දායකයින්ගේ ගුටිබැට පූජාවෙන් සිවුරුකාරයන් දෙකක් (2) රෝහලට

දායකයින්ගේ ගුටිබැට පූජාවෙන් සිවුරුකාරයන් දෙකක් (2) රෝහලට


දායකයින්ගේ ගුටිබැට පූජාවෙන් සිවුරුකාරයන් දෙකක් (2) රෝහලට

(03.12.2023 – 21:35 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

වැල්ලව නගරයේ මත්වතුර අලෙවිසැලක් ආරම්භ කිරීම සඳහා අනුමැතියක් ලබා දුන් බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් ප්‍රදේශවාසින් පිරිසක් සමඟ ඇතිවූ ආරවුලකදී පහර කෑමට ලක්වූ සිවුරුකාරයන් දෙකක් (2) සහ පොලිස් නිලධාරියෙකු (1) ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

වැල්ලව නගරයේ පිහිටි විහාරස්ථාන භූමියකදීයි මෙම ගැටුම්කාරී තත්ත්වය ඇති වී ඇත්තේ.

වැල්ලව නගරයේ පවත්වාගෙන යන බීර අලෙවිසැලට අමතරව තවත් මත්වතුර අලෙවිසැලක් ආරම්භ කිරීම සඳහා විරෝධතාවයක් නොමැති බවට එම විහාරස්ථානයේ විහාරාධිපති සිවුරුකාරයා අනුමැතිය ලබාදී ඇති බවට සැක කරමින් ඒ සම්බන්ධයෙන් විහාරස්ථානයේ දායකයන් ඇතුළු පිරිසක් විරෝධය පළ කිරීමට ගිය අවස්ථාවේදී මෙම ගැටුම්කාරී තත්ත්වය හටගෙන තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴


අසූ හය (86) හැවිරිදි පස් දරු (5) මවගේ සිරුර රාස්සැල්ලෙන් හමුවෙයි

(03.12.2023 – 22:55 +0530 – hirunews.lk/sinhala)

පන්විල, ගල්පිහිල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි පස්දරු (5) මවකගේ සිරුරක් වත්තේගම, රාස්සැල්ලේ තිබී අද (03) පෙරවරුවේ සොයාගැනීමට සමත් වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පුරන්කුඹුරේ ගෙදර විමලාවති නැමැති 86 හැවිරිදි පස් දරු (5) මවක්.

මියගොස් සිටි කාන්තාව සිය දරුවන් සමග නිවසේ පදිංචිව සිට ඇති අතර, ඊයේ (02) සවස සිට අතුරුදහන්ව තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් සමඟ එකතුව රාත්‍රී කාලයේ සිට මෙම කාන්තාව සොයා ඇති අතර අද (03) උදෑසන රාස්සැල්ලේ තිබී මියගොස් සිටි ඇයගේ සිරුර සොයා ගෙන තිබෙනවා.

ඇය රාස්සැල්ලට පැන දිවි නසා ගත්තාද, නැතිනම් ඇද වැටී මියගියාද, ඝාතනය කළාද යන්න පිළිබඳව තහවුරු කරගැනීමට වත්තේගම පොලිසියෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි ෴


‘කායවර්ධන විටමින්’ ගන්න පාසල් සිසුවෙකු විසින් කාන්තාවක් මරා මුදල් සොරාගැනේ

(03.12.2023 – 20:53 +0530 – hirunews.lk/sinhala)

මොරටුමුල්ල, ඉඳිබැද්ද ප්‍රදේශයේ 84 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාව මත 17 හැවිරිදි පාසල් සිසුවෙකු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළා.

අදාළ සිසුවා පොලිසිය වෙත පාපොච්චාරණය කර ඇත්තේ තමන් කළ මුදල් සොරකමක් ඇයට හසුවීම හේතුවෙන් පොල් උලකින් හිසට ඇන මෙම ඝාතනය කළ බවටයි.

මොරටුමුල්ල පොලිස් වසමේ ඉදිබැද්ද ප්‍රදේශයේ පිහිටි නිවසක පදිංචි වී සිටි ‘තිලකා නාලනී ප්‍රනාන්දු’ නම් අවු 84 ක් වූ කාන්තාව ඇගේ නිවස තුළදීම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේ පසුගිය 29 වැනිදායි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි සිසුවෙක් මොරටුමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔහු ‘ජාත්‍යන්තර පාසලක සිසුවෙක්’ බව පොලිසිය පැවසුවා.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ ඔහු පසුගිය 27 වනදා එම කාන්තාවගේ නිවසට ගොස් තිබූ බවයි.

ඇගේ නිවසේ රූපවාහිනියේ වැඩසටහනක් නැවත බැලීමට සඳහා සකස් කර දෙන්නැයි කළ ඉල්ලීමක් අනුව තමන් එහි ගිය බව සිසුවා පවසා තිබෙනවා.

එම අවස්ථාවේ ඇගේ මුදල් පසුම්බියේ රුපියල් පන්දහසේ (5000) නෝට්ටු කිහිපයක් තමන් දුටු බවත්, එම මුදල් සොරකම් කිරීමේ අරමුණෙන් ඊට පසු දින යළි නිවසට ගිය බවත් සිසුවා පවසා තිබුණා.

එහිදී බීමට වතුර වීදුරුවක් ඉල්ලූ අවස්ථාවේ කාන්තාව මුළුතැන්ගෙට ගොස් තිබූ අතර, එහිදී සිසුවා කාමරයකට ඇතුළු වී මුදල් පසුම්බියෙන් රුපියල් පන් දහසේ (5000) නෝට්ටු කිහිපයක් ගෙන තිබූ අතර, එය කාන්තාව විසින් දැක තිබෙනවා.

ඔහුගේ මව්පියන්ට මෙම සොරකම සම්බන්ධයෙන් දැනුවත් කරන බව කාන්තාව පැවසීමත් සමඟ ඉන් කලබලයට පත්වූ සිසුවා මුදල් රැගෙන පළා යාමට උත්සාහ කර තිබුණා.

එහිදී කාන්තාව ඔහුව අල්ලාගෙන තිබූ අතර සිසුවා එහිදී ඇයව තල්ලු කර තිබෙනවා.

තල්ලු කිරීමත් සමග බිත්තියක වැදිම හේතුවෙන් ඇගේ හිසෙන් ලේ ගැලීමක් සිදුවූ බවත්, එහිදී තමන් නිවසේ පිටුපස තිබූ පොල් උලක් ගෙන පැමිණ ඇයගේ හිසට පහරදුන් බවටත් සිසුවා පාපොච්ඡාරණය කර තිබෙනවා.

පසුව මුදල් සහ කාන්තාවට අයත් ජංගම දුරකථනය ද රැගෙන පලා ගොස් ඇති සිසුවා ජංගම දුරකථනය මොරටුව ප්‍රදේශයේ අලෙවි සැලකට විකුණා මුදල් ද ලබාගෙන ඇතැයි පොලිසිය පැවසුවා.

සොරකම් කළ රුපියල් 9000 ක මුදලින් සිසුවා කාය වර්ධනයට භාවිත කරන ‘පෝෂණ අතිරේක පිටි වර්ගයක්’ ලබාගෙන තිබෙනවා.

කාන්තාව අදාළ මුදල් එකතු කර තබාගෙන ඇත්තේ අද (03) දින පැවැත්වීමට නියමිතව තිබූ ලේ දන්දීමේ වැඩසටහනක් සඳහායි.

අත්අඩංගුවට ගත් සිසුවා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර කිරීමෙන් අනතුරුව මේ මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.

+


වැඩි වූ රුපියල් 10,000 ජනවාරියේ සිට ඉල්ලා රාජ්‍ය සේවකයින් 12 වැනිදා වැඩ වර්ජනයකට සැරසේ

(03.12.2023 – 19:39 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන 12 වැනි දින සියලුම රාජ්‍ය ආයතනවල එක් දින (1) වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර ඇති බව රජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය එකමුතුව පවසනවා.

රජය විසින් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන බවට පොරොන්දු වු රුපියල් 10,000 දීමනාව එළැඹෙන ජනවාරි මස සිට ලබා දෙන ලෙසට රජයට බල කරමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වීමට තීරණය කර ඇත්තේ ෴


ඩයනාගේ වාර්තාව වෙනස් වුණේ කොහොමද? ඉමිතියාස් සියල්ල හෙළිකරයි (03.12.2023)

+


මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු ගබඩාවේ ගිනි අවි වික්ක තුනක් (3) මාට්ටු

(03.12.2023 – lankadeepa.lk)

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ විදේශීය නිෂ්පාදිත ගිනිඅවි සහ හෙරොයින් සොරාගෙන ගොස් ඒ දකුණේ ක්‍රියාත්මක පාතාල කල්ලිවලට රුපියල් ලක්ෂ ගණනකට විකුණා ලැදයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණයේ බහුකාර්ය සංවර්ධන සහායකයකු ඊට අනුබල දුන් අයකු ඇතුළු තිදෙනෙක් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු විසින් පෙරේදා (02) අත්අඩංගුවට ගනු ලැබූහ.

සොරාගන්නා ලද ගිනි අවි සහ හෙරොයින් විකිණීමට ආධාර අනුබල දුන් බව පැවසෙන තවත් සැකකරවෙකු නඩු බඩු කාමරයෙන් සොරාගත් විදේශීයේ නිෂ්පාදිත රිවෝල්වරයක් රුපියල් දෙලක්ෂ අසූ දහසක (2,80,000) මුදලකට මිලදී ගත් බව කියන ධීවර බෝට්ටු හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ඔහු සන්තකයේ තිබී එම රිවෝල්වරය ද පොලිස් බාරයට ගෙන ඇත.

මේ අතර පාතාලයට සම්බන්ධ යැයි කියමින් අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී සොයා ගත් ටී 56 ස්වයංක්‍රීය ගිනි අවිය ද මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයෙන් සොරා ගන්නා ලද එකක් බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි එම නිලධාරියා කීය.

එම ගිනි අවිය යොදාගෙන දික්වැල්ල ප්‍රදේශයේ දී මිනිස් ඝාතනයක් සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

එම ගිනි අවිය රුපියල් එක්ලක්ෂ පනස් දහසක (1,50,000) පමණ මුදලක සැකකාර බහු කාර්ය සංවර්ධන සහායකයාගෙන් මිලදී ගෙන ඇති බවත් ඒ සඳහා තිස් දෙහැවිරිදි (30) පුද්ගලයා අත්අඩංගුවට ගත් සැකකරයකු ද හවුල් වී ඇති බවත් පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි කියති.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබී ගත් බව කියන විදේශීය නිෂ්පාදිත තවත් ගිනි අවි දෙකක් (2) දකුණේ පාතාල කල්ලි සාමාජිකයන්ට රුපියල් ලක්ෂ ගණනකට මුදලකට විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ගිනි අවි මිලදී ගත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ද මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පරීක්ෂණ පවත්වයි.

මේ අතර මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ හෙරොයින් මත් ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් අස්ථානගතවී ඇති බවට එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල ධම්මික මහතා සහ උප පොලිස් පරීක්ෂක සංජීව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විමර්ශනයක් ආරම්බ කර ඇත.

නඩු බඩු කාමරයේ තිබූ ගිනි අවිද සොරාගෙන ගොස් පාතාලයට රුපියල් ලක්ෂ ගණනක විකුණා ඇති බවට තොරතුරු අනාවරණය එම විමර්ශනයේදීද අනාවරණය කරගැනීමට හැකි විණි යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයෙන් හොරා ගෙන ගොස් තිබූ හෙරොයින් පාර්සල් දෙක රුපියල් එක්ලක්ෂ පනස් දහසක (1,50,000) පමණ මුදලකට විකුණා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි එම පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

සැකකාර බහු කාර්ය සංවර්ධන සහායකයාගෙන් හෙරෝයින් මිලදී ගත් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර සහ මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ මෙහෙයුම යටතේ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල ධම්මික මහතා සහ උප පොලිස් පරීක්ෂක සංජීව මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

සැකකරුවන් තිදෙනා දින 7 ක කාලයක් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන පරීක්ෂණ පවත්වාගෙන බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවෝ දික්කවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති ෴


හොරෙන් ගෙනා උත්තේජක පොලිසියෙන් නතර වේ

(03.12.2023 – lankadeepa.lk)

ඉන්දියාවේ සිට මාලු බෝට්ටු තුළ සඟවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ ලිංගික උත්තේජක තොගයක් සමග ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු සමඟ ලිංගික උත්තේජක පෙති 31,750 ක් ලිංගික උත්තේජක ජෙල් පැකට් 259 ක් පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයට ලද ලද තොරතුරකට අනුව කොළඹ 12 කෙසෙල් වත්ත සිල්වර් ස්මිත් පටුමග නිවසක් වටලා බලපත්‍ර නොමැතිව මෙරට මෙරටට ආනයනය කර ගබඩා කර තිබූ මෙම උත්තේජක තොගය පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වෙනත් පුද්ගලයකුට මුදලට ලබාදෙන තෙක් මේවා ගබඩාකර තැබූ බවට සැකකරුගෙන් අනාවරණය වූ බව පොලිසිය කියයි ෴


නීති විරෝධිව ගත් රුපියල් ලක්‍ෂ 19 නොගෙවා දුම්රිය නිළැදුම් ලොක්කෝ විශ්‍රාම යති

(03.12.2023 – lankadeepa.lk)

දුම්රිය නිළැදුම් සේවා අර්ථසාධක අරමුදලේ ඉහළ නිලධාරීන් දෙදෙනකු (2) ආයතන සංග්‍රයේ නීති උල්ලංඝණය කරමින් නීති විරෝධීව මාසිකව ලබාගත් රුපියල් ලක්‍ෂ 19 කට අධික මුදලක් නැවත අයකරන්නා ලෙස අභ්‍යන්තර පරීක්‍ෂණයකින් නිර්දේශ කර තිබියදී මුදල් අයකර ගැනීමෙන් තොරව විශ්‍රාම යෑමේ අවස්ථාව ඔවුන්ට දී ඇතැයි දුම්රිය සේවකයෝ චෝදනා කරති.

දුම්රිය නිළැදුම් සේවා අර්ථසාධක අරමුදලේ හිටපු ලේකම් හා භාණ්ඩාගාරිකවරයා සහ හිටපු වැඩබලන සභාපතිවරයා 2021 වසරේ අගෝස්තු මස සිට නීති විරෝධීව මාසිකව ගත් රුපියල් 80,000 කට ආසන්න සමස්ත මුදල අය කරගන්නා ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන ඒකකය සහ එම දෙපාර්තමේන්තුවේ නීති අංශය නිර්දේශ කර තිබියදී උසස් නිලධාරීන් එය මඟහරින බව ද සේවකයෝ චෝදනා කරති.

චෝදනා එල්ල වී සිටින අදාල නිලධාරීන් දෙදෙනා (2) පසුගිය ඔක්තෝබර් මස වයස 60 සම්පූර්ණ වීමෙන් විශ්‍රාම ගොස් ඇති බවත් ඔවුන් විශ්‍රාම යන විට අදාල මුදල් අයකරගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කටයුතු කර නොමැති බවත් දුම්රිය නිළැදුම් සේවා අර්ථසාධක අරමුදලේ සාමාජික දුම්රිය සේවකයෝ පවසති.

එම දෙපාර්තමේන්තුවේ විනය ශාඛාව අදාල මුදල අයකරගැනීමට එහි ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය ඉල්ලා ඇතත් එය ලැබී නොමැති බව කියන දුම්රිය සේවකයෝ අදාල චෝදනාලාභී නිලධාරීන් සේවය කළ ඒකකවල ප්‍රධානීන් වෙත අදාල ලිපිගොනු යොමු කරමින් මුදල් ගෙවීම යටගැසීමට උත්සහ කරන බව ද සඳහන් කළහ.

චෝදනා එල්ල වී තිබෙන නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් සකස් කරන තෙක් අදාල ලිපිගොනු සඟවා තැබීම අදාල අංශ ප්‍රධානීන්ගේ අරමුණ බවත් එම ලිපිගොනු භාරගෙන ඇති ඇතැම් ප්‍රධානීන් ද චෝදනා මත දුම්රියට මුදල් ගෙවීමට තිබුණ ඒවා මඟහැර සිටින අය බවත් දුම්රිය සේවකයෝ වැඩි දුරටත් චෝදනා කරති ෴


වස්කඩුව දුම්රිය හරස් මාර්ගයේ අදත් (03) අනතුරක්

(03.12.2023 – lankadeepa.lk)

එකම පවුලේ සාමාජිකයන් පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් අද (03) දහවල් බෙලිඅත්ත සිට අනුරාධපුර බලා ගමන්ගත් ‘රජරට රැජින’ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී අනතුරක් සිදුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

මීට දින පහකට (5) පෙර සංචාරකයන් පිරිසක් ගමන්ගත් බස් රථයක් අනතුරට ලක්වූ කොස්ගස්හන්දිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදීම අනතුර සිදුව ඇත.

අනතුරෙන් කිසිවකුට හානියක් සිදුව නොමැති බවත් පොලිසිය කීය.

කොළඹ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සිව්දෙනෙකු (4) සංචාරයක් සදහා වස්කඩුවේ හෝටලයකට පැමිණ නැවත පිටත්ව යාමේදී අනතුර සිදුව ඇති බව සදහන් වේ.

මුහුදුබඩ දෙස සිට ගොඩබිම දෙසට මෝටර් රථය ගමන්කර ඇති බවත්, රියදුරු දුම්රිය දැක පසුපසට ගැනීමට උත්සාහ කිරීමේදී අනතුර සිදුව ඇති බවත් පොලිසිය කිය ෴

+++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *