“අලුත විවාහ වූ අය ළමයි හදන්න කැමති නෑ”

“අලුත විවාහ වූ අය ළමයි හදන්න කැමති නෑ”


“අලුත විවාහ වූ අය ළමයි හදන්න කැමති නෑ”

(07.01.2024 – 13:32 +0530 – hirunews.lk/sinhala)

අලුත විවාහ වූ පිරිස් දරුවන් හැදීමේ අඩුවක් පෙන්නුම් කරන බවට තොරතුරු වාර්තා වෙනවා.

සිදුකරන ලද සමීක්ෂණයකදී මේ පිළිබඳව අනාවරණය වී ඇති අතර විවාහ නොවී ‘ලිවින් ටුගෙදර්’ සිටින්නන්ගේ ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2012 සිට 2023 ජුනි දක්වා දත්ත පිළිබඳව අවදානය යොමු කිරීමේදී නව දරු උපත් ලක්ෂයකට (100,000) වඩා අඩු ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි සඳහන් වෙන්නේ.

2013 සිට ගත්විට මෙරට නව දරු උපත් ලියපදිංචියේ සීඝ්‍ර ලෙස අඩුවීමක් දක්නට ලැබෙන්නේ 2023 වසරේදී යි.

ඒ අනුව 2013 වසරට සාපේක්ෂව 2023 වසරේ නව දරු උපත් 83,530 ක් අඩු වී ඇති අතර 2013 ට සාපේක්ෂව 2022 වසරේදී නව දරු උපත් ලියාපදිංචිය 62,587 කින් අඩුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන් ම 2013 ට සාපේක්ෂව 2021 වසරේ දරු උපත් ලියාපදිංචිය 57,032 කින් අඩුවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


මහියංගණය, දඹාන දැලි කැදලි වැව් රක්ෂිත භූමියේ වටිනා ගස් රැසක් කපා දමලා

(07.01.2024 – 13:17 +0530 – hirunews.lk/sinhala)

මහියංගණය, දඹාන දැලි කැදලි වැව් රක්ෂිත භූමියේ වටිනා ගස් රැසක් කිසියම් පිරිසක් කපා දමා තිබෙනවා.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ජල පෝෂක ප්‍රදේශයක් ද වන මෙම රක්ෂිතය කඩිනමින් මැදිහත් වී ආරක්ෂා කරදෙන ලෙසයි.

මේ, මහියංගණය දඹාන ‘දැලි කැදලි වැව් රක්ෂිතය’ යි.

මෙම රක්ෂිතයේ අක්කර දොළහක (12) පමණ භූමි ප්‍රදේශයක වටිනා ගස් රැසක් කිසියම් පිරිසක් කපා දමා තිබෙනවා.

වසර 40 කට වැඩි ඉතිහාසයක් පවතින ‘දැලි කැදලි වැවේ’ ජල පෝෂක ප්‍රදේශය වන්නේ ද මෙම රක්ෂිතයයි.

රක්ෂිතයේ ගස් මෙලෙස කපා දැමීම හේතුවෙන් ඉදිරියේදී ‘දැලි කැදිලි වැව’ ද සිඳියාමේ තත්ත්වයක් උද්ගත වියහැකි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

එසේ වුවහොත් වැවෙන් පෝෂණය වන කුඹුරු අක්කර 114 කට සහ ගොවි පවුල් 600 කට බලපෑම් එල්ල විය හැකි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මෙම වන සංහාරය පිළිබඳව මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුම්වත් කළ ද මේ දක්වා නිසි විසඳුමක් නොලැබුණු බව ප්‍රදේශවාසීන් පවසනවා.

කඩිනමින් මැදිහත් වී මෙම ජල පෝෂක ප්‍රදේශය ආරක්ෂා කරදෙන ලෙස ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ වගකිවයුතු නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

+


‘ඉමියුනොග්ලෝබීන්’ ලෙස දී ඇත්තේ පාට කළ වතුරයි

(07.01.2024 – ada.lk)

ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්’ නමැති ප්‍රතිදේහ එන්නත් බව හඟවා ලබා දී ඇත්තේ ‘පාට කරන ලද වතුර’ බව නීතිපතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නේය.

එලෙස ලබාදී ඇති ‘පාට කරන ලද වතුර’ වල බැක්ටීරියා වර්ග ද ආසාධනය වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනි ගිරිහාගම මෙනවිය ප්‍රමිතියෙන් තොර එම ප්‍රතිදේහ එන්නත් ලබාදුන් රෝගීන් තිදෙනෙකුගේ (3) ජීවිත මාරාන්තික තත්ත්වයට පත්වී ඇතැයි ද දැනුම් දුන්නාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් කරන විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් ඒ බව දැනුම් දී ඇත.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් හදිසි මිලදී ගැනීම් වශයෙන් මෙම ඖෂධ මිලදී ගෙන ඇති බවත් එලෙස මිලදී ගත් ඖෂධ බොහෝ ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බව මේ වන විටත් හෙළිවී ඇති අතර ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්’ නමැති ප්‍රතිදේහ එන්නත් පරීක්ෂා කිරීමට තරම්වත් සුදුසු තත්ත්වයක නොමැති බවලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර ඇතිව කරන ලද විමර්ශනයකදී හෙළි වූ බවද අධිකරණයට වාර්තා කර තිබිණි.

රටේ මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය කරන විමර්ශන වලදී මේ තත්ත්වය හෙළි වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙන විටත් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කොට ඇති බාල ඖෂධ සැපයුම්කරු මෙන්ම සෞඛ්‍ය ලොක්කෝ බොහෝ දෙනෙකු අධිකරණයට පවසා සිටියේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා හා කැබිනට් මණ්ඩලයේ නියෝග අනුව තමුන් කටයුතු කළා මිස මෙම අපරාධයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය ෴


විශ්‍රාමික යුද හමුදා බලලත් නිලධාරියා ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට

(07.01.2024 – ada.lk)

මහියංගණය සොරබොර ප්‍රදේශයේදී තම සැමියා පිහියකින් කපා ඝාතනය කළේ යැයි සැකපිට ඔහු‍ග් බිරිඳ අත්අඩංගුවට ගත් බව මහියංගණය පොලිසිය පවසයි.

ඊයේ (06) දින රාත්‍රී මෙසේ රාත්‍රි ඝාතනය කර ඇත්තේ සොරබොර කපුරුමුල්ල පදිංචිව සිටි යාපා මුදියන්සේලාගේ සුදේෂ් කුමාර ජයවර්ධන නැමැති 42 හැවිරිදි විශ්‍රමික යුධ හමුදා බළලත් නිලධාරියෙකු බව පොලිසිය සඳහන්කළේය.

මියගිය තම ස්වාමි පුරුෂයා රාත්‍රි 11:30 ට පමණ බීමත්ව නිවසට පැමිණ තමා සහ දරුවන් දෙදෙනා (2) මරණ බවට තර්ජනය කරමින් පහරදීමට උත්සාහ කල අවස්ථාවේ දි ඔහු අත තිබු පිහිය උදුරාගෙන ඉන් පහරදුන් බවට මියගිය අයගේ බිරිද විසින් එදින රාත්‍රි පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක් කල බව පොලිසිය ද පොලිසිය පැවසීය.

පොලිසිය වහාම එහි ගොස් තුවාල ලබා සිටි තුවාලකරු ප්‍රතිකාර සඳහා කඩිනමින් මහියංගණය රෝහලට ඇතුළත් කිරිමට පොලිසිය කටයුතු කලද ඒ වෙනවිටත් ඔහු මියගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් පොලිසිය වෙත පවසා තිබේ.

මියගිය පුද්ගලයා ගේ මෘත ශරිරය පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා මහියංගණය මුලීක රෝහල් මෘත ශරිරාගාරයේ දී පැවැත්වීමට නියමිතව තිබිණ.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත හියංගණය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ආර්. විජෙරත්න මහතා ගේ මෙහෙයවීම යටතේ මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


ලංකාවේ එන්නත් ප්‍රතික්ෂේප කරන්නන්ගේ වර්ධනයක්

(07.01.2024 – ada.lk)

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් බවට 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන සහතික කරනු ලැබු නමුත් වන විට එම තත්වය වෙනස් වී සරම්ප රෝගීන් බිහිවෙමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ එරන්ද හෙට්ටිආරච්චි මහතා පැවසිය.

2023 වසරේ මැයි මාසයේ සිට ශ්‍රී ලංකාව තුළින් සරම්ප රෝගීන් 700 කට අධික පිරිසක් වාර්තා වී ඇති බවත් එයින් 26 දෙනෙක් ගාල්ල දිස්ත්‍රික්කයේ රෝගීන් බවත් එරන්ද හෙට්ටිආරච්චි මහතා පැවසිය.

ශ්‍රී ලංකාවේ ශක්තිමත් හා දැවැන්ත ප්‍රතිශක්තිකරණ වැඩසටහන නිසා තුරන්වී ගිය සරම්ප රෝගය නැවත හිස එසවීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දෙමව්පියන් දරුවන්ට නිසි අයුරින් එන්නත් ලබා දීමට නොපෙළඹීම හේතුවෙන් බවත් සරම්ප රෝගයෙන් වැළකීමට ඇති එකම ක්‍රමය නම් එන්නත් ලබාදීම බවත් ඒ මහතා සඳහන් කළේය.

මෑතක සිට ශ්‍රී ලංකාව තුළ ද එන්නත් ප්‍රතික්ෂේප කරන්නන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන හෙයින් ලංකාවෙන් තුරන් කළ සරම්ප වැනි වසංගත රෝග යළි පැතිරීමට හේතු වී ඇතැයිද ඒ මහතා පැවසීය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *