අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැළඳවිමේ සිද්ධියට විමර්ශන අරඹයි

අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැළඳවිමේ සිද්ධියට විමර්ශන අරඹයි


අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැළඳවිමේ සිද්ධියට විමර්ශන අරඹයි

(27.11.2023 – 11:53 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අනුරාධපුර අවුකන රජමහා විහාරස්ථානයේ පිහිටි අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පෙරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් වූ වහාම වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂවරියට පරීක්ෂණයක් පවත්වන්නැයි මෙලෙස උපදෙස් ලබාදුන් බවයි.

අනුරාධපුර යුගයේ නිර්මාණය වූ හිටි පිළිම අතරින් ඉතා වැදගත් නිර්මාණයක් ලෙස සැලකෙන අවුකන බුද්ධ ප්‍රතිමාව ධාතුසේන රජු සමයේ ‘බරණ’ නම් ගල්වඩුවෙකු විසින් කළ නිර්මාණයක් ලෙස සැලකෙනවා.

මෙම බුදුපිළිමය උසින් අඩි 38 යි අගල් 10 ක් පමණ වන අතර අනුරාධපුර යුගයේ බුද්ධ ප්‍රතිමාවලට ආවේණික වූ සිවුරේ ඇති තනි රැල්ල මෙම පිළිමය තුලින්ද මනාව ඔප්නංවා තිබෙන අයුරු දකින්නට ලැබෙනවා.

එවන් පසුබිමකයි මෙලෙස ඉතිහාසයේ පළමුවරට මෙම බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පෙරවීමට කටයුතු කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අවුකන රජමහා විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමිගෙන් විමසීමක් කළා.

එහිදී උන්වහන්සේ සදහන් කළේ වත්තල ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකු ඇතුලු පිරිසක් විසින් කළ ඉල්ලීමකට අනුව ඊයේ (26) දිනයට යෙදී තිබුණු ඉල්පුර පසළොස්වක පොහොය දිනයේදී සිවුර පෙරවීමට කටයුතු කළ බවයි.

පැය තුනක (3) කාලයකට පසු එය ඉවත්කළ බවද උන්වහන්සේ සදහන් කළා.

+++++++

++++++++

+


රෝහල් 100 කට ආසන්න ප්‍රමාණයක් වැසීයාමේ අවධානමක

(27.11.2023 – 13:49 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා වැසී තිබෙන සහ වැසීයාමට ආසන්න තත්ත්වයේ පවතින රෝහල් රෝගී සත්කාර සේවාවන් සදහා ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් සමග අද (27) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේදී අනාවරණ වූයේ රෝහල් 40 කට ආසන්න ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවයි.

එමෙන්ම රජයේ රෝහල් 100 කට ආසන්න ප්‍රමාණයක් වැසීයාමේ අවධානමට ලක්ව ඇති බවද එහිදී හෙළිවුණා.

ඒ අනුව අමාත්‍යවරයා සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබාදුන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයින්ද ඇතුළත්ව විශේෂ කමිටුවක් පත්කර අදාළ රෝහල් ක්‍රියාකාරි තත්ත්වයට ගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ෴


රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවක හදිසි ගින්නක්

(28.11.2023 – 07:21 +0530 – hirunews.lk/sinhala)

රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

දංඕවිට පොලිස් වසමේ හොරගස්මංකඩ අල්ගම මාර්ගයේ පිහිටි රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇත්තේ ඊයේ (27) රාත්‍රියේදීයි.

පොලීසියට ලද පැමිණිල්ලක් අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය රාත්‍රියේ සේවයේ නියුතු සේවකයින් ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ගම්පහ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේද සහාය ඇතිව ගින්න මැඬ පැවැත්වීමට කටයුතුකර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දංඕවිට පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

+++++++

+


රෝහල්වලට සහ පාසල්වලට ආ බය හිතෙන රසායනික ද්‍රව්‍ය… උකුස්සාගේ හෙළිදරව්වෙන් එළියට ආ කතාව (27.11.2023)

+


වෛද්‍ය මධ්‍යස්ථානයක් ඇතුළේ සිදුකළ ඝාතනය

(27.11.2023 – 16:04 +0530 – sinhala.adaderana.lk)

තිහාරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකු අද (27) අලුයම ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම වෛද්‍ය මධ්‍යස්ථානයේ හිමිකාර වෛද්‍යවරියගේ ඥාතියෙකි.

අවිවාහකයෙකු වන 59 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයා වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම වෛද්‍ය මධ්‍යස්ථානයේ හිමිකාර වෛද්‍යවරිය මෙන්ම ඇයගේ සැමියාද වෛද්‍යවරයෙකු වන අතර ඔවුන් දෙදෙනාම එහි සේවයේ නිරතව සිට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නිට්ටඹුව පොලීසිය පවසන්නේ ඝාතනය සිදුකර ඇති බවට සැකකරන පිරිස විසින් එහි තිබූ මුදල් ද රැගෙන ගොස් ඇති බවය.

මේ අතර ඊයේ (26) රාත්‍රියේ තිහාරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් දෙකක් (2) ද බිඳ මුදල් සොරාගෙන ගොස් ඇති බවට වාර්තා වී තිබේ.

පොලීසිය සැකපළකරන්නේ මෙම ඝාතනය සිදුකර කණ්ඩායම විසින් එම සොරකම් ද සිදුකර ඇති බවටය.

නිට්ටඹුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

+


මහනුවර – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

(28.11.2023 – 11:14 +0530 – sinhala.adaderana.lk)

මහනුවර – කොළඹ පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භකර තිබේ.

ලංගම බස් රථයක සේවකයින් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරයෙකුට පහරදුන් බව කියමින් මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.

අප වාර්තාකරු පැවසුවේ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ මහනුවර – කොළඹ බස් ගාල් කර ඇති බවයි ෴


සජිත්ගේ කාර්යාලයට ගිය නිසාද? රොෂාන්ව ගෙදර යැව්වේ.. ජනවරමක් නැති රනිල් ජනවරමක් ඇති රොෂාන් ගෙදර යවයි (28.11.2023)

+


සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි දින තුන (3) ඇතුළත

(28.11.2023 – 11:11 +0530 – hirunews.lk/sinhala)

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින 3 ඇතුළත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ අද (28) කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම, 2024 වසරේ සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි හෝ ජුනි මාසයේ පැවැත්වීමට සියල්ල සුදානම් කර ඇති බව ද අමාත්‍යවාරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා ෴


ක්‍රිකට් නඩුව යළිත් කල් යයි – දෙසැම්බර් 05 වැනිදා දක්වා

(28.11.2023 – 12:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සදහා අතුරු කමිටුවක් පත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය දෙසැම්බර් 05 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.

එදිනට ඒ සම්බන්ධයෙන් සිය තත්ත්වය ඉදිරිපත් කරන ලෙස නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන් ම ක්‍රිකට් අතුරු කමිටුව පිහිටුවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය එළැඹෙම්න නඩු වාරය තෙක් ක්‍රියාත්මක නොකරන බවයි නව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු අභියාචනාධිකරණයට දැනුම් දී ඇත්තේ ෴

++++++

+


මහ බැංකුවේ නැතිවූ නෝට්ටු බන්ඩලයට මොකද වුණේ?

(28.11.2023 – 11:17 +0530 – sinhala.adaderana.lk)

මහ බැංකුව තුළ තිබූ රුපියල් ලක්ෂ 50 ක නෝට්ටු බන්ඩලයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මේ වනවිට පැති කිහිපයකින් විමර්ශන ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අද (28) පාර්ලිමේන්තුවේ දී නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ ෂෙහාන් සේමසිංහ මහතා පවසා සිටියේ, මේ වනවිට මහ බැංකුව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද පරීක්ෂණ පවත්වන බවය.

අදාළ විමර්ශන අවසානයේ දී සිදුවීම පිළිබඳ පැහැදිලි අර්ථකථනයක් ලබාගත හැකි බවත් එයට වගකිව යුතු පාර්ශව කවුරුන්ද යන්න අනාවරණය කළ හැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ වනවිට අදාළ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස මහ බැංකු අධිපතිවරයා විසින් පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා එම විමර්ශන අවසන් වූ වහාම සිදුවීම සම්බන්ධයෙන් සියලු තොරතුරු සභාවට දැනුම්දෙන බවත් කියා සිටියේය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *