බදු නොගෙවෙන ලක්ෂ පහක් (5) දැලට හසු කරගත යුතුයි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

බදු නොගෙවෙන ලක්ෂ පහක් (5) දැලට හසු කරගත යුතුයි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය


බදු නොගෙවෙන ලක්ෂ පහක් (5) දැලට හසු කරගත යුතුයි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

(08.01.2024 – 19:17 +0530 – hirunews.lk/sinhala)

ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 සිටියත් බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ පහක් (5) බැවින් ඔවුන් බදු දැලට හසු කරගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

වක්‍ර බදු අඩුකර සෘජු බදු අනුපාතය ඉහල නංවා ගැනීමට නම් මේ ක්‍රියාව කළ යුතු බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

බදු ගෙවන්නෙකු යනු රටක ස්ථාවරත්වයකට පත්වූ ශක්තිමත් පුරවැසියකුය යන්න දියුණු රටවල පිළිගැනීම බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙරට ජනතාවද එවැනි ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම රටේ සංවර්ධනය සඳහා ඉවහල් වන බවයි පේනවා දෙන්නේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ෴


වෛද්‍යවරුන්ගේ සහ කථිකාචාර්යවරුන්ගේ දීමනා ඉහළට

(08.01.2024 – 20:11 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරුන් සඳහා වන Disturbance, Availability & Transport (DAT) දීමනාව දෙගුණයකින් (2) වැඩි කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව (DAT) දීමනාව රුපියල් 35,000 සිට රුපියල් 70,000 දක්වා වැඩි කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිවුණේ.

මේ අතර විශ්ව විද්‍යාල ගුරුවරුන්ට ඔවුන්ගේ අධ්‍යයන දීමනාව 25% කින් වැඩි කිරීමටද අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම දීමනාව ඔවුන්ගේ ජනවාරි වැටුපට ඇතුළත් කිරීමට නියමිතයි ෴


2024 වසරේ ගෙවුණු සතියට ඩෙංගු රෝගීන් 2,300 ක්

(08.01.2024 – 20:04 +0530 – hirunews.lk/sinhala)

2024 වසරේ ගෙවුණු පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 2,316 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

සෙඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වෙන්නේ ඉන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි.

කෙසේ වෙතත් පසුගිය මාසයේ අවසන් සතියේ ඩෙංගු රෝගීන් වාර්තාවීමට වඩා මෙය සාපේක්ෂව අඩුවීමක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටියා.

මේ අතර මුලු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක විශේෂ ඩෙංගු මර්දන සතියේ දෙවන (2) දිනය වන අද (08) දිවයින පුරා පාසල් සහ ආගමික ස්ථානවල මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා.

හෙට (09) රජයේ සහ පෞද්ගලික ආයතනවල පරිශ්‍ර මෙන්ම කර්මාන්ත සහ වැඩබිම්වල පරීක්ෂා කිරීම් සිදුකිරීමට නියමිත අතර අනිද්දා (10) දිවයින පුරා නිවෙස්වල ඩෙංගු මදුරු කීටයින් සිටින්නේද යන්න පරීක්ෂා කරනු ඇති ෴


රජයේ සේවකයන්ගේ ජිවන වියදම් දීමනාව ජනවාරියේ

(08.01.2024 – 19:39 +0530 – hirunews.lk/sinhala)

රජයේ සේවකයින් සඳහා ගෙවීමට නියමිත ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000 ක් ජනවාරි මාසයේ සිට ගෙවීමට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

අදාළ ජීවන වියදම් දීමනාව ගෙවීමට මීට පෙර සැලසුම් කර තිබුණේ අප්‍රේල් මාසයේ සිටයි ෴


සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අස්වැසුම විශේෂ ඒකකයක්

(08.01.2024 – 17:21 +0530 – hirunews.lk/sinhala)

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහාම අස්වැසුම විශේෂ ඒකකයක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

අදාළ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් අද (08) අරලියගහ මන්දිරයේ දී පැවති අතර එහි දී මේ පිළිබදව අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.

2023 වසරේ සියලු‍ම අස්වැසුම අභියාචනා මේ මස 31 වනදා වන විට විසදා අවසන් කිරීමටත් 2 වන වටය සඳහා අස්වැසුම අයදුම් පත් කැඳවීමටත් එහිදී තිරණය කෙරුණා.

ඊට අදාළවයි සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අස්වැසුම විශේෂ ඒකකයක් ඇති කිරීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම එම විශේෂ ඒකකය සඳහා ග්‍රාමීය මට්ටමින් නිලධාරියෙකු පත් කිරීමටද සාකච්ඡා වී තිබෙනවා ෴


විකෘති ආගමික ඇදහිලි හොයන්න කමිටුවක්

(08.01.2024 – 17:12 +0530 – hirunews.lk/sinhala)

සමාජය විකෘති කිරීමට පොළඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිලි පිළිබඳව සොයා බැලීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත්කළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

ඇතැම් පුද්ගලයන් විසින් ආගමික ඉගැන්වීම් විකෘති කරමින්, සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියාවන් වැළැක්වීමට හා තුරන් කිරීමට රජය නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා පේනවා දෙන්නේ.

පුද්ගලයෙකු ආගමික කරුණු විකෘති කරමින් කළ දේශනා ආදිය අනුගමනය කරමින් ඔහු හා ඔහුගේ අනුගාමිකයන් කිහිප දෙනෙකු සියදිවි නසා ගැනීම් සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් දැක්වුවා.

රටේ නීතිමය රාමුව තුළ සෑම කෙනෙකුටම තම ආගම ඇදහීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු කඩනමින් සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴


තනි සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර සිව්වැනි (4) ස්ථානය ශ්‍රී ලංකාවට

(08.01.2024 – 16:11 +0530 – hirunews.lk/sinhala)

තනි සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර 2024 වසරේ ශ්‍රී ලංකාව සිව්වැනි (4) ස්ථානයේ සිටින බව ෆෝබ්ස් සඟරාව පවසනවා.

එම වාර්තාවේ දැක්වෙන්නේ දුෂ්කර වසර ගණනාවකින් පසු ශ්‍රී ලංකාව මේ වනවිට සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණෙමින් සිටින බවයි.

ශ්‍රී ලංකාවට ඉහළින් එම ලැයිස්තුවේ දැක්වෙන්නේ ජපානය, ආජන්ටිනාව සහ ඊජිප්තුව යන රටවල්ය ෴

+++++++

VAT පෙන්වා අටමස්ථානයට එන සංචාරකයින්ගෙන් මුදල් ගසාකෑමේ ජාවාරමක්

(08.01.2024 – 12:51 +0530 – hirunews.lk/sinhala)

VAT ඉහළ යාම හේතුවෙන් බව පවසා අටමස්ථානය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයින්ගෙන් මුදල් ගසා කෑමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

උතුරු මැද පළාත් සංචාරක මාර්ගෝපදේශ සංගමය චෝදනා කරන්නේ අටමස්ථානය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ ප්‍රවේශපත්‍ර ගාස්තුව අත්තනෝමතික ලෙස ඉහළ දමා ඇති බවයි.

අනුරාධපුර අටමස්ථානය නැරඹීමේ දී මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් විදෙස් සංචාරකයින්ට නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍රයේ ගාස්තුව වන්නේ අමෙරිකානු ඩොලර් 25 ක්.

එය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් 8,075 ක් පමණ වනවා.

සංචාරක මාර්ගෝපදේශකයින් පවසන්නේ ඇතැම් විදෙස් සංචාරකයින් ඩොලර් ගෙවා ප්‍රවේශපත්‍ර ලබාගත්ත ද බොහෝ පිරිස් ගෙවීම් කරනු ලබන්නේ රුපියල්වලින් වන අතර, එහිදී රුපියල් 9,600 කට වැඩි මුදලක් අය කරන බවයි.

++++++++

සර්බියානු ජාතිකයෙකුගේ ගමන් බෑගයක් දුම්රියේදී පැහැරගනී

(08.01.2024 – 08:23 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංචාරය නිම කරමින් යළි සිය මව් රටට යෑම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත යන අතරතුරදී සර්බියානු ජාතිකයාගේ ගුවන් ටිකට්පත සහ විදෙස් ගමන් බලපත්‍රය සහිත බෑගය කිසියම් පුද්ගලයෙකු විසින් කොල්ලකා තිබෙනවා.

ඔහු මාතර ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිට දුම්රියෙන් කොළඹ කොටුව බලා ගමන් කරන අතරතුරයි ඊයේ (07) මෙම කොල්ලය සිදුව ඇත්තේ.

කළුතර – දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේදී කිසියම් පුද්ගලයෙකු විසින් සිය ගමන් මල්ල රැගෙන දුම්රියෙන් බැස පළා ගිය බවට සර්බියානු ජාතිකයා පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මොහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ කොල්ලකන ලද සිය ගමන් මල්ලේ විදෙස් ගමන් බලපත්‍ර, ගුවන් ටිකට්පත, ලැප්ටොප් පරිගනකය සහ යුරෝ 200 ක මුදලක් තිබූ බවයි ෴


රිය අනතුරකින් 6 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට

(08.01.2024 – 15:13 +0530 – hirunews.lk/sinhala)

මතුගම – පැලවත්ත – නෙළුව මාර්ගයේදී තේ දලු‍ රැගෙන ගිය ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ නිවසකට කඩා වැදීමෙන් එහි සිටි දරුවෙකු අද (08) ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 6 හැවිරිදි යට්ටපාත 9 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් ලොරි රථයේ රියදුරු සහ රිය සහයකද තුවාල ලබා මීගහතැන්න රෝහලට ඇතුළත් කර තිබෙනවා.

+


පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කළ තිදෙනෙක් අත්අඩංගුවට

(08.01.2024 – 14:24 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි පහලොස් (15) හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් , පහරදී සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් තිදෙනෙකු (3) මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේදී පොලීසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය පැහැර ගැනීමෙන් පසුව ඇගේ දෙමව්පියන් මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලීසියට කළ පැමිණිල්ලක් මත එම පැමිණිල්ල දිවයිනේම පොලිස් ස්ථාන වෙත දැණුම් දී තිබීම නිසා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

මෙම සැකකරුවන් පසුගිය 5 වැනිදා සවස, මෙම ශිෂ්‍යාව ආරියම්පති ප්‍රදේශයට රැගෙන ගොස් එහිදී ඇයට පහරදී සමුහ දූෂණයකට ලක් කර ඇති බවටයි පැමිණිල්ල ලැබී තිබෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කාත්තන්කුඩි ආරියම්පති ප්‍රදේශයේ අවුරුදු 26-32 අතර වයසේ පසුවන්නන්වන අතර ඔවුන් කාත්තන්කුඩි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


මත්ජාවාරම්කරුවන් තුන්දෙනෙකුගේ රුපියල් කෝටි 10 කට අධික දේපළ හා වත්කම් පොලිස් භාරයට

(08.01.2024 – 13:19 +0530 – hirunews.lk/sinhala)

යුක්තිය මෙහෙයුම යටතේ මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තුන්දෙනෙකුට (3) අයත් රුපියල් ලක්ෂ 1060 ක වටිනාකමකින් යුත් දේපළ සහ වත්කම් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ භාරයට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම හා ත්‍රස්තවාදින්ට මුදල් සැපයීම යන චෝදනා ලැබ සිටින ‘සුරංජ සංජය’, දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන ‘හෙට්ටිආරච්චිගේ ශ්‍රියානි’ සහ ‘ප්‍රසාද් රුවන්’ හෙවත් ‘කුඩු රොෂාන්’ යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අදාළ වාහන සහ දේපළ එලෙස නීතිවිරෝධි වත්කම් කොට්ඨාසය මගින් සිය භාරයට ගෙන ඇත්තේ.

රුපියල් ලක්ෂ 330 ක් වටිනා සුඛෝපභෝගි ජීප් රථයක්, රුපියල් ලක්ෂ 130 ක සුඛෝපභෝගි වෑන් රථයක්, රුපියල් ලක්ෂ 140 ක් වටිනා සුඛෝපභෝගි මෝටර් රථ 02 ක් සහ රුපියල් ලක්ෂ 10 ක වටිනාකමකින් යුත් ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගත් වාහන අතර වනවා.

එමෙන්ම තලගල ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 15 ක ඉඩමක්, මාලඹේ පිහිටි රුපියල් ලක්ෂ 45 ක ඉඩමක්, ජා-ඇළ රජවත්තේ පිහිටි රුපියල් ලක්ෂ 240 ක දෙමහල් නිවසක් සහ ජා-ඇළ නිවන්දන පිහිටි රුපියල් ලක්ෂ 150 ක ඉඩමක් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ භාරයට ගත් දේපළ අතරට අයත්.

පොලිසිය සඳහන් කළේ මේ අතර දැනට අත්අඩංගුවේ පසුවන ‘කුඩු රොෂාන්’ට අයත් රුපියල් ලක්ෂ 150 ක දේපළ ද වන බවයි ෴

++++++++

++++++++

+


මුරුංගා කරලක මිල රුපියල් 1000 යි

(08.01.2024 – 11:56 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල වෙළදපොලේ එළවළු මිල ගණන් අධික ලෙස ඉහළ යාමේ ප්‍රතිපලයක් වශයෙන් යාපනය සති පොලේ මුරුංගා කිලෝවක සිල්ලර මිල රුපියල් 3000 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ දිනවල මුරුංගා අස්වැන්න නොලැබෙන කාලයක් වීමත් සෙසු එළවළු වර්ගවල මිල ගණන් ඉතා සීග්‍රයෙන් ඉහළ යාමත් නිසා මුරුංගා මිලද මේ අන්දමට ඉහල ගොස් ඇති බවයි යාපනයේ එළවළු වෙළෙන්දෝ පවසා සිටින්නේ.

මෙම මිල ගණන්වලට අනුව යාපනයේ එක් මුරුංගා කරලක මිල රුපියල් 1000 ක් වශයෙන් පැවතුණා.

යාපනයේ මුරුංගා කිලෝවක තොග මිල රුපියල් 2500 ක් වූ අතර යාපනයේ සිට බොහෝ පළාත්වලට ගමන් කළ බස් රථවලද මුරුංගා ගෝනි පටවා තිබෙනු දක්නට ලැබුණා ෴


මුලතිව් ළිඳකින් භූමිතෙල් ඉනීම ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි

(08.01.2024 – 11:29 +0530 – hirunews.lk/sinhala)

මුලතිව්, වොඩියාර්කට්ටු කුරුවි ගම්මානයේ ළිඳකින් භූමිතෙල් හමුවීමට පටන් ගැනීම නිසා පුදුකුඩීඉරිප්පු පොලිසියේ නිලධාරීන් පිරිසක් ඊයේ (07) එම ප්‍රදේශයට ගොස් පරීක්ෂණ ආරම්හ කර ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරු පවසනවා.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාවෙන් අනතුරුව ඉඩම් හිමියා සිය ගෙවත්තේ පිහිටි ළිඳ සම්පූර්ණයෙන් ඉස පිරිසිදු කිරීමෙන් පසුව, ළිඳට අළුතින් එකතු වෙන ජලයේ යම්කිසි වෙනසක් දැකීමෙන් ඒ පිළිබඳව විමසිලිමත්ව තිබෙනවා.

එහිදී ජලයෙන් භූමිතෙල් සුවඳක් වහනය වන බැවින් එම ජලයෙන් කඩදාසියක් පොඟවා ගින්නට ළං කළ විට ඉතා ක්ෂණිකව ගිණි ගන්නා නිසා ඉඩම් හිමියා මේ පිළිබඳව වසමේ ග්‍රාම නිලධාරීවරයා හරහා පුදුකුඩීඉරිප්පු පොලිසිය දැනුවත් කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කරන්නේ ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් එහි ගොස් මූලික පරීක්ෂණ ආරම්භ කොට ඇතත්, ළිඳේ ජලය වෙනුවට භූමිතෙල් ලැබෙන ක්‍රමය පිළිබඳව ස්ථිර නිගමනයකට එළැඹීමට නොහැකි වී ඇති බවයි.

එහිදී පොලිසිය සැකකරනු ලබන්නේ කිසියම් ඉන්ධන පිරවුම් හලක භූමිතෙල් ටැංකියේ සිදුවී ඇති හානියක් නිසා එහි කාන්දුවකින් මෙම ළිඳෙහි ජලයට භූමිතෙල් මිශ්‍ර වන්නට ඇති බවයි.

මේ පිළිබඳව පුදුකුඩීඉරිප්පු පොලිසිය විසින් ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකරු දැනුවත්කර ඇති අතර, ළිඳෙන් ජලය හෝ භූමිතෙල් ලබා ගැනීම අනතුරුදායක නිසා ඒවා ලබා ගැනීම තාවකාලිකව තහනම් කොට තිබෙනවා.

++++++++++

භූමිතෙල් මතුවූ ළිඳ ගැන අලුත්ම ආරංචිය මෙන්න

(08.01.2024 – 18:20 +0530 – sinhala.adaderana.lk)

නිවසේ හිමිකරුවන් විසින් ග්‍රාම සේවා නිලධාරීවරයා මාර්ගයෙන් පොලීසිය දැනුවත් කර ඇති අතර පසුව පුදුකුඩිරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ළිඳ පරික්ෂා කර තිබේ.

පොලීසිය විසින් භූමිතෙල් මිශ්‍ර ජලය ඇති බවට පැවසෙන ළිඳෙන් ජල සාම්පලයක් ලබාගෙන තිබුණි.

මෙම ඉඩම් සහිත ප්‍රදේශයේ පසුගිය යුද සමයේ එල්.ටි.ටී.ඊ සංවිධානයේ කඳවුරක් පැවති බවට අනාවරණය වන බවත් අ‍ාරක්ෂක අංශ ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් විසින් ඔවුන් සතු ඉන්ධන සැඟවීම සඳහා වළදමා සඟවන ලද ඉන්ධන ටැංකියක ඉන්ධන කාන්දු වී මෙලෙස ළිඳේ ජලයට මිශ්‍රව ඇති බවටද සැකපළකරයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *