රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති හෙට (27) උද්ඝෝෂණයක

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති හෙට (27) උද්ඝෝෂණයක


රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති හෙට (27) උද්ඝෝෂණයක

(26.11.2023 – 17:02 +0530 – sinhala.adaderana.lk)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (27) දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

හෙට (27) දහවල් 12 ට එම උද්ඝෝෂණය පැවැත්වෙන බව එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා අද (26) පැවති මාධ්‍ය හමුවක දී පවසා ඇත.

රුපියල් 20,000 ක වැටුප් වැඩි කිරීම, වැඩිකරන දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාදීම, 2016 සිට අහිමි කර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාගැනීම යනාදී ඉල්ලීම් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බව සඳහන් වෙයි.

සිය ඉල්ලීම් සඳහා රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බව චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

+


මව විදෙස්ගත වූ පසු තවත් දියණියක් මුහුණදුන් ඛේදවාචකයක්

(26.11.2023 – 20:29 +0530 – sinhala.adaderana.lk)

සිය දියණිය දූෂණය කළ බවට චෝදනා එල්ලවූ පියෙකු වෙඩිතබාගෙන සියදිවි හානිකරගත් පුවතක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

මෙම පුවත වාර්තාවන්නේ අම්පාර පන්නල්ගම ප්‍රදේශයෙනි.

මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ මීට මාස 6 කට පෙර විදෙස්ගතව තිබේ.

එම කාලසීමාවේදී පියා තමන්ව දූෂණය කළ බව එම දැරිය විසින් විදෙස්ගතව සිටින මවට දැනුම්දී තිබේ.

ඒ අනුව අදාළ කාන්තාව මේ පිළිබඳව සිය සැමියාගෙන් විමසීමත් සමග එම සිදුවීම පිළිබඳව පොලීසියට දැනුම්දුනහොත් දරුවන් ඝාතනය කර තමන් ද සියදිවි හානිකරගන්නා බවට ඔහු තර්ජනය කළ බව ඇය පොලීසියට පවසා තිබේ.

එම තර්ජනයත් සමග ඇය මෙම සිදුවීම සමබන්ධයෙන් දුරකථන මාර්ගයෙන් දමන පොලිස් ස්ථානය වෙත දැනුම්දීමට පියවර ගෙන තිබුණි.

එම තොරතුර ලද වහාම ක්‍රියාත්මක වූ දමන පොලීසියේ නිලධාරීන් කණ්ඩායම අදාළ නිවස වෙත ගොස් ඇත.

එහිදී එක්වරම පොලීසිය දුටු මියගොස් ඇති පුද්ගලයා නිවස තුළට දිවගොස් එහි තිබූ කොටන තුවක්කුවකින් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දමන පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත ෴


මන්ත්‍රීවරුන්ගේ නිල නිවාසවල රුපියල් මිලියන 16 ක හිඟ විදුලි බිල්

(26.11.2023 – 13:47 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාසවල විදුලි සැපයීම වෙනුවෙන් පසුගිය වසර අවසන් වන විට අය වීමට නියමිත ව තිබූ රුපියල් මිලියන 16 ක මුදලක ගෙවීම් පැහැර හැර ඇති බව අනාවරණය වී තිබේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව 2022 වර්ෂයට අදාළ ව නිකුත් කළ වාර්තාවට අනුව විදුලි සම්බන්ධතා 74 ක් සඳහා වන ගෙවීම් මෙලෙස පැහැර හැර ඇති බව වාර්තා වේ.

එම සම්බන්ධතාවලින් 29 කට අදාළ රුපියල් මිලියන 05 ක මුදලක් වසර 06 ක කාලයක් පුරා අය කර ගෙන නොමැති අතර, තවත් සම්බන්ධතා 30 කට අදාළ රුපියල් මිලියන 03 ක් වසරකට වැඩි කාලයක් අයකරගෙන නොමැති බව අනාවරණය වී තිබේ.

මේ අතර, 2022 වර්ෂය සඳහා නිසි අනුමැතියකින් තොර ව විදුලි බල මණ්ඩල සේවකයන් සඳහා ඉංජිනේරු දීමනා, දිරි දීමනා හා තාවකාලික දීමනා වෙනුවෙන් රුපියල් මිලියන 418 ක් වැය කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ වාර්තාවට අනුව ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සිදු කර තිබූ හෙජින් ගනුදෙනුව හේතුවෙන් පසුගිය දෙසැම්බර් 31 වැනි දින වන විට රුපියල් මිලියන 14,028 ක පාඩුවක් සිදු ව ඇති බව ද සඳහන්ය.

ඊට අදාළ ව සංස්ථාවට එරෙහි ව පෞද්ගලික බැංකුවක් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 8.6 ක අයිතියක් ඉල්ලා ගොනු කළ නඩුවක් ද තවදුරටත් විභාග වෙමින් පවතින බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර, මෙරට ලියාපදිංචි නොවූ ආයුර්වේද වෛද්‍යවරුන් 18,516 දෙනෙකු සිටින බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

ආයුර්වේද වෛද්‍යවරුන් වසර 05 කට වරක් සිය ලියාපදිංචිය යාවත්කාලීන කිරීම සිදු කළ යුතු වුව ද අදාළ වෛද්‍යවරුන් පිරිස සිය ලියාපදිංචිය අලුත් කිරීමක් සිදුකර නොමැති බව වාර්තා වේ.

මීට අමතර ව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දින වන විට ලියාපදිංචි පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් 26,650 දෙනෙකු අතරින් 3,827 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වී තිබුණ ද ඒ පිළිබඳ නිවැරදි තොරතුරු යාවත්කාලීන කිරීමක් සිදු ව නොමැති බව ද සඳහන්ය.

මේ හේතුවෙන් මියගිය වෛද්‍යවරුන්ගේ ලියාපදිංචි සහතික අවභාවිත කිරීමේ ඉඩකඩක් පවතින බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

මේ අතර, මෙරට පවතින ලංකා සතොස අලෙවිසැල් 452 අතරින් අලෙවිසල් 193 ක් අලාභ ලබන බව අනාවරණය වී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය වසර තුළ ලංකා සතොස ලබා ඇති අලාභය රුපියල් මිලියන 288 ක් බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

කෙසේ වෙතත් මේ වසරේ ගත වූ මාස 10 තුළ ලංකා සතොස ලාභ ලබන තත්ත්වයට පත් ව ඇති බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

+


තත්ත්වයෙන් අසමත් මිලියන 349 ක ඖෂධ භාවිතයෙන් ඉවතට

(26.11.2023 – 08:32 +0530 – sinhala.adaderana.lk)

රජයේ රෝහල් සඳහා නිකුත් කළ වෛද්‍ය සැපයීම් අතරින් රුපියල් මිලියන 349 ක් වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය 2022 වර්ෂයේ දී භාවිතයෙන් ඉවත් කර ඇති බව අනාවරණය වී තිබේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාවට අනුව සඳහන් වන්නේ අදාළ ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත් වීම මත භාවිතයෙන් ඉවත් කර ඇති බවයි.

ඊට අමතර ව රුපියල් මිලියන 32 ක් වටිනා ඖෂධ තත්ත්වයෙන් අසමත් වීම මත පසුගිය වසර තුළ තාවකාලික ව භාවිතය අත්හිටුවා ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

වෛද්‍ය සැපයීම් අංශය විසින් රෝහල් වෙත ඖෂධ නිකුත් කිරීමට පෙර ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීමේ හැකියාවක් නොමැති බැවින් ඖෂධ තත්ත්වයෙන් අසමත් බවට වාර්තා වන අවස්ථාව වන විටත් එම ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් රෝගීන් විසින් භාවිත කර අවසන් කර තිබූ බව ද විගණනය මඟින් අනාවරණය වී තිබේ.

මේ අතර, 2022 වර්ෂය අවසන් වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය පවත්වාගෙන යාමේ දී අත්‍යවශ්‍ය තනතුරු අතරින් වෛද්‍ය නිලධාරීන් 1,331 ක පුරප්පාඩු පැවතුණ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අමතර ව දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 77 ක්, හෙද නිලධාරීන් 1,759 ක්, හෙද සොයුරු සොයුරියන් 275 ක්, වෛද්‍ය රසායනාගාර කාර්මික විශේෂඥවරුන් 136 ක්, වෘත්තීය චිකිත්සකවරු 68 ක් ඖෂධවේදීන් 126 ක් සහ විගණන ශිල්පීන් 270 ක් ද පුරප්පාඩු වී තිබූ බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර, 2022 වර්ෂයේ දී පැමිණීම සහ පිටවීම සනාථ කිරීම සම්බන්ධයෙන් වාර්තා තබා ගැනීමට පියවර ගත යුතු ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිත නොකර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැටුප් සදහා රුපියල් මිලියන 43,356 ක් ගෙවා ඇති බව අනාවරණය වී තිබේ.

එම වර්ෂය තුළ දී අතිකාල හා නිවාඩු දින වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 36,192 ක් ද වැය කර ඇති අතර, එම මුදල වැටුප් පිරිවැයෙන් සියයට 72 ක් පමණ වන බව ද විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්ෂික වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි ෴


අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයින් රවටා මුදල් ගැරූ තවත් ජාවාරමක් හසුවෙයි

(25.11.2023 – 20:36 +0530 – sinhala.adaderana.lk)

සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ බව හෙළිකරගෙන ඇත්තේ විශාල මුදල් ගනුදෙනු සිදුවූ ගිණුමක් පිළිබඳ ඇතිවූ සැකයක් මත පදනම්ව දියත් කළ විමර්ශනයක් අනුවය.

එක්තරා පෞද්ගලික බැංකුවක ගිණුමකින් සැක කටයුතු ලෙස මුදල් හුවමාරුවන බවට මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය වෙත දැනුම්දී ඇත.

අදාළ ගිණුම මගින් කෙටි කලක් තුළ රුපියල් මිලියන ගණනක මුදලක් හුවමාරු වී ඇති බව එම නිලධාරීන් අනාවරණ කරගෙන තිබේ.

ඒ අනුව විමර්ශන සිදුකළ අදාළ ඒකකය හඳුනාගෙන තිබුණේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට එම ගිණුම අයත් බවය.

අනතුරුව අදාළ ගිණුමට මුදල් බැර කළ පුද්ගලයෙකුගෙන් විමර්ශන නිලධාරින් ප්‍රකාශ සටහන්කරගෙන ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ, TAGGED නැමැති අන්තර්ජාල ගිණුම හරහා තමන් කාන්තාවක් සමග සමීප සබඳතාවක් ගොඩනගා ගත් අතර අනතුරුව ඇයගේ ඉල්ලීම පරිදි අවස්ථා කිහිපයකදී බැංකු ගිණුමකට මුදල් බැරකළ බවය.

කෙසේවෙතත් ඇය කිසිඳු අවස්ථාවක හමුනොවීම නිසා එම සම්බන්ධය නැවැත් වූ බවත් ඔහු සඳහන් කර තිබේ.

එම ප්‍රකාශයට අනුව අදාළ බැංකු ගිණුම භාවිත කළ පුද්ගලයාව වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී විමර්ශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ, TAGGED නැමැති යෙදුම හරහා තමන් කාන්තාවක් බව අඟවමින් පිරිමි පුද්ගලයින්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගත් බවය.

එමෙන්ම අදාළ යෙදුම හරහා තමන් පිරිමි පුද්ගලයෙකු ලෙස ද පෙනී සිටිමින් කාන්තාවන් රැසකගෙන් ද මුදල් ලබාගත් බව සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ පාපොච්ඡාරණය කර තිබේ ෴


මියුරු සංගීතයෙන් දස්කම් පාන – සවියක් අවැසි සංගීත දක්ෂයෝ (26.11.2023)

+


ජනතා ආධාරයෙන් ප්‍රතිසංස්කරණය වන දීඝවාපිය.. පැරණි තාක්ෂණයෙන් ඉදිවෙන රිටිගල සෑය (26.11.2023)

+


සදහිරු සෑයට දුන් රත්තරන් කිලෝ 8 කොහෙන්ද?? රාජපක්ෂලාගේ රත්තරන් ජාවාරමක් ගැන නාගා හෙළි කරයි (26.11.2023)

+


රු. 700 ක් වෙන පෙත්ත ගෙන්නලා තියෙන්නේ රු. 7000 ට – මාර ගැහිලි මේවා – විගණකාධිපතිගේ තවත් වාර්තාවක් එළියට (26.11.2023)

+


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *