ජලයෙන් යටවූ සෝමාවතිය පුදබිම

ජලයෙන් යටවූ සෝමාවතිය පුදබිම


ජලයෙන් යටවූ සෝමාවතිය පුදබිම

(31.12.2023 – 17:44 +0530 – sinhala.adaderana.lk)

සති දෙකක් (2) සඳහා ප්‍රමාණවත් පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක් අද (31) ගුවන් මගින් සෝමාවතිය පුදබිම වෙත රැගෙන ගොස් තිබේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුකර තිබේ.

මේ අතර ජලයෙන් යටවී පැවතියද සෝමාවතිය චෛත්‍ය වහන්සේ වෙත සිදුකරන පූජාවන් ඒ අයුරින් ම සිදුකිරීම විශේෂත්වයකි.

ඒ සඳහා එහි වැඩසිටින හිමිවරු ආරක්ෂක අංශ සහායෙන් කටයුතු කරමින් සිටී.

මේ අතර ඉදිරියේදී සුංගාවිල ප්‍රදේශයේ සිට සෝමාවතිය දක්වා ගංවතුර අවස්ථාවන් හිදී විශේෂ බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී සෝමාවතිය නායක හිමියන් සමග ආරක්ෂක රාජ්‍ය අමත්‍යවරයා සාකච්ඡා කර ඇත.

මේ අතර ගංවතුර මධ්‍යයේ තවදුරටත් පුදබිමේ රැඳී සිටින පිරිස් සඳහා අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීමට ද එහිදී අවධානය යොමුව ඇත.

+

+


පොලිස් නිලධාරියෙකු අනතුරට ලක්කර පළාගිය රියදුරා අත්අඩංගුවට

(31.12.2023 – 22:27 +0530 – sinhala.adaderana.lk)

රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීයෙක් අනතුරට ලක්කර පළාගිය සැකකාර රියදුරෙක් පැය කිහිපයකට පසුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රසිද්ධ කුලී මගී ප්‍රවාහන ආයතනයක රියදුරෙක් ලෙසට සේවය කරන 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

මෙලෙස සැකකරු විසින් අනතුරට ලක්කර ඇත්තේ බම්බලපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

එම කොස්තාපල්වරයා පසුගිය 29 වනදා කොළඹ 05 හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ වජිර පාරේ රාජකාරියේ නිරතව සිටියදී සැකකරු පැදවූ මෝටර් රථය නවත්වා එහි ලිපිලේඛන පරීක්ෂාව කිරීමට ඉල්ලා ඇත.

කොස්තාපල්වරයා වාහනය තුළට අත දමා ලිපිලේඛන පිටතට ගැනීමට උත්සාහ කරද්දී රියදුරු රථයේ පැතිවීදුරුව ඉහළ උස්සා ඇති අතර එහිදී කොස්තාපල්වරයාගේ අත එහි සිරවීමත් සමග රියදුරු මෝටර් රථය පණගන්වා වේගයෙන් ඉදිරියට ධාවනය කර තිබේ.

මෙලෙස මීටර් දෙසීයක් (200) පමණ මෝටර් රථය ධාවනය කළ සැකකාර රියදුරා අසල තිබූ මෝටර් රථයක පොලිස් කොස්තාපල්වරයා ගැටීමට සලස්වා ඔහු අනතුරට ලක්කර ඉන් පළාගිය ආකාරය ඒ අසල තිබූ CCTV කැමරා වල පටිගත වී තිබේ.

බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහළට ඇතුළත් කර ඇත.

+


‘යුක්තිය’ මෙහෙයුමෙන් එළියට එන ඇදහිය නොහැකි වස්තුව

(31.12.2023 – 22:15 +0530 – sinhala.adaderana.lk)

‘යුක්තිය’ මෙහෙයුම යටතේ මාතලේ නගරය ආසන්නයේ පිහිටි සුඛෝපභෝගි නිවක සැඟව සිට මත්ව්‍ය ජාවාරම මෙහෙයවූ බවට සැකකෙරෙන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වනාතමුල්ල ප්‍රදේශයේදී අයිස් කිලෝ ග්‍රෑම් 4 ක් සහ හෙරොයින් ග්‍රෑම් 200 ක් සමග අත්අඩංගුවටගත් පුද්ගලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී අනාවරණ කරගත් තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

මෙලෙස මාතලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබි අයිස් කිලෝග්‍රෑම් 1 කට අධික ප්‍රමාණයක් සහ රත්‍රන් ග්‍රෑම් 500 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝදර ඉබ්බගේවත්ත ප්‍රදේශයේ පදිංචි ‘නවුෆර් ජේසුදාසන්’ හෙවත් ‘තාසන්’ නැමැත්තෙකි.

මොහු ඉන්දියාවේ සැඟව සිටින ‘පූකුඩුකන්නා’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධානතම ගෝලයෙක් බවට ද අනාවරණ වී තිබේ.

ඔහුට රැඳී සිටි මහල් තුනකින් (3) යුත් සුඛෝපභෝගි නිවස, ඉඩමක් සහ අක්කර 5 කින් යුත් තේවත්තක් ඔහුට අයත් දේපොළ ලෙස හඳුනාගෙන ඇති අතර, එම දේපොළවල වටිනාකම රුපියල් කොටි 10 කට ආසන්න වෙයි.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන අදාළ දේපොළ පිළිබඳ විමර්ශන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට භාරදීමට නියමිතය.

‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව පානදුර උතුර ප්‍රදේශයේ ඊයේ (30) සිදුකළ මෙහෙයුම් වලදි මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දස දෙනෙකු (10) අත්අඩංගුවට ගැනීමට පානදුර උතුර පොලීසිය සමත්ව තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ‘ගිංපත හඳුන්කූරා’, ‘ගිංපත සුපුනා’ සහ ‘පිංවල නාලක’ යන අයද වන බව පොලීසිය පැවසීය.

‘යුක්තිය’ මෙහෙයුමේදී බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රදේශයේ 38 හැවිරිදි මවක්, ඇගේ 16 හැවිරිදි පුත්‍රයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු (2) බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන් හෙරොයින් භාවිත කරන බවට පොලීසියට ලද පැමිණිල්ලක් මතය.

පැමිණිල්ල සිදුකර ඇත්තේ සැකකාර කාන්තාවගේ විදෙස්ගත සැමියා විසිනි.

38 හැවිරිදි කාන්තාව, මාරවිල ප්‍රදේශයේ පුද්ගලයෙක් සමග මීට මාස කිහිපයකට පෙර අනියම් සබඳතාවයක් අරඹා ඇති අතර ඔහු විසින් මෙම කාන්තාව සහ පිරිමි දරුවන්ට හෙරොයින් ලබාදී ඇති බවට පොලීසිය සැකපළ කරයි.

සැකකරුවන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී ඔවුන් හෙරොයින් භාවිත කරන වීඩීයෝ දර්ශනද පොලීසියට හමුව ඇති බව පොලීසිය පවසයි.

මේ අතර වෙන්නප්පුව බෝතලේගම ප්‍රෙද්ශයේ පොල් වත්තක් තුළ හරිතාගාරයක පවත්වාගෙන ගිය දෙමුහුන් ගංජා වගාවක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට කොස්වත්ත පොලීසිය ඊයේ (30) කටයුතු කළේය.

යුක්‍රේන ජාතික කාන්තාවක් සමග විවාහ වී සිටින සැකකරු බීජ ආනයනය කර වගාව සිදු කළ බව හෙළිවී තිබේ.

+

+

+

‘යුක්තිය’ මෙහෙයුම යටතේ ගත වූ දින 14 තුළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 20,797 ක් බව වාර්තා වේ.

එහි දී හෙරොයින් කිලෝග්‍රෑම් 11.6 ක් අයිස් කිලෝග්‍රෑම් 8.3 ක් සහ මත්පෙති 72,272 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මේ බව නිවේදනය කර තිබේ ෴


කොළඹ වෙඩිතැබීමක්

(31.12.2023 – 21:21 +0530 – sinhala.adaderana.lk)

අද (31) රාත්‍රියේ කොළඹ තොටළඟ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇත.

පොලීසිය මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරම්භ කර ඇත ෴


අලුත් බද්දෙන් හෙට සිට මිල වැඩිවෙන භාණ්ඩ

(31.12.2023 – 20:20 +0530 – sinhala.adaderana.lk)

හෙටින් (01) උදාවන අලුත් අවුරුද්ද සමස්ත ශ්‍රී ලාංකිකයින්ට බදු බර අධික වන නව වසරකි.

වැට් බද්ද ඉහළ නැංවීම සඳහා ගෙන ආ පනත් කෙටුම්පත පසුගිය 11 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව මෙතෙක් 15% ක්ව පැවති වැට් බද්ද 2024 ජනවාරි පළමුවනදා සිට එනම් හෙට (01) සිට 18% තෙක් ඉහළ නංවාළමිනි.

එහිදී මෙතෙක් වැට් බදු අය නොකළ භාණ්ඩ හා සේවා 97 ක් සඳහා මෙම වැට් බදු වැඩිවීම අදාළ වීම විශේෂත්වයකි.

LP ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් ද නව වැට් බද්දට යටත් වන අතර සියලු ජංගම දුරකථන, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍රසූත්‍ර සහ ගිලන් රථ ආනයනය සඳහාත් වැට් බද්ද පැනවෙයි.

එමෙන්ම රසායනික පොහොර හා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණද වැට් බද්දට යටත් වේ.

සූර්ය පැනල, ගෘහස්ථ සූර්ය බල පද්ධති සඳහා ද වැට් බද්ද පැනවේ.

දේශීයව නිෂ්පාදනය කරන සීනී, ස්වර්ණාභාරණ, මෘදුකාංග, කොප්පරා, රබර්, බිත්තර, තේ, පොල්තෙල් හා දියර කිරිද වැට් බද්ද වැඩිකරන භාණ්ඩ ලැයිස්තුවට අයත් වෙයි.

එසේම පාවහන් නිෂ්පාදනයට යොදාගන්නා නිමකරන ලද සම්භාණ්ඩ සඳහාද වැට් බද්ද පැනවෙයි.

චිත්‍ර ශීල්පීන් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර අලෙවි කරන අවස්ථාවේදී වැට් බද්දට යටත් වනු ඇත.

මෙරටට සංචාරකයන් ගෙන්වීමේදී ලබාදෙන සේවා සඳහා එම සංචාරක ආයතනවලින් ඊට අදාලව ලබාදෙන සේවා සඳහාත් වැට් බදු අයකෙරේ.

චිත්‍රපට බෙදාහැරීම, ප්‍රදර්ශනය සහ නිෂ්පාදනයේදී රසායනාගාර පහසුකම් සඳහාද වැට් බද්ද අලුතින් පනවා තිබේ.

දේශීය ධාන්‍ය වර්ග යොදාගනිමින් නිෂ්පාදනය කරන අධිපෝෂිත ආහාර සහ දේශීයව නිෂ්පාදිත පොල්තෙල් සඳහාද වැට් බදු අයකෙරෙනු ඇත.

එමෙන්ම වැට් බද්ද පනවා නැති භාණ්ඩ සහ සේවා රැසක් ද රජය ප්‍රකාශයට පත් කළේය.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති භාණ්ඩද වැට් බද්දෙන් නිදහස් කර තිබේ.

කෙසේ වෙතත් වැට් බද්ද වැඩි වීමත් සමග මිල ඉහළ යන ඇතැම් භාණ්ඩ හා සේවා පිළිබඳ මේ වන විටත් නිවේදනය කර තිබේ.

දුරකථන ජාල සේවා බොහොමයක් සිය බදු ඉහළ නංවා ඇති බව දැනුම් දී තිබේ.

මේ අතර මාසික මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල ද අද (31) රාත්‍රියේ සංශෝධනය විය හැකි බව වාර්තා වෙයි ෴

++++++++

ජංගම දුරකථන මිල සියයට 35 කින් ඉහළට

(31.12.2023 – 15:33 +0530 – sinhala.adaderana.lk)

හෙට (01) සිට සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා අද (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමිති සෙනරත් මහතා පැවසුවේ හෙට (01) සිට ජංගම දුරකථනයක මිල සියයට 35 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවය.

හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද සියයට 18 කින් ඉහළදැමීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ඒ මහතා පැවසීය.

මෙම මිල ඉහළ යාමේ තත්ත්වයත් සමග ජංගම දුරකථන වෙළෙඳපොළේ සියයට 50 ක පමණ පසුබෑමක් සිදුවනු ඇති බවට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව හෙට (01) සිට රුපියල් ලක්ෂයක් (100,000) වටිනා ජංගම දුරකථනයක් රුපියල් 135,000 ක පමණ මිලකට අලෙවි වනු ඇත.

+


දරුවන් තිදෙනා (3) සමඟ මවක් වස පානය කර ජීවිතක්ෂයට

(31.12.2023 – 09:46 +0530 – sinhala.adaderana.lk)

වස පානය කර මියගිය බවට සැක කෙරෙන මවක සහ දරුවන් තිදෙනෙකුගේ (3) මළ සිරුරු මාලබේ නිවසකින් ඊයේ (30) රාත්‍රියේ සොයාගෙන තිබුණි.

පොලීසිය පැවසුවේ දින කිහිපයකට පෙර පියා මියගිය සොවින් ඔවුන් වස පානය කර ඇති බවට සැක කරන බවය.

මෙලෙස මියගොස් ඇත්තේ මාලඹේ – කහන්තොට, අරුණ පෙදෙස ප්‍රදේශයේ නිවසක රැඳී සිටි මවක්, ඇයගේ පුතුන් දෙදෙනා (2) සහ දියණියයි.

පොලිසිය සඳහන් කළේ මියගිය මව 35 හැවිරිදි වියේ පසුවන අතර පුතුන් දෙදෙනා අවුරුදු 9 සහ 7 වන වියෙහිත්, දියණිය 6 වන වියෙහිත් පසුවන බවය.

පසුගිය 29 වනදා වස පානය කර සියදිවි හානිකරගෙන මියගිය ඔවුන්ගේ පියාගේ අවසන් කටයුතු ඊයේ (30) සිදුකර තිබුණි.

මොවුන් පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර විදෙස්ගතවීමේ බලාපොරොත්තුවෙන් එහි දේපළ විකුණා කොට්ටාව – මාකුඹුර ප්‍රදේශයේ කුලී නිවසක තාවකාලිකව පදිංචියට පැමිණ ඇති බවට වාර්තාවෙයි.

පියා දිවි හානි කරගෙන තිබුණේ ඒ අතරතුරය.

පසුව ඔහුගේ මෘතදේහය මාළඹේ පිහිටි ඔහුගේ සහෝදරයාගේ නිවසේ තැන්පත්කර තිබුණි.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසු ඊයේ (30) රාත්‍රීයේ බිරිඳ සහ දරුවන් සහෝදරයාගේ නිවසේ කාමරයක් නිදාසිට ඇති අතර මැදියම් රැයේ කාමරයෙන් අඛණ්ඩව ඇසුණු කහින ශබ්දයක් හේතුවෙන් නිවැසියන් ඒ පිළිබඳ සොයාබලා තිබේ.

දොරගුළු දමා තිබූ නිදන කාමරයේ දොර කඩා ඔවුන් ඉවතට ගන්නා අවස්ථාව වනවිටත් සිහසුන්ව සිට ඇති අතර, රෝහල්ගත කිරීමේදී ඔවුන් මියගොස් තිබූ බව වාර්තාවෙයි.

https://www.youtube.com/watch?v=lHkvXsv3Hxs

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *