මුලින් ජනාධිපතිවරණයි.. එය සහතිකයි.. දිනය මෙන්න.. – උදය ගම්මන්පිල

මුලින් ජනාධිපතිවරණයි.. එය සහතිකයි.. දිනය මෙන්න.. – උදය ගම්මන්පිල


මුලින් ජනාධිපතිවරණයි.. එය සහතිකයි.. දිනය මෙන්න.. – උදය ගම්මන්පිල

(08.01.2024 – 15:50 +0530 – lankacnews.com)

“ජනපතිවරණයක් කලින් කැඳවීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට අහිමි කරලා තිබෙන නිසා ජනාධිපතිවරණය පවත්වන දිනය තීරණය කරන්නේ ජනාධිපතිවරයා නොව මැතිවරණ කොමිසම විසින් ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව යි” පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (08) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

ජනාධිපතිවරණය කවදා පවත්වාවි දැයි එක් එක් අය දේශපාලන මත පල කරනවා. නමුත් ඒක දේශපාලන තීන්දුවක් නොවේ. නීතියේ තීන්දුවක්. ව්‍යවස්ථාවේ තීන්දුවක්. ජනපතිවරණයක් කලින් කැඳවීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට අහිමි කරලා තිබෙන නිසා ජනාධිපතිවරණය පවත්වන දිනය තීරණය කරන්නේ ජනාධිපතිවරයා නොවේ. ඒක කරන්නේ මැතිවරණ කොමිසම. මැතිවරණ කොමිසමත් ඒක තීරණය කරන්න ඕනේ ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව.

වත්මන් ජනාධිපතිගේ ධූර කාලය අවසන් වීමට මාස දෙකකට (2) නොවැඩි මාසයකට (1) නොඅඩු කාලය තුල අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3) වගන්තියේ කියනවා. ගෝඨාභය ජනාධිපතිවරයා වැඩ භාර ගත්තේ 2019 නොවැම්බර් 18. ජනාධිපති ධූර කාලය වසර 5 යි නෙ. එහෙම නම් වත්මන් ජනාධිපති භුක්ති විඳින ජනාධිපති ගෝඨාභය මහතාගේ ධූර කාලය අවසන් වෙන්නේ 2024 නොවැම්බර් 18.

ඒ අනුව 2024 නොවැම්බර් 18 ට මාසයකට (1) නොඅඩු මාස දෙකකට (2) නොවැඩි දිනයක ජනාධිපතිවරණය පවත්වන්න ඕනේ. මාසයකට නොඅඩු නම් ඔක්තෝම්බර් 18 ට කලින් ඡන්දය තියන්න ඕනේ. ඒ වගේම මාස දෙකකට (2) නොවැඩි නම් සැප්තැම්බර් 18 ට පස්සෙයි ඡන්දය තියන්න ඕනේ. අන්න ඒ නිසා තමයි ඉතාම විශ්වාසයෙන් ඡන්දය පවත්වන දිනය 2024 සැප්. 18 සහ ඔක්. 18 දිනයන් අතර දී යෙදෙනවා කියා අපි කියන්නේ.

1988 දී සංශෝධිත ජනාධිපතිවරණ පනතේ 2(1)(ආ) වගන්තිය අනුව නාමයෝජනා භාර ගැනීම අවසන් වන දිනයේ සිට සති හතරකට (4) නොඅඩු සති හයකට (6) නොවැඩි දිනයක ඡන්දය විමසීම පවත්වන්න ඕනේ. එහෙම නම් ආසන්නතම දිනය සැප්තැම්බර් 18 සිට සති හයක් (6) ඒ කියන්නේ අගෝස්තු 07 වන දා. නාමයෝජනා සඳහා දුරම දිනය වෙන්නේ ඔක්තෝම්බර් 18 සිට සති හතරක් (4) ආ පස්සට ගණනය කළාම එන සැප්තැම්බර් 20 දා.

ජනාධිපතිවරණ පනතේ 2(1)(අ) වගන්තිය අනුව ජනපතිවරණය ප්‍රකාශ කරන දිනයේ සිට දින 16 කට නොඅඩු දින 21 කට නොවැඩි දිනයක් තමයි නාමයෝජනා දිනය ලෙස ප්‍රකාශ කරන්න ඕනේ. දැන් අපි දන්නවා නාමයෝජනා දිනය විය හැකි ආසන්නතම දිනය අගෝස්තු 07 වන දා. එදා ඉඳන් දින 21 ක් ගණනය කලොත් ජූලි 17. දුරම දිනය වන සැප්තැම්බර් 20 දා සිට දින 16 ක් ගණනය කලොත් සැප්තැම්බර් 04 දා. ඒ කියන්නේ 2024 ජූලි 17 වන දා සහ සැප්තැම්බර් 04 වන දා අතර ඕනෑම දිනයක ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගන්නා දිනය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසමට නීතියෙන් බැඳී ඉන්නවා.

සමහරු මාස ගණනක සිට පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හරින බවට මත පල කළා. ජනවාරියේ, මාර්තුවේ පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට පත්තර වල ප්‍රධාන සිරස්තල පවා අපි දැක්කා. කිසිම සැකයක් නැතිව මුලින්ම එන්නේ ජනපතිවරණය කියා අපි හිතනවා. ඒකට හේතු ගණනාවක් තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණය දැන් පැවැත්තුවොත් ආණ්ඩුවට දරුණු පරාජයක් අත් වෙන බවත් කවුරුත් දන්නා දෙයක්. දැන් පාර්ලිමේන්තුව අතිශයින්ම ජනාධිපතිවරයාට හිතකරයි. ඔහු එවන ඕනෑම පනතක් වැඩි ඡන්ද තිහකින් – හතලිහකින් (30-40) සම්මත වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාට තමන් කැමැති දෙයක් කරමින් ජනාධිපති ධූරයේ බලතල රිසි සේ භුක්ති විඳින්න අවස්ථාව ලැබිලා තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මැතිවරණයක් ජනපතිවරණයට කලින් පැවැත්තුවොත් එදා සිට ජනාධිපති ධූරය අකර්මන්‍ය වෙනවා. අපේ ව්‍යවස්ථාව අනුව සැබෑ බලවතා ඡන්දයෙන් පත්වන විධායක ජනාධිපති නොවේ. පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන කෙනා. බොහෝ වෙලාවට බහුතරය තිබෙන්නේත් ජනාධිපතිට නිසා හැමෝටම පේන්නේ ජනාධිපති හරිම බලවත් කියලා. නමුත් ජනාධිපති වෙනුවට වෙනත් කෙනෙකුට පාර්ලිමේන්තුවේ බලය ගියොත් ජනාධිපති අකර්මන්‍ය වෙලා පාර්ලිමේන්තු බලය තිබෙන කෙනා රට පාලනය කරන්න පටන් ගන්නවා. එහෙම අවස්ථා පහක් (5) අපේ ඉතිහාසයේ තිබෙනවා.

අපි වත්මන් ජනාධිපතිට අදාළ උදාහරණය ගමුකෝ. 2001 දී පාර්ලිමේන්තුවේ බලය රනිල් මහතා අත්පත් කර ගත්තාම ජනතාවට පත් කළ ජනාධිපතිනි අකර්මන්‍ය වෙලා රටේ පාලනය රනිල් අතට ගියා. 2002 පෙබරවාරි කොටින් එක්ක සාම ගිවිසුම අත්සන් කලේ රනිල්. 2003 ජූනි මාසයේ ලෝක ආධාර සමුළුව පැවැත්වූයේ රනිල්. චන්ද්‍රිකාට තිබුණේ බලා ගෙන ඉන්න විතරයි. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණය කලින් පැවැත්තුවොත් තමන්ගේ ජනාධිපති බලයත් එදා ඉඳන් ඉවරයි කියලා ජනපති රනිල් අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසා ජනපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවා කියන්නේ රනිල් දේශපාලන වශයෙන් සිය දිවි හානි කර ගන්නවා කියන එකයි.

ජනාධිපතිවරයා හොඳින්ම දන්නවා ඊළඟ ජනාධිපතිවරණයේදී ආණ්ඩුව පරදින බව. 1994 සිට ජනපති වෙන්න දැරූ සියළු උත්සාහයන් අසාර්ථක වෙලා පරාජිතව ඉන්න අතරේ නොසිතූ මොහොතක නොසිතූ විධියකට ජනපති ධූරය රනිල් මහත්තයාගේ හිස මත කඩා වැටුණා. අහම්බෙන් ලැබුණු ජනපති ධූරයේ බලය උපරිමයට භුක්ති විඳිනවා මිස ඒකේ කාලය කෙටි කර ගන්න තරම් රනිල් මහතා මෝඩ වේවි කියලා අපි නම් හිතන්නේ නෑ.

ප්‍රශ්න සහ පිළිතුරු :

ප්‍රශ්නය
අපේක්ෂකයින් රැසක් ජනපතිවරණයට ඉදිරිපත් වන බව කියනවා. ඔබතුමන්ලාගේ සහය කාටද?

පිළිතුර
ජනාධිපතිවරණයේදී අපේ සහය කාටදැයි තීරණය කරන්නේ සැබෑ අපේක්ෂකයන් මතු වූ විටයි. මේ දක්වා නම් එවැනි සැබෑ අපේක්ෂකයෙක් මතුවී ඇති බව අපි විශ්වාස කරන්නේ නෑ. ජනපතිවරණයට අවසන් මාස තුන – හය (3-6) අතර තමයි ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා සහ මෛත්‍රීපාල සිරිසේන කියන ජනපති අපේක්ෂකයන් මතු වෙන්නේ. නාගන්ද කොඩිතුවක්කු වගේ කලින් මතුවෙන අපේක්ෂකයෝ ජනාධිපතිවරණය ඇත්තටම එන විට අතුරුදහන්. තමන් තරගකරපු දිස්ත්‍රික්කයේ යන්තම් ඡන්දය අරගෙන ගොඩ ගිය කට්ටියත් ජනපතිවෙන්න උත්සහ දරනවා. මට තියෙන නුසුදුසු කම් මොනවාදැයි අහනවා. ඒ අය එහෙම අහන්නේ තමන්ගේ නුසුදුසු කම් තමන්ටම දැනෙන නිසා. ඒ වගේ අයත් ජනපතිවෙන්න හිතනවා නම් මානසික වෛද්‍යවරයෙක්ව හමුවෙන්න ඕනෑ.

ප්‍රශ්නය
පොදු සන්ධානයක් ගැන ඔබතුමන්ලාට අදහසක් තියෙනවාද?

පිළිතුර
අපි ඒ ගැන සාකච්ඡා පවත්වනවා. බිහිකළ හැකි දැවැන්තම සන්ධානය මේ ආණ්ඩුවට එරෙහිව බිහිකිරීමට අපි කටයුතු කරණවා.

ප්‍රශ්නය
වැඩි වෙන වැට් එක ගැන ඔබතුමා හිතන්නේ කොහොමද?

පිළිතුර
ඉන්දියාව ගත්තොත් සමස්ථ බදු ආදායමෙන් 50% සෘජු බදු. 50% වක්‍ර බදු. නමුත් ලංකාවේ 2021 වසර ගත්තොත් 85% වක්‍ර බදු. සෘජු බදු 15% යි. ධනපතියන්ගෙන් – ඇති හැකි අයගෙන් බදු අය නොකරන නිසා, ඔවුන්ට බදුසහන දීම නිසා, ඔවුන්ගේ බදු වංචාවලදී ඔවුන්ව ආරක්ෂා කරන නිසා, වක්‍ර බදුවලින් ආදායම සොයන්න යාමෙන් නැති බැරි මිනිහා තවතවත් පීඩාවට පත්වෙනවා. ඒ වගේම 2008 විශේෂ ව්‍යාපෘති පනත අහෝසි කළ යුතුයි. සෘජු බදු අවම වශයෙන් 40% දක්වා ඉහල දැමිය යුතුයි. නමුත් ආණ්ඩුව ඒ දේවල් නොකර නැති බැරි මිනිසාටම පීඩනය එල්ල කරණවා. ප්‍රතිපත්තියක් විදිහටම අපි ඒ බදු ක්‍රමයට විරුද්ධයි.

ප්‍රශ්නය
සමාජ ජාල නියාමන පනත්කෙටුම්පත ගැන ඔබතුමා මොකද හිතන්නේ.

පිළිතුර
සමාජ ජාලා වල බොරු ප්‍රචාර කිරීම නිසා පීඩිවට අපත් පත්ව තිබෙනවා. සමාජ මාධ්‍ය වලට යම් නියාමනයක් තිබිය යුතුයි. නමුත් මේ පනතේ අඩුපාඩු තියෙනවා. අපි ඒවා ආණ්ඩුවට පෙන්වා දී තිබෙනවා. සංශෝධන යෝජනා කර තිබෙනවා. මේ මගින් අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය ද නියාමනය වන නිසා මෙය ඉතාම ප්‍රවේශමෙන් කලයුතුයි. අපි යෝජනා කරනවා ‘ඒ සදහා පත් කරන කොමිසම ජනපතිවරයා නොව ව්‍යවස්ථාධායක සභාව විසින් පත්කල යුතුයි’ කියා.

++++++++

+

+


බියගුළු අවස්ථාවාදීන් ‘හිමාලයා ප‍්‍රකාශය’ ගැන තම මතය සෘජුව නොකියති..

(08.01.2024 – 16:40 +0530 – lankacnews.com)

‘හිමාලයා ප‍්‍රකාශය පිළිබඳව තම මතය සෘජුව නොකියන්නෝ බියගුළු අවස්ථාවාදීන්’ යයි ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

සියළු දේශපාලන පක්ෂ නායකයන්ට විවෘත සංදේශයක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

මාධ්‍ය වෙතද පිටපත් සහිතව යොමු කර තිබූ එම සංදේශය මෙසේය :

සියලු මහජන නියෝජිතයින්, දේශපාලන පක්ෂ නායකයින් හා පොදු මහජනතාව වෙත.

= බෙදුම්වාදී මාර්ග සිතියමේ නව හැරවුමක් වන ‘හිමාලයා ප‍්‍රකාශය’ පිළිබඳව =

(යුද ජයග‍්‍රහණය මෙන්ම රණවිරුවන් පාවාදෙන සහ රට දෙමළ බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කරන එම ක‍්‍රියාන්විතය අවබෝධකර ගැනීමේ වැදගත්කම සහ සියලු පාර්ශ්ව ඊට අදාළව තම මතය ප‍්‍රකාශ කළ යුතු බව)

වසර 30 ක් පැවති බෙදුම්වාදී යුද්ධය, රණවිරුවන් 30,000 ක් ජීවිත පූජා කරමින් මෙන්ම ඊට සමාන පිරිසක් තුවාල ලබමින් සහ 14,000 ක් ආබාධිතයින් බවට පත් කරමින් පරාජයට පත් කර වසර 14 ක් ගත වී ඇත. එම ජයග‍්‍රහණය උදෙසා සෙසු රණවිරුවන්ගේ මෙන්ම ජීවිත පූජා කළ සහ ආබාධිත බවට පත් වූ රණවිරුවන්ගේ අඹුදරුවෝ මෙන්ම ඥාතීහු සහ සිංහල, දෙමළ, මුස්ලිම් පොදු මහජනයා ද බොහෝ කැප කිරීම් සිදු කළහ. එහෙත් ඉන්පසුව සමානාත්මතා පදනමින් ජාතික ගැටලුව විසඳීම සඳහා සහ බෙදුම්වාදී මතවාද දේශපාලන වශයෙන් පරාජය කිරීමට ජාතියක් ලෙස අප අසමත් වීම නිසා දෙමළ ඩයස්පෝරාව ප‍්‍රමුඛ දෙස් විදෙස් බෙදුම්වාදී බලවේගවලට උතුරේ ජනයා ප‍්‍රාණඇපයට ගනිමින් බෙදුම්වාදී ක‍්‍රියාන්විතය පවත්වාගෙන යාමට හැකි විය.

එම ක‍්‍රියාවලිය තුළ බෙදුම්වාදී මාර්ග සිතියමට අනුව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා බෙදුම්වාදී බලවේග දිගින් දිගටම බලපෑම් සිදුකළ ද ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි විය. ඊට හේතු වූයේ මහා සංඝරත්නය ප‍්‍රමුඛ ජාතිකවාදී බලවේග ජාතියේ මුර දේවතාවුන් සේ ඊට එරෙහිව සිට ගැනීමය. නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතා 2003 දී අගමැතිවරයා ලෙස බෙදුම්වාදීන්ට තාවකාලික ආණ්ඩුවක් ලබාදීමට උත්සාහ කිරීම මගින් ආරම්භ කළ බෙදුම්වාදයට පක්ෂපාතී ක‍්‍රියාන්විතය, දැන් ජනවරමක් නොමැති ජනාධිපතිවරයෙකු ලෙස නැවත ආරම්භ කර ඇත. ඔහු විසින් තමා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන බවට බෙදුම්වාදී බලවේගවලට සහ තමාට බලයට එන්නට අවස්ථාව සැලසූ පාර්ශ්වවලට පොරොන්දු ලබා දෙන්නේ ඊට අනුව ය. ඊට සමගාමීව දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග නැවත වටයකින් දිරිමත් වී ඇති බව ඉතා පැහැදිලිව දැක ගත හැක.

ඊට අමතරව බෙදුම්වාදී බලවේගවල දායකත්වය සහිතව ආර්ථික සහ දේශපාලන අර්බුදය උස්සන්න කිරීම සහ එම ක‍්‍රියාවලිය තුළ රනිල් වික‍්‍රමසිංහ මහතා බලයට පත් කිරීම තුළ තමාට වඩා වාසිදායක තත්වයක් නිර්මාණය වී ඇති බවට බෙදුම්වාදී බලවේග කල්පනා කරන බව පෙනේ. එම නව තත්ත්වය තුළ ඔවුන් විසින් තෝරා ඇති උපායමාර්ගික ප‍්‍රවේශය තුළ පැතිකඩ දෙකක් (2) හඳුනාගත හැක. පළමුවැන්න (1) සමස්ත ක‍්‍රියාන්විතයේ පූර්ව කොන්දේසියක් ලෙස මහා සංඝරත්නයෙන් යම් පාර්ශ්වයක් දිනා ගැනීම සහ මහා සංඝරත්නය මෙන්ම ජාතික බලවේග අතර බෙදීමක් ඇති කිරීම සහ මානසික බාධක පැනවීමය. භික්ෂූන් හත්නමක් (7) නේපාලයේ හෝටලයකට රැගෙන ගොස් සියලු සත්කාර ලබා දී ‘හිමාලයා ප‍්‍රකාශය’ නමැති ලියවිල්ලකට අත්සන් ලබා ගන්නේ එම උපායමාර්ගයට අනුව බව ඉතා පැහැදිලිය. එම ක‍්‍රියාන්විතයේ දෙවන (2) අරමුණ බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසුව බෙදුම්වාදීන්ට අහිමි වූ කේවල් කිරීමේ බලය ලබා ගනිමින් සාකච්ඡා ක‍්‍රියාවලියකට අවතීර්ණ වීමය.

ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ පවා ජී.එල්. පීරිස් වැනි පැකේජ්වාදීන්ගේ උපදෙස් අනුව දෙමළ ඩයස්පෝරාව සමග එකඟතාවකට පැමිණ ජාත්‍යන්තර පීඩනය සමනය කරගත යුතු බවට මතයක් ගොඩනැගී තිබුණි. එවැනි තත්ත්වයක් තුළ ඊනියා ‘හිමාලයා ප‍්‍රකාශය’ යනු ඩයස්පෝරාව සමග ගනුදෙනු සාධාරණීකරණය කිරීම සදහා වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේම අදහසක් අනුව කැඳවාගත් ලේඛනයක් බවට ගොඩනැගී ඇති මතය ප‍්‍රතික්ෂේප කිරීම දුෂ්කර වේ. ඊනියා ‘හිමාලයා ප‍්‍රකාශය’ මේ වන විට ජනාධිපතිවරයා විසින් උත්සවශ‍්‍රීයෙන් පිළිගෙන ඇති අතර මහා නායක හිමිවරුන්ගේ අනුමැතිය ඊට ලැබුණු බවට එම ක‍්‍රියාන්විතයට ගොදුරු වූ භික්ෂූන් විසින් සමාජයේ මතයක් ගොඩනඟන බව ද දක්නට ඇත. අමරපුර මහා සංඝ සභාව විසින් ‘හිමාලයා ප‍්‍රකාශය’ ප‍්‍රතික්ෂේප කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇතත් සෙසු නිකායන් නිහඬව සිටීම තුළ මහා නායක හිමිවරුන්ට අගතියක් සිදුවේ. එම බොරු ප‍්‍රචාර පතුරුවන භික්ෂූන් හත්නම (7) අතරින් එක් නමක් (1) ව්‍යාජ ලෙස මහාචාර්ය පදවියක් දරන බව පෙන්වති.

ජනාධිපතිවරයා විසින් ‘හිමාලයා ප‍්‍රකාශය’ භාරගෙන දින කීපයක් තුළ දෙමළ දේශපාලන පක්ෂ නායකයින් ජනාධිපති මන්දිරයට කැඳවා 2024 ජනවාරි මාසයේදී සත්‍ය සෙවීමේ සහ ප‍්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීම සඳහා නව නීතිමය රාමුවක් සම්මත කරන බවට පොරොන්දු විය. එම උපායමාර්ගික ප‍්‍රවේශය 2015 සිට ජාත්‍යන්තර මානව හිමිකම් කොමසාරිස් වාර්තාව මගින් සහ යෝජනා මගින් අවධාරණය කරනු ලැබූවකි. ‘හිමාලයා ප‍්‍රකාශය’ ඉදිරිපත් කරන ගෝලීය දෙමළ සංසදය විසින් එය ක‍්‍රියාත්මක කරන ලෙස ජාත්‍යන්තර වේදිකාවල දිගින් දිගටම බලපෑම් එල්ල කරනු ලැබීය. ඒ අනුව දැන් ඔවුන්ගේ උත්සාහය මල්ඵල ගැන්වී ඇති බව පිළිගැනීමට සිදුවේ.

සත්‍ය සෙවීමේ කොමිසම යන්නට ප‍්‍රතිසන්ධානය ද අයත් වන බැවින් ඒ මගින් රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ ජාත්‍යන්තර ක‍්‍රියාන්විතය තවදුරටත් ශක්තිමත් කළ හැක. ‘හිමාලයා ප‍්‍රකාශය’ තුළ ‘වගවීම’ සඳහා වන බැඳීම අවධාරණය කරනු ලබන්නේ ඒ සඳහාය. ඊට අමතරව ඒ මගින් නැවත ගැටුම් ඇති වීම වැළැක්වීමේ නාමයෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සඳහා බලපෑම් එල්ල කිරීමේ හැකියාව ද ලැබේ. එම යාන්ත‍්‍රණය තුළ ජාත්‍යන්තර මැදිහත්වීමට අවස්ථාව සැලසීම මගින් ජාත්‍යන්තර බලපෑම රට තුළදීම සිදුකිරීමේ හැකියාව ලැබේ. ඒ අනුව මෙම ක‍්‍රියාවලිය ඉතා පැහැදිලිව යුද ජයග‍්‍රහණය සහ රණවිරුවන් පාවාදෙමින් රට නැවත බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ආරම්භක පියවර බව ඉතා පැහැදිලිය.

එම නිසා ‘හිමාලයා ප‍්‍රකාශය’ සහ ඒ මත පදනම්ව ආණ්ඩුව විසින් ගනු ලබන ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව නිහඬව සිටීමට කිසිදු දේශපාලන බලවේගයකට හෝ මහා නායක හිමිවරුන්ට සදාචාරාත්මක හැකියාවක් නැත. මහා නායක හිමිවරුන්ට තම ධුරය අතහැරීමට අයිතියක් ඇතත් ඓතිහාසිකව උන්වහන්සේලා වෙත පැවරී ඇති භූමිකාව සහ බලය අතහැරීමට නොහැක. එම නිසා සියලු බලවේග ‘හිමාලයා ප‍්‍රකාශය’ සහ ඒ මත පදනම්ව ආරම්භ වී ඇති ‘සත්‍ය සෙවීමේ කොමිසම’ පිහිටුවීම ඇතුළු සෙසු ක‍්‍රියාමාර්ග පිළිබඳ තම මතය විවෘතව රටට ප‍්‍රකාශ කිරීමට කටයුතු කළ යුතු බව අපගේ ඉල්ලීම වේ. මහා පාවාදීමකට මුලපුරන ‘සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමේ පනත් කෙටුම්පත’ මේ වන විට ගැසට් පත‍්‍රයේ ප‍්‍රකාශයට පත්කර ඇත. එම පනතට අදාළව ද සියලුම දේශපාලන පක්ෂ විසින් තමාගේ මතය ඍජුව ප‍්‍රකාශයට පත්කළ යුතු බව අපි අවධාරණය කරමු. එසේම තම මතය සෘජුව ප‍්‍රකාශයට පත් නොකරන පිරිස්, නිහඬව ඊට එකඟතාව පළකරන බියගුළු අවස්ථාවාදීන් ලෙස ද නම් කිරීමට සිදුවේ.

ස්තුතියි.

මෙයට විශ්වාසී,

විමල් වීරවංශ (පා. ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *