ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ රහසිගත ලිපි සභාගත කරයි

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ රහසිගත ලිපි සභාගත කරයි


ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ රහසිගත ලිපි සභාගත කරයි

(20.11.2023 – 20:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවන්නැයි ඉල්ලා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමුකළ ලිපි තුනක් (3) ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (20) පාර්ලිමේන්තුවේ සභාගත කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාග්ලේ වෙත යොමු කර තිබූ මෙම ලිපි තුන (3) සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (19) මාධ්‍ය හමුවක් කැදවමින් කරුණු හෙළි කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (20) ඊට ප්‍රතිචාර දක්වනු ලැබුවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මෙරට ක්‍රිකට් සම්බන්ධයෙන් පවතින සියලු තොරතුරු අයි.සී.සි. යට අනාවරණ කිරීමට බැඳී සිටින අතර ඒ අනුව ඇතැම් දැනුවත් කිරීම් සිදුකළ බවයි.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අර්බුදයකට ඇද දැමීමට මූලික වූ සියලු පාර්ශවයන්ට නඩුපවරන ලෙසයි.

මේ අතර මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සදහා ජනාධිපතිවරයා පත්කළ විශේෂ අනු කමිටුවේ වාර්තාව කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව එම කමිටුවේ සාමාජික අමාත්‍ය මනූෂ නානායක්කාර අද (20) ගාල්ලේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා පනවා ඇති තහනම තවදුරටත් පවත්වාගෙන යන්නේද, නැද්ද යන්න පිළිබද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ හෙට (21) පැවැත්වෙන හමුවේදී තීරණය කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර දූෂිත ක්‍රිකට් ප්‍රධානීන් ඉවත් කරන ලෙස බල කරමින් අන්තර්ජාල පෙත්සමකට අත්සන් තැබීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂිතතයින් පලවා හැර ශ්‍රී ලංකා ක්‍රිකට් රැකගන්නා ලෙස බලකරමින් සමගි ජනබලවේගය සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් අද (20) දහවල් ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටදී පැවැත්වුණා.

++++++++

ක්‍රිකට් ගැටලු විසඳීමට තේරීම් කාරක සභාවක්

(20.11.2023 – 19:18 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණදී ඇති ගැටලු විසඳා ගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරු පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගෙන තිබේ.

එම ලිපියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනෙක් පමණ අත්සන් තබා තිබුණි.

අදාළ ලිපිය පහතින් :


ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනා සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක රක්ෂිත බන්ධනාගාරයට

(20.11.2023 – 20:29 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනොග්ලොබියුලින්’ ආනයනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (18) අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ, ගණකාධිකාරී සැපයුම් සහ කොටස් පාලක අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක නොවැම්බර් මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනෝග්ලොබියුලින්’ ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුලු හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වන අතර, මීට පෙර කපිල වික්‍රමනායකට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණා.

‘ඉමියුනෝග්ලොබියුලින්’ ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒවා ගෙන්වූ සමාගමේ හිමිකරු ‘සුගත් ජනක ප්‍රනාන්දු’ හෙවත් ‘අරුණ දීප්ති’ නමැත්තා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා ෴


අර්ථ සාධක අරමුදල ගැන කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

(20.11.2023 – 17:31 +0530 – sinhala.adaderana.lk)

අවිධිමත් අංශයේ රැකියා නියුක්තිකයන් සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක කරගැනීම පිළිබඳව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවිය.

සේවා අංශයේ අවිධිමත් අංශයේ රැකියාවන්වල නියුක්ත වූ පිරිස 60% ක් පමණ වන බවත් එම පිරිස ද සේවක අර්ථ සාධක අරමුදලට දායක කරගැනීම මඟින් ඔවුන්ගේ සමාජ ආරක්ෂණය ඉහළ නැංවිය හැකි බවද කාරක සභාව අවධාරණය කළේය.

වර්තමානයේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවන ආයතන අසූ දහසක් (80,000) පමණ කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වි ඇති බව කාරක සභාවේදී අනාවරණය විය.

ඒ අනුව එම සමාගම් ගණන ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම සඳහා ලියාපදිංචි නොවූ සමාගම් සියල්ල හඳුනාගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (16) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

කම්කරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ලක්කිරීමේ මූලික පියවර ගෙන ඇති බව කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ.

ඒ අනුව ජාතික ශ්‍රම වෙළෙඳපොළ තොරතුරු පද්ධතිය නමින් ශ්‍රම වෙළෙඳපොළ ට අදාළ තොරතුරු එක්රැස් කිරීමේ ඩිජිටල් ක්‍රමවේදයක් සැළසුම් කර ඇති බවද කාරක සභාව හමුවේ වැඩි දුරටත් අදහස් දක්වමින් එම නිලධාරීහු පැවසුහ.

මෙහිදී කම්කරු දෙපාර්තමේන්තුව විසින් මහ බැංකුවේ මුදල් මණ්ඩලය මඟින් සේවක අර්ථ සාධක අරමුදලේ සියලු තීරණ ගැනීම ගැටලුකාරී බව පෙන්වා දෙන ලදී.

ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජනයක්, මහ බැංකුවේ මුදල් මණ්ඩලය තුළ පැවතීමේ වැදගත්කම එම නිලධාරීහු විසින් කාරක සභාවට අවධාරණය කරන ලදී.

කම්කරු දෙපාර්තමේන්තුවේ සහ මහ බැංකුවේ ක්‍රමවේදයන් අතර පවත්නා වෙනස්කම් හේතුවෙන් අර්ථ සාධක අරමුදල් ලබාගැනීමේදී සාමාජිකයින් හට යම් යම් ගැටලුවලට මුහුණපෑමට සිදුවන බවත් සාමාජිකත්වය ලබාගැනීමේදී ඔවුන්ගේ තොරතුරු නිවැරදිව ඇතුළත් කිරීම සඳහා යම් එක් ක්‍රමවේදයක් සකස් විය යුතු බවද කාරක සභාවේදී සාකච්ඡා විය ෴


මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට; මහ ඔය තවමත් අවධානම්

(20.11.2023 – 20:50 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (20) රාත්‍රියේදීත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර ජල මට්ටම් ඉහළ ගොස් ඇති නිසා කොත්මලේ සහ වික්ටෝරියා ජලාශවල වාන්දොරටු විවෘත කළ හැකි බැවින් මහවැලි ගඟ පරිහරණය කිරීමේදී විමසිලිමත්ව සිටින ලෙස ගඟ අවට සහ පහත් බිම්වල වෙසෙන ජනතාවට මහවැලි අධිකාරිය දැනුම් දෙනවා.

කළා ඔයේ ජල මට්ටම සිඝ්‍ර ලෙස ඉහල යාමත් සමග විල්පත්තුව වන උද්‍යානයට පිවිසෙන වනාතවිල්ලු‍ව එළුවන්කුලම පිවිසුම තාවකාලිකව වසා දැමිමටයි උද්‍යාන පාලකවරයා කටයුතු කළේ.

රාජාංගනය ජලාශ‍යේ වාන් දොරටු 8 ක් විවෘත කර තිබෙනවා.

අප වාර්තාකරු සදහන් කළේ, ඉන් වාන් දොරටු 4 ක් අඩි 4 බැගින් හා වාන් දොරටු 2 ක් අඩි 3 බැගින් මෙන්ම තවත් වාන් ‍දොරටු 2 ක් අඩි 2 ක බැගින් විවෘත කර ඇති බවයි.

මෙමගින් තත්පරයට ඝණ අඩි 7200 ක ජල ධාරිතාවක් කළාඔයට මුදා හැරෙන අතර එම නිසා ගිරිබාව රාජාංගනය මාර්ගයේ ගමනා ගමනයට බාධා සිදු ව ඇති හෙයින් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

මහ ඔයේ ජල මට්ටම තවදුරටත් ගංවතුර මට්ටමේ පවතිනවා.

එහි බලපෑමෙන් මීරිගම හා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිවාස කිහිපයක් මෙවන විටත් ජලයෙන් යටව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 08 කට පනවා තිබූ නායයාමේ අවදානම ඉදිරි පැය 24 ක කාලය සදහාද දීර්ඝ කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කිසියම් ආපදාවක් සම්බන්ධයෙන් තොරතුරු පැය 24 පුරා ක්‍රියාත්මක 117 ඇමතුම් අංකය මගින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කළ හැකි බවයි ෴

++++++++

දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි

(20.11.2023 – 20:27 +0530 – sinhala.adaderana.lk)

දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය මේ වනවිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා ඇත.

දුම්රිය ආරංචි මාර්ග සඳහන් කළේ පස් ඉවත්කර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් ඇති බවය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *