන්ට… ඒ හැමෝගෙම තොරතුරු අපි ගාව තියෙනවා. හරිද? ඒවා ඔක්කොටම ෂෙයා කරන්න කියලා අපිට කියලා තියෙන්නේ. ඔයාගේ යාළුවන්ට ඔයාගේ නෑදෑයන්ට හැම කෙනාටම.”
මේ සම්බන්ධයෙන් ණයකරුවන් රැසකගෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි රැසක් ලැබී තිබුණි.
ඒ අනුව විමර්ශන සිදුකළ පොලීසිය අනාවරණය කරගෙන තිබුණේ, ණය ලබාගැනීමට අයදුම්කිරීමේදී බාගත කිරීම සඳහා ලබාදෙන යෙදවුම මගින් ණය ලබාගන්නා පුද්ගලයාගේ දුරකථනය තුළ තිබෙන පෞද්ගලික දත්ත එකී ආයතනය රහසිගතව ලබාගන්නා බවය.
අනතුරුව ණය ලබාදීම පැහැර හැරියහොත් ණයකරුවන් පිළිබඳව අපහාසාත්මක තොරතුරු සමාජගත කරන බවටද විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබුණි.
පසුව සිදුකළ සොයාබැලීමේදී අනාවරණය වී තිබුණේ දෙහිවල ප්‍රදේශයේ ස්ථානයක පිරිසක් එම ණය ලබාදෙන ආයතනය පවත්වාගෙන යන බවය.
ඊයේ (12) පස්වරුවේ අදාළ ස්ථානය විමර්ශන නිලධාරීන් විසින් වටලනු ලැබූ අතර එහිදී අනාවරණ වී තිබුණේ චීන ජාතික කාන්තාවන් තිදෙනෙකු (3) ඇතුළු චීන ජාතිකයන් පස්දෙනෙකු (5) මෙහි නිරතව සිට ඇති බවය.
එමෙන්ම අදාළ ස්ථානයේ පවත්වාගෙන ගිය පරිගණක දත්ත ගබඩාවක ණයකරුවන්ගේ දත්ත ගබඩාකර ඇති බවත් එහි ප්‍රධාන සර්වරය චීනයේ පවතින බවත් විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබේ.
අනතුරුව චීන ජාතිකයන් පිරිස සහ ඔවුන්ගේ ලාංකික භාෂා පරිවර්තකයා විමර්ශන නිලධාරීන් මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
එමෙන්ම අදාළ ස්ථානයේ තිබී ජංගම දුරකථන විශාල ප්‍රමාණයක් සහ පරිගණක රැසක්ද සොයා ගැනුණි.
සැකකාර චීන ජාතිකයන් පිරිස අද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරුණි.
+
වෙඩි තබා ගත් SIගේ මරණය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්
(13.01.2024 – 13:39 +0530 – sinhala.adaderana.lk)
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම් දොරටුවේ රාජකාරී කරමින් සිටිය දී රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගියේ යැයි කියන උපපොලිස් පරීක්ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඔහුගේ පවුලේ ඥාතිහු පවසති.
අගතියට පත් එම පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා ඊයේ (12) ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ මේ බව සඳහන් කළේය.
පසුගිය දෙසැම්බර් 08 වනදා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම් දොරටුවේ රාජකාරී කරමින් සිටිය දී රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගියේ යැයි කියන උපපොලිස් පරීක්ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (12) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සංජීවනී පතිරණ මහත්මිය හමුවේ කැඳවනු ලැබිණි.
එහි දී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නීතීඥ අමිල එගොඩමහවත්ත මහතා සඳහන් කළේ අදාළ මරණය ගැන මියගිය පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ සමීප ඥාතීන්ට සාධාරණ සැකයක් මතු වී ඇති බවයි.
ගිනි අවි රැගත් ජීප් රථයක් පැමිණෙන බවට 118 හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණු තොරතුරක් අනුව පෑලියගොඩ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවේ දී එම ජීප් රථය පරීක්ෂා කිරීමෙන් අනතුරු ව ආදාළ මරණය සිදු වී තිබේ.
එම ජීප් රථය පැමිණීමෙන් පසු ව තමා ඒ බව පෑලියගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට දැන්වූ බවත් ඒ අනුව එම නිලධාරියා අදාළ ස්ථානයට පැමිණ වාහනය පරීක්ෂා නොකරන්නැයි නියෝගයක් ඇති බවත් දැනුම් දුන්නේ යැයි මිය ගිය නිලධාරියා ඔහුගේ බිරිඳට පවසා ඇති බව නීතීඥවරයා අධිකරණයට දන්වා ඇත.
එසේ නමුත් තමා එම රථය පරීක්ෂා කර බලා පිටත් කළ බවට වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා තොරතුරු සටහන් පොතේ සටහනක් තබා ඇතැයි මරණකරු සිය බිරිඳට පවසා ඇති බැවින් එම අත්අකුරු සම්බන්ධයෙන් රජයේ අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමුකර විශේෂඥ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස එම නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එම සිද්ධිය මුල්කරගෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් මරණකරුට සහ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් අදාළ දුරකතන ඇමතුම් පිළිබඳ වාර්තා කැඳවන ලෙසද අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.
එම පොලිස් නිලධාරියා රාජකාරී නිමකර විවේකය වාර්තා කර සිටිය දී දෙසැම්බර් 06 වැනිදා ඔහුගේ රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බව පැවසුව ද මෘත දේහය වැටී තිබූ ආකාරය හා එම ගිනි අවිය වැටී තිබූ ස්ථානයට මෙන්ම උණ්ඩය ගමන් කර ඇති ආකාරය අනුවත් සැක මතු වන බවට ඔහුගේ පවුලේ ඥාතීන් පවසා තිබේ.
විමර්ශනවල ප්‍රගතිය හා වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි කැඳවීම ලබන මාර්තු 15 වැනිදා දක්වා නඩුව කල්තැබීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
+
ATM කාඩ්පතකින් රුපියල් ලක්ෂ 02 ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
(14.01.2024 – 07:22 +0530 – sinhala.adaderana.lk)
ATM කාඩ්පතකින් මුදල් වංචා කළ සැකකරුවෙකු දියතලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (13) උදෑසන කාලයේ දී දියතලාව නගරයේ පිහිටි රජයේ බැංකුවක ATM යන්ත්‍රයකින් මුදල් ගැනීමට පැමිණි කාන්තාවක් එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුට කාඩ් පත ලබා දී ATM යන්ත්‍රයෙන් මුදල් ලබාදෙන ලෙස පවසා ඇත.
එම පුද්ගලයා විසින් මුදල් ලබාගැනීමට අපහසු බව පවසා ඒ.ටී.එම්. කාඩ් පත ලබා දී පිට ව ගොස් තිබේ.
පසු ව එම බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ 02 ක මුදල් ලබාගෙන ඇති බවට දුරකථනයට ලැබුණු එස්.එම්.එස්. පණිවිඩය අනුව කාන්තාව විසින් දියතලාව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් දියතලාව පොලීසිය විමර්ශන සිදු කර සැකකරු බස් රථයක නැගී පළා ගිව බවට අනාවරණය වීමෙන් පසු අවට පොලිස් ස්ථාන වෙත පණිවිඩ ලබා දී ඇත.
එම පණිවිඩය අනුව ක්‍රියාත්මක වූ හල්දුම්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන දියතලාව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අටවීරාගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු පැමිණිලිකාර කාන්තාව විසින් ලබාදෙන ලද ATM කාඩ්පත වෙනුවට වෙනත් කාඩ් පතක් ලබා දී එම කාඩ්පත සොරම් කර මුදල් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
දියතලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴
අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙකුට කතකගෙන් මරණීය ප්‍රහාරයක්
(14.01.2024 – 06:57 +0530 – sinhala.adaderana.lk)
නිවසකට ඇතුළු වී කාන්තාවකට අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙකුට එම කාන්තාව විසින් තියුණු ආයුධයකින් හා පොල්ලකින් පහර දී තිබේ.
පහරදීම හේතුවෙන් එම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (13) රාත්‍රී කාලයේ එම සිදුවීම වාර්තා වී තිබුණේ, තංගල්ල පොලිස් වසෙම් මොරකැටි ආර නැගෙනහිර ප්‍රදේශයෙනි.
මිය ගොස් ඇත්තේ, මොරකැටිආර නැගෙනහිර – නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකාර කාන්තාවගේ සැමියා නිවසේ නොමැති අවස්ථාවේ දී මරණකරු නිවසට පැමිණ බීමට වතුර ඉල්ලා ඇත.
කාන්තාව වතුර ලබාදීමට කුස්සියට ගොස් සිටිය දී මරණරු පිටුපසින් පැමිණ කාන්තාව බදාගෙන ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීමේ දී කාන්තාව විසින් තියුණු ආයුධයකින් හා පොල්ලකින් පහර දී තිබේ.
පසු ව මරණකරු බිම ඇද වැටීමෙන් පසු අදාළ කාන්තාව පොලිස් ස්ථානයට පැමිණ පැමිණිලි කර ඇත.
මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴