සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයෙන් අදත් (10) රෝගීන්ට පීඩා

සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයෙන් අදත් (10) රෝගීන්ට පීඩා


සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයෙන් අදත් (10) රෝගීන්ට පීඩා

(10.01.2024 – 13:03 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරුන්ට ලබාදීමට තීරණය කර ඇති රුපියල් 35,000 ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති 10 ක් අද (10) පෙරවරු 8 සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා.

වැඩ වර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවකට පත්වුණා.

වෛද්‍යවරුන්ගේ රාජකාරි බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව රුපියල් 35,000 සිට රුපියල් 70,000 දක්වා ඉහළ දැමීම අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවකට අනුවයි.

කෙසේ වෙතත් එම වැඩිකළ දීමනාව ද තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිති 10 ක් අද (10) පෙරවරු 8 සිට පැය 48 ක සංකේත වර්ජනයක නිරත වනවා.

මෙම වර්ජනය සඳහා පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයද එක්ව සිටින අතර ඒ අනුව ඔවුන් ඊයේ (09) පෙරවරු අටට (8) ආරම්භ කළ වර්ජනය අද (10) උදෑසන 8 ට අවසන් කළ නමුත් මෙම සංකේත වර්ජනයට යළි එක්ව තිබෙනවා.

මෙම වර්ජනය හේතුවෙන් රෝගී ජනතාව පත්වන අපහසුතාව සැලකිල්ලට ගනිමින් සියලු ළමා රෝහල්, පිළිකා රෝහල, සියලු මාතෘ රෝහල්, වකුගඩු රෝහල්, මධ්‍යම ලේ බැංකුව සහ මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනවල සේවාවන් ස්වේච්ඡා පදනම මත පවත්වාගෙනයන බවයි වර්ජනයේ නිරත වෘත්තීය සමිති පවසන්නේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හදිසි වර්ජන හේතුවෙන් සෑමවිටම අපහසුතාවයට පත් වන්නේ රෝහල් වෙත පැමිණෙන ජනතාවයි ෴

++++++++

සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල හෙට (11) දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

(10.01.2024 – 17:54 +0530 – hirunews.lk/sinhala)

කළමනාකාර සහකාරවරුන්, උපස්ථායකවරුන් සහ සෞඛ්‍ය කාර්ය සහයකයන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල හෙට (11) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව හෙට (11) පෙරවරු 6 සිට පැය 24 ක කාලයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවන බවයි සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශකර සිටියේ ෴


ප්‍රේමලාල් ජයසේකරගේ සාදයක් ගැන බරපතළ චෝදනාවක්

(10.01.2024 – 19:59 +0530 – sinhala.adaderana.lk)

වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා මහජන මුදල් වැය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සඳහා වරාය පරිශ්‍රයේ සංචාරයක් සංවිධානය කර සාදයක් පැවැත්වූ බවට වරාය වෘත්තිය සමිති චෝදනා කරයි.

ඔවුන් පවසන්නේ, වරාය පරිශ්‍රයේ අධිආරක්ෂිත කලාපයක අනීතික ලෙස මෙම සාදය පවත්වා ඇති අතර, මේ පිළිබඳ කඩිනම් විමර්ශනයක් පැවැත්විය යුතු බවයි.

වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50 ක පමණ පිරිසක් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ ඊයේ (09) නාවික සංචාරයක් සිදු කර තිබේ.

ඒ සඳහා ආරාධනා පත්‍රයක් ද නිකුත් කර තිබූ අතර, එහි සඳහන් කර තිබුණේ නව වර්ෂය ආරම්භයේ කොළඹ වරාය පරිශ්‍රයේ කෙටි නාවික සංචාරයක් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා සංවිධාන කර ඇති බවයි.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අද (10) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ අතර, එම සංචාරයේ හා සාදයේ වීඩියෝ දර්ශන පෙළක් ද ඔවුන් මාධ්‍යයට නිකුත් කර ඇත.

ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක් ව තිබේ.

මෙම සංචාරය සිදු කර ඇත්තේ, ‘හංසකාවා’ සහ ‘දියකොවුලා’ නමැති යාත්‍රා ද්විත්වය යොදාගනිමිනි.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය චෝදනා කළේ වරායේ නීතිරීති පවා උල්ලංඝනය කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම සංචාරය හා සාදය පවත්වා ඇති බවයි.

‘හංසකාවා’ සහ ‘දියකොවුලා’ නැමැති නෞකා මගී යාත්‍රා නොවන අතර, ඒවා භාවිත කෙරෙන්නේ වරායේ වැලි ඉවත් කිරීම සඳහා බව ඔවුහු පවසති.

සංචාරයට එක්වූ මන්ත්‍රිවරුන්ට අවශ්‍ය ආහාර පාන වරාය අධිකාරිය විසින් සලසා දී ඇති බවට ජාතික පුවත්පතක් ද අද (10) වාර්තා කර තිබිණි.

වරාය රාජ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් එම සංචාරය සඳහා ආහාර පාන ලබාදෙන ලෙස වරාය අධිකාරියෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

වරාය වෘත්තිය සමිති චෝදනා කළේ, මන්ත්‍රීවරුන්ගේ මෙම විනෝද චාරිකාව සඳහා වරාය මහජන මුදල් කෝටි ගණනින් වැය කොට ඇති බවයි.

මෙම චෝදනාවට ප්‍රතිචාර විමසීම සඳහා අපි රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත්තෙමු.

වෘත්තිය සමිතිවල ප්‍රකාශ අසත්‍ය බව පැවසූ ඔහු කියා සිටියේ, මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අද (10) ප්‍රකාශයක් ලබාදීමට නොහැකි බවයි.

හෙට (11) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මේ පිළිබඳ ප්‍රතිචාර දක්වන බව ඔහු සඳහන් කළේය.

+++++++++

+


කහතුඩුවේදී සිවිල් ගුවන්සේවා නිලධාරිනිය ඝාතනය කළ සැකකරුගේ පාපොච්චාරණය

(10.01.2024 – 21:15 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම අසලදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කළ සැකකරු පැය 24 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

ඒ ඔහු අද (10) කැස්බෑව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු පාපෝච්චාරණය කර ඇත්තේ මිය ගිය කාන්තාව සහ තමන් අතර ඊයේ (09) පස්වරුවේ බහින්බස් වීමක් සිදු වූ අතර එහිදී ඇති වූ ක්ෂණික කෝපය හේතුවෙන් ඇයට තියුණු ආයුධයකින් පහර දුන් බවයි.

49 හැවිරිදි මෙම සැකකරු ඊයේ (09) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපලේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ‘එයාර් ඒෂියා’ ගුවන් සමාගමට අයත් ඒ.කේ. 048 දරණ යානයෙන් සිංගප්පූරු බලා පිටත්ව යාමට පැමිණ සිටියදීයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය කිරීමේ අරමුණින් ගුවන්තොටුපොළේ ස්ථාපිත කළ මුහුණු හඳුනාගැනීමේ ස්වයංක්‍රීය පද්ධතියේ සහයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගැණුනා.

සැකකරු විදේශ රටකට පලාගොස් සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ‘රත්මලානේ ධර්මසිරි’ නමැත්තාගේ සහෝදරයෙකු වන බවටද අනාවරණ වී තිබෙනවා.

ඝාතනයට ලක් වූ පිලියන්දල – මඩපාත ප්‍රදේශයේ පදිංචි ‘දුලාංජලී අනුරුද්ධිකා’ නමැති 41 හැවිරිදි එක්දරු මව සිවිල් ගුවන් සේවා නිලධාරිනියක ලෙස සේවය කරනු ලැබුවා.

ඇය සේවය නිම කර කාර්යාලයීය ප්‍රවාහන සේවාවට අයත් බස් රථයකින් පැමිණ ඉන් බැස තිබුණේ කහතුඩුව අධිවේගී පිවිසුම අසලින්.

පසුව මාර්ගයේ අනෙක් පස නවතා තිබූ ත්‍රීරෝද රථයකට ගොඩවීමට යාමේදී මෝටර් රථයකින් පැමිණ මාර්ගයේ රැක සිටි සැකකරු එක්වරම ඇයගේ උදරයට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

පසුව සැකකරු එම කාන්තාවගේ ගෙලට හා සිරුරේ තවත් ස්ථාන කිහිපයකට තියුණු ආයුධයෙන් පහරදී පැමිණි මෝටර් රථයෙන්ම පලාගොස් තිබුණේ හෝමාගම ප්‍රදේශයටයි.

ඝාතනයට ලක්වූ කාන්තාව සහ සැකකරු විවාහකයින් වන අතර, ඔවුන් විවාහ වීමට පෙර ප්‍රේම සබදතාවයක් පවත්වා ගෙන ගොස් තිබුණා.

දරුවන් පස් (5) දෙනෙකුගේ පියෙකු වන සැකකරු විදේශ ගත වී සිට යළි මෙරටට පැමිණ ඇති අතර, දෙදෙනා අතර යලි සබඳතාවක් පැවති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

සැකකරු බම්බලපිටිය ප්‍රදේශයේ කාර්යාලයක වීසා උපදේශන සේවාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

++++++++

+


නීතිවිරෝධී පොල්තෙල් ලීටර් 19,500 ක් රේගු භාරයට

(10.01.2024 – 22:51 +0530 – hirunews.lk/sinhala)

නිතී විරෝධි ලෙස Slovenia රාජ්‍යයේ සිට වර්ජින් පොල්තෙල් ලෙස සඳහන් කරමින් ආනයනය කරනු ලැබූ පිලිපීනයේ නිෂ්පාදිත පොල්තෙල් ලීටර් 19,500 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගු නිළධාරින් භාරයට ගනු ලැබුවා.

කොන්දේසි අනුගමනය නොකරමින් මෙම පොල්තෙල් රැගෙන ඒම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධික්ෂණ අංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


බදුල්ල සහ බණ්ඩාරවෙල මෙවර උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

(10.01.2024 – 17:29 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රදේශවල මෙවර උසස් පෙළ විභාගට පෙනි සිටින සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම දැනුම්දීමේ සඳහන් වන්නේ උසස් පෙළ විභාගට පෙනි සිටින සිසුන්ට ප්‍රවාහන අපහසුතා මතු වුවහොත් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී විභාගයට පෙනී සිටිය හැකි බවයි ෴


දඩයක්කරුවෙකුට වන අලියෙකුගෙන් මාරාන්තික ප්‍රහාරයක්

(10.01.2024 – 15:13 +0530 – sinhala.adaderana.lk)

නීති විරෝධී ලෙස විල්පත්තු අභය භූමියේ දඩයමේ ගිය දඩයක්කරුවන් පිරිසක් දරුණු වන අලි ප්‍රහාරයකට ලක් ව තිබේ.

ඉන් දඩයක්කරුවෙකු මිය ගොස් ඇති අතර, ඔහුගේ සිරුර අලියාගේ ප්‍රහාරයෙන් කැබලිවලට කැඩී තිබිය දී සොයාගෙන ඇත.

විල්පත්තුව ජාතික වන උද්‍යානයේ පුක්කුලම ආසන්න ප්‍රදේශයෙ දී ඊයේ (09) මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

මිය ගිය දඩයක්කරු එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වේ.

වන අලි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ, මන්නාරම – මරිච්චිකට්ටි ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි ‘කප්පාඩයන් මොහොමඩ්’ නමැති පුද්ගලයෙකි.

දඩයක්කරුවන් මුහුදු මාර්ගයෙන් ධීවර යාත්‍රා උපයෝගී කරගෙන කුදිරමලේ තුඩුව ආසන්නයෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුළු වී ඇත.

එම අවස්ථාවේ දී දඩයක්කරුවන් පිරිස වන අලි රංචුවකට හසු ව ඇති අතර, ඉන් එක් මද කිපුණු අලියෙකු දඩයක්කරුවන් පසුපස පන්නා ඇතැයි වාර්තා වේ.

ඉන් එක් දඩයක්කරුවෙකු අලියාගේ ග්‍රහණයට හසු වී ඇති අතර, අලියා ඔහු ව ක්ෂණික ව පාගා මරා දමා සිරුර කැබලිවලට කඩා දමා ඇති බව වනජීවී නිලධාරිහු පවසති.

මෙම දඩයක්කරුගේ සිරුරේ උදරයෙන් උඩ කොටස එක් ස්ථානයක ද පාද වෙනත් ස්ථානවල ද තිබී වනජීවි නිලධාරින් හා ආරක්ෂක අංශ එක් ව සොයාගෙන ඇත.

කෙසේ වෙතත් නීති විරෝධී ලෙස විල්පත්තුව අභය භූමියට ඇතුළු වූ සෙසු දඩයක්කරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ ෴


රනිල්ගේ රුපියල් හොයන උපාය මාර්ගය නම් හරි, ගෝඨාභය තඩි ලණු දෙකක් එකපාර ගිල්ලා | ඊළඟ අරගලය දරුණුයි – උදය ගම්මන්පිල (10.01.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *