වාහන ලියාපදිංචියට පෙබරවාරි සිට TIN අනිවාර්ය කෙරෙයි
(04.01.2024 – 21:06 +0530 – hirunews.lk/sinhala)
ලබන පෙබරවාරි මාසයේ සිට රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය අනිවාර්ය වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා.
අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ බවයි වාර්තා වන්නේ.
කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ ඒ අනුව පෙබරවාරි මස සිට ආදායම් බදු අංකය නොමැතිව මෝටර් රථ ලියාපදිංචි කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවයි.
එම අංකය නොමැතිව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණ කාලය නාස්ති කර නොගන්නා ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴
+++++++
Inland Revenue Department, Sri Lanka
ජෝර්දානයේ දුක්ගැහැට විඳින ලාංකිකයෝ
(04.01.2024 – 22:31 +0530 – hirunews.lk/sinhala)
මෙරටට විදේශ විනිමය ලබාදීමට මැද පෙරදිග ඇතුළු විදේශයන්හි දුක්ගැහැට විඳින ලාංකිකයින් පිළිබඳ අපට කොතෙකුත් වාර්තා කරන්න සිඳුවුණත් ඔවුන්ගේ ගැටලුවලට සහනදායි විසඳුමක් නොලැබීම කණගාටුවට කරුණක්.
මේ එලෙස, තමන් උපයාගත් වැටුප හෝ කුසට ආහාරයක්වත් නොලැබී ජෝර්දානයේ සිරවී සිටින ලාංකිකයින් පිරිසක් මෙරට බලධාරීන් ගෙන් කරන ඉල්ලීමක්.
සිය වීසා කාල සීමාව අවසන්ව තිබියදීත් වැටුප් හා දීමනා ගෙවීම් ද ප්‍රමාද කරමින් බලහත්කාරයෙන් සේවය ලබාගන්නා බවට චෝදනා කරමින් මෙලෙස විරෝධතාවයක නිරතවුණේ ජෝර්දානයේ කර්මාන්තශාලා කිහිපයක සේවයේ නියුතු ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසක්.
+
‘හිරු ස්ටාර්’ වේදිකාවෙන් ජන හදවත් දිනූ රනිඳු විහඟ සත්සරගේ මුදල් නැවත දෙන්න පොරොන්දුවක්
(04.01.2024 – 23:14 +0530 – hirunews.lk/sinhala)
හිරු ස්ටාර් වේදිකාවේන් මෙරට ජන හදවත් දිනූ රනිඳු විහඟ සත්සරට වැලඳී ඇති පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගැනිමට එකතු කර තිබූ මුදලින් රුපියල් ලක්ෂ 38 ක් වංචා කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සොහොයුරියන් දෙදෙනා (2) ඇතුලු තිදෙනා (3) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහි දී සැකකරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් විසින් සොරකම් කළ මුදල මසකට රුපියල් ලක්ෂ 5 බැගින් ගෙවා දමන බවයි.
කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කලේ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් නිදහස් කිරිමටයි ඒ සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ කඩිනම් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන මැයි මස 9 දින යළි කැදවිමට නියෝග කළා ෴
යුක්තියේ මුවාවෙන් වෙළෙඳසලක් කොල්ල කෑ සැකකරුවන්
(04.01.2024 – 22:02 +0530 – sinhala.adaderana.lk)
‘යුක්තිය’ මෙහෙයුම යටතේ විමර්ශන සිදු කරන බව පවසමින් වෙළෙඳසලක් කොල්ල කෑ නාවික හමුදා සෙබළුන් සිව් දෙනෙකු (4) වැල්ලවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
යුක්තිය මෙහෙයුම යටතේ වෙළඳසල් පරීක්ෂා කරන බව පවසමින් පැමිණි පිරිසක් සිය වෙළෙඳසලෙන් රුපියල් හය ලක්ෂ හැත්තෑ දහසක (6,70,000) මුදලක් සහ ජංගම දුරකථනයක් කොල්ල කෑ බවට වැල්ලවත්ත ප්‍රදේශයේ වෙළඳසලක හිමිකරුවෙකු ඊයේ (03) පස්වරුවේ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එම පැමිණිල්ලට අදාළ ව එම ප්‍රදේශයේ රැඳී සිටි පුද්ගලයන් සිව් දෙනෙකු (4) වැල්ලවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදු කළ විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ, ඔවුන් නාවික හමුදා සෙබළුන් බවයි.
මෙම සැකකරුවන් සිව් දෙනා (4) සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළෙකු (1) ද කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ වී ඇති අතර, සැකකරුවන් වෙළෙඳසලට ඇතුළු වී ඇත්තේ, එම සෙබලාගේ හැඳුනුම්පත ඉදිරිපත් කරමිනි.
කෙසේ වෙතත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පළා ගිය සෙබළා අද (04) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයට භාර වී ඇති අතර, පසු ව සැකකරුවන් වැල්ලවත්ත පොලීසියට භාර දී තිබේ.
අනෙක් සැකකරුවන් අද (04) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහි දී ඔවුන් හෙට (05) දිනය දක්වා රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණ පොලීසියට අවසර දී ඇත.
එසේම අධිකරණය සැකකරුවන් සියලු දෙනාගේ බැංකු ගිණුම් වාර්තා ලබා ගැනීමට ද පොලිසියට නියෝග කර තිබේ.
මේ අතර, මීටියාගොඩ ප්‍රදේශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ප්‍රබල සාමාජිකයකු වන ‘බබී’ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම වැටලීමේ දී නීති විරෝධී මත්පැන් ලීටර් හතළිහක් (40) ද පොලිස් භාරයට පත් ව ඇත.
මෙම සැකකරු විසින් නිවසේ ඔට්ටු තරග ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතුවල යෙදී තිබෙන අතර, ඔහුගේ නිවස වටා ආරක්ෂිත කැමරා සහ විවිධ ආරක්ෂිත ක්‍රම සහ පෞද්ගලික ඔත්තුකරුවන් යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
මේ අතර, ‘යුක්තිය’ මෙහෙයුමට සමගාමී ව මහනුවර පොලිස් කොට්ඨාසයේ ජනතාව දැනුම්වත් කිරීමේ පළමු වැඩසටහන මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් හතරලියද්ද නගරයේ දී සිදු කෙරිණි.
මෙහි දී ත්‍රීරෝද රථ ඇතුළු මගී ප්‍රවාහන රථවාහනවල විශේෂ අංකයක් සහිත ස්ටිකරයක් ඇලවීම හා ස්ටිකර් බෙදා දීම ද සිදු කෙරිණි.
+
‘අයිෆෝන්’ පෙන්වා පාසල් සිසුවියන් සහ තරුණියන්ව රැවටූ තරුණයෝ
(04.01.2024 – 19:54 +0530 – sinhala.adaderana.lk)
ෆේස්බුක් හරහා අඩු මිලට ‘අයිෆෝන්’ ලබාදෙන බව පවසා හඳුනාගන්නා තරුණියන් පිරිසක් මුලා කරමින් දූෂණය කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයට පසුගිය දා පැමිණිලි කිහිපයක් ලැබී තිබිණි.
ඒ අනුව විමර්ශන නිලධාරින් අනාවරණ කරගෙන තිබුණේ, අදාළ තරුණියන් සමඟ තවත් තරුණියකගේ ඡායාරූප හා නමක් භාවිත කරමින් සැකසූ ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හරහා අදාළ පුද්ගලයා සබඳතා ගොඩනගාගෙන ඇති බවයි.
අනතුරුව නිරූපණ තරගයක් පවත්වා ඉන් ජයග්‍රහණය කළ හොත් නොමිලේ ‘අයිෆෝන්’ වර්ගයේ ජන්ගම දුරකථනයක් ලබාදෙන බව ද අදාළ පුද්ගලයා පවසා තිබේ.
ඉන් පසු ව සැකකරු තරුණියන්ගේ අඩ නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා සමාජ මාධ්‍යය හරහා මුදාහරින බව පවසා මුදල් ලබාගෙන ඇතැයි සඳහන් වේ.
එලෙස මුදල් ලබා නොදෙන තරුණියන් කුරුණෑගල ප්‍රදේශයට ගෙන්වාගෙන දූෂණය කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබිණි.
අනතුරුව ඒ අනුව ෆේස්බුක් සමාගම හරහා තොරතුරු ලබාගත් විමර්ශන නිලධාරින් සැකකරු පොළොන්නරුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම ඔහු මුදල් යොමු කළ බැංකු ගිණුම හිමි පුද්ගලයා ද දඹුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා වයස 22 හා 20 යන වයස්වල පසුවන්නන් බව වාර්තා වේ.
සැකකරු සමඟ පාසල් වියේ සිසුවියන් ද පණිවුඩ හුවමාරු කරගෙන ඇති බැවින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
+
මධ්‍යම තැපැල් හුවමාරුවේදී කෝටි ගණනක මත්ද්‍රව්‍ය කොටුවෙයි
(04.01.2024 – 18:22 +0530 – sinhala.adaderana.lk)
මධ්‍යම තැපැල් හුවමාරුව හරහා විවිධ පුද්ගලයින් විසින් මෙරටට එවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට ගෙන තිබේ.
මෙලෙස රේගු භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් එක්කෝටි විසි අට ලක්ෂයක් (1,28,00,000) පමණ බව හෙළිවී ඇත.
එක්සත් රාජධානිය, සහ ජර්මනියේ සිට මෙරටට එවා තිබූ පාර්සල් 11 ක මෙම මත්ද්‍රව්‍ය අසුරා තිබී ඇති බව වාර්තාවෙයි.
අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ ෴
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට රුපියල් මිලියන 500 ක එන්තරවාසියක්
(04.01.2024 – 18:11 +0530 – sinhala.adaderana.lk)
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා නීතිඥ මනෝජ් ගමගේ එන්තරවාසියක් යොමු කර තිබේ.
2023-12-29 වැනි දා කොළඹ ජාතික රෝහලේ කාමරයක දී ඉතා අශීලාචාර වචන භාවිත කරමින් නීතිඥ මනෝජ් ගමගේව නිර්දය ලෙස විවේචනය කිරීම සමබන්ධයෙන් මෙම එන්තරවාසිය යොමු කර ඇත.
ඒ හරහා නීතිඥ මනෝජ් ගමගේ ගේ චරිතය පිළිබඳ මහජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීමට උත්සාහ කර ඇති බව ද මනෝජ් ගමගේ විසින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට යොමු කළ ලිපියේ සඳහන් ව තිබේ.
එහි සඳහන් ඇතැම් කාරණා නිසා නීතිඥ මනෝජ් ගමගේ ගේ පවුලේ සාමාජිකයන් ද අපහසුතාවට පත් ව ඇති බව ලිපියේ සඳහන් කර ඇත.
එම ප්‍රකාශයන් ඇතැම් යූ ටියුබ් නාලිකා හරහා නැරඹුම් වාර 30,000 කට අධික ප්‍රමාණයක් දක්වා ප්‍රචාරය වී ඇති බව ද සඳහන් වේ.
මේ හේතු නිසා මනෝජ් ගමගේට සිදු වූ අපකීර්තියට වන්දි වශයෙන් රුපියල් මිලියන 500 ක් ඉල්ලා මෙම එන්තරවාසිය යොමු කර ඇති බව වාර්තා වේ ෴
කාංචන විජේසේකරගේ ලිපියට විමල් වීරවංශ ගෙන් පිළිතුරු!
(04.01.2024 – facebook.com/WimalWeerawansa.sl)
“රටේ බලශක්ති සුරක්ෂිතතාව අනතුරේ හෙළන නව විදුලි පනත වහා හකුළා ගත යුතුයි!”
කාංචන විජේසේකර මැතිතුමා,
ගරු විදුලිබල සහ බලශක්ති අමාත්‍ය,
බලශක්ති අමාත්‍යාංශය,
අංක 80, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07.
විදුලි බල ක්ෂේත්රයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීම (විදුලි පනත මගින් සිදුකිරීමට නියමිත)
ඔබතුමා විසින් 2023.12.19 දින දරන මා වෙත යොමු කරන ලද උක්ත ශීර්ෂය සහිත ලිපියට ස්තුතිවන්ත වන අතර මෙම ලිපියෙන් ඊට පිළිතුරු ලෙස පහත සඳහන් කරුණු ඔබ වෙත යොමු කිරීමට කැමැත්තෙමි.
1. විදුලි බල ක්ෂේත්රයේ ප්‍රධාන ගැටළු ලෙස අප විසින් සහ බොහෝ විද්වතුන් මෙන්ම පොදු ජනතාව විසින් හඳුනාගෙන තිබෙන කරුණු පහත පරිදි වේ.
- 1.1 පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමේදී රජයට අවාසිදායක කොන්දේසිවලට එකඟවීම මගින් සිදු කරනු ලබන දූෂණය.
- 1.2 පුද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීම සඳහා සිදුකරනු ලබන දූෂණ සහ වංචාසහගත ක්‍රියාමාර්ග, විශේෂයෙන් ජලාශවලින් ජලය නිදහස් කිරීම මගින් ජල විදුලිය ජනනය සීමා කිරීම් සහ සුනිත්‍ය බල ව්‍යාපෘතිවලට බාධා එල්ල කිරීම සහ පමා කිරීම.
- 1.3 සෙසු රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්ෂමතාවන් එසේම තිබියදී ඉතා ඉහළ වැටුප් සහ දීමනා ගෙවීම අනුමත කිරීම මගින් පිරිවැය වැඩි කිරීම.
- 1.4 මහජන උපයෝගීතා කොමිසම නොමඟ යැවීම සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම සහ ඒවා හෙළිදරව් වීමෙන් පසුව ඊට එරෙහිව පියවර නොගැනීම.
- 1.5 සිතාමතා සුනිත්‍ය බල ව්‍යාපෘතිවලට බාධා එල්ල කිරීම පිළිබඳව සොයාබලා නිසි පියවර ගත යුතු බවට අධිකරණය විසින් ලබා දී ඇති නියෝග පවා නොසලකා හරිමින් ආයතනයේ වංචා, දූෂණ සහ අකාර්යක්ෂමතාවන් දිරිමත් කිරීම.
- අදානි සමාගමට මහා පරිමාණ විදුලි ජනන ව්‍යාපෘතියක් ලබාදීම සඳහා විදුලිබල පනත සංශෝධනය කරමින් ඉතා ඉහළ මිලට තරගකාරීත්වයකින් තොරව එම සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට තීරණය කිරීම. මෙ.වො. 10 කට වැඩි ධාරිතාව සහිත ව්‍යාපෘති සඳහා රජයේ කොටස් අයිතියක් තිබිය යුතු බවට ප්‍රතිපාදන පනතට ඇතුළු කරනු ලබන්නේ එවැනි ව්‍යාපෘතියක් මගින් විදුලි පද්ධතිය අකර්මණ්‍ය කිරීමේ හැකියාවක් තිබෙන බැවිනි. ඒ අනුව දූෂිත ගනුදෙනුවක අවශ්‍යතාව සඳහා පනත පවා සංශෝධනය කර බලශක්ති පද්ධතිය අනතුරට ලක් කිරීම යනු ඉතාම නරක පූර්වාදර්ශයකි. ඒ මගින් ආණ්ඩුවේ සද්භාවය අභියෝගයට ලක් වේ.
- නමුත් සුනිත්‍ය බල ව්‍යාපෘතිවලට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් බාධා එල්ල කිරීම වැළැක්වීම සහ ඔවුන්ගේ මහජන වගවීම සහතික කිරීම සඳහා විදුලිබල පනත සහ සුනිත්‍ය බල අධිකාරි පනත සංශෝධනය කිරීමට කිසිදු උත්සාහයක් නොගැනීම මගින් ආණ්ඩුව ඊට අදාළව දරන මතය පිළිබිඹු වේ.
- එවැනි තත්ත්වයක් තුළ නව පනත මගින් ක්ෂේත්‍ර 6 කට අදාළව විදුලි පද්ධතිය වෙන් කිරීම සහ එම අංශවල කළමනාකාරීත්වය, පුද්ගලික සහ රාජ්‍ය පුද්ගලික හවුල් සමාගම්වලට පැවරීම හරහා විදුලි බල මණ්ඩලය අහෝසි කිරීම මගින් සමස්ත පද්ධතියේ කළමනාකාරීත්වය බිඳවැටීම හරහා රටේ බලශක්ති සුරක්ෂිතතාව පමණක් නොව ජාතික ආරක්ෂාව පවා අනතුරට ලක් විය හැක. දැනට සියල්ල මධ්‍යගතව කළමනාකරණය කෙරෙන තත්ත්වයක් තුළ පවා පවතින අවුල් දෙස බලන විට වගකීම් කෑලිවලට කඩා පුද්ගලීකරණය කළ විට සිදුවිය හැකි තත්ත්වය වටහාගැනීමට මහා තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවේ.
- විශේෂයෙන්ම ඉහත සඳහන් කළ ආකාරයට මෙ.වො. 10 කට වැඩි ව්‍යාපෘතිවල රාජ්‍ය අයිතිය පිළිබඳව පනත මගින් ප්‍රතිපාදන පනවනු ලබන්නේ තාක්ෂණික හේතු මතය. දැන් එම ප්‍රතිපාදන ඉවත් කිරීමෙන් නොනවැතී මහා ජල විදුලි බලාගාර පවා පුද්ගලික අංශයට පැවරූ විට සිදුවන දේ තේරුම් ගැනීම සදහා මහා තාක්ෂණික දැනුමක් අවශ්‍යද?
- ඊට අමතරව නව පනත මගින් පිහිටුවනු ලබන උපදේශක සභාවට පත්කිරීම් කරනු ලබන්නේ අමාත්‍යවරයා විසිනි. ඒ අනුව එම සභාවට, මහජන උපයෝගීතා කොමිසමට බලපෑම් කිරීමට බලය ලබාදීම වරදකි.
- විදුලි බල ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් නොවන අතර ඊට අදාළ මග පෙන්වීම පනත මගින් ලබාදී නොමැති නිසා පනත සම්මත වීමට පෙර ඒ පිළිබඳව අධිකරණයේ මතය ලබා ගැනීමේ හැකියාවක් ද නැත. එවැනි බාධාවන් තුළ අදාළ ප්‍රතිපත්තිය ප්‍රායෝගික තත්ත්වයට අනුව වෙනස් කිරීමේ බලය අමාත්‍යවරයාට ලබාදීම යනු අත්තනෝමතික තීන්දු ගැනීමට නීතිය මගින් ඉඩ සැලසීමකි.
- ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොදන්නා ප්‍රතිපත්තියක් සකස් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට පනත සම්මත කිරීම මගින් අමාත්‍යවරයාට බලය ලබාදීම යනු ගණන් නොදැමූ චෙක්පතක් අත්සන් කිරීමට සමාන වේ. එම ප්‍රවේශය පාර්ලිමේන්තු සදාචාරයට ද පටහැනි වන අතර පනත සම්මත කිරීමෙන් පසුව සකස් කරන ප්‍රතිපත්තිය මගින් මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති පවා මහජන උපයෝගීතාව නොසලකා පුද්ගලික අංශයට පැවරීමට හැකියාව ලැබේ.
- පසුගිය රජය යටතේ පවතින නීතිය තුළ පවා LNG ව්‍යාපෘතියට අත්තනෝමතික ලෙස අනුමැතිය ලබා දුන් ආකාරය දෙස බලන විට නව නීතිය යටතේ එවැනි ක්‍රියා සඳහා මහා පරිමාණ ඉඩක් විවෘත වේ.
- ඒ සියල්ල සැලකිල්ලට ගත් විට යහපාලන රජය විසින් විදේශ විනිමය පනත සංශෝධනය කිරීම මගින් විදේශ විනිමය අර්බුදයට පාර කැපූ ආකාරයටම ඔබ විසින් නව විදුලි පනත හරහා මහා විදුලි අර්බුදයක් නිර්මාණය කරන බවට අපට නම් කිසිදු සැකයක් නැත. ඒ තුළ මහජනයාට ද ඉතා අධික විදුලි පිරිවැයක් දැරීමට සිදුවන අතර රටේ බලශක්ති සුරක්ෂිතතාව ද අනතුරට ලක්වනු ඇත.
එම නිසා 2003 දී ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ යටතේ ඉදිරිපත් කළ විදුලිය පුද්ගලීකරණය කිරීමේ පනත ජනාධිපතිවරයාගේ උවමනාවට නැවත ඉදිරිපත් කරන විට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඊට අනුමැතිය ලබාදීම සඳහා ජනවරමක් ලැබී නැති බව සඳහන් කරන අතර වහාම පනත හකුළා ගන්නා ලෙස දන්වා සිටිමි.
ස්තූතියි.
මෙයට – විශ්වාසී,
විමල් වීරවංශ (පා.ම.),
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2023-12-31
පිටපත් :
- ගරු කථානායකතුමා
- ගරු අග්‍රාමාත්‍යතුමා
- ගරු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා
- සියලු ජනමාධ්‍ය
ජානිපෙ නායක සහ උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ (24.12.2023)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴