කළුතර-උතුර නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය – මෝටර් රථ අනතුරක්

කළුතර-උතුර නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය – මෝටර් රථ අනතුරක්


කළුතර-උතුර නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය – මෝටර් රථ අනතුරක්

(01.01.2024 – 16:17 +0530 – sinhala.adaderana.lk)

පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් සහ පාසල් සිසුවෙකු ගමන්ගත් මෝටර් රථයක් අද (01) දහවල් දුම්රියක ගැටී අනතුරක් සිදුව ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි.

පෞද්ගලික උපකාරක පංතියක් නිමවා ගුරුවරයා, සිසුවෙකුව නංවාගෙන නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගය ඔස්සේ මුහුදුබඩ දෙස සිට ගොඩබිම දෙසට ගමන්කර ඇති අතර, එහිදී කළුතර සිට මරදාන බලා ධාවනය වූ දුම්රියේ ඔවුන් ගමන්ගත් මෝටර් රථය ගැටී තිබුණි.

අනතුරු සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂක සංඥා ලාම්පු දැල්වෙමින් තිබී ඇති බවත්, මෝටර් රථය දුම්රියේ ගැටී දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී ඇති බවත් පොලීසිය කීය.

අනතුරෙන් මෝටර් රථයේ දකුණු පසට පමණක් හානි වී තිබූ අයුරු දැකගත හැකිවිය ෴


මත්කුඩුවලට ඇබ්බැහි වූවෙකු සියදිවි හානි කර ගනී

(01.01.2024 – 19:30 +0530 – hirunews.lk/sinhala)

මත්කුඩුවලට ඇබ්බැහිවූ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි එක් දරු පියෙකු සිය දිවි හානි කරගෙන තිබෙනවා.

මොහු ශරීරයේ කැපුම් තුවාල සිදු කරගැනීමෙන් අනතුරුව ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මත්කුඩු හිඟ වීම හේතුවෙන් මොහු සියදිවි හානිකරගන්නට ඇති බව ප්‍රදේශවාසීන් සැක පළ කරනවා ෴

++++++++

+

+


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසට මල්වඩමක්

(01.01.2024 – 19:10 +0530 – hirunews.lk/sinhala)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ කොළඹ විජේරාම පාරේ පිහිටි නිල නිවස ඉදිරිපිට තැබූ මල්වඩමක් කුරුදුවත්ත පොලිසියට රැගෙන ගොස් තිබෙනවා.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඇතුලු සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් අද (01) උදෑසන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිල නිවස වෙත පැමිණයේ සංදේශයක් භාර දීම සඳහායී.

ඒ පසුගිය කාලයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු වූ ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමග සාකච්ඡාවකට ආරාධනා කරමින්.

කෙසේ වෙතත් අදාළ සංදේශය හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් විසින් භාර ගෙන ඇතත් මල්වඩම භාර ගැනීම ප්‍රතික්ෂේප කළා ෴

+++++++

+


බස් ගාස්තු වැඩි වීමක් නැහැ

(01.01.2024 – 15:56 +0530 – hirunews.lk/sinhala)

ඩීසල් මිල ඉහළ දැමුවද බස් ගාස්තු වැඩි නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 29 කින් ඉහළ දැමූ අතර ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම සඳහන් කළේ ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියේ මිල සූත්‍රයට ගැලපූ විට සමස්ත කිලෝමීටර් 1 ක ධාවන පිරිවැය ඉහළ ගොස් ඇත්තේ සියයට 2.01 කින් පමණක් බැවින් බස් ගාස්තු ඉහළ නොදමන බවයි.

අවසන් වරට බස්ගාස්තුව පසුගිය වසරේ සැප්තැම්බර් මස 03 වනදා සංශෝධනය කෙරුණා ෴


ත්‍රිකුණාමලය රත්කළ රිය අනතුර

(01.01.2024 – 22:34 +0530 – sinhala.adaderana.lk)

ත්‍රිකුණාමලය නගරයේ ඇතුල් වරාය මාර්ගයේදී පුද්ගලයෙකු ලංගම බස් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

අනතුරත් සමග එම ස්ථානයට රැස්වූ ප්‍රදේශවාසීන් බස් රථයට පහරදී අලාභ හානි සිදුකර තිබේ.

අනතුරුව ඔවුන් එම බස් රථයට ගිනිතැබීමට උත්සාහ ගැනීමත් සමග එහි පැමිණි පොලීසිය, පිරිස විසුරුවා හැරීමට පියවර ගෙන තිබේ.

මේ වනවිට බස් රථය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

+


සැඩ පහරකට හසුවූ තිදෙනෙකු (3) බේරාගත් මෙහෙයුම

(01.01.2024 – 21:07 +0530 – sinhala.adaderana.lk)

කන්තලේ-අග්බෝපුර කෙටි මාර්ගයේ ගිනිපෙට්ටි පාලම අසළදී කාන්තාවන් දෙදෙනෙකු (2) සහ පිරිමියෙකු (1) සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.

මේ දිනවල ඇදහැළෙන අධික වර්ෂාවත් සමග කන්තලේ වැවේ ජල මට්ටම ඉහළයාමත් සමග වාන් දොරටු හරහා වැඩි ජල ප්‍රමාණයක් මුදාහැරෙමින් පවතී.

මේ හේතුවෙන් ගිනිපෙට්ටි පාලම අසළින් අදාළ මාර්ගය ජලයෙන් යටවී ඇති අවස්ථාවක ඒ හරහා ගමන්කිරීමට උත්සාහ කළ තිදෙනෙකු (3) මෙලෙස සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.

කෙසේ වෙතත් ඔවුන් එම ස්ථානයේ පිහිටි ගසක් අල්ලාගෙන එහි රැඳී සිට ඇති අතර පසුව කන්තලේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැවේ වාන් දොරටු වසා දමා ඔවුන් බේරාගැනීමට කටයුතු කර ඇත.

කන්තලේ ගොවිපොළේ සේවයේ නිරතව සිය නිවෙස් බලා යමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු (2) සහ පිරිමියෙකු (1) මෙලෙස සැඩ පහරට හසුවී ඇත.

මෙම ස්ථානයේ ජලය පිරීමත් සමග එහි පැමිණෙන බොහෝ පිරිසක් දියනෑමේ නිරතවන අතර එය අවදානම් බව වාරිමාර්ග නිලධාරීන් පවසයි.

කන්තලේ වැවේ වාන් දොරටු විවෘත කෙරෙන ප්‍රමාණයන් විටින් විට වෙනස් වන බැවින් එහි ජල මට්ටම විවිද අවස්ථාවල අඩුවැඩි වීම එයට හේතුවයි.

මේ හේතුවෙන් කන්තලේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙසටය.

+

+

+


ශ්‍රී ලංකාවේ පළමුවරට හමුවූ දෘෂ්ටි මායාවක් සහිත මාර්ගය මෙන්න

(01.01.2024 – 18:41 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ පළමුවරට දෘෂ්ටි මායාවක් සහිත මාර්ග කොටසක් සොයාගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සමත්ව තිබේ.

මෙම මාර්ග කොටස හමුවන්නේ නාඋල-ඇළහැර ප්‍රධාන මාර්ගයේ මොරගහකන්ද ජලාශයට ආසන්න ප්‍රදේශයකිනි.

හිටපු යුද හමුදා කර්නල්වරයෙකු වන රත්නප්‍රිය බන්දු මහතා මේ පිළිබඳව මහාචාර්යවරයාට වීඩියෝ මගින් දැනුම්දීමත් සමග අද (01) උදෑසන එම ස්ථාන පරික්ෂාවට පැමිණි මහාචාර්යවරයා පැවසුවේ මෙවැනි ස්ථානයක් ශ්‍රී ලංකාවේ හමුවූ ප්‍රථම අවස්ථාව බවත් තවත් රටවල් කිහිපයක මෙවැනි ස්ථාන දැනට හඳුනාගෙන ඇති බවත් ය.

මෙම ස්ථානය බැලූ බැල්මට දර්ශනය වන්නේ කන්දක් වශයෙන් වුවද සත්‍ය වශයෙන්ම එම ස්ථානයේ පවතින්නේ පල්ලමක් බව එහිදී මහාචාර්යවරයා පැහැදිළි කළේය.

+


ආරවුලක් බේරන්න ගිය තරුණයෙකුට පිහි ප්‍රහාරයක්

(01.01.2024 – 17:54 +0530 – sinhala.adaderana.lk)

අවුරුදු උදාව සමග පැවති උත්සවයක් අතරතුර ඇතිවූ ගැටුමක් වැළැක්වීමට ගිය තරුණයෙකුට පිහි ප්‍රහාරයක් එල්ලවී තිබේ.

මෙම සිදුවීම වාර්තාවන්නේ පුත්තලම නගරයෙනි.

ගැටුම ඇතිවන අවස්ථාවේ එහි සිටි 20 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකු දෙපාර්ශ්වය සමථයකට පත්කිරීමට උත්සාහ කර ඇත.

එහිදී කිසියම් පුද්ගලයෙකු විසින් එල්ළකරන ලද පිහි ප්‍රහාරයක් ඔහුට එල්ලවී තිබේ.

එහිදී පිහිය ඔහුගේ උදරයේ සිරවී ඇති අතර එම පිහියද සමග තරුණයාව අලුයම 1 ට පමණ පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී කඩිනමින් ඔහුට අවශ්‍ය මූලික ප්‍රතිකාර සිදුකර ඇති අතර අනතුරුව අද (01) උදෑසන සැත්කමක් සිදුකර පිහිය උදරයෙන් ඉවත්කිරීමට පියවර ගෙන ඇත ෴


රනිල්, කාංචන තමයි හොරු | එයාලා අපේ ගෙදරට ඇවිත් කියනවා අපි හොරුලු | විදුලි සේවකයෝ සේවයෙන් ඉවතට (01.01.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *