‘මිදි­ගම චූටි’ සහ ‘ජිලේ’ මැලේ­සි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ?

‘මිදි­ගම චූටි’ සහ ‘ජිලේ’ මැලේ­සි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ?


‘මිදි­ගම චූටි’ සහ ‘ජිලේ’ මැලේ­සි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ?

(27.11.2023 – 06:49 +0530 – hirunews.lk/sinhala)

‘හරක්කටා’ සහ ‘කුඩු සළිඳු’ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයාම සඳහා සැළසුම් කළේ යැයි කියනු ලබන ‘හරක්කටා’ගේ ප්‍රධාන ගෝලයෙක් වන ‘මිදිගම චූටි’ සහ ‘ජිලේ’ නමැති අපරාධකරුවන් දෙදෙනා (2) මැලේසියාවේ දී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරනවා.

මෙතෙක් නිල වශයෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබී නැතත්, ඒ බව තහවුරුකර ගැනීමටත් ඔවුන්ව සැබෑ ලෙසම අත්අඩංගුවට ගෙන තිබේ නම් මෙරටට පිටුවහල්කර ගැනීමටත් අවශ්‍ය කටයුතු සිදුකරන බවයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කළේ.

මොවුන් දෙදෙනාව මැලේසියාවේ දී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇතැයි පැවසෙන්නේ පෙරේදා (25) යි.

‘ජිලේ’ නමැත්තා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ‘සුමුදු රුක්ෂාන්’ට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනිස් ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින්නෙක්.

ඔහු ‘අංගොඩ ලොක්කා’ නම් පාතාල සාමාජිකයාගේ ගෝලයෙකු ලෙස සේවය කළ අතර, ‘අංගොඩ ලොක්කා’ ගෙන් පසු අංගොඩ පාතාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ මොහුයි.

එමෙන්ම මිදිගම පොලිස් වසමේ පිහිටි සංචාරක ආකර්ශනයක් දිනාගත් අවන්හලක හිමිකරු ඝාතනය ඇතුළු මිනිස් ඝාතන රැසකට නම කියැවෙන අපරාධකරුවෙක් ලෙස පොලිසිය හදුනාගෙන සිටින්නේ ‘මිදිගම චූටි’ නමැති පුද්ගලයාවයි ෴


කුඩු සළිඳු සල්ලි විසිකළ හැටි එළියට

(26.11.2023 – 22:09 +0530 – sinhala.adaderana.lk)

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 5 කට අධික මුදලක් සමග සැකකරුවෙකු සහ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මව අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව ඇත.

ඒ බණ්ඩාරගම හා අලුබෝමුල්ල ප්‍රදේශවලදීය.

බණ්ඩාරගම ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමකට අසාමාන්‍ය ලෙස මුදල් බැරවන බවත්, එම මුදල් කඩිනමින් ATM යන්ත්‍ර මගින් ලබාගන්නා බවත් විමර්ශන නිලධාරීන්ගේ අවධානයට ලක්වීමත් සමඟ එම නිලධාරීන් ආරම්භ කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම 34 හැවිරිදි සැකකරු සහ ප්‍රධාන ජාවාරම්කරුගේ 67 හැවිරිදි මව අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට පත් සැකකරු ‘කුඩු සළිඳු’ගේ මුදල් පාලක ලෙස හැඳින්වෙන ‘ප්‍රදීප් නිශාන්ත’ හෙවත් ‘ලොකු මුදලාලි’ නමැති අයෙකි.

මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ මොවුන් විසින් මත්ද්‍රව්‍ය අලෙවියන් උපයන මුදල් බැංකු ගිණුමට බැරකරවාගන්නා බවය.

පොලිස් භාරයට ගත් රුපියල් කෝටි 5 කට අධික මුදලින් රුපියල් කෝටි 3 ක මුදල් සොයාගෙන ඇත්තේ සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව ඉදිකරමින් පවතින නිවසක උඩුමහලේ වතුර ටැංකිය යට කොන්ක්‍රීට් වලින් මුද්‍රා තැබූ රහස් කුටියක් තුල තිබීයදීය.

එසේම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ජාවාරම්කරුට අයත් අලුබෝමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී දැනට අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තු භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කුඩු සළිඳු’ ගේ නමින් නිකුත් කළ වචුචර් පත් 21 ක් ද සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ජාවාරමේ ප්‍රධාන සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මක බවය.


දරුවාගේ සැත්කමක් කරන්න ගත් ණය මුදල පියවන්න රැකියා ස්ථානයේ ගබඩාව කැඩු හිටපු හමුදා සෙබලා අත්අඩංගුවට

(27.11.2023 – 07:19 +0530 – hirunews.lk/sinhala)

සිය දරුවගේ සැත්කමක් සදහා හිතවතෙකුගෙන් ලබාගෙන තිබු ණය මුදලක් පියවීමට සිය රැකියාව කළ ස්ථානයේ ගබඩාව කඩා එහි තිබූ රුපියල් 350,000 කට වැඩි වටිනාකමක් ඇති දේපළ සොරකම් කළ හිටපු යුධ හමුදා විශේෂ කාර්‍ය බළකායේ සෙබලෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් 25 දා සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සෙබලෙකු ලෙස කටයුතු කරමින් සිටියදී, විනය හේතූන් මත සේවයෙන් ඉවත් කරන ලද ඇඹිලිපිටිය පදිංචි 49 හැවිරිදි දෙදරු පියෙක් බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

සැකකාර පුද්ගලයා යුධ හමුදා සේවයේ යෙදි සිටියදී නිවාස දෙකක් (2) කොල්ලකෑමේ චෝදනා මත ඇඹිලිපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු වරද කරු වීම හේතුවෙන් ඔහුට වසර 09 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ඇඹිළිපිටිය මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.

ඒ අනුව සැකකාර පුද්ගලයා 2017 වසරේ සිට රක්ෂිත බන්ධනාගාර ගතව සිට 2023 පෙබරවාරි මස නිදහස් වී පැමිණ ඇති අතර, එලෙස දඬුවම් කාලය අවසන්ව පැමිණ ඇති සැකකරු හම්බන්තොට, නාගර්වැව පිහිටි පුද්ගලික ආරක්ෂක අංශයකට අයත් ගොවිපොලක ආරක්ෂක නිළධාරීයෙකු ලෙස මාස කිහිපයක් සේවය කරමින් සිටියදී ඉන් ඉවත් කර තිබෙනවා.

පසුව සැකකරු නාගර්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ලබාගෙන තිබූ ණය මුදල අදාල පුද්ගලයා විසින් නැවත ඉල්ලා සිටීම නිසා එය පියවීමට ඔහු සේවයෙන් ඉවත් කළ ගොවිපලේ ගබඩාව පසුගිය 24 දින රාත්‍රියේ කඩා එහි තිබූ භාණ්ඩ සොරා ගෙන ණය මුදල වෙනුවට සිය හිතවතාට එම බඩු ලබා දී තිබුණේ තමාට දීමට මුදල් නොමැති බවත්, ඒ වෙනුවට තමාට අයත් මෙම භාණ්ඩ තබාගන්නා ලෙසත් පවසමින් බව‍යි වාර්තාකරු පවසන්නේ.

සිය ගොවිපළේ ගබඩාව කඩා කිසියම් අයෙකු බඩු පැහැරගෙන ගොස් ඇති බවට ගොවිපලේ කළමණාකරු විසින් හම්බන්තොට වරාය පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර තිබු අතර, ඒ අනුව සිදුකල විමර්ශන වලදී සැකකාර හමුදා සෙබලා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්ණ කිරීමේදී සොරකමට සම්බන්ධ සියළු තොරතුරු පාපොච්චාරණය කර තිබෙනවා.

එහිදී සැකකරු පවසා ඇත්තේ තමන්ගේ දරුවාගේ සැත්කමක් සිදුකිරීමට සිය හිතවතෙකුගෙන් ණය මුදලක් ඉල්ලා ගත් බවත්, එය පියවා ගැනීමට නොහැකි වීම නිසා මෙලෙස තමන් වැඩ කල ස්ථානයේ ගබඩාව කඩා එහි තිබු දේපළ සොරාගෙන තම හිතවතාට ලබාදුන් බවයි.

සැකකරු සමග අත්අඩංගුවට පත් දේපළ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා 25 දින රාත්‍රියේ හම්බන්තොට වරාය පොලිසියට බාර දි ඇති අතර, සැකකරුගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව සැකකරු අද (27) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි ෴


යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(27.11.2023 – 07:35 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල දෙස සිට හොරණ දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටි පාර මාරුවීමට ගිය පුද්ගලයෙකු පසුගිය (25) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අනතුර සිදු කළ 20 හැවිරිදි තරුණයාට රියදුරු බලපත්‍රය ද නොමැති බවයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 60 ක කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන්.

මෙම අනතුර සිදු වූ වහාම පදිකයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් ඇති සිටි බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ පිළිබඳව වැඩිදුර වීමර්ශන සිදු කරන බවයි ෴


තමන්ට ඇති මරණ තර්ජන ගැන ක්‍රීඩා ඇමති රොෂාන් ගෙන් හෙළිදරව්වක්

(27.11.2023 – 12:48 +0530 – hirunews.lk/sinhala)

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (27) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් තවත් හෙළිදරව්වක් සිදුකළා.

එහිදී අමාත්‍යවරයා රජයෙන් ඉල්ලා සිටියේ තමන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බැවින් ජීවිතාරක්ෂාව ලබාදෙන ලෙසයි.

“කථානායකතුමනි, මේක දේශපාලනයේ නව ඉරාවක් වෙන්න ඕනේ. ඒ තුළ මගේ ජීවිතය නැති වෙන්න පුළුවන්. මාව මහ මඟ මරලා දාන්න පුළුවන්. ඒක හෙටද, අදද, අනිද්දා ද දන්නේ නෑ. ඒකට ජනාධිපතිවරයාත්, සාගල රත්නායකත් වගකියන්න වෙයි. මේවා කපන්න එපා හැන්සාඩ් එකෙන්. හැබැයි මේ 134 ක් ඡන්දය දුන්නේ එතුමා ජනාධිපති වෙලා එතුමා අපෙන් පළිගන්නද කියන ප්‍රශ්නය තියෙනවා.”

එමෙන්ම තමන් සතුව තිබූ නීති විරෝධී මෝටර් රථයක් වලාන දූෂණ මර්ධන ඒකකය විසින් සිදු කළ වැටලිමකදී පොලිස් භාරයට ගත් බවට වන චෝදනා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ එහිදී ප්‍රතික්ෂේප කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (27) පාර්ලිමේන්තුවේදී අදාළ චෝදනාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර සංවාදයක්ද ඇති වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පසුගියදා පත් කළ අන්තර් පාලන මණ්ඩලය පත්කිරීමේදී කැබිනට් අනුමැතිය ලබා ගත යුතු බවට ගෙන ආ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන්ද ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී අදහස් පලකළා.

“මට ඕන මේක ඉවර වෙන්න. විගණන වාර්තාව අනුව ඔප්පු වූ හොරකම් කරපු තක්කඩි දූෂිත රැළ ගෙදර යවන්න. ක්‍රිකට් එක පල්ලෙහාට දාපු දූෂිත රැලට ඒ වගකීම පවරන්න. ඒක දැන් කරන්න බැරිනම් මීළඟ ජනාධිපතිවරණයේදී හරි කරනවා” යනුවෙන්ද අමාත්‍යවරයා එහිදී පැවසුවා.

“සාගල රත්නායක කියන්නේ මොකෙක්ද? මේ විදිහට ගහනවා කැබිනට් නියෝගයක්. මේක දන්නෙ නැහැ කැබිනට් එකේ හිටපු ඇමතිවරු. දූෂණ අක්‍රමිකතා වලක්වන්න ක්‍රීඩා පනතින් ඇමතිට බලතල දීලා තියනවා. බලන්න විගණන වාර්තාව. විගණන වාර්තාවේ දූෂණ බලන්න. අපිට හොරු රකින්න බැහැ. පනතින් දීපු බලය. කැබිනට් එක කියනවා අතුරු කමිටු පත් කරන්න එපා කියල. පත් කරනවා නම් කැබිනට් අනුමැතිය ගන්න ඕන කියනවා.” යනුවෙන් අමාත්‍යවරයා අදහස් දැක්වුවා.

+++++++

++++++++++

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහව සියලු අමාත්‍ය ධුරවලින් ඉවත් කරයි

(27.11.2023 – 15:40 +0530 – hirunews.lk/sinhala)

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යධුරයෙන් සහ වාරිමාර්ග අමාත්‍යධුරයෙන් අමාත්‍ය රොෂාන් රණසිංහව ඉවත් කර තිබෙනවා.

ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා විසින් රොෂාන් රණසිංහ වෙත ලබා දී ඇත්තේ අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (27) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ද සිදුකරමින් තවත් හෙළිදරව් රැසක් හෙළි කළා.

එහිදී අමාත්‍යවරයා රජයෙන් ඉල්ලා සිටියේ තමන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බැවින් ජීවිතාරක්ෂාව ලබාදෙන ලෙසයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ “මා මහමග මරලා දාන්න පුළුවන්. ඒක හෙට ද? අද ද? අනිද්දා ද? කියලා දන්නේ නැහැ ඒකට ජනාධිපති ඉඳලා සාගල රත්නායක දක්වා වගකිය යුතුයි” බවයි ෴

++++++++++

+


ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයට එරෙහි නඩුව යළි හෙටට (28) කල් යයි

(27.11.2023 – 14:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ගොනුකළ පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම අභියාචනාධිකරණය හෙට (28) දින තෙක් කල් දමා තිබෙනවා.

ඒ, සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එය අද (27) යළි කැඳවූ අවස්ථාවේදීයි.

මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලය පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණේ පසුගිය 06 වනදායි.

කෙසේ වෙතත් ඊට පසු දිනම අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා අභියාචනාධිකරණය වෙත රීට් පෙත්සමක් ගොනු කරනු ලැබුවා ෴


රුපියල් එක්කෝටි හැට පන් ලක්ෂයක් ගෙවන්නැයි ‘සක්‍යා’ හිමිකරු බණ්ඩාර දිසානායකට අධිකරණ නියෝගයක්..

(27.11.2023 – 11:20 +0530 – lankacnews.com)

පානදුර Sakkya Academy High Education අධ්‍යපනය ආයතනය පවත්වාගෙන යන ගොඩනැගිලි පරිශ්‍රයේ ‘බදු ගිවිසුම’ උල්ලංඝනය කරමින් මාස හයකට (6) අධික කාලයක් නීති විරෝධීව රැඳී සිටිමෙන් සිදුවූ අගතියට රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක (1,65,00,000) වන්දියක් ගෙවන්නැයි නුගේගොඩ දිසා අධිකරණය සක්‍යා අධ්‍යාපන ආයතනයට නියෝග කළේය.

පානදුර ‘සක්‍යා ඇකඩමි’ ගොඩනැගිල්ලේ හිමිකාරත්වය දරණ ‘දිල් හෝල්ඩිං පුද්ගලික සමාගම’ විසින් කොහුවල Sakkya Academy High Education සමාගමට එරෙහිව පැවරූ ‘බදු දී ඇති දේපල ආපසු ලබා ගැනීමේ නඩුව’ සලකා බැලීමෙන් පසුව නුගේගොඩ දිසා විනිසුරු කල්හාරි කේ. ලියනගේ මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

විත්තිකාර අධ්‍යාපන ආයතනයේ විරෝධතා ප්‍රතික්ෂේප කළ දිසා විනිසුරුවරිය බදු ගිවිසුම් කාලය 2023 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වී ඇති බවත්, එසේ නීතිවිරෝධීව මාස හයකට (6) අධික කාලයක් රැඳී සිටීම වෙනුවෙන් රුපියල් ලක්ෂ අනූ දෙකක (92,00,000) බදු මුදලක් ගෙවන ලෙස සිය නියෝගයේ සඳහන් කර ඇත.

එම බදු මුදලට අමතරව රුපියල් ලක්ෂ 72 ක (72,00,000) ඇප මුදලක් ද අධිකරණයේ තැන්පත් කරන ලෙස දිසා විනිසුරුවරිය විත්තිකාර අධ්‍යාපන ආයතනයට නියෝග කර ඇත.

2023 ජනවාරි මස 17 වැනි දින පාර්ලිමේන්තුව මගින් සම්මත කර ඇති ‘බදු සන්තකය ආපසු ලබා ගැනීමේ පනත’ ප්‍රකාරව නඩු කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවට පෙන්වා දී ඇති දිසා විනිසුරුවරිය මෙම හිඟ බදු මුදල් හා ඇපය දින 14 ක් ඇතුලත ගෙවන ලෙසට විත්තිකාර ආයතනයට වැඩිදුරටත් නියෝග කර ඇත ෴


වායු සමීකරණ යන්ත්‍ර 25 ක එළිමහන් ඒකක සමග තිදෙනෙක් (3) මාට්ටු

(26.11.2023 – lankadeepa.lk)

සොරාගත් ත්‍රිරෝද රථවල යමින් කොළඹ නගරයේ සුපිරි වෙළඳසැල් හා නිවාසවල සවිකර තිබෙන වායු සමීකරණ යන්ත්‍රවල එළිමහන් ඒකක ගලවා සොරා ගෙන යාමට පුරුදුව සිටි තිදෙනෙකු (3) ගෙන් යුත් කල්ලියක් මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්භයක් සමග අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි.

ඒ සමග වායු සමීකරණ යන්ත්‍රවල එළිමහන් ඒකක 15 ක්, ඒවා ගැලවීම සදහා භාවිතා කරන උපකරණ තොගයක්, ත්‍රීරෝද රථයක් සහ හෙරොයින් ග්‍රෑම් 10 පොලිස් භාරයට ගෙන තිබේ.

මාලිගාවත්ත ප්‍රදේශයේ සුපිරි වෙළඳසැල් දෙකක (2) වායු සමීකරන යන්ත්‍රවල එළිමහන් ඒකක සොරා ගැනීමේ සිද්ධීන් දෙකක් (2) සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරමින් සිටියදී මාලිගාවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 සමග අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් ලද තොරතුරකට අනුව වායු සමීකරන යන්ත්‍රවල එළිමහන් ඒකක සොරාගැනීමේ මහා පරිමාණ ජාවාරමක සුලමුල අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *