තවත් මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා

තවත් මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා


තවත් මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා

(02.01.2024 – 09:45 +0530 – hirunews.lk/sinhala)

වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයක පස් කඳු සහ ගස් කඩා වැටීම හේතුවෙන් තවත් මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

  • මාතලේ උකුවෙල – බණ්ඩාරපොළ මාර්ගය, පල්ලෙපොළ – කොහොල්ලන්වල මාර්ගයේ පස්කදු කඩා වැටීමෙන් සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
  • එමෙන්ම ලග්ගල – රිවස්ටන් මාර්ගයට ද පස් කදු කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
  • මේ අතර මොණරාගල – සියඹලාණ්ඩුව මාර්ගයේ දී ස්ථාන කිහිපයකින් ගස් කඩා වැටීම හේතුවෙන් අවහිර වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ ෴

+++++++

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයට ගස් කිහිපයක් කඩා වැටෙයි (02.01.2024)

+


විශේෂ මෙහෙයුම් වලින් සැකකරුවන් 822 ක් අත්අඩංගුවට

(02.01.2024 – 09:11 +0530 – hirunews.lk/sinhala)

යුක්තියේ මෙහෙයුමේ ගතවූ පැය 24 තුල දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුම් වලදී සැකකරුවන් 822 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (01) දිනයේ සිදුකළ මෙහෙයුම් වලදී හෙරොයින් 273g ක්, අයිස් 111g ක්, ගංජා 1.632kg ක්, සහ මත්පෙති 426 ක් පොලිස් භාරයට ගත් බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ ෴

++++++++

+


පොල් ගස් 5000 ක් කපයි

(02.01.2024 – 09:03 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසර තුළ පමණක් පොල්කොළ මැලවීමේ රෝගය හේතුවෙන් පොල් ගස් 5000 කට ආසන්න සංඛ්‍යාවක් කපා දමා තිබෙනවා.

පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කළේ මාතර, වැලිගම, හම්බන්තොට සහ තංගල්ල යන ප්‍රදේශවල පොල් ගස් ආශ්‍රිතව මෙම රෝගය තවමත් පවතින බවයි.

කෙසේ වෙතත් පොල්කොළ මැලවීමේ රෝගය මේ වසර තුළ දී මාතර දිස්ත්‍රික්කයෙන් සම්පූර්ණයෙන් තුරන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි එම මණ්ඩලය කියා සිටියේ ෴


වැලිගම වෙඩි හුවාමාරුවේ දී මියගිය පොලිස් සැරයන්වරයාට උසස්වීමක්

(02.01.2024 – 07:30 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට කියන පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ වැලිගම දී සිදුවූ වෙඩි හුවාමාරුවකදී මියගිය පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේ මෙම නිලධාරියාට පොලිසිය විසින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බවයි.

ඊට අමතරව ඔහුට හිමිවිය යුතු සියළු වරප්‍රසාද පොලිසිය මගින් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

පෙරේදා (31) රාත්‍රියේ මාතර – වැලිගම – පැලෑන ප්‍රදේශයේදී සිදු වූ වෙඩි හුවමාරුවක් අතරතුර මෙම පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඔහු ගලේවෙල – ආදාගල ප්‍රදේශයේ පදිංචිව 47 හැවිරිදි කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයෙක්.

මේ අතර ‘හරක්කටා’ගේ මත්ද්‍රව්‍ය ජාලය සමඟ සබඳතා පැවැත්වීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් තිදෙනෙකු (3) ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඊයේ (01) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මාතර – මිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු (2) ඇතුළු තිදෙනෙකු (3) පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ, දුරකථන මගින් ඔවුන් ‘හරක්කටා’ සමඟ සබඳතා පැවැත්වීම සහ ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහය ලබා දීමේ චෝදනාව මතයි ෴


පේදුරුතුඩුව මුහුදු වෙරළ පාර, මුනෙයි ප්‍රදේශයේදී හදිසි ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) මරුට

(02.01.2024 – 06:57 +0530 – hirunews.lk/sinhala)

මාළු ඇසුරුම් කිරීමට යොදා ගන්නා රිජිෆෝම් පෙට්ටි සහ ප්ලාස්ටික් ගබඩාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) මියගොස් ඇති බව පේදුරුතුඩුව පොලීසිය පවසනවා.

පේදුරුතුඩුව මුහුදු වෙරළ පාර, මුනෙයි ප්‍රදේශයේ පිහිටි ගබඩාවක අද (02) අලුයම ගින්න හටගෙන තිබෙනවා.

ගින්නෙන් මියගොස් ඇත්තේ අවුරුදු 37 ක් සහ 45 ක් වූ උඩුපුස්සැල්ලෑව, ලෝමන්ට්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්.

ඔවුන් මාළු වාඩිය තුළ රැදී සිටිමින් රැකියාවේ නිරතව සිට ඇති බවයි අප කළ විමසීමකදී පොලීසිය පැවසුවේ ෴


රිචඩ් ද‍ සොයිසා ඝාතනය – තිරිසන් සිද්ධියක සම්පූර්ණ කතාව (30.12.2023)

+


කුලුඳුල් දරු ප්‍රසූතියෙන් පසු මව මියයෑම ගැන වැලිමඩ රෝහලට චෝදනාවක්

(02.01.2024 – 10:55 +0530 – sinhala.adaderana.lk)

කුලුඳුල් දරු ප්‍රසූතිය සඳහා වැලිමඩ රෝහල වෙත ඇතුළත් කළ 22 හැවිරිදි මවක රෝහලේ පැවැති වසර අවසාන සාදයකට සහභාගී වූ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇතැයි වැලිමඩ, බෝගහකුඹුර ප්‍රදේශවාසීහු චෝදනා කළහ.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිමඩ, බෝගහකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි ‘ෆාතිමා රිෆ්ෂා’ නමැති 22 හැවිරිදි මවකි.

පසුගිය 29 වැනිදා වැලිමඩ රෝහල වෙත ඇතුළත් කර තිබෙන ඇය 30 වැනිදා දරු ප්‍රසූතිය උදෙසා සූතිකාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

එහිදී සාමාන්‍ය දරු ප්‍රසූතියකට ඇය යොමු කර ඇත්තේ ගර්භාෂයේ වායු ගෙඩියක් ද තිබියදී බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඇයගේ දරු ප්‍රසූතිය සිදුවූ අවස්ථාවේදී ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් පස්දෙනෙකු (5) එහි සිට ඇතැයි පැවසෙන අතර ඔවුන්ගේ සහායට වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලවල දස දෙනෙකු (10) ද පැමිණ ඇතැයි සඳහන්ය.

ඇයගේ උදරයේ ඇති ගෙඩිය පුපුරා යාමේ අවදානමක් තිබියදී වෛද්‍යවරුන් නිසි ප්‍රතිකාර කර නොමැති බවත් හදිසි අවස්ථාවකදී සම්බන්ධ කර තබා ගත යුතු නුවරඑළිය හෝ බදුල්ල ප්‍රධාන රෝහල් ද සම්බන්ධ කරගෙන නොමැති බවත් බෝගහකුඹුර ප්‍රදේශවාසීහු පැවසූහ.

මෙම මවගේ උදරයේ තිබූ ගෙඩිය පුපුරා අධික ලෙස රුධිරය වහනය වී ඇති අතර දරුවා නිරුපද්‍රිතව බේරාගෙන ඇත. එනමුත් මව අසාධ්‍ය තත්ත්වයෙන් සිට ඇතැයි පැවසේ.

පසුව වැලිමඩ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත අසාධ්‍ය තත්ත්වයේ සිටි මව සහ ඇයගේ දරුවා නුවරඑළිය රෝහල වෙත මාරු කර යැවීමට උත්සාහ දරා ඇතත් එහි දැඩි සත්කාර ඒකකයේ ඉඩකඩ නොමැති වීම හේතුවෙන් දරුවා පමණක් නුවරඑළිය රෝහල වෙත භාරගෙන තිබේ.

මව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමෙන් පසු බදුල්ල රෝහලේ සියලුම ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් එහි හදිසි ප්‍රතිකාර ඒකකය වෙත පැමිණ ඇයට ප්‍රතිකාර කර ඇත.

එහිදී රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති මවට ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමක් මෙන්ම රුධිරය ලබාදීමක් ද සිදුකර තිබේ. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය 31 වැනිදා මියගොස් ඇත.

මේ අතර මවගේ ඥාතින් හා ගම්වාසින් වැලිමඩ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සමග ගැටුමක් ඇතිකරගෙන ඇත්තේ රෝහලේ නොසැලකිල්ල හේතුවෙන් මෙම මරණය සිදුව ඇතැයි පවසමිනි.

එම ගැටුම අතරතුරදී රෝහලේ ගොඩනැගිලිවල වීදුරු කිහිපයකට ද හානි සිදුව ඇත.

බදුල්ලට රැගෙන ගිය මව මියගොස් ඇති බව කියමින් ප්‍රදේශවාසීන් අවේගශීලිව හැසිරෙන අතරතුරදී වසර අවසාන සාදයට සහභාගී වී සිටි රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ද බීමතින් ගැටුමකට අවතීර්ණ වී ඇතැයි සඳහන්ය.

කෙසේ වෙතත් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් රෝහල් පාර්ශ්වයෙන් හෝ අගතියට පත් පාර්ශ්වයෙන් කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බව වැලිමඩ පොලිසිය සඳහන් කළේය.

මේ පිළිබඳව අප වැලිමඩ රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමේ බලයක් තමාට නැති බවයි.

මෙම මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායමක් මෙම සතියේදී වැලිමඩ රෝහලට හා බදුල්ල පළාත් මහ රෝහලට පැමිණීමට නියමිතය.

උපුටාගැනීම – අරුණ පුවත්පත


මඩකළපුව – පොළොන්නරුව මාර්ගය යළි වැසේ

(02.01.2024 – 11:34 +0530 – hirunews.lk/sinhala)

මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මඩකළපුව – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යළි නවතා දමා තිබෙනවා.

ඊයේ (01) පස්වරුවේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් එම මාර්ගයේ ගල්වැල්ල ප්‍රදේශයෙන් ලොරි රථ සහ බස් රථවලට ගමන් කිරීමටයි අවස්ථාව ලබා දී තිබුණේ.

කෙසේ වෙතත් අද (02) උදෑසන මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාමෙන් යළි ගමනාගමන කටයුතු අත්හිටවනු ලැබුවා.

ඒ අනුව මනම්පිටිය දක්වා මගී ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය ගමන්වාර කිහිපයක් අමතරව යොදවා ඇති බව සඳහන්.

මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් සුංගාවිල, තබාල සහ පුදුර් යන ගම්මානවල කුඹුරු අක්කර 4000 කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබෙනවා.

එමෙන්ම අධික වැසි තත්ත්වයත් සමග ඇති වූ ගංවතුරෙන් කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පසුගිය මාසයේ වගාකරන ලද කුඹුරු අක්කර 13,897 විනාශ වීමෙන් ගොවීන් 4,461 ක් දෙනෙකු පීඩාවට පත්වුණා ෴


ගමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේනට දැඩි විරෝධයක්

(02.01.2024 – 17:33 +0530 – sinhala.adaderana.lk)

තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේනට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබේ.

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කෙරන බව සඳහන් ජල පිරිපහදු ඒකකයක් පටන්ගැනීමට අදාළ කටයුතු සඳහා බව පවසා අදාළ ගම්මානයේ පිරිසක් මරණාධාර සමිති ශාලාවකට එක්රැස් කර ඇත.

කෙසේ වෙතත් එහි පැමිණි ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන, එස්.එම්. රංජිත්හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත යන පුද්ගලයින් එහි සිටිනු දැක ඔවුන්ට දැඩි විරෝධයක් පළකර තිබේ.

එම අවස්ථාව් එහි සිටි අයෙකු සිය ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණේ මෙලෙසින් :

+


හිමාලයා මාර්ග සිතියමේ බලපෑම ගැන තිබ්බ මාධ්‍ය හමුව (02.01.2024)

+

හදිසියේම මාධ්‍ය හමුවට ආපු මේජර් ජනරාල් ජගත් ඩයස් කියපු දේශපාලන නොවන කතාව (02.01.2024)

+


ඩලස් අපිව පාවා දුන්නා.. ඔහු තනිව මාලිමාවට යයි..

(03.01.2024 – 00:02 +0530 – lankacnews.com)

නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහපෙරුම මහතා ඉදිරියේදී ජාතික ජන බලවේගය සමග එක්වීමට ඉඩ ඇති බව ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා සමග සන්ධාන ගතවීමේදී අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් එයට එක් නොවූ බවත් ඒ හේතුවෙන් ඩලස් යනු පාවා දෙන්නකු බවත් ඔහු පවසයි.

අවසානයේ නිදහස ජනතා සභාවේ සියලු දෙනා අතහැර ගිය තනි පුද්ගලයෙකු ලෙස අලහප්පෙරුම මහතා ජාතික ජන බලවේගය සමග එක්වීමට ඉඩ ඇති බවත් ඩිලාන් පෙරේරා මහතා කියා සිටී.

නිදහස ජනතා සභාවේ සිටින ඇතැමුන් කඩාකප්පල්කරුවන් බවත් චරිත හේරත් සහ නාලක ගොඩහේවා පාර්ලිමේන්තුවේදී තමන් සමග බහින්බස්වීමක් ඇතිවූ බවද ඩිලන්පෙරෙරා මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සදහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *