බදුල්ල – කොළඹ මාර්ගය අවහිර වෙයි

බදුල්ල – කොළඹ මාර්ගය අවහිර වෙයි


බදුල්ල – කොළඹ මාර්ගය අවහිර වෙයි

(21.11.2023 – 22:40 +0530 – sinhala.adaderana.lk)

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට බලංගොඩ බෙලිහුල්ඔය සීලගම ප්‍රදේශයේදී පස් කන්දක් කඩාවැටී තිබේ.

ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන් බාධා එල්ලවී ඇති බව වාර්තා වෙයි ෴


අධිවේගයේ රාජකාරිවලින් 11,000ක් ඉවත් වෙති

(22.11.2023 – 07:42 +0530 – sinhala.adaderana.lk)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අධිවේගී මාර්ගවල සේවකයින් අද (22) දිනයේ සිය රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන 11,000 ක පමණ සේවකයින් පිරිසක් මෙම වර්ජනය සඳහා එක් වන බව අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් හසිත මුණසිංහ මහතා සඳහන් කළේය.

“අපි අද (22) උදේ 7 සිට රාත්‍රී 7 දක්වා අසනීප නිවාඩු ලබාගෙන සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙනවා. ඒ අවතීර්ණ වෙන්නේ අපේ ප්‍රධාන ඉල්ලීම් තුනක් (3) මුල්කරගෙන. අපේ අධිවේගී මාර්ග ජාලය දැනට මාර්ග සංවර්ධන අධිකාරිය භාරයේ පවතින්නේ. 2023.06.23 වන දින කැබිනට් පත්‍රිකාවක් මගින් සමාගමක් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවලා මේ අධිවේගී මාර්ග ජාලය ඒ සමාගම යටතට පවරා ගන්න යෝජනාවක් කරලා තිබුණා. ඒ වගේම ඒ යෝජනාවේ සඳහන් වෙනවා අධිවේගී මාර්ග රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න අවස්ථාව පිළිබඳ. ඒ සඳහා ආයෝජකයින් සඳහා සොයාබැලීමට අවසර දෙනවා කියලා. මේකත් එක්ක අපිට බියක් තියෙනවා අපේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව.”

මෙම වර්ජනයට පිළියම් ලෙස අධිවේගී මාර්ග රාජකාරී සඳහා ආරක්ෂක අංශ යෙදවීමට අපේක්ෂා කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේය ෴


පේරාදෙණිය හන්දියේ පස්කන්ද නායයයි – පුද්ගලයෙක් මරුට

(22.11.2023 – 06:58 +0530 – sinhala.adaderana.lk)

නුවර – කොළඹ මාර්ගයේ පේරාදෙණිය නගරයේ වෙළෙඳසැල් 04 ක් මතට පස් කන්දක් කඩා වැටී සිදුවූ නායෑමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම වෙළෙඳසැලේ සිටි පුද්ගලයෙකු ඊයේ (21) රාත්‍රී සිදුවූ නායෑමෙන් මෙම අනතුරට ලක්ව ඇති බවය.

පොලීසිය සහ අපදා කළමණාකරණ අංශ එක්ව ඔහුගේ සිරුර සෙවීමේ කටයුතු ඊයේ (21) රාත්‍රියේම ආරම්භ කර තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකි.

අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, මෙම ස්ථානය මීට පෙරද නායයෑමක් සිදුවූ ස්ථානයක් බැවින් වෙළෙඳසැල් හිමියන්ට ඉවත්වන ලෙස දැන්වූ බවය.

කෙසේ වෙතත් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් නොවීම හේතුමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අවදානමට ලක්වූ තවත් වෙළෙඳසැල් එහි පවතින අතර ඉන් වහාම ඉවත් වන ලෙස දන්වා ඇති බව අපදා කලමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

+


පාකිස්ථානයේ සිට මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් කොටුවෙයි

(22.11.2023 – 06:33 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය හා කටුනායක ගුවන් බඩු පර්යන්ත රේගු කාර්‍යාලයේ නිලධාරීන් එක්ව කල මෙහෙයුමකින් හෙරොයින් මත්ද්‍රව්‍ය 10.5 Kg ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (21) සවස සිදුකළ මෙහෙයුමකින් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

පකිස්ථානයේ ලාහෝර් සිට ශ්‍රී ලංකාවට ගුවන් මගින් ආනයනය කරන ලද තුවා තොගයක් මැද සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් බඩු පර්යන්තයේදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

තිහාරිය ප්‍රදේශයේ ලිපිනයක ලියාපදිංචි කර ඇති ව්‍යාපාරයක් නමින් මෙම ආනයනය සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 270 ක්.

භාණ්ඩ තොගය රේගුවෙන් නිදහස් කරගැනීමට පැමිණි ආනයනකරු හා නිශ්කාෂන නියෝජිතයින් දෙදෙනෙකු (2) රේගුව මගින් අත්අඩංගුවට ගත් අතර මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් තිදෙනා (3) වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාර දුන් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

+++++++

+


සංගීත සංදර්ශනයකින් ඇරඹුණු හිතවත්කම කෙලවර වෙච්ච හැටි

(21.11.2023 – 23:36 +0530 – hirunews.lk/sinhala)

සංගීත සංදර්ශනයකදී තරුණයෙකු සමඟ හිතවත් වී පසුව එම තරුණයා පැහැරගෙන ගොස් පහරදී මුදල් සහ දේපළ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියන් දෙදෙනෙකු (2) ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරකෑමට ලක් වූ තරුණයා හොරණ නගර සභා ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක වෙළෙඳ කුටියක් පවත්වාගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී අසල වෙළෙඳ කුටියක සිටි 17 හැවිරිදි තරුණියක් සමඟ ඔහු හිතවත් වී තිබෙන අතර එම හිතවත්කම මත ඔහු එම ස්ථානයේ සිටි තවත් තරුණයෙකු සමඟද හිතවත් වී තිබෙනවා.

සංගීත ප්‍රසංගයට පසු දින එම තරුණයා පහරකෑමට ලක් වූ තරුණයාට දුරකතන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ අදාළ තරුණිය හමු වීමට අවශ්‍යනම් ඔහු සමඟ පැමිණෙන ලෙසයි.

එහිදී අදාළ තරුණයාව පාළු නිවසකට රැගෙන ගොස් තියුණු ආයුධයකින් සහ යකඩ පොල්ලකින් පහර දී ඔහු පැළඳ සිටි රන් මාලය සහ ජංගම දුරකතනය, මුදල් පසුම්බිය සහ යතුරුපැදියද කොල්ලකා ඇති බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු ඊයේ (20) මිල්ලනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර තරුණියන් දෙදෙනෙකු (2) සහ කොල්ල කෑ ආභරණ සහ භාණ්ඩ ළඟ තබාගෙන සිටි අයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රධාන සැකකරු ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර සෙසු සැකකරුවන් තිදෙනා (3) රුපියල් ලක්ෂ පහ (5) බැඟින් වූ ශරීර ඇප මත මුදාහැරීමටයි නියෝග කර ඇත්තේ.

++++++++

+


රහස් පොලිසිය වෛද්‍ය සැපයුම් අංශයට

(21.11.2023 – 19:41 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (21) පෙරවරුවේ වෛද්‍ය සැපයුම් අංශය වෙත පැමිණියා.

එහිදී ඔවුන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෛද්‍ය කපිල වික්‍රමනායකගේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කාර්යාලය වෙත ගොස් ලිපිගොනු පරීක්ෂා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම සිද්ධියට අදාළව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු 04 දෙනෙකු මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම ඊයේ (20) නියෝග කළේ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට අත්අඩංගුවට ගෙන සිටින්නේ මෙම ඖෂධ ජාවාරමේ මහමොළකරුවන් නොවන බවයි.

+


ත්‍රිපෝෂවල ඇෆ්ලාටෝක්සින් මට්ටම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

(21.11.2023 – 17:15 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිපෝෂ ඇතුළු අතිරේක ආහාර වැඩසටහන් සඳහා ඇති ඇෆ්ලාටෝක්සින් මට්ටම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

1980 අංක 26 දරන ආහාර පනත යටතේ පවතින රෙගුලාසිවල නියම කර ඇති සම්පුර්ණ ඇෆ්ලාටෝක්සින් සඳහා වන දැඩි කඩයිම් මට්ටම හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු ලබා ගැනීම දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මාස හයේ සිට අවුරුදු 3 දක්වා ළමුන් සඳහා ලබා දෙන අතිරේක ආහාරවල‍ට අදාළ සංශෝධනයන් සිදු කරන බවට සඳහන් ෴


පස් කන්දක් කඩා වැටී දුම්රිය ධාවනයට බාධා

(22.11.2023 – 08:12 +0530 – hirunews.lk/sinhala)

උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

ඔහිය සහ ඉදල්ගස්හින්න අතරදී මෙම පස් කන්ද කඩා වැටී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා සිදුව තිබෙනවා.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේ නැවැත්වීමට පියවර ගෙන ඇති අතර බදුල්ලේ සිට කොළඹ බලා ධාවන වූ උඩරට මැණකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

දුම්රිය මාර්ගය යථාතත්වයට පත්කිරීම සඳහා පැය 03 ක පමණ කාලයක් ගතවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කොට සිටියේ ෴


අධිවේගී මාර්ගයේ මුදල් අය කළ ද ටිකට් පත් නිකුත් නොකරයි

(22.11.2023 – 09:48 +0530 – hirunews.lk/sinhala)

සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මුදල් අය කළ ද ටිකට් පත් නිකුත් නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ශාරද වීරකෝන් පවසනවා.

ඔහු කියා සිටියේ අධිවේගී මාර්ග සේවකයින් ප්‍රවේශපත් නිකුත් කිරීමේ සහ මුදල් අය කිරීමේ කාර්යෙන් ඉවත් වුව ද මුදල් අය කිරිමේ කුටි සඳහා යුද හමුදාව, නාවික හමුදාව සහ පොලිසිය යොදා ඇති බවයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අධිවේගී මාර්ග සේවකයින් ලෙඩ නිවාඩු දමා අද (22) ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සහ මුදල් අයකර ගැනීමේ රාජකාරිවලින් ඉවත්ව තිබෙනවා.

+


රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට පාර්ලිමේන්තුව සති දෙකකට (2) තහනම්

(22.11.2023 – 09:43 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට පාර්ලිමේන්තුව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව අද (22) සිට සති 2 ක කාලයක් සඳහා මෙම තහනම පැනවෙනු ඇති.

ඊයේ (21) පාර්ලිමේන්තුවේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය වන ඊයේ (21) රැස්වූ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග යටතේ ප්‍රකාශයක් කරමින් සිටින අවස්ථාවේ එම ස්ථානයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කඩාවැදීමත් සමග මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන තිබුණා.

එහිදී වේත්‍රධාරිවරයා සහ නියෝජ්‍ය වේත්‍රධාරියා විපක්ෂනායකවරයා ඉදිරිපිට රැදී සිටිමින් ඔහුට ආරක්ෂාව සැළසූ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විපක්ෂනායකවරයාගේ මයික්‍රෆෝනයෙන් අදහස් දක්වන අයුරුද දක්නට ලැබුණා.

+

+


ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (22.11.2023)

+

රනිල් කොහෙද යන්නේ.. වාඩි වෙලා අහගන්න.. (22.11.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *