උදරයේ තිබූ තෙල් ලීටර 13.5 ක් ඉවත් කළ විස්මිත සැත්කම

උදරයේ තිබූ තෙල් ලීටර 13.5 ක් ඉවත් කළ විස්මිත සැත්කම


උදරයේ තිබූ තෙල් ලීටර 13.5 ක් ඉවත් කළ විස්මිත සැත්කම

(12.01.2024 – 21:15 +0530 – hirunews.lk/sinhala)

උදරයේ තිබූ තෙල් ලීටර 13.5 ක් සැත්කමක් මඟින් ඉවත් කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන සමත් වී තිබෙනවා.

මෙම සැත්කම සිදුකර තිබුණේ 61 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් බවයි සඳහන් වන්නේ.

විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන පවසන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ උදරයෙන් ඉවත් කරනු ලබන්නේ තෙල් ලීටර් 4 ක් 5 ක් වැනි ප්‍රමාණක් වන අතර, මෙම සැත්කමේ දී උදරයේ තිබි තෙල් ලීටර් 13.5 ක් ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සැත්කම මහනුවර පෞද්ගලික රෝහලේ දී සිදුකර ඇති බවයි සඳහන්.

සැත්කමට ලක්වූ කාන්තාව සුවසේ පසුවන බව වාර්තා වෙනවා.

+


සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72 ක් අඟහරුවාදා වෘත්තිය ක්‍රියාමාර්ගයක

(12.01.2024 – 19:37 +0530 – hirunews.lk/sinhala)

තම ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් ලබන අගහරුවාදා පැය 24 ක ඒකාබද්ධ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තීන් ඇතුළු සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72 ක නියෝජිතයන් අද (12) කොළඹ දී ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළා.

මේ අතර සමස්ත ලංකා හෙද සංගමය අද සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ වෙත සංදේශයක් භාර දී තිබෙනවා.

ඒ දීමනා ගැටලුවට විසදුම් ලබා දී අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින්.

අදාළ සංදේශය අමාත්‍යවරයාට භාර දීමට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත කියා සිටියේ තම ඉල්ලීම් සඳහා විසදුම් නොලැබෙන්නේ නම් 17 වනදා හෙද වෘත්තිකයින් විසින් අමාත්‍යාංශය වටලන බවයි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඊයේ (11) සහ පෙරේදා (10) වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වුණේ රජය විසින් වෛද්‍යවරුන්ට ලබාදීමට තීරණය කළ රුපියල් 35,000 ක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින්.

මේ අතර, සමගි ජන බලවේගය ඇතුළු කණ්ඩායමක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අද (12) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා.

+


ප්‍රසිද්ධ කුලී රථ සේවාවක රියදුරෙක් අත්අඩංගුවට

(12.01.2024 – 18:37 +0530 – sinhala.adaderana.lk)

ප්‍රසිද්ධ කුලී රථ සේවාවක රියදුරෙකු විසින් සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය විසින් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දා අදාළ ත්‍රිරෝද රථයට ගොඩ වූ පුද්ගලයෙකු ඔහුගේ ජංගම දුරකථනය හා මුදල් පසුම්බිය අමතක කර එහි දමා ගොස් තිබිණි.

පසුව කුලී රථ සේවය අමතා අදාළ රියදුරාගෙන් එම ජංගම දුරකථනය හා මුදල් පසුම්බිය පිළිබඳ විමසුව ද රියදුරා පවසා ඇත්තේ එවැන්නක් රථය තුළ නොතිබුණු බවය.

ඒ අනුව පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මත සොයා බැලීමේ දී කුලී රථ සේවයේ ත්‍රීරෝද රථ රියදුරු විසින් ජංගම දුරකථනය විකුණා ඇති බවත්, මුදල් පසුම්බියේ තිබූ බැංකු කාඩ් භාවිත කරමින් විවිධ ස්ථානයන්ගෙන් භාණ්ඩ මිලදී ගෙන ඇති බවත් පොලීසියට අනාවරණය වුණි ෴


TIN අංකය ගැනීමේ අවසාන දිනය කල් යන ලකුණු

(12.01.2024 – 18:09 +0530 – sinhala.adaderana.lk)

බදු ගෙවීම් හඳුනා ගැනීමේ අංකය ලබාගත යුතු අවසන් දිනය තවදුරටත් කල් යාමේ හැකියාවක් පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සමන් ශාන්ත මහතා පවසන්නේ, බදු ජාලය පුළුල් කර ගැනීමෙන් අනතුරුව අය කරන බදු ප්‍රමාණය අඩු කිරීමේ හැකියාව පවතින බවයි.

+


ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගැන තීරණයක්

(12.01.2024 – 14:00 +0530 – sinhala.adaderana.lk)

ජෝර්දානයේ රැකියා අහිමිවී සිටින ඇඟලුම් සේවකයන් සම්බන්ධයෙන් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව එම කර්මාන්ත ශාලා වසා තැබීම හේතුවෙන් ඉවත් කළ සේවකයින් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හා ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරින්ට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

අදාළ ඇඟලුම් කර්මාන්තශාලා වසා දැමීම හේතුවෙන් සේවකයන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එහි කම්කරු සුභසාධන අංශය එක්ව එරට කම්කරු දෙපාර්තමේන්තු බලධාරින් සමග සාකච්ඡා කර තිබේ.‍

එහිදී අදාළ බලධාරීන් මෙම ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට පිටත් කිරීම සඳහා ගුවන් ටිකට් පත් ලබා දිය හැකි බව ප්‍රකාශ කර ඇත.

නමුත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එහි කම්කරු සුභසාධන අංශය ඉන් සෑහීමට පත්නොවූ අතර පසුව ඉන්දීය හා බංග්ලාදේශ යන රටවල නියෝජනය කරන ජෝර්දානයේ සිටින තාතාපතිවරුන් සමග එක්වී එරට කම්කරු අමාත්‍යාංශ නිලධාරින්ගෙන් ඉල්ලා ඇත්තේ, ගුවන් ටිකට් පත්වලට අමතරව මෙම සේවකන්ගේ හිඟ වැටුප් හා දීමනා සමඟ සමාජ රක්ෂණ අරමුදල මඟින් වන්දි ලබා දෙන ලෙසය.

මෙම ශ්‍රමිකයින්ට හිමි හිඟ වැටුප්, දීමනා හා සමාජ ආරක්ෂණ වන්දි මුදල් ලබාගැනීම සඳහා ජෝර්දානයේ නීති උපදේශන ආයතනයක සහාය ගන්නා ලෙස කාර්යාංශ සභාපති ඒ.ඒ.එම්. හිල්මි මහතා තානාපති කාර්යාලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

එසේම මෙම ශ්‍රමිකයින් අතුරින් මේ වන විට වලංගු වීසා නොමැතිව ජෝර්දානයේ රැඳී සිටින ශ්‍රමිකයින් දඩ මුදල් අයකිරීමකින් තොරව දිවයිනට ගෙන්වා ගැනීමටත්, තවදුරටත් ජෝර්දානයේ රැඳී සිටිමින් වෙනත් ආයතනවල සේවය කිරීමට කැමති ශ්‍රී ලාංකිකයින් 62 දෙනෙකු වෙනුවෙන් නව සේවා ස්ථාන ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් උපදෙස් ලබාදී ඇත.

මේ වන විට අදාළ ශ්‍රමිකයින් කර්මාන්තශාලාවට අයත් නේවාසිකාගාරයේ රඳවා සිටින අතර තානාපති කාර්යාලය කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර ලැබීමෙන් පසු මෙම සේවකයන් මේ මාසය ඇතුළත ශ්‍රී ලංකාවට යැවීමට අවශ්‍ය කටයුතු සලසා ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

ජෝර්දානයේ එක් ආයතනයක ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 153 දෙනකු හා අනෙක් ඇඟලුම් කර්මාන්තශාලාවේ ශ්‍රමිකයින් 67 දෙනෙකු සේවය කර ඇත.

මේ අතර එක් ආයතනයක සේවය කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අත්සනින් නිකුත් කරන ලද ලිපියක් මඟින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ආහාර, ජලය හා විදුලිය යන මුලික අවශ්‍යතාවයන් අඩුවකින් තොරව ලැබෙන බවය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ඇඟලුම් කම්හල් දෙකෙහි (2) ශ්‍රී ලාංකික ශ්‍රමිකන්ගේ වෛද්‍ය පහසුකම් අවශ්‍යතා ඉටුකිරීමට අවශ්‍ය මුදල් යවා ඇත.

තවද කම්කරු සුභසාධන අංශයේ නිලධාරින් අදාළ සේවකයන් සම්බන්ධයෙන් නිරන්තරව සොයා බලමින් සිටින බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශ සඳහන් කරයි.

මෙම සේවකයන්ගේ ගැටලු සම්බන්ධ‍යෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිඥ සමාගම් තුනක් (3) සමග සාකච්ඡා කර ඇති අතර, ඔවුන්ගේ උපදෙස් ලැබුණු පසු සේවකයින්ගේ කැමැත්ත ඇතිව අවශ්‍ය කටයුතු සිදුකිරීමට නියමිතය.

සියලු කටයුතු අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යළි ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ සඳහන් කළේය ෴


හිඟන්නාගේ පාත්තරේටත් විදින විදේශිකයින් ගැන හෙළිදරව්වක්

(12.01.2024 – 12:56 +0530 – sinhala.adaderana.lk)

මෙරට තුළ සිදුවන ඔන්ලයින් ණය ලබාදීමේ වංචා සම්බන්ධයෙන් අද (12) පාර්ලිමේන්තුවේ දී අවධානය යොමු විය.

එහිදී ඔන්ලයින් ණය ලබාදීම තුළින් සිදුකරණ වංචා සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රශ්න කිරීමකට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පිළිතුරු ලබාදෙමින් පැවසුවේ ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු ඉදිරියේ දී සිදුකරන බවයි.

ඔන්ලයින් ණය ලබාදීම වැඩි වශයෙන් සිදුකරන්නේ, කෙටිකාලයක් මෙරට තුළ රැඳී සිටින විදේශිකයින් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“ඒ ගැන අපි අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ අඟහරුවාදා දිනයේ දී ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පළමු වර කියවීමට ඉදිරිපත් කළා. මේ කියන අලුත් ව්‍යාපාර කටයුත්තේ ගොඩක්ම ඉන්නේ විදේශිකයෝ. විදේශ රට වල ඉඳලා ඒ රටවලත් යම් යම් ඒ වගේ ව්‍යාපාර කරලා දැන් මෙහෙට ඇවිල්ලා ඒ ගොල්ලෝ බොහෝ අවස්ථාවලදී තාවකාලිකව තමා ඉන්නේ. අවුරුද්දක් එකහමාරක් (1½) වගේ කාල සීමාවක තමා මේ කටයුත්ත කරන්නේ. මේ පිළිබඳ අපි දැනටමත් අවධානය යොමු කරලා තියෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත තුළින් මේකට පූර්ණ ආවරණයක් ලබා දෙන්නේ නෑ. නමුත් ඒ සඳහා අවශ්‍ය අලුත් නීතිත් අපි ගෙන්න බලාපොරොත්තු වෙනවා ඉතාම කඩිනමින්. “

+


අඩු ආදායම් ලාභී නිවාස පෙන්වා මුදල් ගැරූ සැකකරුවෙක් අත්අඩංගුවට

(12.01.2024 – 10:01 +0530 – sinhala.adaderana.lk)

පෑලියගොඩ වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර සහ කොම්පඤ්ඤවීදිය අඩු ආදායම් ලාභී නිවාස සංකීර්ණයේ නිවාස ලබාදෙන බවට පවසා ජනතාවගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධියට සැකපිට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් පැමිණිළි ලැබී තිබූ අතර විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් 19,663,800 ක මුදලක් වංචා කර ඇති බවට වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි යාගින්න කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *