අද (21) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

අද (21) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්


අද (21) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

(21.11.2023 – 10:45 +0530 – hirunews.lk/sinhala)

අයවැය දෙවන (2) වර කියවීමේ විවාදයේ අවසන් දිනය වන අද (21) රැස්වූ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග යටතේ ප්‍රකාශයක් කරමින් සිටින අවස්ථාවේ එම ස්ථානයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කඩාවැදීමත් සමග පාර්ලිමේන්තුව මිනිත්තු 05 කට කල්තැබීමට කථානායකවරයාට සිදුවුණා.

එහිදී වේත්‍රධාරිවරයා සහ නියෝජ්‍ය වේත්‍රධාරියා විපක්ෂනායකවරයා ඉදිරිපිට රැදී සිටිමින් ඔහුට ආරක්ෂාව සැළසූ අතර රාජ්‍ය අමාත්‍ය ‘සනත් නිශාන්ත’ විපක්ෂනායකවරයාගේ මයික්‍රෆෝනයෙන් අදහස් දක්වන අයුරුද දක්නට ලැබුණා.

අනතුරුව එම ස්ථානයට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද පැමිණි අතර, ඒ සමඟයි කථානායකරයා පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගනු ලැබුවේ.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිසකට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙනුයි විපක්ෂනායකවරයා ස්ථාවර නියෝග 27/(02) යටතේ අදාළ ප්‍රකාශය සිදුකරනු ලැබුවේ.

පාර්ලිමේන්තුවේ කටයුතු යළි ආරම්භ කෙරුණේ මිනිත්තු 15 කට පසුවයි.

එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන සභාවට දැනුම් දුන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු ජංගම දුරකථන ඔස්සේ පටිගත කර ප්‍රසිද්ධ කිරීමට කිසිදු මන්ත්‍රීවරයෙකුට මින් ඉදිරියට තහනම් වනු ඇති බවයි.

+

++++++++++

2024 අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසුම වැඩි ඡන්ද 45 කින් සම්මත වුණා. ඡන්දය විමසූ අවස්ථාවේ අයවැයට පක්‍ෂව ඡන්ද 122 ක්ද, විරුද්ධව ඡන්ද 77 ක් හිමිව තිබුණා. අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට (22) දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි ෴


අධිවේගී මාර්ග වල ටිකට් නිකුත් කිරීමෙන් සේවකයන් ඉවත් වෙයි

(21.11.2023 – 17:28 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (22) දිනයේ අධිවේගී මාර්ග වල ටිකට් නිකුත් කිරීම හා මුදල් අය කිරීමේ රාජකාරී වලින් ඉවත් වන බව සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය පවසනවා ෴


ත්‍රිපෝෂවල ‘ඇෆ්ලාටෝක්සින්’ මට්ටම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

(21.11.2023 – 17:15 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිපෝෂ ඇතුළු අතිරේක ආහාර වැඩසටහන් සඳහා ඇති ‘ඇෆ්ලාටෝක්සින්’ මට්ටම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

1980 අංක 26 දරන ආහාර පනත යටතේ පවතින රෙගුලාසිවල නියම කර ඇති සම්පුර්ණ ‘ඇෆ්ලාටෝක්සින්’ සඳහා වන දැඩි කඩයිම් මට්ටම හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු ලබා ගැනීම දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මාස හයේ සිට අවුරුදු 3 දක්වා ළමුන් සඳහා ලබා දෙන අතිරේක ආහාරවල‍ට අදාළ සංශෝධනයන් සිදු කරන බවට සඳහන් ෴


සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවූ ගැසට් නිවේදනය අවලංගු කරයි

(21.11.2023 – 22:15 +0530 – hirunews.lk/sinhala)

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර තිබෙනවා.

ඒ ඊට අදාළ නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

සුදු සීනි පැකට් නොකළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 275 ක් සහ පැකට් කළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 295 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඉකුත් 03 වනදා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා.

එසේම දුඹුරු සීනි පැකට් නොකළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 330 ක් සහ පැකට් කළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල්350 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබුණි.

නව ගැසට් නිවේදනය මගින් එම මිල ගණන් ඉවත් කර තිබෙනවා ෴


‘වැට්’ අලුතින් එක්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය – ආචාර්ය හර්ෂ ද සිල්වා

(21.11.2023 – 22:04 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩ අයිතම 100 ක් සඳහා එකතු කළ අගය මත පැනවෙන බදු හෙවත් වැට් අලුතින් එක්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා හෙළිදරව් කළා.

‘හිරු සලකුණ’ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ සවිස්තර ඇමුණුමක් අයවැය ලේඛනයට ඇතුළත් නොවීම ගැටලු සහගත බවයි.

15% ක් ලෙස දැනට පවතින එකතු කළ අගය මත බද්ද හෙවත් VAT ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට 18% ක් දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ, පසුගිය ඔක්තෝබර් 31 වැනිදායි.

මෙතෙක් වැට් අය නොකෙරෙන භාණ්ඩ අයිතම කිහිපයක් සඳහා ද බදු අයකිරීමට තීරණයකර ඇති බව එදින නිවේදනය කෙරුණා.

ඒ අනුව පෙට්‍රල්, ඩීසල්, ගෑස්, සියලුම යන්ත්‍රෝපකරණ, දුරකතන, පරිගනක, වෛද්‍ය උපකරණ, පොත්, සඟරා, රූපවාහිනී යනාදී අයිතම 100 ක් සඳහා වැට් අලුතින් එක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි.

ඉන් ඇතැම් අයිතම සඳහා 15% දක්වා සහ ඇතැම් අයිතම සඳහා 18% දක්වා වැට් පැනවෙනු ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

මේ අතර, පසුගිය වසරේ පළමු මාස 09 ට සාපේක්ෂව මේ වසරේ එම කාලසීමාව තුළ එකතු කළ අගය මත බදු හෙවත් වැට් වෙතින් රජය ලද ආදායම රුපියල් බිලියන 505.0 දක්වා 62.6% කින් සැලකිය යුතු ලෙස වැඩි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය සැකසූ 2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ දැක්වෙනවා.

එය මේ වසර සඳහා ඇස්තමේන්තුගත වැට් ආදායමෙන් 55.6% ක්.

දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වලින් ලද වැට් ආදායම පසුගිය වසරේ පළමු මාස 09 තුළ ඉපැයූ රුපියල් බිලියන 193.8 ට සාපේක්ෂව මේ වසරේ රුපියල් බිලියන 351.6 ක් දක්වා 81.4% කින් වර්ධනය වී තිබෙනවා.

ආනයන මගින් ලද වැට් ආදායම අදාළ කාලසීමාව තුළ පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 153.4 දක්වා 31.5% කින් වර්ධනය වී ඇතැයි එම වාර්තාවේ සඳහන්.

එසේම ලබන මස සිට බලපැවැත්වෙන පරිදි එකතු කළ අගය මත බදු නිදහස් කිරීම් ලබා දී ඇති අයිතම ගණනාවක් ඉවත් කිරීම මගින් වැට් ආදායම ශක්තිමත් කිරීමටත්, වැට් කාර්යක්ෂමතාව වැඩි කිරීමටත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ද එම වාර්තාවේ සඳහන්.

කෙසේවෙතත්, ජනාධිපති කාර්යාලයේ දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, වැට් නිදහස්කිරීම් ලබා දී තිබී ඉවත් කෙරෙන අයිතම ලැයිස්තුව ඉදිරිපත් කළ හැක්කේ, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණු පසු බවයි.

මේ අතර, ලබන දෙසැම්බර් 31 වැනිදා වනවිට රුපියල් ට්‍රිලියන 03 ක රාජ්‍ය ආදායමක් අපේක්ෂා කරන බව ජනාධිපති කාර්යාලයේ ආර්ථික ස්ථායීකරණ ඒකකය පවසනවා.

+


ක්‍රිකට් ලොක්කෝ ගෙදර යවන්න අලුත් වැඩක් අරඹයි

(21.11.2023 – 21:10 +0530 – hirunews.lk/sinhala)

දූෂිත ක්‍රිකට් පරිපාලනය පලවා හැරීම වෙනුවෙන් ඔන්ලයින් ක්‍රමයට අත්සන් කළ හැකි පෙත්සමක් අද (21) සිට ආරම්භ කිරීමට ‘ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ සංගමය’ පියවර ගෙන තිබෙනවා.

මේ අතර, ‘ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය’ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ගෙන් අද (21) පැය හතර හමාරක (4½) පමණ දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගත්තා.

ඒ ඔහු නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයක ඇතුළත් කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයා එම විශේෂ පොලිස් විමර්ශන ඒකකයට සිදුකළ පැමිණිල්ලට අනුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටා තිබෙන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත පැමිණියේ අද (21) පැමිණියා.

එහිදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගෙන් පැය හතර හමාරක (4½) පමණ දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.

ලෝක කුසලාන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලඳ පරාජයන් පිටුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පසුගිය 13 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ඇතුළත් කරුණු පාදක කරගනිමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකකයට පැමිණිල්ලක් සිදුකර තිබුණේ පසුගිය 16 වැනිදායි.

මේ අතර දූෂිත ක්‍රිකට් පරිපාලනය පලවා හැරීම වෙනුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ අත්සන් කළ හැකි ඔන්ලයින් පෙත්සමක් අද සිට ආරම්භ කිරීමට ‘ශ්‍රීලංකා ක්‍රීඩාලෝලීන්ගේ සංගමය’ පියවර ගත්තා.

+++++++

+

https://www.universe.lk/


රහස් පොලිසිය වෛද්‍ය සැපයුම් අංශයට

(21.11.2023 – 19:41 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (21) පෙරවරුවේ වෛද්‍ය සැපයුම් අංශය වෙත පැමිණියා.

එහිදී ඔවුන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෛද්‍ය කපිල වික්‍රමනායකගේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කාර්යාලය වෙත ගොස් ලිපිගොනු පරීක්ෂා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම සිද්ධියට අදාළව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු 04 දෙනෙකු මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම ඊයේ (20) නියෝග කළේ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද (21) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට අත්අඩංගුවට ගෙන සිටින්නේ මෙම ඖෂධ ජාවාරමේ මහමොළකරුවන් නොවන බවයි.

+


ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කෙරේ

(21.11.2023 – 16:38 +0530 – hirunews.lk/sinhala)

ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කර තිබෙනවා.

ඒ අනුව තත්පරයට ජලය ඝන අඩි 4,000 ක් මී ඔයට මුදාහැරෙන බැවින් පහත්බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශය වන ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු මෙම වසරේදී විවෘත කෙරුණු පළමු අවස්ථාව මෙය වන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම දැදුරුඔය, තබ්බෝව සහ රාජංගණය ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා ෴

+++++++

මහ ඔය සහ දැදුරු ඔයේ ගංවතුර අවධානම දීර්ඝ කෙරේ

(21.11.2023 – 13:28 +0530 – hirunews.lk/sinhala)

මහ ඔය සහ දැදුරු ඔය ද්‍රෝණිවල ගංවතුර අවධානම තවත් පැය 24 කින් දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම ද්‍රෝණිවල පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ සම්බන්ධයෙන් සැළකිල්ලෙන් පසුවන ලෙසයි දැනුම් දෙන්නේ.

වැසි ඇදහැලීමත් සමග විවෘත කෙරුණු ජලාශ කිහිපයක වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

ඒ අනුව රාජංගනය ජලාශයේ වාන් දොරටු 8 ක්, අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් (2) තවදුරටත් විවෘතව පවතිනවා.

අයහපත් කාලගුණ තත්වය හමුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග 3 ක් තවදුරටත් අවහිරව පවතින බව අද (21) පැවති මාධ්‍ය හමුවකදී බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන කියා සිටියා.

මේ අතර මහනුවර – දිගන – අඹකොටේ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද (21) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය , පුත්තලම – දිගන්වැව ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය සටහන් වුණේ මිලිමීටර 99.4 ක් ලෙසයි.

+


ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ‘ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය’ අනුමත කරයි

(21.11.2023 – 15:59 +0530 – hirunews.lk/sinhala)

‘ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය’ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ICC විධායක කමිටුව අද (21) තීරණය කළා.

අද (21) අහමදාබාද්හිදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ඒකමතිකව සම්මත වී තිබෙනවා.

ඒ අනුව ලබන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණු ‘යොවුන් ලෝක කුසලානයේ’ සත්කාරකත්වය ද ශ්‍රී ලංකාවට අහිමි කිරීමට ICCය පියවර ගත්තා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට මේ මස 10 වැනිදා කටයුතු කළේ ‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ’ පරිපාලනයට දේශපාලනික අතපෙවීම් සිදුවන බවට චෝදනා කරමින්.

ඒ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිලානය සඳහා අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුත් අන්තර් පාලක මණ්ඩලයක් පත් කිරීමට පියවර ගැනීමත් සමඟයි.

කෙසේ වෙතත් ජගත් ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපි තුනක් (3) යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් ඉල්ලා තිබෙන බවට චෝදනා ද එල්ල වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවා දින 11 ක් ගතවන තැන ජගත් ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව ඉන්දියාවේ අහමදාබාද්හිදී රැස් වුණා.

මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වායි.

මෙම කමිටු රැස්වීමේදී ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුනේ ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රිකට් අර්බුදයයි.

ඒ අනුව දීර්ඝ සාකච්ඡාවකින් පසු ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීරණයට ICC විධායක කමිටු සාමාජිකයින් ඒකමතිකව සිය අනුමැතිය ලබා දී තිබෙනවා.

මේ සමඟ නිල වශයෙන් ශ්‍රී ලංකාවට ICC සාමාජිකත්වය අහිමි වී යෑමත් සමඟ ලබන වසරේ (2024) පැවැත්වීමට සැලසුම් කර තිබූ වයස අවුරුදු 19 න් පහළ ‘ලෝක කුසලානයේ’ සත්කාරකත්වය ද මෙරටට අහිමිව ගියා.

ඒ අනුව ‘යොවුන් එක්දින ලෝක කුසලානය’ දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමටත්, ICC විධායක කමිටුව තීරණය කළා.

මෙලෙසින් ශ්‍රී ලංකාවට ICC සාමාජිකත්වය අහිමිව ගියත් ශ්‍රී ලංකා පිරිමි, කාන්තා සහ යොවුන් කණ්ඩායම්වලට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සහ ICCතරගාවලිවලට සහභාගිවීමට කිසිදු බාධාවකින් තොරව ඉඩ ලබා දීමට ද ජගත් ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

පනවා තිබෙන තහනම ඉවත් කරනතුරු ශ්‍රී ලංකාවට ICC යෙන් ලබා දෙන අරමුදල් පිළිබඳව දැඩි කොන්දේසි පැනවීමටත්, එය පාලනය කිරීමටත් විධායක කමිටුව තීරණය කළා.

මේ අතර ශ්‍රී ලංකාවට පැනවූ ICC තහනම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළා :

+++++++++

ක්‍රිකට් එකේ සල්ලි වලට පෙරේත කමේ මගේ ඇමතිකමට කෙළ හලන උන් ආණ්ඩුව ඇතුළේම ඉන්නවා (21.11.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *