අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් නව කැලණි පාලම තාවකාලිකව වසා දැමේ

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් නව කැලණි පාලම තාවකාලිකව වසා දැමේ


අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් නව කැලණි පාලම තාවකාලිකව වසා දැමේ

(30.11.2023 – 19:10 +0530 – lankacnews.com)

හෙට (01) දිනයේ සිට නව කැලණි පාලම අදියර 03 ක් යටතේ තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි අධිකාරිය කියයි.

ඒ පිළිබදව පැහැදිලි කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි :


අද (නොවැම්බර් 30) රාත්‍රීයේ සිට ඉන්ධන මිල වෙනස් වෙයි

(30.11.2023 – 21:53 +0530 – hirunews.lk/sinhala)

  • අද (30) මධ්‍යම රාත්‍රී 12:00 සිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 10 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 346 වනවා.
  • ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රුපියල් 3 කින් මිළ ඉහල යනු ලබනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් නව මිල රුපියල් 426 ක් වනවා.
  • ලංකා සුදු ඩිසල් ලීටරයක මිල රුපියල් 27 කින් පහල දමා ඇති අතර ඒ අනුව නව මිල වන්නේ රුපියල් 329 කි.
  • ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 3 කින් මිල ඉහල යනු ඇති. එ අනුව ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක නව මිල රුපියල් 434 ක් වනවා.
  • ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 2 කින් අඩු කෙරෙනු ඇති. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 247 ක් ලෙසයි.

මීට සමගාවීව ඉන්දීය තෙල් සමාගම සහ සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

+


සමාජ සේවිකාවක් මොරටුවේදී අබිරහස් ලෙස මියගිහින්

(30.11.2023 – 22:23 +0530 – hirunews.lk/sinhala)

මොරටුව පහළ ඉඳිබැද්ද ප්‍රදේශයේ නිවසක තනිව වාසය කළ කාන්තාවක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය ‘තිලකා නාලනී’ නම් 83 හැවිරිදි කාන්තාව සමාජ සේවිකාවක් සහ සාමවිනිසුරුවරියක් ලෙස සේවය කළ අවිවාහක කාන්තාවක්.

ඇය පසුගිය 28 වැනිදා සිට නිවසෙන් පිටතට නොපැමිණීම හේතුවෙන් අසල්වාසීන් ඊයේ (29) ඇගේ නිවසට ගොස් තිබු අතර එහිදී ඇය ලේ පැල්ලම් සහිතව බිම ඇද වැටී සිටිනු අසල්වැසියන් දැක තිබුණා.

යම්කිසි ආයුධයකින් ඇගේ හිසේ අඟල් දෙකක (2) පමණ කුහරයක් ඇති වන අයුරින් පහරදී ඇති බවයි පොලිසිය පැවසුවේ.

සපුගස්කන්ද සිරිමංගල පාර, හතරවැනි පටුමග ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය මිතුරෙකුට ලබා දුන් රුපියල් 3,500 ක මුදලක් නැවත ඉල්ලා සිටි අවස්ථාවේ ඇති බවූ ආරවුලක් මත මිතුරා විසින් ඔහුව ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ 41 හැවිරිදි ‘රොෂාන් චමින්ද’ නම් තිදරු පියෙක්.

ඝාතනය සිදු කළ මිතුරා සපුගස්කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා ෴


කඳාන පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

(30.11.2023 – 21:15 +0530 – hirunews.lk/sinhala)

කඳාන ප්‍රදේශයේ හෝටලයක හිමිකරුවෙකුගෙන් අල්ලසක් ලබා ගනිමින් සිටිය දී කඳාන පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා අද (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ හෝටලයේ හිමිකරුගෙන් රුපියල් 75,000 ක අල්ලසක් ලබා ගනිමින් සිටිය දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.

ඔහු මුලින්ම රුපියල් 100,000 ක මුදලක් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ ෴


මිතුරියන් දෙදෙනෙකු එක් වී කළ අපුරු ක්‍රියාව

(30.11.2023 – 20:51 +0530 – hirunews.lk/sinhala)

මීගලෑව නගරයේ මාර්ගයක වැටි තිබි හමු වූ රුපියල් ලක්ෂ පහකට (5) අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ හා මුදල් පසුම්බියක් පසුගිය(24) දා මීගලෑව පොලිසිය වෙත භාර දී තිබෙනවා.

මෙම සිසුවියන් මීගලෑව මහවැලි ජාතික පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි සඳහන් වන්නේ.

මීගලෑව පොලිසිය විසින් මෙම සිසුවියන් ගෙනවිත් භාර දුන් රන් භාණ්ඩ සහ මුදල් පසුම්බිය හිමිකරුවා සොයා භාර දී තිබෙනවා.

සමාජ සාරධර්ම වියැකී යන සමාජයක මෙවන් ක්‍රියාවක් සිදු කිරීමට පෙළඹීම සම්බන්ධයෙන් සිසුවියන් දෙදෙනාට මීගලෑව පොලිසිය විසින් ස්තූතිය පළ කර ඇති බව සඳහන්.

ඔවුන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිනිය සඳහන් කළේ අදාළ සිසුවියන් සිදුකළ සත්ක්‍රියාව අගය කරමින් ඔවුන් ඇගයීමට කටයුතු කරන බව පොලිසිය විසින් ලිපියක් මගින් දැනුම් දී ඇති බව‍යි ෴


ක්‍රිකට් තහනම ඉවත් වෙයි ද ?

(30.11.2023 – 20:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා ඇති තාවකාලික අත්හිටුවීම ඉදිරි දින කිහිපය තුළ ඔවුන් විසින් ඉවත් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළා.

මේ අතර විගණන වාර්තා මගින් සාක්ෂි සහිතව ඔප්පු වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේදී සිදුවූ දූෂණ සහ වංචා සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින පුද්ගලයින්ට ආණ්ඩුවේ ඉහළ පුටුවල වැජඹෙන පුද්ගලයින්ගේ ආරක්ෂාව හිමිවීම සම්බන්ධයෙන් රට හමුවේ දැඩි කතිකාවතක් ගොඩනැගිය යුතු බව සිවිල් සංවිධාන රැසක් පෙන්වා දෙනවා.

මේ අතර 2023 එක්දින ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව ලද තරග පරාජයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සහ කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් අදහස් විමසා තිබෙනවා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටි ඉහළ තාක්ෂණික මධ්‍යස්ථානයේදී පසුගියදා පැවති මෙම සාකච්ඡාව ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අතර එය විදෙස් පුහුණුකරුවන් සහ මෙරට පුහුණුකරුවන් අතර බහින්බස්වීමක් දක්වා ද වර්ධනය වී තිබුණා.

එවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකු (2) සිය ධූරවලින් ඉවත් වී තිබෙනවා.

මෙලෙසින් ඉවත්ව ඇත්තේ කණ්ඩායමේ භෞතික කාර්ය සාධන කළමනාකරු ලෙස කටයුතු කළ ග්‍රාන්ට් ලුඩන් සහ භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස්ක්ලාක් යන අයයි.

කොන්ත්‍රාත් ගිවිසුම් කාලය අවසන් වීමටත් පෙර ලුඩන් සහ ක්ලාක් සිය ධූරයන්ගෙන් මෙලෙස ඉවත්වීම කැපී පෙනෙන කරුණක්.

+


යතුරු පැදියක සිට පිළිකා ඖෂධ අලෙවි කළ පුද්ගලයෙකුට වැඩ වරදී

(30.11.2023 – 20:39 +0530 – hirunews.lk/sinhala)

රාගම ශික්ෂණ රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර ඒකකය අසළ මාර්ගයේ යතුරු පැදියක සිට පිළිකා ඖෂධ අලෙවි කළ පුද්ගලයෙකු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික්ක කාර්යාලය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ නීතිවිරෝධී ලෙස පිළිකා ඖෂධ අලෙවිකරන බවට රෝගීන්ගෙන් ලද තොරතුරකට අනුවයි.

සිය යතුරුපැදියේ පිටුපස ආසනයෙහි සකස්කරන ලද කුඩා ප්‍රමාණයේ විශේෂ අසුරණයක බහා අදාළ පිළිකා ඖෂධ අලෙවි කර තිබෙන බවයි එහිදී හෙළි වුණේ.

අදාළ පුද්ගලයා පරීක්ෂා කරන අවස්ථාවේදී ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ පහහමාරකට (5½) වැඩි වටිනාකමින් යුතු පිළිකා ඖෂධ සොයාගෙන තිබෙනවා.

+


මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ කරන ප්‍රකාශවලට නඩු පැවරිය නොහැකි බව කථානායක කියයි

(30.11.2023 – 17:45 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් සිදුකරන ප්‍රකාශවලට පිටස්තර පුද්ගලයින්ට නඩු පැවරිය නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී අද (30) ප්‍රකාශ කළා.

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පසුගියදා සිදුකළ විශේෂ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් වූ බවට ඔහුට එරෙහිව නීතිඥවරියක් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි කථානායකවරයා මේ බව කියා සිටියේ.

මේ අතර අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහි පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාට අභියාචනාධිකරණය අද (30) කල් ලබා දුන්නා.

ඒ අනුව එම පෙත්සම ජනවාරි මස 03 වනදා යළි කැදවනු ඇති.

මෙම පෙත්සමට අදාළ විරෝධතා පවතීනම් ඒවා දෙසැම්බර් මස 15 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අධිකරණය වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහට නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම අද (30) කැදවනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මෙහොමඩ් ලෆාර් සහ ඛේමා ස්වර්ණාධිපති හමුවේයි ෴


ලංකාවේ හයදහසකට (6000) ඒඩ්ස්

(30.11.2023 – 16:31 +0530 – hirunews.lk/sinhala)

ලංකාවේ හයදහසකට (6000) ඒඩ්ස් රෝගය වැළඳී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන අද (30) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශය කළා.

ලංකාවේ ජනගහනයෙන් තුන් දහසක (3000) ගෙන් එක් (1) අයෙකු ඒඩ්ස් රෝගියකු බවයි ඔහු සඳහන් කළේ.

ලංකාවේ ඒඩ්ස් රෝගය වැඩි වීමේ ප්‍රමාණයක් ඇති බවත් මේ වනවිට ඒඩ්ස් රෝගීන් 6000 ක් පමණ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා ෴

1981 වසරේදී ලොස්ඇන්ජලීස් නුවර රෝහලකින් පළමු HIV ආසාධිදතයා හඳුනාගත් අතර එතැන් සිට එය ලොව බරපතල අවදානමක් ලෙස සැලකෙනවා.

ලෝකය පුරා මිලියන 39 ක් HIV සමඟ ජීවත් වන අතර පසුගිය වසරේ පමණක් මිලියන 1.3 ක් නව ආසාදිතයන් වාර්තා වූ බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරන්නේ.

මිලියන 40 කට වැඩි පිරිසක් දැනට ඒඩ්ස් ආශ්‍රිත රෝගවලින් මියගොස් තිබෙනවා.

අදටත් ආසාදිතයන්ගෙන් 53% ක් කාන්තාවන් සහ ගැහැණු ළමයින් වන අතර ළමයින් මිලියන 1.5 ක් මෙම අවදානමට ගොදුරු වී සිටිනවා ෴


ප්‍රමිතියෙන් තොර එන්නත් සිද්ධිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්ගෙන් සී.අයි.ඩී.ය පැය 4 ක් ප්‍රකාශ ගනී

(30.11.2023 – 15:23 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනෝග්ලොබියුලින්’ ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ‘ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත’ අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී තිබෙනවා.

පැය 4 කට ආසන්න කාලයක් ඔහු ප්‍රකාශ ලබාදී පිටත්ව ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ‘කපිල වික්‍රමනායක’ ඇතුළු 04 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ‘ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත’, ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ‘විජිත් ගුණසේකර’ ඇතුලු 13 දෙනෙකුට විදෙස් ගමන් තහනනමක්ද මේ වනවිට පනවා තිබෙනවා ෴

+++++++

+


එළවළු මිල ඉහළ යයි

(30.11.2023 – 15:01 +0530 – hirunews.lk/sinhala)

වර්ෂාව හේතුවෙන් සිදු වූ අස්වනු හානිය, එළවළු මිල ශීඝ්‍ර ලෙස ඉහළ යාමට හේතු වී ඇතැයි එළවළු තොග වෙළඳුන් පවසනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (30) පැවති මිල ගණන්වලට අනුව අමු මිරිස් කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 750 ත් 800 ත් අතරයි.

කරවිල කිලෝවක් රුපියල් 500 කට අලෙවි වූ අතර බෝංචි කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 350 ක් ලෙසයි.

කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

සිල්ලර වෙළෙඳුන් එළවළු මිලදී ගැනීම ද පහළ ගොස් ඇති බව කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් ප්‍රකාශ කළා.

එමෙන්ම මැනිං වෙළඳපොලේද එළවලු තොග මිල දැක්වුණේ ඉහළ අගයකයි.

දෙහි කිලෝවක් රුපියල් 3000 දක්වා ඉහල ගොස් තිබෙන අතර වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ දෙහි හිඟයක් පැවතීම හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර පාරිභෝගික සේවා අධිකාරියේ තොරතුරු සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අංශයේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර කියා සිටියේ උත්සව සමයේ වැඩි මිලට ආහාර අලෙවි කරන පුද්ගලයන් සොයා වැටලීම් ආරම්භ කර ඇති බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *