ගුවන්තොටුපොළට ස්වංක්‍රීයව මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියක්

ගුවන්තොටුපොළට ස්වංක්‍රීයව මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියක්


ගුවන්තොටුපොළට ස්වංක්‍රීයව මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියක්

(06.01.2024 – 11:09 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සහ සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලනයට යටත්ව ‘ස්වයංක්‍රියව මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක්’ අද (06) ස්ථාපිත කෙරුණා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ උපදෙස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයවීම මතයි මෙම පද්ධතිය ස්ථාපිත කර ඇත්තේ.

ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට අධි තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය භාවිත කරමිනුයි මෙය ක්‍රියාත්මක වන්නේ.

මෙම ක්‍රමවේදය හරහා අපරාධකරුවන් ව්‍යාජ ලේඛන භාවිත කර විදෙස් ගතවීම සහ නැවත ශ්‍රී ලංකාවට පැමිණ සැඟව සිටීමේ අවස්ථාව ඇහිරෙනු ඇති.

එමෙන්ම වෙස් වලාගෙන හෝ අවිධිමත් ලෙස පැමිණෙන ඕනෑම සැකකරුවෙකු හඳුනාගැනීමේ හැකියාව මෙම නවීන පද්ධතිය සතුයි.

+


විදෙස් ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල 57.5% ක වැඩිවීමක්

(06.01.2024 – 10:54 +0530 – hirunews.lk/sinhala)

2022 වසරට සාපේක්ෂව පසුගිය වසරේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 57.5% කින් වැඩි වී ඇති බව මහ බැංකුව පවසනවා.

පසුගිය වසරේ (2023) විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 5969.6 ක් ලැබී තිබූ අතර, 2022 වසරේ එය සටහන් වී තිබුණේ ඩොලර් මිලියන 3,789.5 ක් ලෙසයි.

2023 දෙසැම්බර් මාසයේ විදේශීය ප්‍රේෂණ ලෙස ඩොලර් 569.7 ක් ලැබී තිබුණා.

මේ අතර සංචාරක පැමිණීම් සංඛ්‍යාව 2022 වසරට සාපේක්ෂව පසුගිය වසරේ (2023) සියයට 106.6 කින් වැඩිවී ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

ඒ අනුව 2023 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා සංචාරකයින් 14,87,303 ක් පැමිණ තිබූ අතර, එමඟින් ඉපයූ ආදායම ඩොලර් මිලියන
2068 ක්.

2022 වසරේ සංචාරකයින් 7,19,978 දෙනෙකු පැමිණ තිබූ අතර, එමඟින් ඩොලර් මිලියන 1136.3 ක් ලැබී තිබූ බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා ෴


තරු­ණි­යන්ගේ නිරුවත් ඡායා­රූප ලබා ගනිමින් ඔවුන්ව දූෂණය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

(06.01.2024 – 10:10 +0530 – hirunews.lk/sinhala)

නිරූපණ තරගයක් පවත්වා ජයග්‍රහණය කරන තරුණියන්ට නොමිලේ අයිෆෝනයක් ලබා දෙන බව පවසා ඔවුන්ව මුළාකර නිරුවත් ඡායාරූප ලබා ගෙන දූෂණය කළ තරුණයෙකු සහ ඊට අනුබල දුන් තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රධාන සැකකරු පොළොන්නරුවේදීත් අනෙක් සැකකරු දඹුල්ල ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 ක් වන තරුණයෙක් සහ වයස අවුරුදු 23 ක තරුණයෙක්.

මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ තරුණියකගේ නමින් මුහුණු පොතේ ව්‍යාජ ගිණුමක් අරඹා තරුණියන් සමඟ සබඳතා ගොඩ නගා ගනිමින් ඔවුන්ගේ අඩ නිරුවත් ඡායාරූප වරින්වර ගෙන්වාගෙන ඇති බව‍යි.

එසේ ලබාගත් අඩ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් මෙම සැකකරු විසින් මුදල් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මුදල් ලබා නොදෙන තරුණියන් කුරුණෑගලට ගෙන්වා දූෂණය කර ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

ප්‍රධාන සැකකරු සමඟ පාසල් වියේ සිසුවියන් ද පණිවිඩ හුවමාරු කරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෴


බැන්ඩියමුල්ලේ කාන්තා ඝාතනයක්

(06.01.2024 – 08:13 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ – බැන්ඩියමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ අත්පා ගැටගසා ඝාතනය කර තිබූ කාන්තාවකගේ සිරුරක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (05) දහවල් මෙලෙස ඝාතනය කර තිබුණේ වයස අවුරුදු 82 ක කාන්තාවක්.

මරණකාරිය නිවසේ තනිව සිට ඇති අතර, ඊයේ (05) උදෑසන නිවස ආසන්නයේ විහාරස්ථානයකට ගොස් ආගමික කටයුතුවල නිරත වී නිවසට පැමිණ ඇති බවද අනාවරණ වී තිබෙනවා.

නිවසේ දේපළ සොරකම් කිරීමට පැමිණි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ඇය ඝාතනය කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා ෴


උසාවි දාන්න තිබුණු වල්ඌරු මස් කිලෝ 50 න් 45 ක් OIC බයිට් එකට අරන්

(07.01.2024 – 06:58 +0530 – hirunews.lk/sinhala)

වැටළීමකදී අත්අඩංගුවට ගත් වල්ඌරු මස් කිලෝ 50 ක් වෙනුවට නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට වල්ඌරු මස් කිලෝ 05 ක් පමණක් ඉදිරිපත් කර, ඉතිරි කිලෝ 45 පොලිසියේ සාදයකට ගැනීමක් සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසියේ දූෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් මෙම පියවර ගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ නිලධාරියා රාජකාරියේ නිරතව සිටියදී ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් සමඟ පරදූව වතුයායට ගොස් විදුලි උගුලක් අටවා මරාදමා තිබුණු වල් ඌරකුගේ මස් කිලෝ 50 ක තොගයක් සමග පුද්ගල‍යකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මස් තොගය පොලිස් ස්ථානයට රැගෙන විත් සැකකරු සමඟ අධිකරණයට කිලෝ 05 ක පමණ ප්‍රමාණයක් ඉදිරිපත් කර සෙසු මස් තොගය පොලිසියේ නිලධාරියකු වෙනුවෙන් පැවැත්වූ සාදයකට යොදා ගෙන ඇති බවට වාර්තා වී තිබෙනවා.

නඩු භාණ්ඩ සාවද්‍ය පරිහරණය, වංක ලෙස හෝ වංචනික ලෙස සැඟවීම හෝ ඉවත් කිරීම යන චෝදනා යටතේ මේ නිලධාරියාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් අප කළ විමසිමකදී සඳහන් කළේ ෴


දෙස් විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

(06.01.2024 – 21:47 +0530 – sinhala.adaderana.lk)

දෙස් විදෙස් රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත් ජාවාරම්කරුවෙකු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී ඊයේ (05) රාත්‍රියේ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් එම ජාවාරම සිදුකර ඇති බව වාර්තා වෙයි.

මේ පිළිබඳව ‘අද දෙරණ’ ඊයේ (05) තොරතුරු අනාවරණය කළ අතර එම අනාවරණයෙන් පසු සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගැනුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ‘සමන්ත ඛෙනුවර ආරච්චි’ නම් පුද්ගලයෙකි.

ඔහු අධිකරණයට ඉදිරිපත් කීරීමෙන් අනතුරුව මේ මස 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

+


පාර්ලිමේන්තුවේ පිල් මාරුවක් ගැන ඉඟියක්

(06.01.2024 – 21:14 +0530 – sinhala.adaderana.lk)

නව වසරේ (2024) පාර්ලිමේන්තු ආරම්භ වන දිනයේදී පාර්ලිමේන්තුව තුළ පිල් මාරුවක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ, සම්බන්ධයෙන් බුද්ධි අංශ ද ආණ්ඩු පක්ෂය දැනුවත් කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය දින කිහිපය තුළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමගි ජන බලවේගය පක්ෂය සමග එක් විය.

ඒ අනුව තවත් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පිල් මාරුවක් සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තාවී ඇත.

එක්සත් ජාතික පක්ෂය සමගද එක්වීමට පිරිසක් සූදානමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන්ය.

මේ අතර ආණ්ඩුව විසුරුවා හරින බවට විවිධ මාධ්‍ය වාර්තා පළ වීමත් සමග ඒ පිලිබඳවද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුවී තිබේ.

මෙම තත්ත්වය හමුවේ දේශපාලන පිල්මාරු ඉක්මන්වී ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් පිහිටුවා තිබේ.

දේශපාලන පක්ෂ 18 ක සහභාගීත්වයෙන් එම නව සන්ධානය ආරම්භ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (06) පැවැති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී දයාසිරි ජයසේකර මහතා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැකි බවට එම මාධ්‍ය හමුවේදී ඉඟි පළ කෙරුණි.

මේ අතර එම නව සන්ධානය සඳහා ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට ද ආරාධනා කර තිබේ ෴


සිමෙන්ති මිල ඉහළ ගිහින් – ජාතික ඉදිකිරීම් සේවක සංගමය

(06.01.2024 – 18:38 +0530 – sinhala.adaderana.lk)

යළිත් වරක් රුපියල් 300 කට වඩා වැඩි මුදලකින් සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයක් පෙන්නුම් කිරීමට ආරම්භවීමත් සමග එලෙස මිල ඉහළ දැමීම බරපතළ තත්ත්වයක් බවය.

මේ සම්බන්ධයෙන් අද (06) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු ජාතික ඉදිකිරීම් සංගමයේ ලේකම් සුපුන් අබේසේකර මහතා :

“ඉදිකිරීම් කේෂ්ත්‍රය කඩා වැටුණු ක්ෂේත්‍රයක්. අපේ බලපෑමත් එකක් යම් කිසි ප්‍රමාණයකින් සිමෙන්ති අඩුවෙලා තිබුණා. හැබැයි නැවතත් පිබිඳීමක් ඇතිවේගන එනකොටම රුපියල් 320 කින් සිමෙන්ති කොට්ටයක මිල වැඩිකරලා තියෙනවා. මේක ඇත්තටම අසාධාරණ ක්‍රියාවලියක්. ජනවාරි පළමු වැනිදා (01) ලබනකොටම මිනිස්සු තුළ ඇති කළා සියයට 18 ක වැට් භීතිකාවක්. මේ භීතිකාවත් එකක් මේ ක්ෂේත්‍රයේ ඉන්න නිෂ්පාදකයෝ මේක විශේෂයෙන් වැඩිවෙන්න බලපෑම් කළා.”

“ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය නිකුත් කිරීම නැවැත්තුවා. එතකොට ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍යවල හිඟයක් ඇති වුණා. 3% කින් වැඩිවෙන්න ඕනේ අමුද්‍රව්‍ය මිල 18% කින් වැඩිකරලා තියෙනවා. මේක කොයි තරම් අසාධාරණද?”

මේ අතර රුපියල් 2450 වැනි මිලකට වෙළෙපොළේ සිමෙන්ති කොට්ටයක් අලෙවිකරණ බව ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරිකයින් සඳහන් කළේය.

+


‘සුදු ඉර’ මතදී සිදුකළ අනතුර

(06.01.2024 – 16:29 +0530 – sinhala.adaderana.lk)

පදික මාරුවක් හරහා මාර්ගයේ අනෙක් පැත්තට ගමන් කරමින් සිටි මවක් සහ දියණියක් ඉතා අවාසනාවන්ත ලෙස රිය අනතුරකට ලක්වී තිබුණි.

අද (06) පෙරවරුවේ බණ්ඩාරගම ගැලනිගම පදික මාරුවකදීය.

හොරණ කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් වෑන් රථයක එම දෙදෙනා (2) ගැටී තිබුණි.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ බණ්ඩාරගම බද්දේගොඩ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි මවක් සහ 15 හැවිරිදි ඇයගේ දියණිය යි.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අනතුරින් 53 හැවිරිදි මවගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇති බව පොලීසිය පවසයි.

මෙවර උසස් පෙළ විභාග කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වෑන් රථ රියදුරා විසින් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක් රැගෙන හොරණ දෙස සිට බණ්ඩාරගම දෙසට පැමිණෙමින් තිබියදී අනතුර සිදුවී ඇත.

වෑන් රථ රියදුරගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකාර රියදුරාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

+


ත්‍රිරෝද රථයක් පැහැර ගැනීමට දැරූ තැතක් ව්‍යර්ථ වේ

(06.01.2024 – 13:24 +0530 – sinhala.adaderana.lk)

ගොඩකවෙල රන්වල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක ගමන්කරමින් සිටි කාන්තාවක් එහි රිදුරුගේ ගෙල තද කර රථය පැහැර ගැනීමට උත්සාහ කර තිබේ.

ප්‍රදේශවාසීන් විසින් එම කාන්තාව අල්ලා පොලීසියට භාර දී ඇති අතර, පොලීසිය සඳහන් කළේ, ඇය තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහී වී සිටින අයෙකු බවයි.

රත්නපුර, ගොඩකවෙල නගරයේ දී කාන්තාවක් ඊයේ (05) පස්වරුවේ ත්‍රීරෝද රථයකට ගොඩ වී ඇත්තේ, ගොඩකවෙල රන්වල ප්‍රදේශයට යාමට අවශ්‍ය බව පවසමිනි.

අනතුරුව ත්‍රීරෝද රථය මද දුරක් ධාවයන වූ පසු ඇය එහි රියදුරාගේ ගෙල තද කර ලේන්සුවකින් මුහුණ ආවරණය කිරීමට උත්සාහ කර තිබේ.

එම අවස්ථාවේ දී රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වී මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක ගැටී පෙරළී ගොස් ඇත.

එම අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් පැමිණ සිද්ධිය පිළිබඳ විමසීමෙන් පසු අදාළ කාන්තාව අල්ලා ගොඩකවෙල පොලිසියට භාර දී තිබේ.

අනතුරු ව පොලිසිය සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, එම කාන්තාව ගොඩකවෙල රන්වල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එක්දරු මවක් වන අතර, ඇය තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවයි.

එමෙන්ම මෙම කාන්තාව ත්‍රීරෝද රථය පැහැර ගැනීමේ අරමුණින් මෙලෙස රියදුරාගේ ගෙල තද කළ බව පොලීසියට පවසා තිබේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *