දෙව්ලොව යන්න සැරසුණු ලංකාවේ මානසික රෝගීන් 30 ක් හඳුනාගනී

දෙව්ලොව යන්න සැරසුණු ලංකාවේ මානසික රෝගීන් 30 ක් හඳුනාගනී


දෙව්ලොව යන්න සැරසුණු ලංකාවේ මානසික රෝගීන් 30 ක් හඳුනාගනී

(10.01.2024 – 07:50 +0530 – hirunews.lk/sinhala)

= දිව්‍යලෝකෙ යන්න සැරසුණු ලංකාවේ 30ක් හඳුනාගනී =

දිව්‍යලෝකයට යාම පිණිස මිහිපිට ජීවිතය අත්හරින ලෙස මතවාදයක් ප්‍රචාරය කරමින් හත්දෙනකුට (7) දිවි නසාගන්නට පෙලඹවූ ‘රුවන් ප්‍රසන්න ගුණරත්න’ නමැත්තාගේ මිසදිටු කල්ලියට සෘජුවම සම්බන්ධ වූ තිස්දෙනකු (30) ගැන දැනට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

පොලිසිය හා බුද්ධි අංශ එක්ව අරඹා ඇති විමර්ශනයකට අනුව මෙම පිරිස හඳුනාගෙන ඇති අතර එම පිරිසට ගිහියන්ට අමතරව භික්ෂුන් කිහිපදෙනකුද සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

‘බෞද්ධ දර්ශනය’ යැයි හුවාදක්වමින් ‘රුවන් ප්‍රසන්න’ නමැත්තා පොළොන්නරුව හා අම්බලන්ගොඩ ප්‍රදේශවල වසර දහයක් (10) පමණ මිථ්‍යාව වපුරමින් පුද පූජා පවත්වා ඇති බව විමර්ශන වලදී හෙළිවී තිබෙනවා.

දැනට ඔහුගේ ප්‍රධාන අනුගාමිකයන් ලෙස හඳුනාගත් තිස්දෙනකු (30) ඔවුන්ගේ අන්තවාදී මතවලින් මුදාගැනීමේ වැඩපිළිවෙළක් අරඹා ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එමෙන්ම නිවේදනයක් නිකුත් කරමින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඇතැම් පුද්ගලයින් විසින් ආගමික ඉගැන්වීම් විකෘති කරමින්, සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියාවන්ට එරෙහිව නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, සමාජය විකෘති කිරීමට පොළඹවන පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් ද පත් කළ බවයි.

මේ අතර, බහුතරයක් ජනතාව මෙම මිථ්‍යා මත පසුපස නොගිය ද, ඉතා සුළු පිරිසක් එවැනි පුද්ගලයින්ට හසුවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්, එම මතවාදයන්ට හසු නොවන්නැයි මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴


කලාවැවේ වාන්දොරටු විවෘත කෙරේ

(10.01.2024 – 10:18 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වර්ෂාපතනය හමුවේ රාජාංගන ජලාශයේ වාන්දොරටු 6 ක් විවෘත කර තිබෙනවා.

ඉන් තත්ත්පරයකට ඝණ අඩි 34 ක් ජලය පිටවන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම අංගමුව ජලාශයේ ද වාන්දොරටු 2 ක් විවෘත කර ඇති බව සදහන්.

මෙලෙස පසුගිය 05 වනදා වසා දැමුණු කලාවැවේ වාන්දොරටු ද්විත්වය ද ඊයේ (09) රාත්‍රියේ සිට යළි විවෘත කර තිබෙනවා ෴

+

මැණික් ගඟ පිටාර ගැලීමෙන්, සෙල්ලකතරගම පුජා භූමිය ජලයෙන් යටවී තිබෙනවා. මේ හේතුවෙන් වන්දනාකරුවන්ට විමසිලිමත්වන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දෙනවා ෴

+

පවතින අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල – බණ්ඩාර‍වෙල මාර්ගයේ 7 කණුව ප්‍රදේශයේ මාර්ගය යථා තත්වයට පත් කිරීම අපහසු වී ඇති බව ප්‍රදේශයේ ‘හිරු වාර්තාකරු’ පවසනවා. ඊයේ (09) රාත්‍රීයේ නායයෑමකින් එම මාර්ගයේ ගමනාගමන කටයුතු නවතා දැමුණා ෴

+

‘මනම්පිටිය – ගල්ලෑල්ල මාර්ගය’ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. ඒ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්.

+

නායයාමක් හේතුවෙන් බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගය ‘හාලිඇල උඩුවර හතේ කණුව’ ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන්ම නතරවී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මාර්ගයට ඉහළින් නායගිය පස්කන්දක් මාර්ගය හරහා ගොස් බදුලු ඔයට වැටීමෙන් එම ස්ථානය මුළුමනින්ම අවහිර වී ඇත ෴

+

+

+

+


ඊයේ (09) සිට අද (10) අලුයම දක්වා ‘යුක්තිය’ට 999 ක් කොටු වෙයි

(10.01.2024 – 08:53 +0530 – hirunews.lk/sinhala)

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (09) සිට අද (10) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 999 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ :

හෙරොයින් 453 g , අයිස් 306g , කොකේන් 940g , ගංජා 57.317kg , ගංජා පැල 31168 ක් , හෂීස් 1g , මාවා 147g , තුල් 14g , මත්පෙති 234 ක් , ඈෂ් 1g , මදන මෝදක ගුලි 629 g ෴


කහතුඩුවේ ඝාතනයට සම්බන්ධ ඝාතකයා හෙළිවෙයි

(10.01.2024 – 08:01 +0530 – hirunews.lk/sinhala)

කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියගේ ඝාතනයට සම්බන්ධ සැකකරු රටින් පිටවීමට උත්සාහ කළ අවස්ථාවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා ‘වීසා උපදේශන ආයතනයක්’ පවත්වාගෙන ගොස් ඇති අතර බම්බලපිටියේ පිහිටි ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණ ගොඩනැඟිල්ලක ඔහුගේ කාර්යාලය පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ සැකකරු සහ ඝාතනයට ලක් වූ කාන්තාව අතර පැවති ‘අනියම් ප්‍රේම සම්බන්ධයක්’ මෙම ඝාතනයට හේතු වී ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 42 ක පිළියන්දල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ෴

++++++++

අධිවේගියේදී අනියම් පෙම්වතිය මරා රට පනින්න ගිය කුඩු ජාවාරමා අල්ලයි..

(10.01.2024 – 08:40 +0530 – lankacnews.com)

කහතුඩුව අධිවේගී පිටවීම අසල ප්‍රධාන මාර්ගය අසලදී කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවයේ නිකුතු 41 හැවිරිදි ‘දුලාංජලී අනුරුද්ධිකා මාපිටියගේ’ නැමැති කාන්තාවගේ අනියම් පුරුෂයා වන ‘එල්ලාවල ලියනගේ ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා’ (අවු. 47) නැමැති අය විසින් එම කාන්තාව ඝාතනය කර එදිනම විදේශගතවීමට උත්සාහ කිරීමේදී පැය 22:35 ට ගුවන්තොටුපොල පොලිස් ස්ථානය නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා’ නොහොත් ‘ධර්මසිරි’ යන අයගේ වැඩිමහල් සහෝදරයා වේ.

වහාම ක්‍රියාත්මක වු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරණු වාර්තා කර සැකකරුට එරෙහිව විදේශ ගමන් තහනමක්ද ගෙන ගුවන්තොටුපොල නිළධාරීන් දැනුවත් කර ඇත ෴

++++++++

‘අනුරුද්ධිකා’ගේ ඝාතනයේ සුලමුල හෙළිවෙයි

(10.01.2024 – 12:50 +0530 – sinhala.adaderana.lk)

කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේදී අද (10) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විදෙස්ගතවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

කහතුඩුව අධිවේගී පිවිසුම අසළදී ඊයේ (09) පස්වරුවේ තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබුණි.

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවය කරන ඇය රැකියාව නිමවා කාර්යාල සේවා බස් රථයෙන් කහතුඩුව අධිවේගී පිවිසුම වෙත පැමිණ තිබුණි.

එම කාන්තාව හොරණ – කොළඹ මාර්ගයට පැමිණෙමින් සිටියදී පුද්ගලයෙකු ඇයට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පැවසීය.

ඝාතනය සිදුකළ පුද්ගලයා අනතුරුව මෝටර් රථයකින් එම ස්ථානයෙන් පළාගොස් තිබුණි.

මෙලෙස ඝාතනයට ලක්වූයේ පිළියන්දල මඩපාත ජබුරලිය පදිංචිව සිටි ‘දුලාංජලී අනුරුද්දිකා’ නැමැති 42 හැවිරිදි එක් දරු මවකි.

ඇයගේ සැමියා පානදුර රෝහලේ වෛද්‍යවරයෙක් බවයි වාර්තාවෙයි.

ඝාතකයා පැමිණි මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේදී ඔහු පිළිබඳව පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබුණි.

ඒ අනුව සැකකරු විදෙස්ගතවීමට උත්සහා ගැනීමේදී අද (10) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එලෙස අත්අඩංගුවට පත් වුණේ 47 ත් හැවිරිදි ‘ඩන්ස්ටන් ප්‍රසාද්’ නැමැත්තෙකි.

පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ, ඝාතනයට ලක් වූ පුද්ගලයා හා අදාළ කාන්තාව අතර කලක පටන් සමීප සබඳතාවක් තිබී ඇති බවය.

ඔවුන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇතැයි සැකකරන බවද පොලිසිය සඳහන් කළේය.

සැකකරු ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ සහ ඒ සඳහා පැමිණි මෝටර් රථය සොයා පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

සැකකරු පාතාල සාමාජිකයෙකුවන ‘ඇල්ටෝ දර්මේ’ නැමැත්තාගේ වැඩිමහල් සහෝදරයා බව ද පොලිසිය සඳහන් කළේය ෴

+++++++

+


ඩලස්ලාගේ අලුත්ම තීරණේ මෙන්න. ඉන්න අපේක්ෂකයෙක් එක්ක සිල්ලරේට යනවද? වෙන වැඩසටහනක් ගේනවද? (09.01.2024)

+


බෝ නොවන රෝගවලින් වසරකට එක්ලක්ෂ විසිදහසක් මියයන බව හෙළිවේ

(10.01.2024 – 12:46 +0530 – hirunews.lk/sinhala)

මෙරට බෝ නොවන රෝගවලින් වාර්ෂිකව එක්ලක්ෂ විසිදහසක් (1,20,000) ජීවිතක්ෂයට පත්වන බව බෝ නොවන රෝග පිළිබඳ ජාතික කවුන්සිලයේදී අනාවරණ වී තිබෙනවා.

එය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) රැස් වූ අතර, දුම්කොළ, මත්පැන් භාවිතය, තරබාරුකම, අධික රුධිර පීඩනය, බෝ නොවන රෝග සඳහා බලපාන ප්‍රධාන සාධක බවයි සඳහන් කර ඇත්තේ.

වැඩිහිටි ජනගහනය ඉහළ යාමත් සමඟ බෝ නොවන රෝග වැළඳීමේ අවදානම ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ ෴


තවත් ලක්ෂ 4 කට අස්වැසුම ප්‍රතිලාභ

(10.01.2024 – 12:44 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඔහු කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (09) පැවති සාකච්ඡාවක් අතරතුරදීයි.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභී වැඩසටහන ආරම්භ කෙරුණේ පවුල් ලක්ෂ 20 ක් සඳහා සහන සැලසීමේ අරමුණින් වන අතර, මේ වනවිට පවුල් ලක්ෂ 14 කට එම ප්‍රතිලාභ හිමිවනවා.

එමෙන්ම, අස්වැසුම ප්‍රතිලාභී වැඩසටහන් සඳහා ලක්ෂ 11 කට අධික අභියාචනා සහ විරෝධතා ලැබී ඇති අතර ඉන් සියයට 60 ක ප්‍රමාණයක් මේ වනවිට සලකා බලා අවසන්. ලබන 31 වනදාට පෙර එම කටයුතු අවසන් කරන බවයි මුදල් අමත්‍යාංශය කියා සිටියේ.

එසේම, මේ මස අග හෝ ලබන මස මුල් සතිය තුල අස්වැසුම සඳහා නව අයදුම්පත් කැඳවීම ද සිදු කෙරෙනු ඇති. ඉන් ලක්ෂ 4 ක අතිරේක පිරිසක් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ සඳහා ඇතුළත් කිරීමට නියමිතයි ෴


කෝටි 13කට අධික විදේශීය දුම්වැටි තොගයක් රේගු භාරයට

(10.01.2024 – 11:57 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද කෝටි 13 කට අධික විදේශීය දුම්වැටි තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.

භාවිත කරන ලද ඇඟලුම් සහ කජු බවට පවසා මෙලෙස රැගෙනවිත් ඇති දුම්වැටි ප්‍රමාණය ලක්ෂ 57 කට අධික බවයි රේගු ආදායම් අධීක්ෂණ අංශය ප්‍රකාශ කළේ.

මේවා කාම්බෝජය සහ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වා තිබෙනවා ෴


නව පාසල් වාරයට කලින් පෙළපොත්

(10.01.2024 – 11:39 +0530 – hirunews.lk/sinhala)

අලුත් අධ්‍යාපන වාරය ආරම්භවීමට පෙර පාසල් පෙළපොත් බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මේ වන විට මුද්‍රණය කළ පෙළපොත්වලින් 80% ක් බෙදා අවසන් කර ඇති බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *