රාජකාරී වෙලාව තුළ රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික ගමන් තහනම්

රාජකාරී වෙලාව තුළ රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික ගමන් තහනම්


රාජකාරී වෙලාව තුළ රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික ගමන් තහනම්

(11.01.2024 – 14:08 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවකයින් රාජකාරී කටයුතු සිදුකරන වෙලාවන් පිළිබඳව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත්කර තිබෙනවා.

එහි සඳහන් වෙන්නේ කාර්යාලගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 08:30 සිට සවස 04:15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය බවයි.

එම චක්‍රලේඛනයේ දැක්වෙන්නේ පස්වරු 03:00 දක්වා රජයේ කාර්යාල මුදල් ගනුදෙනු සඳහා විවෘතව තැබිය යුතු බවයි.

එමෙන්ම මහජනතාවගෙන් දිනපතා ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් සියලුම රාජ්‍ය ආයතනවල විමසීම් කවුළු, මුදල් භාර ගැනීමේ කවුළු, අයැදුම්පත් භාර ගැනීමේ කවුළු අඛණ්ඩව වීවෘතව තැබිය යුතු වන අතර රාජ්‍ය සේවකයින් රාජකාරී කාලය තුළදී වෙනත් පෞද්ගලික කටයුතු සඳහා පිටව යාම නොකළ යුතු බවත් එහි සඳහන්.

මහජන දිනය ලෙස සැළකෙන සඳුදා දිනයේ සියලුම නිලධාරීන් ආයතනයේ රැඳී සිටීම අනිවාර්ය අතර රාජකාරි කාලය තුළදී සිය කාර්යාල හැඳුනුම්පත පැලඳ සිටීම හා නිල ඇඳුම් දීමනා ලබන සියලුම රාජ්‍ය නිලධාරීන් නිල ඇඳුමින් සැරසී සිටීම අනිවාර්ය බවයි එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ ෴


ප්ලාස්ටික් වතුර බෝතලයක පිළිකාකාරක අංශු 240,000 ක්

(11.01.2024 – 13:13 +0530 – hirunews.lk/sinhala)

බෝතල් කළ ජලය සෞඛ්‍යයට අහිතකර වන අතර ලීටරයේ ප්ලාස්ටික් වතුර බෝතලයක නැනෝ ප්ලාස්ටික් පිළිකාකාරක අංශු 240,000 ක් අඩංගු බව අමෙරිකාවේ කොළොම්බියා සරසවියේ විද්‍යාඥයන් පිරිසක් පරීක්ෂණයක් මඟින් හෙළි කර තිබෙනවා.

ඒ අනුව බෝතල් කර ඇති එක් ජල ලීටරයක නැනෝ ප්ලාස්ටික් අංශු 110,000 සිට 400,000 දක්වා පවතින අතර එහි ඇතුලත් විස අංශු ප්‍රමාණය 240,000 ක් බවයි අනාවරණය වන්නේ.

එම විද්‍යාඥයන් පිරිස පැවසුවේ ප්ලාස්ටික් බෝතලයකින් ජලය පානය කිරීමෙන් සිරුරට අහිතකර කුඩා පිළිකාකාරක අංශු ඇතුලත් වන බවයි.

එසේම නැනෝ ප්ලාස්ටික් අංශු ඉතාමත් විසකර රසායනික ප්‍රභේදයක් වන අතර ඒවා ඉතා ඉක්මනින් සිරුර වෙත ඇතුළුවීමේ හැකියාවක් පවතින බවයි ඔවුන් සඳහන් කළේ ෴


පොලිස් නිලධාරියෙකුට භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක්

(11.01.2024 – 10:56 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරියෙකුට භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගිය පුද්ගලයින් දෙදෙනෙකු (2) ඌර්කාවතුරේ පොලීසිය විසින් ඊයේ (10) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එල්ල කරන ලද භූමිතෙල් බෝම්බය නිසි ලෙස පිපිරී ගින්නක් හට නොගැනීම නිසා පොලිස් නිලධාරියාට කිසිදු අනතුරක් සිදුව නොමැති බවයි වාර්තා වෙන්නේ.

සිද්ධියට මුහුණ දුන් පොලිස් නිලධාරියා මේ බව ඌර්කාවතුරේ පොලීසියට දැනුම් දීමෙන් පසුව නිලධාරීන් පිරිසක් අදාල ප්‍රදේශය පරීක්ෂා කොට භූමිතෙල් බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් දෙදෙනාව ඌර්කාවතුරේ හා මණ්ඩතීව් ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාව වන විට ඔවුන් දැඩි ලෙස බීමත්ව සිට ඇති අතර මෙම පොලිස් නිලධාරියාට භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණයවී නැහැ.

ඌර්කාවතුරේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබනවා ෴


කාර්තිව් සිට සමන්තුරෙයි දක්වා මාර්ගයේ ගමනාගමනය බරවාහනවලට පමණක් සීමාවෙයි

(11.01.2024 – 10:24 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – කාර්තිව් සිට සමන්තුරෙයි දක්වා මාර්ගය කින්ඩන්කි ප්‍රදේශයෙන් ජලයෙන් යට වීම හේතුවෙන් වාහන ගමනාගමනට බාධා එල්ල වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ බස් රථ සහ බරවාහනවලට පමණක් එම මාර්ගයේ ධාවන කරන ලෙසයි.

මේ අතර රාජාංගනය ජලාශයේ වාන් දොරටු 32 න් 14 ක් මේ වනවිට විවෘත කර තිබෙනවා.

ඒ අනුව තත්පරයට ඝණ අඩි 18,000 ක ජල කඳක් ඉන් මුදාහැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ ෴


‘අයිස්’ මත්ද්‍රව්‍ය සමග කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

(11.01.2024 – 10:18 +0530 – hirunews.lk/sinhala)

‘යුක්තිය’ මෙහෙයුමේදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය – කුච්චවේලි පොලිසිය විසින් ඊයේ (10) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය – කෝපායි පොලීසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙක්.

ඔහු සතුව තිබී අයිස් ග්‍රෑම් 50 ක් සොයා ගෙන තිබෙනවා ෴


‘යුක්තිය’ ඔස්සේ 897ක් අත්අඩංගුවට

(11.01.2024 – 09:09 +0530 – hirunews.lk/sinhala)

රටපුරා ක්‍රියාත්මකවන ‘යුක්තිය’ මෙහෙයුම යටතේ ගෙවුණු පැය 24 තුළදී සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 23 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවද සඳහන්.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 31 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

මෙහෙයුම අතරතුර අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ :

  • හෙරොයින් 295g 500mg
  • අයිස් 685 g 930mg
  • ගංජා 72 kg 970g
  • අබිං 6g 400mg
  • ගංජා පැල 2113 ක්
  • ගංජා සුරුට්ටු 05 ක්
  • මාවා 361g 400 mg
  • තුල් 21g 500mg
  • මත්පෙති 665 ක්
  • ඈෂ් 8g
  • මදනමෝදක 61g

චීනයෙන් මෙරටට පාසල් නිල ඇඳුම්

(11.01.2024 – 23:17 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් 80% ක් චීන රජයෙන් ලබා දීමට එකඟ වී ඇති අතර එහි පළමු තොගය අද මෙරට චීන තානාපති ෂී ෂැං හොං විසින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබුවා.

ඒ අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ දීයි.

චීන රජයෙන් ලබා දීමට නියමිත සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය මීටර් අනූදෙලක්ෂ හැට දහසකට (92,60,000) ආසන්නයි.

+


සෞඛ්‍ය වර්ජනය නොසිතූ තැනකට තල්ලුවෙයි

(11.01.2024 – 21:09 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍යවරුන්ට පමණක් රුපියල් 35,000 කින් ඉහළ නැංවූ ‘ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව’ හෙවත් DAT දීමනාව තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අද (11) තවත් වෘත්තිය සමිති රැසක් එක්විය.

ඒ අනුව සෞඛ්‍ය වෘත්තිය සමිති හතලිහකට (40) අයත් සේවකයින් අද (11) පෙරවරු 6 සිට එක්දින (1) වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

මෙවන් පසුබිමක රෝහල් කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි යුද හමුදාව යෙදවීමටද කටයුතු කෙරුණි.

ඒ අනුව අවශ්‍යතාව පරිදි සෙබලුන් 500 කට ආසන්න පිරිසක් රජයේ රෝහල් වෙත යොමු කෙරුණු අතර, හදිසි අවශ්‍යතා සඳහා යෙදවීමට භට පිරිස් සූදානමින් තබන ලෙසට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා උපදෙස් දී තිබේ.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත්විය.

රජයේ රෝහල්වලින් ඖෂධ නිකුත් නොකිරීම නිසා රාජ්‍ය ඔසුසැල් අසළද දිගු පෝළීම් දක්නට ලැබුණි.

ඇතැම් රෝහල්වල මුළුතැන්ගෙයි කටයුතු අඩාල වීම හමුවේ නේවාසික රෝගීන්ද අපහසුතාවයට පත්ව සිටියේය.

පවුල් සෞඛ්‍ය සේවා සංගමය ඊයේ (10) ආරම්භ කළ පැය 48 ක වර්ජනය අදත් (11) ක්‍රියාත්මක වීම හේතුවෙන් රෝග නිවාරණ, ළමා හා ගැබිණි සායන ඇතුළු කටයුතු අඩාල විය.

මේ අතර ළමා රෝහලේ , පිළිකා රෝහලේ , මාතෘ රෝහල්වල , වකුගඩු රෝහල්වල , මධ්‍යම ලේ බැංකුවේ සහ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බව ප්‍රකාශ කෙරුණි.

කෙසේවෙතත් මහරගම අපේක්ෂා රෝහලේ ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවක සංගමය, රජයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලය අද (11) දහවල් කෑම පැයේදී විරෝධතාවයක නිරත වුණේ තමන්ටද අදාළ දීමනා ලබා දෙන ලෙස ඉල්ලමිනි.

ගැටලුවට නිසි විසඳුමක් නොලැබුණහොත් ලබන 16 වැනිදායින් පසු රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයද විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර රජයේ රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මක වැඩවර්ජන හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා සහ අසාධාරණය පිළිබඳව නව ජනතා පෙරමුණ අද (11) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

‘අද දෙරණ බිග් ෆෝකස්’ තුළින් අවධානය යොමු කෙරුණේද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳවය.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තිය සමිති කිහිපයක් අද (11) ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පැවසුවේ, විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයට පමණක් දීමනා වැඩිකිරීම අසාධාරණ බවය.

+


ONMAXDT වංචාව සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

(11.01.2024 – 18:45 +0530 – sinhala.adaderana.lk)

‘ONMAXDT ප්‍රයිවට් ලිමිටඩ්’ නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නීතිවිරෝධී ආකාරයේ පිරමීඩ මූල්‍ය ජාවාරමක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (11) වරෙන්තු නිකුත් කර තිබේ.

‘චාමර වික්‍රමතිලක’ නමැති සැකකරුවෙකුට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

එමෙන්ම එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිය භාරයට ගෙන ඇති පරිගණක දුරකථන ඇතුළු භාණ්ඩ පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය වෙත යොමුකර වාර්තාවක් කැඳවීමටද අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකයට අවසර ලැබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන්, 05 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි අතර ඔවුන් මේ වනවිට ඇප මත මුදා හැර තිබේ.

ඉන්දික සම්පත්, ගයේශාන් අබේරත්න, සමිත් සඳරුවන්, ඉන්දික ජයසේකර හා ධනංජය ගයාන් ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු (5) මෙලෙස ඇප මත මුදාහැර ඇත.

මෙම පිරමීඩ ආකාරයේ මූල්‍ය ජාවාරමට පුද්ගලයන් දෙලක්ෂ විසි දහසකට (2,20,000) ආසන්න පිරිසක් හසුවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය පෙර නඩු වාරයේදී අධිකරණයට දැනුම්දී තිබුණි

මේ වනවිට සිදුකර තිබෙන විමර්ශනවලට අනුව රුපියල් කෝටි 3000 ක පමණ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවද මහජනතාවගෙන් ලබාගත් මෙම මුදල් හරහා මෙම සැකකරුවන් හෝටල්, ඉඩම් වාහන, ඇතුළු රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ ලබාගෙන ඇති බවද එම ඒකකය වැඩිදුරටත් කරුණු දක්වා තිබුණි ෴


කැළණියට ආපු බෝධිසත්වයා ළමා අපයෝජකයෙක් |මේ ඔක්කොම පිස්සෝ පිටිපස්සේ ඉන්නේ උමන්දාව (11.01.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *