ක්‍රිකට් නඩුව යලි හෙටට (24) කල් යයි

ක්‍රිකට් නඩුව යලි හෙටට (24) කල් යයි


ක්‍රිකට් නඩුව යලි හෙටට (24) කල් යයි

(23.11.2023 – 12:50 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම හෙට (24) දිනය දක්වා කල් තබා තිබෙනවා.

ඒ සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන විනිසුරු මඩුල්ල හමුවේ අද (23) එම පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.

ඊයේ (22) මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී එය සළකා බැලීම අද (23) දක්වා කල් තැබුණා ෴


සිසුන්ට පොලිතින් සහ පත්තර පිටු කවපු විදුහල්පති උම්මත්තකයාට ස්ථාන මාරුවක්

(23.11.2023 – 13:40 +0530 – hirunews.lk/sinhala)

= සිසුන්ට පොලිතින් සහ පත්තර පිටු කවපු විදුහල්පතිට ස්ථාන මාරුවක් =

පාසල් සිසුන් පිරිසකට පොලිතින් සහ පත්තර පිටු කැවීමට පියවර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය, රඹුක්පිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ කටයුතු සඳහා එම පියවර ගත් බවයි.

නාවලපිටිය, රඹුක්පිටිය මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 07 දෙනෙක් පාසල තුළ දී දිවා ආහාර ලබා ගැනිමෙන් අනතුරුව ඔවුන් ආහාර රැගෙන ආ පොලිතින් සහ පත්තර පිටු ඔවුන්ටම කැවීමට එම විදුහල්පතිවරයා ක්‍රියා කළ බවයි සඳහන් වන්නේ.

පොලිතින් සහ පත්තර ආහාරයට ගත් සිසුන් අතරින් දෙදෙනෙකු (2) උදරාබාධ, වමනය සහ උගුරේ අපහසුතා හේතුවෙන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් අද (23) දිනයේදි පාර්ලිමේන්තුවේදිද අවධානය යොමු වු අතර, එහිදි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ එම විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බවයි ෴


සමනළ වැව වසර 10 කට පසු වාන් දමයි

(23.11.2023 – 13:38 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට බලපා ඇති අධික වර්ෂාවත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ මහවැලි අධිකාරියට අයත් ජලාශවල ජල මට්ටම් මේ වනවිට සියයට 90 ඉක්මවා තිබෙනවා.

සමනලවැව ජලාශය වසර 10 කට පසු වාන් දමමින් පවතිනවා.

ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි සහ විමලසුරේන්ද්‍ර ජලාශ මේ වන විට වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.

ඊයේ (22) රාත්‍රියේ සිට කාසල්රි ජලාශයේ වාන් දොරටු 13 ක් අඟල් දෙකහමාර (2½) බැගින් විවෘත කර ඇති අතර ඒ සමගම ඊට පහළින් පිහිටි විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීම ආරම්භ කෙරුණා.

කාසල්රි ජලාශය මෙලෙස වාන් දමන්නේ, වසර 3 කට පමණ පසුවයි. මෙම ජලාශ වාන් දැමීමත් සමග කැළණි ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා.

එසේම මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ද පිටාර මට්ටමට අඩි 3 ක් දක්වා ආසන්න වී තිබෙනවා. එසේම කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනයද මේ වන විට උපරිම මට්ටමෙන් සිදු කෙරෙන බවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ.

මේ අතර, වලවේ ගග පිටාර ගැලීමෙන් බෝලාන දකුණ, මැලේකොළණිය, වැටිය, පල්ලේරොට, මාමඩල, ජංසගම, වාඳුරුප්ප, ලියන්ගස්තොට ජලයෙන් යටවී තිබෙන අතර පවතින ගංවතුර හේතුවෙන් එම ප්‍රදේශයේ පාසල් කිහිපයකට ද නිවාඩු ලබාදී තිබෙනවා.

එසේම වලවේ ගඟ රක්ෂිත ප්‍රදේශයේ නිවාස බොහෝමයක් ජලයෙන් යටවුණා. අම්බලන්තොට රජයේ රෝහලටද ගංවතුර පැමිණීමේ අවදානමක් පවතින හෙයින් නේවාසික රෝගීන් හම්බන්තොට මහ රෝහලට මාරුකර යැවීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර වැල්ලවාය – අලිකොටයාර ජලාශයේ එක් (1) වාන්දොරටුවක් විවෘත කර ඇති අතර මේ හේතුවෙන් කිරිඳි ඔය දෙපස ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළා.

මේ අතර, අත්තනගලු‍ ඔයේ විශාල ගංවතුර අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කැළණි, කළු, නිල්වලා යන ගංගා වල සහ මහඔයේ ජල මට්ටම් ඉහළ යමින් පවතින බවයි.

එසේම, අත්නගලු‍ඔයේ අතු ගංගාවක් වන වේයන්ගොඩ දී ඇල්ල ඔය පිටාර ගැලීමෙන් වේයන්ගොඩ, ගොඩවෙල ඇතුළු ගම්මාන ජලයෙන් යටවී තිබෙනවා.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය බදුල්ල, ගම්පහ, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා නිකුත් කළ නායයාමේ අනතරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි ෴

+++++++

+


පොලිස් කොස්තාපලයෙක් අතුරුදන්

(23.11.2023 – 12:02 +0530 – hirunews.lk/sinhala)

ජා-ඇල නගරය අසලින් ගලා බසින ඇලට පැන පලායෑමට තැත්කල සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සදහා ගිය පොලිස් කොස්තාපලයෙකු දියේ ගිලීමෙන් අතුරුදන් වී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා රැගෙන ගිය සැකරුවෙකු අද (23) උදෑසන මෙලෙස ඇලට පැන ඇති බවයි.

පසුව ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා ජා-ඇල පොලිසියට අනියුක්තව සේවය කරන නිළධාරීන් 4 දෙනෙකු ඇලට පැන තිබෙනවා.

එම අවස්ථාවේදීයි ඉන් එක් (1) පොලිස් කොස්තාපලයෙකු මෙලෙස අතුරුදන්ව ඇත්තේ.

+


නෑනාට අතවර කළ මස්සිනාට වසර 10 ක සිර දඬුවමක්

(23.11.2023 – 10:39 +0530 – hirunews.lk/sinhala)

සිය බිරිඳගේ බාල සහෝදරියට කාලයක් තිස්සේ බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීමේ චෝදනාවට වැරදිකරුවෙකු වූ මුලතිව්, පුදුකුඩීඉරිප්පු ගම්මානයේ පුද්ගලයෙකුට වව්නියාව මහාධිකරණ විනිසුරු එම්. ඉලංචෙලියන් විසින් වසර 10 ක බරපතල වැඩ සහිතව සිර දඬුවමක් ඊයේ (22) නියම කර තිබෙනවා.

වින්දිත දැරියට රුපියල් ලක්ෂ දෙකක (2) වන්දි මුදලක් ගෙවන ලෙසද නියම කළ විනිසුරුවරයා එම වන්දි මුදල නොගෙවන්නේ නම් සිර දඩුවම තවත් වසර තුනකින් (3) දීර්ඝ වන බවද සදහන් කළ බවයි අප වාර්තාකරු පවසන්නේ.

2012 මාර්තු මස 05 වෙනිදා මෙම දැරියව නගරයට කැටුව යමින් සිටියදී විත්තිකරු විසින් ඇයව අසල කැලයකට රැගෙන ගොස් මුල්වරට ලිංගික අතවර සිදුකොට ඇති අතර, දැරියව බිය ගන්වා පසුව ඔහු ඉතා දීර්ඝ කාලයක් ඇයට ලිංගික අතවර සිදුකල බවට චෝදනා ගොනු වී තිබෙනවා ෴


රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත කණගාටුව පළ කරයි (23.11.2023)

+


බදුල්ලට දුම්රිය ගමන් නවතී

(23.11.2023 – 08:44 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය සියල්ල නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් ක‍රමින් පවසනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය අද (23) සිට නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක බවයි එම නිවේදනයේ සඳහන්.

ඒ අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන රැසක පවතින නායයෑම් සහ ගල් පෙරලීම් වැනි හේතු නිසාවෙන් ෴


සීනි මිල තවත් ඉහළට

(23.11.2023 – 07:40 +0530 – hirunews.lk/sinhala)

සීනිවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමෙන් පසු වෙළඳපොළේ තවදුරටත් සීනි මිල ඉහළගොස් තිබෙනවා.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවල වෙළඳසැල් හිමියන් සීනි තොග සගවා වැඩි මිලට අලෙවි කරන බවටද තොරතුරු වාර්තා වනවා.

මේ වන විට වෙළඳපොළේ සුදු සීනි කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිලකට අලෙවි වන බවටයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

මීට පෙර පැකට් නොකළ සුදු සීනි කිලෝවක් රුපියල් 275 කටත් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 330 කටත් උපරිම සිල්ලර මිලක් යටතේ අලෙවි කළ යුතු බවට ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී තිබුණේ ආනයනික සීනි සඳහා පැවති ශත 25 ක බද්ද රුපියල් 50 දක්වා ඉහළ දැමීමත් සමගයි.

කෙසේ වෙතත් රජය විසින් සීනි සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල පෙරේදා (21) සිට ඉවත් කෙරුණා.

එවන් පසුබිමක වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ශත 25 බද්දට ගෙන ආ සීනි තොග රජයට පවරාගෙන සතොස සහ සමූපකාර හරහා ජනතාවට අලෙවි කරන බවයි.

කෙසේ වෙතත් උපරිම සිල්ලර මිල ඉවත් කිරීමත් සමග සීනි මිල තවදුරටත් වෙළඳපොළේ ඉහල ගොස් ඇති අතර සීනි හිඟයක් ද පවතින බව පාරිභෝගිකයින් ප්‍රකාශ කළා ෴


ළමුන් අතර රෝග කිහිපයක ව්‍යාප්තියක්

(23.11.2023 – 08:48 +0530 – sinhala.adaderana.lk)

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

අත්පා මුඛ රෝගය, ඩෙංගු උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග කිහිපයක් මේ දිනවල ළමුන් අතර දක්නට ලැබෙන බව ඔහු පෙන්වා දෙයි.

දෙමව්පියන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුකළ යුතු බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

“මේ දවස්වල ළමුන් අතර ඉහළ ස්වසන මාර්ගයේ රෝග ඒ කියන්නේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, වෛරස් උණ හා ඊට අමතරව ළමා හතිය, පාචනය සහ ඩෙංගු උණ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊට අමතරව ‘අත්පා මුඛ රෝගය’ (Hand Foot Mouth Disease) කියන රෝගය යනවා. ඒ නිසා කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ තියන දරුවෝ පාසලට යවන්න එපා. කට වටේ රතු ලප, අතේ රතු ලප තිබුණොත් ඒ දරුවන්ට ‘අත්පා මුඛ රෝගය’ වෙන්න පුළුවන්. ඒ දරුවන්වත් ගෙදර තියා ගන්න. දවස් කිහිපයකින් හොඳවෙයි. ඩෙංගු ගැනත් කල්පනාකාරී වන්න. ඩෙංගු වර්ධනය වෙලා තියෙනවා. වැස්ස නිසා පාචනය තත්ත්වයනුත් ඇතිවෙලා තියෙනවා. මේ තත්ත්වය අවම කරන්න මම හිතනවා පිරිසිදු ජලය, පිරිසිදු ආහාර දරුවන්ට ලබාදෙන්න. අත්දෙක හොඳට සබන් දාලා හෝදන්න. රෝග කිහිපයක ව්‍යාප්තියක් අපි දකිනවා. ඒවා අවම කරගන්න අපි කටයුතු කරමු.”


මේ වසරේ (2023) ගතවූ මාස කිහිපයට දුම්රිය පීලිපැනීම් 109 ක්

(23.11.2023 – 08:24 +0530 – sinhala.adaderana.lk)

මේ වසරේ (2023) ගත වූ මාස කිහිපය තුළ දුම්රිය පිලිපැනීම් 100 කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ දුම්රිය පීලිපැනීම් 109 ක් සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඒ අනුව සාමාන්‍ය දුම්රිය ධාවන පථවලදී පීලිපැනීම් 50 ක් ද ධාවනාගාර තුළ දී පීලිපැනීම් 59 ක් ද වශයෙන් පීලිපැනීම් සිදුව තිබේ.

දුම්රිය පීලිපැනීම් සම්බන්ධයෙන් ‘අද දෙරණ’ නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොලගේ මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, දුම්රිය මාර්ගයේ නඩුත්තු කටයුතුවල පවතින අඩුපාඩු සහ දුම්රිය මැදිරිවල පවතින දෝෂ පීලිපැනීම්වලට ප්‍රධාන හේතුව වී ඇති බවය.

මේ අතර මේ වසරේ (2023) ගත වූ කාලය තුළ දුම්රිය හරස් මාර්ගවල දී වාහන දුම්රියේ ගැටීමේ සිද්ධීන් 61 ක් වාර්තා වී තිබේ.

එම අනතුරුවලින් පුද්ගල මරණ 12 ක් සිදුව ඇති අතර පුද්ගලයින් 62 දෙනෙකු තුවාල ලබා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර දුම්රිය මාර්ගයේ දී පුද්ගලයින් දුම්රියේ ගැටීමේ සිද්ධීන් 353 ක් මේ වසරේ (2023) ගත වූ මාස කිහිපය තුළ වාර්තා වී තිබේ.

එම අනතුරු අතර සියදිවි හානි කරගැනීමට උත්සාහ කරගැනීම්, අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගයේ ගමන් කිරීම්, ජංගම දුරකථන භාවිත කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කිරීම් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව සඳහන්ය.

දුම්රිය මාර්ගයේ සිදුවූ අනතුරුවලින් මරණ 154 ක් සිදුව ඇති අතර තුවාල ලැබු සංඛ්‍යාව 203 ක් පමණ වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය ෴


විදෙස් චිත්‍රපට මෙරට ප්‍රදර්ශනය කිරීම ගැන තීරණයක්

(23.11.2023 – 07:28 +0530 – sinhala.adaderana.lk)

විදේශීය චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාගැනීමේ අයදුම් කිරීමේ ගාස්තුව අඩුකිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ලබන මස පළමු වැනි දින (01.12.2023) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකර ඇති බව වාර්තා වේ.

මෙරට තුළ විදේශීය චිත්‍රපටියක් ප්‍රදර්ශනය කිරීම සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම්පත්‍රයක් භාරදීමේ දී මීට පෙර රුපියල් 40,000 ක මුදලක් ගාස්තු වශයෙන් අයකරනු ලැබීය.

නව සංශෝධනයට අනුව එම මුදල රුපියල් 30,000 දක්වා අඩු කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර ‘ප්‍රසිද්ධ රැඟුම් පාලක පනත’, ‘ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත’ ලෙස සංශෝධනය කිරීමට ද ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *