පාතාලයට රැකවරණය දෙන පිරිසක් ගැන වාර්තාවක්
(31.12.2023 – 09:39 +0530 – sinhala.adaderana.lk)
පාතාලයට, අපරාධකරුවන්ට රැකවරණය දෙන විවිධ තරාතිරම්වල දේශපාලනඥයන්, පොලිස් නිලධාරින් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් දෙදහසකට (2000) ආසන්න පිරිසක් පිළිබඳව තොරුතුරු අනාවරණය වී ඇතැයි බුද්ධි අංශ රජයට භාර දී ඇති වාර්තාවක සඳහන් වේ.
මේ අයගේ රැකවරණය සැලසීම නතර කරන තුරු පාතාලය මර්දනය කිරීමට දුෂ්කර බව ද එම වාර්තා පෙන්වා දී තිබේ.
පතාලකරුවන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අවස්ථාවන්හි දී ඒ අය නිදහස් කර ගැනීමට විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් මැදිහත් වූ අවස්ථා තිහකට (30) ආසන්න සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
ඇතැම් දේශපාලනඥයන්ට ඥාති සම්බන්ධතා පවතින පාතාලකරුවන්ද සිටින බව පවසන එම ආරංචි මාර්ග, මේ අයට එම දේශපාලනඥයන් ගෙන් ඉහළ රැකවරණයක් ලැබෙන බව පෙනී යන්නේ යැයි ද සඳහන් කළේය.
රැකවරණය සැලසීම වෙනුවෙන් ඇතැම් පාතාල කණ්ඩායම් සමහර පොලිස් නිලධාරීන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට මාසික වැටුප් ගෙවන බව ද එම ආරංචි මාර්ග අනාවරණය කරයි.
මේ අතර, පාතාලකරුවෝ දෙසීයකට (200) වැඩි පිරිසක් දැනට විදේශයන්ට පළා ගොස් සිටිති.
මේ අයට හොර රහසේ විදේශයන්ට පළා යෑම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් උදව් කර ඇති බවට ද බුද්ධි අංශ වාර්තාව පෙන්වා දෙයි.
පාතාලකරුවන් වැඩි පිරිමක් පළා ගොස් සිටින්නේ ඩුබායි, අබුඩාබි, ප්‍රංශය යනාදී රටවලටය.
මින් පාතාලකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය දැනටමත් රතු නිවේදන නිකුත් කර ඇත.
ඩුබායි සහ ප්‍රංශයේ සිටින පාතලකරුවන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අරඹා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේය.
පාතාලකරුවන්ට රටින් පළා යෑම සඳහා උදව් කරන ධීවර යාත්‍රා හිමිකරුවන් පිරිසක් පිළිබඳව බද්ධි අංශවලට තොරතුරු ලැබී ඇත.
ඒ අය පිළිබඳ මේ දිනවල සෙවිල්ලෙන් පසු වන බව පොලීසිය පවසයි ෴
+
රුපියල් කෝටි 17 ක රත්‍රන් සමඟ ‘ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ’ සේවකයෙකු පුද්ගලයෙක් රේගු දැලේ
(31.12.2023 – 08:27 +0530 – sinhala.adaderana.lk)
රුපියල් කෝටි 17 කට අධික වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් සමග ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ සේවකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තයේ කාර්ය මණ්ඩලය පිට ව යන දොරටුවෙන් පිට ව යමින් සිටිය දී එලෙස අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එහි දී අදාළ සැකකරුගේ යට ඇඳුම තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රත්‍රන් බිස්කට් 66 ක් සොයාගෙන තිබේ.
එම රත්‍රන්වල බර කිලෝග්‍රෑම් 07 යි ග්‍රෑම් 700 ක් වන අතර එහි වටිනාකම රුපියල් දාහත් කෝටි හැට ලක්ෂයකට (17,60,00,000) අධික බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු වසර 15 කට අධික කාලයක් ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ සේවය කර ඇති පුද්ගලයෙකි.
අදාළ රත්‍රන් තොගය කටුනායක ගුවන්තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ ආපණ ශාලාව තුළ දී කිසියම් පුද්ගලයෙකු විසින් සැකකරුට ලබා දී ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
+
ඖෂධ සහ වෙනත් සැපයීම් 140 ක් අර්බුදයක
(31.12.2023 – 08:19 +0530 – sinhala.adaderana.lk)
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ලබාදීමට නියමිත ඖෂධ තොග භාරගැනීම සඳහා කමිටුවක් පත් කළ ද සැපයීමට නියමිත ව ඇති ඖෂධ සහ වෙනත් සැපයීම් 140 කට වැඩි ප්‍රමාණයක් භාරගත නොහැකි ව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
සෞඛ්‍ය ලේකම් විශේෂඥ පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී කමිටුවක් පත් කර ඖෂධ තොග භාර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබිණි.
‘හියුමන් ඉමිනොග්ලොබියුලින්’ එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන පොලිස් පරික්ෂණ සමග අධිකරණමය කටයුතු හේතුවෙන් ඖෂධ තොග භාරගැනීම මන්දගාමී තත්ත්වයක තවදුරටත් පවතින බව ඖෂධ සැපයුම්කරුවෝ පෙන්වා දෙති.
වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 270 ක් මේ වනවිට පවතින බව වාර්තා වේ.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පුරප්පාඩු පවතින කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙතෙක් කිසිවකු පත් නොකිරීම නිසා ද වෛද්‍ය සැපයුම් ගැටලුවක් මතු ව ඇති බව සඳහන්ය.
කළමනාකාරණ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ප්‍රසම්පාදන කමිටු පසුගිය කාලයේ නොපැවැත්වීම නිසා ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ද නොහැකි වී ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් ගෙන් කළ වීමසීමක දී ඔහු කියා සිටියේ අධිකරණය හමුවේ පවතින නඩු කඩයුත්තක් නිසා ජාතික ඖෂධ නියාමන අධිකරිය මගින් ලබාදෙන නිර්දේශ සහ අනෙකුත් ලියකියවිලි නිසි පරිදි අධ්‍යයනය කරන බැවින් ඖෂධ තොග භාර ගැනීම ප්‍රමාද වී ඇති බවය.
එම ප්‍රමාදය ලබන සතිය වන විට මග හැරී යනු ඇතැයි ද සභාපතිවරයා විශ්වාසය පළ කරයි ෴
+
+
+
+
වැලිගම වෙඩි තැබීම ගැන හොයන්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක්
(31.12.2023 – 20:06 +0530 – hirunews.lk/sinhala)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන ‘නදුන් චින්තක’ නොහොත් ‘හරක් කටා’ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට කියන පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ වැලිගමදී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් වැලිගම මූලස්ථාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
‘නදුන් චින්තක’ නොහොත් ‘හරක් කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළායාමට තැත් කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනවලදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව හඳුනා ගත් සැකකරුවන් 30 දෙනෙකුගේ ලේඛනයක් ආශ්‍රයෙන් ඊයේ (30) සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
එම ලේඛනයේ සඳහන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (30) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 8 දෙනෙකු යළි මාතර වැලිගම – පැලෑන ප්‍රදේශයට ගොස් තිබුණේ ‘කේ ඩී එච්’ වර්ගයේ සුදු පැහැති වෑන් රථයකින්. ඒ අලුයම 02:30 ට පමණයි.
විමර්ශන නිලධාරීන්ට ඒ වන විට තහවුරු වී තිබුණේ වැලිගම පැලෑන වටරවුම අසළ හෝටලයක අදාළ පිරිස සිටින බවටයි. ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම ස්ථානයට ගිය අවස්ථාවේ එම හෝටලය ඉදිරිපිට සිට පුද්ගලයෙකු ඔවුන් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණා.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෑන් රථයේ සිටි නිලධාරීන් දෙදෙනෙකුට (2) තුවාල සිදු වීමත් සමග ඔවුන් එම ස්ථානයෙන් ඉවත්ව යාම සඳහා පිටත්ව ගොස් ඇති අතර එම අවස්ථාවේ වැලිගම පොලිසියේ මුර සංචාරක රථයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගමන්ගත් වෑන් රථයට වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගමන් ගත් වෑන් රථය එම වෙඩි ප්‍රහාර හමුවේ නොනවත්වා ධාවනය කර ඇති අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුම අසළදී පොලිසිය එම වෑන් රථය නවතා තිබුණා.
එම අවස්ථාවේ එහි සිටි පිරිස තමන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බවත්, වැටලීමකදී වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවත් පවසා, තුවාලකරුවන් දෙදෙනා (2) රෝහල්ගත කිරීමට කටයුතු කරන ලෙසයි ඉල්ලා ඇත්තේ.
එහිදී ඔවුන් ගිලන් රථයක් ගෙන්වා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් එක් අයෙකු ඒ වන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
එලෙස ජීවිතක්ෂයට පත් ව තිබුණේ ගලේවෙළ – ආදාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි දෙදරු පියෙක් වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයෙක්.
අනෙක් තුවාලකරු කොළඹ අපරාධ කොට්ඨාසයේ උපපොලිස් පරීක්ෂකවරයෙකු වන අතර ඔහු මේ වන විට කරාපිටිය රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර වැලිගම පොලිසිය සඳහන් කළේ මෙවැනි වැටලීමක් සිදු කරන බවට ඔවුන්ට පූර්ව දැනුවත් කිරීමක් සිදුව නොමැති බවයි.
එවැනි විමර්ශනවලදී ඇතැම්විට පෙර දැනුවත් කිරීම් සිදු නොකරන්නේ තොරතුරු සැකකරුවන් වෙත යාම වැලැක්වීමේ අරමුණින් බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් දැනට සිදු කර ඇති විමර්ශන අනුව වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී නැහැ.
අදාළ වෙඩි තැබීම සිදු කළ ස්ථානයේ පිහිටි හෝටලය ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ පුතාට අයත් බවට තොරතුරු වාර්තා වනවා.
ඒ සම්බන්ධයෙන් අප ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වූ කිසිදු පාර්ශ්වයක් සමග හෝටලයේ සම්බන්ධතාවක් නොමැති බවයි. එය හුදෙක් හෝටලය අසල මාර්ගයේ වූ සිද්ධියක් පමණක් බවයි ඔහු කියා සිටියේ.
+
+
ගුරුවරයකු කුඩු සමඟ අත්අඩංගුවට
(31.12.2023 – 18:31 +0530 – hirunews.lk/sinhala)
මුරුන්කන් ප්‍රදේශයේ පාසලක කෘෂිකර්ම විෂය උගන්වන ගුරුවරයකු මත් කුඩු ග්‍රෑම් 250 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය පානයට අබ්බැහි වූ අයකු බවයි පොලිසිය සැක කරන්නේ.
පොලිස් විශේෂ කාර්යංශයට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
මන්නාරම පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවටට ගත් සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි ෴
පිළියන්දල ගිණිකෙළි නිෂ්පාදන ආයතනයක ගින්නක්
(31.12.2023 – 15:43 +0530 – hirunews.lk/sinhala)
පිළියන්දල – නාම්පමුණුව – අශෝක උයන ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ගිණිකෙළි නිෂ්පාදන ආයතනයක අද (31) උදෑසන හටගත් ගින්නක් හටගෙන තිබෙනවා.
එහි හිමිකරු සහ දරුවන් දෙදෙනා (2) තුවාල ලබා තිබෙනවා.
එහිදී පිළිස්සුම් තුවාල ලබා ඇත්තේ 48 හැවිරිදි හිමිකරු සහ හැවිරිදි ඔහුගේ දියණිය සහ පුත්‍රයාට වයස අවුරුදු 12 සහ 15 බවයි සඳහන් වන්නේ.
ඔවුන් මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ගින්නෙන් නිවසේ තිබූ දේපළවලටද දැඩි අලාභහානි සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴