විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ඇමතිගෙන් රතු එළියක්

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ඇමතිගෙන් රතු එළියක්


විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ඇමතිගෙන් රතු එළියක්

(03.01.2024 – 23:13 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබෙනවා.

ඒ, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙලට එරෙහිව එම සේවකයින් අද (03) සිට දින 03 ක විරෝධතා මාලාවක් සූදානම් කර තිබූ පසුබිමකයි.

කෙසේ වෙතත්, නිවාඩු අවලංගු කර තිබියදීත්, අද (03) දහවල් විදුලි වෘත්තීය සමිති කොළඹ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ පනත් කෙටුම්පත පසුගියදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණු අතර එම පනත් කෙටුම්පතේ දෝෂ රැසක් මතු වීම හේතුවෙන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් එම පනත් කෙටුම්පතට එරෙහිව අද (03) දහවල් 12 සිට දින 03 ක විරෝධතාවක් සූදානම් කර තිබුණේ, එවන් පසුබිමකයි.

කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු ඊයේ (02) සිට නැවත දැනුම් දෙන තුරු අවලංගුකර ඇතැයි එම මණ්ඩලය නිවේදනය කළා.

ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ, රටට අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධව ලංකා විදුලි බල මණ්ඩලයට පැවරී ඇති ජාතික වගකීම සහ 2023 දෙසැම්බර් 18 දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය මගින් විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බව සැළකිල්ලට ගෙන, එම තීරණය ගත් බවයි.

එසේ වුවත්, අත්‍යවශ්‍ය හදිසි අවස්ථාවලදී අදාළ ශාඛාවට හෝ අංශයට අනුයුක්ත පළමුවන පන්තියේ හෝ ඊට ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය මත පමණක් සේවකයින් හට නිවාඩු ලබා දිය හැකි බව ද ලංකා විදුලිබල මණ්ඩලය දන්වා තිබෙනවා.

සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබුණත්, අද (03) දහවල් 12 සිට පස්වරු 02 දක්වා කොළඹ පිහිටි ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට එහි වෘත්තීය සමිති මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.

මේ අතර, සේවාවන්ට බාධා කරන හෝ ලංකා විදුලිබල මණ්ඩල කළමනාකාරීත්වය විසින් ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ කඩ කරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර, අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ලංකා විදුලිබල මණ්ඩල කළමනාකාරීත්වයට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, යෝජිත ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිසංස්කරණ කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.

විදුලි බිල අඩු කිරීමේ යෝජනාව ද ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය එක්ස් පණිවුඩයේ දක්වා තිබෙනවා.

++++++++

+

+


නීති කැඩූ ආයතන 180කට වැඩ වරදී

(03.01.2024 – 08:38 +0530 – sinhala.adaderana.lk)

පසුගිය වසරේ ගතවූ කාලසීමාව තුළ තහනම් කරන ලද පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය කරන ලද ආයතන 7,000 කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එහි අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීරසුන්දර මහතා පැවසුවේ, නීති කඩ කළ ආයතන 180 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇති බවය ෴


ඉඩම්, වාහන මිලදී ගැනීම ඇතුළු අවස්ථා කිහිපයකදී බදු අංකය අනිවාර්යයි

(03.01.2024 – 08:00 +0530 – sinhala.adaderana.lk)

පෙබරවාරි මස 01 වැනිදා සිට ජංගම බැංකු ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, රථවාහන ආදායම් බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.

මේ අතර, බදු හඳුනාගැනීමේ අංකයක් ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු සඳහන් කළේ වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් ලක්ෂ 12 කට වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් පමණක් බදු ගෙවීම සඳහා වගකීමට බැඳෙන බවය.

“තමා ලියාපදිංචි වීම අනිවාර්ය වෙනවා. ඒ වගේම තමන්ගේ වාර්ෂික ආදායම ලක්ෂ 12 ඉක්මවනවා නම් ඔහු හෝ ඇය හෝ ඒ ආයතනය බදු ගෙවීමක් සිදුකළ යුතු ලෙස හඳුනාගන්නවා. අවුරුදු 18 ට වැඩි සියලුදෙනා ලියාපදිංචි වීම එක්තරා කාණ්ඩයක් විසින් වැරදි මතයක් ප්‍රචාරය කරනවා. සියලුදෙනා බදු ගෙවීමට යටත්වෙනවා කියලා. තමා ලියාපදිංචිය අනිවාර්යයි. වාර්ෂිකව රුපියල් ලක්ෂ 12 ක සීමාව ඉක්මවනවා නම් ඔහු බදු ගෙවන්නෙක් බවට පරිවර්තනය වෙනවා” ෴


විදෙස් ශ්‍රමිකයින් ගැන රජයෙන් අලුත්ම තීරණයක්

(02.01.2024 – 21:44 +0530 – sinhala.adaderana.lk)

කෘෂි රැකියා සඳහා විදෙස්ගතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා සුවිශේෂි වැඩපිළිවෙලක් විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කරන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ නව වසරේ (2024) රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ඊයේ (01) පැවති වැඩසටහනකදීය.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ එම ශ්‍රමිකයින් යළි දිවයිනට පැමිණි පසුව කෘෂි ව්‍යවසායකයින් බවට පත්කිරීමේ අරමුණින් ඔවුන්ට ඉඩම් අක්කර දෙකක් (2) බැගින් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවය.

එමගින් විදේශයන්හි කෘෂීකාර්මික ක්ෂේත්‍රයට අදාළ රැකියාවල නිරතවූවන් ලබාගත් දැනුම මෙරට ආර්ථිකයට සෘජුවම දායක කරගැනීමේ අරමුණ සහිතව මෙම ඉඩම් ලබාදීම සිදුකරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාළ ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙල සඳහා ජනාධිපතිවරයාගේ පූර්ණ සහාය සහ අවසරය හිමිවී දී ඇති බවත් ඒ අනුව ඊට අදාළව ඉඩම් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය ෴


රෝගී දැරිය අරන් ජාවාරමේ ගිය කාන්තාවට සිදුවූ දේ

(02.01.2024 – 20:34 +0530 – sinhala.adaderana.lk)

සිය රෝගී දරුවාව යතුරුපැදියේ තබාගෙන හෙරොයින් ජාවාරම් කළ කාන්තාවක් යුක්තිය මෙහෙයුම අතරතුරදී ඉංගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි වියේ පසුවන ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

මෙම කාන්තාවක් සහ අදාළ දැරිය ගමන්ගත් යතුරුපැදිය ඉංගිරිය පොලිසිය විසින් නම්බපාන ප්‍රදේශයේදී නවතා පරීක්ෂාකර ඇති අතර එහිදී සැකකාරියගේ යට ඇඳුම් තුළ සඟවාගෙන සිටි හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2250 ක් පොලීසියට හමුවී තිබේ.

පොලිසිය සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී කාන්තාව පවසා ඇත්තේ තමා ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙලෙන සිය 11 හැවිරිදි දැරියද යතුරුපැදියේ තබාගෙන මත්ද්‍රව්‍ය බෙදාහැරීමෙහි නිරත වන බවය.

එමෙන්ම යතුරුපැදියේ අසුන යට තිබූ ජංගම දුරකතන 8 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් එක්ලක්ෂ පනස්දහසක (1,50,000) මුදලක් ද සොයාගත් බවයි පොලීසිය පවසයි.

සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ තොරතුරු අනුව, ඇයට මත්කුඩු ලබාදුන් ඌරුගල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු ද හෙරොයින් මිලිග්‍රෑම් 2180 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාව සහ සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර දැරිය පරිවාස භාරයට පත් කිරීමට නියමිතය.

+


අලෙවිසැලකින් අල්ලස් ගත් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ගේ වැඩ තහනම්

(03.01.2024 – 21:59 +0530 – hirunews.lk/sinhala)

මහරගම ප්‍රදේශයේ චොකලට් අලෙවිසැලක හිමිකරුවන්ගෙන් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සියලු නිලධාරීන්ගේ වැඩ තහනම් කර තිබෙනවා.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසුවේ, අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමටද පැමිණිලි කර ඇති බවයි.

මහරගම පිහිටි චොක්ලට් අලෙවිසැලක චොක්ලට් හා ටොෆි තොගයක් ඒවායේ මිල හා ආනයනකරුගේ නම ප්‍රදර්ශනය නොකර අලෙවි කිරීමේ චෝදනාව මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් වටලා තිබුණා.

එහිදී එම වෙළෙඳසැල් හිමිකරුවන්ට එරෙහිව පනවන ලද නඩුව ලිහිල් කිරීමට එම නිලධාරීන් විසින් අල්ලස් ඉල්ලූ ප්‍රවෘත්තියක් හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගිය දා වාර්තා කළා.

එම සිද්ධියට අදාළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවරගෙන තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් අද (03) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සඳහන් කළා.

https://www.youtube.com/watch?v=fdoTRzJHsBg

+


ආනයනික සහල් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පහළට

(03.01.2024 – 21:54 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආනයනික සහල් කිලෝග්‍රෑමයක් සඳහා දැනට පවතින රුපියල් 65 විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2024 ජනවාරි 21 වැනිදා දක්වා රුපියල් 01 දක්වා පහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

2024 ජනවාරි 2 වැනිදා සිට මෙය ක්‍රියාත්මක වන බව ද සඳහන් ෴


‘වැට්’වලට මුවාවී බඩු මිල ඉහළ දමන පාර්ශව ගැන රජයේ අවධානය

(03.01.2024 – 19:50 +0530 – hirunews.lk/sinhala)

වැට් බද්දට යටත්කර නොමැති සිමෙන්ති ඇතුලු‍ භාණ්ඩ කිහිපයක මිල ඉහළ නංවා තිබීම සම්බන්ධයෙන් අදාළ සමාගම් ගෙන්වා කරුණු විමසන බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මේ අතර එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ ලැයිස්තුවක් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන අල, ලූණු, පරිප්පු, සීනි, මුංඇට, කඩල, වියලි හාල්මැස්සන්, තිරිගුපිටි ඇතුලු‍ විශේෂ වෙළද භාණ්ඩ බද්දට අයත් අයිතම කිසිවක් වැට් බද්දට යටත් වන්නේ නැහැ.

එමෙන්ම ළදරු කිරිපිටි, ඖෂධ, පිරිපහදු නොකරන ලද ඛණිජ තෙල්, ආබාධිත තැනැත්තන්ගේ උපකරණ, කුකුළු ආහාර හා වෙනත් සත්ත්ව ආහාරද වැට් බද්දෙන් නිදහස් වනවා.

අධ්‍යාපන සේවා, පොදු මගී ප්‍රවාහන සේවා, භූමදාන සහ ආදාහන සේවාද වැට් බද්දෙන් නිදහස් වන බව එම නිවේදනයේ සදහන්.

මේ අතර බදු ජාලය පුළුල් කිරීම සහ වැඩි පිරිසක් බදු ගෙවිමේ ක්‍රියාවලියට ග්‍රහණය කර ගැනීම සදහා බදු ගෙවීමට ඇතුලත් වීමේ ක්‍රියාවලිය සරල විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසනවා.

එහි සහකාර මහලේකම් කන්නි විග්නරාජා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර මුදල් අමාත්‍යාංශයේදී අද (03) පැවති සාකච්ඡාවකදීයි ඇය මේ බව සදහන් කළේ.

එමෙන්ම බදු ලිපිගොනු විවෘත නොකරන පුද්ගලයින්ට නීති ප්‍රතිපාදන පැවතියත් මේ මොහොතේ එය ක්‍රියාත්මක නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

අද (03) රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මේ අතර බදු අය කිරීමේ ක්‍රමවේදය නිසි පරිදි සිදුවිය යුතු බව අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ‘ව්‍යවසාය අරගල මධ්‍යස්ථානයේ’ සංවිධායක සරත් කරුණාරත්න ප්‍රකාශ කළා.

+


ඉතාලියෙන් පැමිණි මිලියන 61 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

(03.01.2024 – 13:24 +0530 – hirunews.lk/sinhala)

ඉතාලියේ සිට හෝමාගම ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ පාර්සලයක් තුළ තිබී රුපියල් මිලියන 61 කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

සීදුව ‘සෙරන්ඩිබ් ගුවන් ගමන් භාණ්ඩ නිශ්කාශන පර්යන්තය’ට ආහාර ද්‍රව්‍ය අඩංගු බවට පවසා මෙය එවා තිබුණා.

පසුව එය නිශ්කාශන කර ගැනීමට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ කියා සිටියේ.

පසුගිය වසරේදී අවස්ථා 08 කදී මෙලෙස රුපියල් මිලියන 359 ක් මත්ද්‍රව්‍ය රේගුව තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


මහින්දානන්දගේ සහෝදරියගේ පුතුන් පරීක්ෂා කල පොලිස් නිලධාරින්ට මාරුවක්

(03.01.2024 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ගම්පොල ප්‍රදේශයේදී හිටපු අමාත්‍යවරයෙකුගේ සහෝදරියගේ පුතුන් දෙදෙනෙකු (2) පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කළේ යැයි කියන සිද්ධියකින් පසු නව කුරුදුවත්ත පොලිස් ස්ථානය තුල ඇති වූ බව කියන කලහකාරි තත්ත්වය සම්බන්ධයෙන් පොලිස් කොමිසම වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විසින්.

එමෙන්ම, සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අවසන් වනතුරු ගම්පොල – නවකුරුදුවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයා සහ අදාළ පරීක්ෂා කිරීම සිදුකළ බව කියන නිලධාරින් දෙදෙනෙකුට (2) ස්ථාන මාරු වීම් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

පසුගිය 29 වනදා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්දානන්ද අලුත්ගමගේ ගේ සහෝදරියකගේ පුතුන් දෙදෙනෙකු (2) ගම්පොල ප්‍රදේශයේදී පොලීසිය විසින් පරීක්ෂාවට ලක්කර තිබුණේ යුක්තිය මෙහෙයුම අතරතුරදීයි.

මෙම සිද්ධියෙන් පසු මන්ත්‍රීවරයාගේ සහෝදරියගේ සැමියා, නවකුරුදුවත්ත පොලිස් ස්ථානය වෙත පිරිසක් සමග පැමිණ කලහකාරි ලෙස හැසිරී තිබුණා.

එමෙන්ම, පරීක්ෂාවට ලක් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ, ඥාතී පුතුන් දෙදෙනෙකු (2) බව දැනගත් අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඔවුන්ගෙන් සමාව ගන්නා ලෙස පරීක්ෂාව සිදුකළ පොලිස් නිලධාරින්ට දැනුම්දී තිබූ බවටයි වාර්තා වුණේ.

මේ පිළිබඳව මධ්‍යම පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත ලිපියක් යොමුකරමින් කරුණු වාර්තා කරනු ලැබුවා.

එහිදී වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගේ, ඥාතී පුතුන්ගෙන් සමාව ගන්නා ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා නියෝග කර ඇත්දැයි සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව, අදාළ පොලිස් නිලධාරින්ගෙන් මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සහෝදරියගේ සැමියාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

පරික්ෂණ අවසන් වනතුරු අදාළ පොලිස් නිලධාරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇති බවයි වාර්තා වන්නේ ෴

++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *