ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයූ සමාගම විශේෂ පරීක්ෂාවට

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයූ සමාගම විශේෂ පරීක්ෂාවට


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයූ සමාගම විශේෂ පරීක්ෂාවට

(08.01.2024 – 16:11 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනෝග්ලොබියුලින්’ ප්‍රතිදේහ එන්නත් සැපයූ සමාගමේ සීදුවේ පිහිටි නිෂ්පාදනාගාරය සහ පරීක්ෂණාගාරය අද (08) විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා.

ඒ සෞඛ්‍ය අමාත්‍යංශය, ජාතික ඖෂධ නියාමාන අධිකාරිය, සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින්.

මාලිගාකන්නද මහේස්ත්‍රාත් අධිකරණය විසික් ලබා දුන් නියෝගයකට අනුව මෙම පරීක්ෂාව සිදු කර තිබෙනවා.

එම අවස්ථාවට දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අදාළ ඖෂධය සැපයූ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු ද රැගෙන විත් තිබූ බවයි වාර්තා වන්නේ ෴


ජනප්‍රිය රංගන ශිල්පිනියකට අතවරයක් කිරීමට උත්සාහ කළ රියැදුරු සොයා පරීක්ෂණ

(08.01.2024 – 11:02 +0530 – hirunews.lk/sinhala)

ජනප්‍රිය රංගන ශිල්පිනියකට පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී ත්‍රී රෝද රථ රියැදුරෙක් විසින් ලිංගික අතවරයක් සිදුකිරීමට උත්සාහ කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඇය තම පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා නුගේගොඩ ප්‍රදේශයට යෑම සඳහා මෙම ත්‍රී රෝද රථය සම්බන්ධ කරගෙන තිබෙනවා.

ගමනාන්තය වෙත ගමන් කරන අතරතුරදී පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී ත්‍රී රෝද රථය කාර්මික දෝෂයකට ලක් වූ බව පවසමින් රියැදුරු රථයෙන් බැස ඇති අතර එහිදී පිටුපස ආසනයේ වාඩි වී සිටි රංගන ශිල්පිනිය සමීපයට පැමිණ ඇයට බලහත්කාරකම් සිදුකිරීමට උත්සාහ කොට තිබෙනවා.

එම අවස්ථාවේ කෑ ගසමින් රංගන ශිල්පිනිය ත්‍රී රෝද රථයෙන් බැස ඇති අතර ඇය මේ පිළිබඳව ප්‍රදේශවාසින්ට දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

එයත් සමඟ බියට පත් වූ ත්‍රී රෝද රථ රියැදුරු එතැනින් පළා ගොස් ඇති බව සඳහන්.

මේ පිළිබඳ පිලියන්දල පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

+++++++++

රංගන ශිල්පිනියකට අතවර කිරීමේ සිද්ධියකට පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

(08.01.2024 – 22:03 +0530 – sinhala.adaderana.lk)

රංගන ශිල්පිනියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් පරීක්ෂකවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සේවයේ නිරත පොලිස් පරීක්ෂකවරයෙකි.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා 42 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

ඊයේ (08) රාත්‍රියේ සැකකාර පොලිස් පරීක්ෂකවරයා විසින් පදවාගෙන ගිය පෞද්ගලික කුලී ත්‍රිරෝද රථයක අතවරයට ලක්වූ බව කියන රංගන ශිල්පිනිය ගමන්කර ඇත.

එහිදී පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී සැකකරු ත්‍රිරෝද රථය නවතා මෙලෙස එම රංගන ශිල්පිනිය අතවරයට ලක්කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රංගන ශිල්පිනිය පිළියන්දල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකාර පොලිස් පරීක්ෂකවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පිළියන්දල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


හෝමාගම කර්මාන්ත ශාලාවක දුමාරයක්

(08.01.2024 – 08:51 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයෙහි මීට මාස කීපයකට පෙර අවස්ථා දෙකක (2) දී ගිනි ගත් ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙහි ඊයේ (07) රාත්‍රී සිට යළිත් අධික දුමාරයක් පැතිරෙමින් තිබෙන බව හෝමාගම පොලිසිය පවසනවා.

මේ හේතුවෙන් ප්‍රදේශය පුරා අධික ක්ලෝරින් දුගඳක් සහිත දුමාරයක් පැතිර යන අතර, ප්‍රදේශවාසින්ගේ ඇස්වල දැඩි දැවිල්ලක් ඇතිව ඇති බව සඳහන් වෙනවා.

පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ පවතින දුම සහිත ස්වභාවය හේතුවෙන් මුඛ ආවරණ නිසි ලෙස පැලඳ කටයුතු කරන ලෙසයි.

එමෙන්ම යම් අයෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් පවතින්නේ නම් වහාම රෝහල්ගත වෙන ලෙසත් පොලිසිය පවසනවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා කෝට්ටේ නගර සභාවට අයත් ගිනි නිවන රථයක් හා ජල බවුසරයක් පැමිණ ගින්නක් ඇතිවුවහොත් එය නිවා දැමීමේ අපේක්ෂාවෙන් රැඳී සිටින බව වාර්තා වෙනවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින්, හෝමාගම පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරන බව සඳහන් වෙනවා.

++++++++

+


ගංවතුරෙන් පොළොන්නරුවේ කුඹුරු අක්කර 7,900 ක් විනාශයි

(08.01.2024 – 07:46 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට කුඹුරු අක්කර 7,900 ක් පමණ විනාශ වී තිබෙනවා.

මහ කන්නයේ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර 70,500 ක් වන අතර, එමගින් අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් 350,000 ක්.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ පොළොන්නරුවට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් අපේක්ෂිත අස්වනු ලබාගත නොහැකිවනු ඇති බව ගොවීන් ප්‍රකාශ කළා.

පොහොර සහනාධාරය හෝ නොලැබුණු තමන්ට ඒ සඳහා වගා වන්දි ලබා දීමට කටයුතු කරන ලෙසටයි ගොවීන් රජයෙන් ඉල්ලා සිටින්නේ ෴


මහල් නිවාසවල සියයට 50 කට හිමිකම් ඔප්පු

(08.01.2024 – 07:06 +0530 – hirunews.lk/sinhala)

නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල පදිංචි වූවන්ගෙන් 50% කට මේ වසර අවසන් වීමට පෙර හිමිකම් ඔප්පු පිරිනැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම වසර අවසානයට පෙර තම අධිකාරිය සතුව ඇති මහල් නිවාසවල පදිංචි වූවන්ගෙන් 50% ක පිරිසකට හිමිකම් ඔප්පු ලබාදෙන බවයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් සඳහන් කළේ.

නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල මේ වනවිට පුද්ගලයන් 14,542 දෙනෙකු පදිංචිව සිටින අතර, ඒ අනුව පළමු අදියර යටතේ ඉන් සියයට 50 ක පිරිසකට හිමිකම් ඔප්පු ලබාදීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් අවධාරණය කර තිබුණේ තට්ටු නිවාස හිමියන්ට හිමිකම් ඔප්පු ලබාදීම කඩිනම් කරන බවයි ෴


කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි පහන් කණුවල වයර් කැපූ පුද්ගලයින් අත්අඩංගුවට

(07.01.2024 – 22:03 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි පහන් කණුවල වයර් කපා තඹ කම්බි සොරකම් කිරීමේ ජාවාරම පිළිබඳව ‘හිරු CIA’ සාක්ෂි සහිතව රට හමුවේ අනාවරණ කළේ බලධාරීන්ගේ අවධානය කඩිනමින් ඒ සම්බන්ධයෙන් යොමු කරවීම සඳහායි.

එම අනාවරණයෙන් මාස 3 කට පසු ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

2013 වසරේ ජනතා අයිතියට පත් කෙරුණු කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා වැයවූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 300 කට අධිකයි.

අධිවේගී මාර්ගය ඔස්සේ ජනතාවට විශාල කාලයක් ඉතිරි කර දෙමින් ආරක්ෂිතව දිවා රාත්‍රී දෙකෙහිම ප්‍රවාහන පහසුකම් සැලසෙන බව නොරහසක්.

කෙසේවෙතත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් අධිවේගී මාර්ගයේ ආරක්ෂාව භාර බලධාරීන්ගේ ද ඇස් වසමින් එහි ඇති විදුලි පහන් කණුවලට සම්බන්ධිත වයර් ගලවා ඒ තුළ ඇති තඹ කම්බි අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු ‘හිරු CIA’ රට හමුවේ අනාවරණය කළේ සාක්ෂි ද සහිතවයි.

මෙලෙස තඹ කම්බි කපා ඉවත් කිරීම හේතුවෙන් විදුලි පහන් අක්‍රීය වීම නිසා අධිවේගී මාර්ගයේ කිලෝමීටර 20 කට ආසන්න දුරක් දැඩි අඳුරක ගිලී පවතින ආකාරයත් අප පෙන්වා දුන්නා.

‘හිරු CIA’ අනාවරණයත් සමග බලධාරීන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ පසුබිමක එම තඹ කම්බි ජාවාරමේ නිරත පුද්ගලයින් දෙදෙනෙකු (2) මහබාගේ ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අධිවේගි මාර්ගයේ පෑලියගොඩ සහ කඩවත අතර කිලෝමීටර 3 සහ 4 කණුව කොටසේ වයර් කපා ඒවායේ තඹ කම්බි අලෙවි කර තිබුණා.

සැකකරුවන් වත්තල, පරණ වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අවුරුදු 28 සහ 32 යන වයස්වල පසුවන්නන්.

ඔවුන් මෙම ජාවාරම සිදුකර ඇත්තේ ද සොරකම් කරන ලද ත්‍රිරෝද රථයක් උපයෝගී කරගනිමින්.

දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇති එම සැකකරුවන් ත්‍රිරෝද රථය සොරකම් කර රැගෙන යන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+


රුධිර පරික්ෂාවකට රෝහලට ගිය කතගේ රන් භාණ්ඩ සොරා ගනී

(08.01.2024 – 23:10 +0530 – hirunews.lk/sinhala)

බලපිටිය මූලික රෝහලට පැමිණි කාන්තාවක් රවටා ඇය පැළඳ සිටි රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු පිළිබඳව අම්බලන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

අදාළ පුද්ගලයා වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් තමාව රවටා රන් භාණ්ඩ සොරකම් කළ බවයි පැමිණිලිකාර කාන්තාව පොලිසියට පවසා ඇත්තේ.

මෙම සිද්ධියට මුහුණ දුන්නේ බලපිටිය මීටියාගොඩ මඟවෙල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක්.

ඇය ඊයේ (07) බලපිටිය මූලික රෝහලට ගොස් තිබුණේ සිය පියාට රුධිරය පරිත්‍යාග කිරීම සඳහායි.

එහිදී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ඇයට උපදෙස් ලබාදී ඇත්තේ රුධිරය ලබාගැනීමට පෙර ඇය පැළඳ සිටි රන් මාලය, මුදු දෙක සහ රන් අත් පළඳනාව ගලවන ලෙසයි.

පසුව ඇය එම රන් භාණ්ඩ ගලවා සිය පසුම්බිය තුළට දමාගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා ඇයව ස්කෑන් පරීක්ෂණයකට යොමු කළ යුතු බව පවසමින් වෙනත් කාමරයකට රැගෙන ගොස් තිබු අතර එහිදී රන් භාණ්ඩ දැමූ මුදල් පසුම්බියේ තිබූ රන් භාණ්ඩ රැගෙන පලා ගොස් තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *