ක්‍රිකට් අතුරු කමිටුවේ තහනම පිළිබඳ පෙත්සම වැඩිදුර සළකා බැලීම අනිද්දා (22)

ක්‍රිකට් අතුරු කමිටුවේ තහනම පිළිබඳ පෙත්සම වැඩිදුර සළකා බැලීම අනිද්දා (22)


ක්‍රිකට් අතුරු කමිටුවේ තහනම පිළිබඳ පෙත්සම වැඩිදුර සළකා බැලීම අනිද්දා (22)

(20.11.2023 – 14:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පත් කළ ක්‍රිකට් අතුරු පාලන මණ්ඩලය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාල පෙත්සම අනිද්දා (22) තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (20) නියෝග කළා.

ඒ, එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන විනිසුරුවරුන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි.

එදින තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා ෴


ප්‍රාථමික පාසලකට අත්වූ ඉරණම

(20.11.2023 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කඹුරුහේන පඤ්ඤාවාස ප්‍රාථමික විදුහල වසර දෙකක (2) කාලයක සිට වැසී ගොස් ඇති බව ගම්වාසීන් පෙන්වා දෙනවා.

පාසලේ ගොඩනැගිලි වල්බිහිවී දිරාපත් වෙමින් පවතින පසුබිමක ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ මෙම ස්ථානය මත්ලෝලීන්ගේ තිප්පොළක් වීමට පෙර ඵලදායි වැඩ කටයුත්තකට යොදා ගන්නා ලෙසයි.

මේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගාල්ල – මාපලගම පිහිටි කඹුරුහේන පඤ්ඤාවාස ප්‍රාථමික විදුහලයි.

ජල පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් සියල්ලෙන් සපිරි මෙම විදුහල වැසි ගොස් අද වනවිට අවුරුදු 2 කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා.

එවකට ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් වශයෙන් තිබූ මෙම විදුහල මෙලෙස වැසී ගොස් ඇත්තේ අධ්‍යාපනය ලැබීමට දරුවන් නොමැති නිසා බවයි ගම්වාසීන් පවසන්නේ.

පාසලේ ගොඩනැගිලි වල්බිහිවී දිරාපත් වෙමින් පවතින පසුබිමක ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ මෙම ස්ථානය මත්ලෝලීන්ගේ තිප්පොළක් වීමට පෙර ඵලදායි වැඩ කටයුත්තකට යොදා ගන්නා ලෙසයි.

+


නායයෑම් අවදානමක් හේතුවෙන් හපුතලේ පවුල් 31 ක් ඉවත් කරයි

(20.11.2023 – 14:35 +0530 – hirunews.lk/sinhala)

නායයෑමේ අවදානමක් හේතුවෙන් හපුතලේ – ග්ලැනෝර් වතුයායේ නිවාස පෙළක පදිංචි පවුල් 31 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් එම ස්ථානය පරික්ෂා කිරිමෙන් අනතුරුව ඔවුන් ඉවත් කළ බවයි හපුතලේ ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළේ.

මෙලෙස ඉවත් කළ පිරිස එම වතුයායේ පිහිටි පාසලට යොමුකර තිබෙනවා.

+


මහනුවර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක තවදුරටත් ගමනා ගමනයට බාධා

(20.11.2023 – 15:34 +0530 – hirunews.lk/sinhala)

වර්ෂාවත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක මාර්ග රැසකට පස්කඳු සහ ගල් පෙරලී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මහනුවර මඩොල්කැලේ ප්‍රධාන මාර්ගය පස්කඳු කඩා වැටීමෙන් තවදුරටත් ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම හතරලියද්ද දුම්කුඹුර මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී ඇත්තේ පාලමක් කැඩී යාම හේතුවෙන්.

මේ හේතුවෙන් පොල්වත්ත, මාවතගම, මිණිගමුව ඇතුලු ප්‍රදේශ රැසක ජනතාව අපහසුතාවයට පත්වී ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.

මීට අමතරව නායයෑමේ අවධානමක් පැවතීම හේතුවෙන් ස්ථාන කිහිපයක අනාරක්ෂිත අන්දමින් රැදී සිටි පවුල් කිහිපයක් එම ස්ථානවලින් ඉවත් කළ බවයි මහනුවර දිස්ත්‍රික් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ ෴


බස් රථයට ගවයෙකු ගැටෙයි; හතරකට (4) තුවාල

(20.11.2023 – 17:39 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ සිට මහනුවර බලා ධාවනය වූ ලංගම බස් රථයකට ඊයේ (19) ඕමන්ත ප්‍රදේශයේදී හදිසියේම ගවයෙකු පැනීම නිසා බස් රථය එම ගවයාගේ ගැටී පෙරළී යාමෙන් මගීන් හතර දෙනෙකු (4) තුවාල ලබා ඇතැයි අප වාර්තාකරු පවසනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ පිරිස වව්නියාව රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කර තිබෙනවා.

එහිදී ගවයා බස් රථයේ ගැටීම නිසා බස් රථයටද දැඩි හානි සිදුව ඇති බවත්, අනතුර නිසා බස් රථයේ ගමනාගමන කටයුතු පැය තුනක (3) පමණ කාලයක් ප්‍රමාද වූ බවත් අප වාර්තාකරු පවසනවා ෴


පන්නිපිටිය මාඹුල්ගොඩ ප්‍රදේශයේ පොත් අලෙවිසලක පිහි ඇනුමෙන් දෙකක් (2) රෝහලේ

(20.11.2023 – lankadeepa.lk)

පන්නිපිටිය මාඹුල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පොත් අලෙවි මධ්‍යස්ථානයකට පැමිණි නාදුනන පුද්ගලයකු විසින් කඩුවක් වැනි තියුණු ආයුධයකින් සිදුකල පහරදීමකින් එම අලෙවිසැලෙහි හිමිකරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

අදාල පොත් අලෙවිසැලෙහි හිමිකරු එම ස්ථානයේ සිටින විට එක්වරම පැමිණි නාදුනන පුද්ගලයා සගවා ගෙන සිටි කඩුවක් වැනි තියුණු ආයුධයක් එළියට ගෙන වෙළඳසැල් එහි හිමිකරුට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එය බේරීමට පැමිණි අසල්වැසි පුද්ගලයෙකුට ද සැකකාර නාදුනන පුද්ගලයා විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද ඇතැයිද පොලිසිය පවසයි.

අදාළ සිද්ධිය සමථයට පැමිණි අසල්වැසි පුද්ගලයාට එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාරය නිසාවෙන් ඔහුගේ ගෙලට දැඩි ලෙස හානි වී ඇතැයි ද වෙළඳසැලේ හිමිකරුද කැපුම් තුවාල සහිතව රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි ෴


පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ අනතුරක් – මාදම්පේ උණුසුම් තත්ත්වයක්

(20.11.2023 – 17:31 +0530 – sinhala.adaderana.lk)

පාසල් දරුවෙකු ඇතුළු තිදෙනෙකු (3) අනතුරට ලක්කර පළායාමට උත්සාහ කළ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකට හලාවත මාදම්පේ ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

අනතුරින් තුවාල ලැබූ පාසල් දරුවා ඇතුළු තිදෙනා (3) ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට සහ මාදම්පේ රෝහල වෙත ඇතුළත් කර ඇත.

පුත්තලම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මාදම්පේ පැරණි නගරයේදී වෙනත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී යතුරුපැදි 3 ක ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරත් සමග ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා මාදම්පේ පොලීසියට අමතරව හලාවත සහ තොඩුවාව පොලිස් ස්ථානවල නිලධාරීන්ද එම ස්ථානයට කැඳවා ඇත.

බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මාදම්පේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

+


කොත්මලා ඔය සහ මහවැලි ගඟ දෙපස ජනතාවට දැනුම්දීමක්

(20.11.2023 – 15:27 +0530 – sinhala.adaderana.lk)

පවතින අධික වර්ෂාවත් සමග කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මේවනවිට පිටාර මට්ටමට ආසන්නව පවතිව බවත් මහවැලි අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයෙන් මහවැලි අධිකාරිය වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ පිටාර මට්ටමට පැමිණි වහාම ජලාශයේ වාන් දොරටු මගින් කොත්මලා ඔයට ජලය මුදා හැරීමට කටයුතු කරන බැවින් ජලාශයෙන් පහළ ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙසටය.‍

එබැවින් කොත්මලේ වේල්ලලෙන් පහළ කොත්මලා ඔයේ නුගවෙල, රිවර්සයිඩ්, මාවතර ප්‍රදේශ හා මහවැලි ගඟේ උලපනේ ප්‍රදේශයේ සිට ගම්පොල, වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය, කටුගස්තොට, පොල්ගොල්ල දක්වා ප්‍රදේශ අනතුරුදායක බැවින් ගඟ පරිහරණය කිරීමෙන් වළකින ලෙස ද දැනුම් දී තිබේ ෴


වසරකට ළමා අපරාධ 5,000 ක් – පොලීසිය

(20.11.2023 – 08:29 +0530 – sinhala.adaderana.lk)

වසරකට දරුවන් සම්බන්ධ අපරාධ 5,000 ක් පමණ මෙරටින් වාර්තා වන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන භාවිතය මෙම අපරාධ සිද්ධීන් රැසකට හේතු වී ඇති බවය.

“වසරකට දළ වශයෙන් ලංකාවේ 5,000 ක් පමණ දරුවන් සම්බන්ධයෙන් අපරාධ වාර්තා වන බව මේ සංඛ්‍යා ලේඛනවල තියෙනවා. අපේ රටේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය තමා ළමා අපචාර, අපයෝජන සම්බන්ධයෙන් බලපාලා තියෙන ලොකුම කාරණය. ලංකාවේ වැඩිම ජනගහණයක් ජීවත් වන පළාත ලෙස සැලකුවොත් බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක – මේ තුනේ වාර්තා වන ළමුන් සම්බන්ධ වැරදි ගැන අපට අවබෝධයක් තියෙන නිසා අපි දන්නවා. ඒ වගේම බහුතරයක් සිද්ධිවලට බලපාලා තියෙන්නේ මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය. මේ ජංගම දුරකථන භාවිතය අද වෙද්දි ළමයින්ව ළමා අපයෝජනයවලට යොමු කරවන භයානක අවියක් බවට පත්වෙලා. ලංකාවේ ළමා අපයෝජන අඩු කරන්න අපි උත්සාහයක් දරනවා නම් අනිවාර්යයනේම ජංගම දුරකථන භාවිතය ගැන නියාමනයක් දෙමාපියන් විසින්ම ගෙදරදී කළ යුතුයි.”


නත්තලට දුඹුරු සීනී හිඟයකින් තොරව බෙදා හැරේ

(20.11.2023 – 19:50 +0530 – hirunews.lk/sinhala)

සුදු සීනි හිඟයට පිළියමක් ලෙස උත්සව සමය ඉලක්ක කර ගනිමින් රට පුරා හිඟයකින් තොරව දුඹුරු සීනි බෙදා හැරීම සිදු කරන බව ලංකා සීනි සමාගමේ අධ්‍යක්ෂක ගාමිණි රාසපුත්‍ර ප්‍රකාශ කර තිබෙනවා.

පසුගියදා සීනි සඳහා බදු ඉහළ නැංවීමත් සමග මිල ඉහළ ගිය අතර පසුව රජය විසින් සීනි සඳහා පාලන මිලක් පනවනු ලැබුවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ (19) ප්‍රකාශ කළේ එවැනි හිඟයක් ඇති වීමට අවස්ථාවක් නොමැති බවයි.

මේ වන විට සීනි මෙට්‍රික් ටොන් 19,000 ක් රට තුළ පවතින බවද ඔහු සඳහන් කර තිබෙනවා.

එවන් පසුබිමක වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අද (20) සීනි ආනයනකරුවන් සමඟ විශේෂ සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවේ අර්බුදයට විසදුම් සෙවීම සඳහායි.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශත 25 බද්දට ආනයනය කළ සීනි තොග රජයේ භාරයට ගෙන ලංකා සතොස සහ සමූපකාර හරහා බෙදාහැරීමට කටයුතු කරන බවයි ෴

+++++++++

සීනි ගැන රජය තීරණයක් ගනී

(20.11.2023 – 19:03 +0530 – sinhala.adaderana.lk)

සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව ඉදිරියේදී සතොස සහ සමූපකාර වෙළෙඳසැල් හරහා සීනි කිලෝවක් රුපියල් 275 ක මිලකට අලෙවි කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

+


කටුනායක ගුවන් තොටුපොළේ නව ව්‍යාපෘති රැසක්

(20.11.2023 – 19:58 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපොළ ඉදිරිපිටින් දිවෙන ‘මිත්‍රත්ව’ මාර්ගය සහ කටුනායක ගුවන් පැමිණීමේ මගී පර්යන්තය සදහා නව ප්‍රවේශ මාර්ගය අද (20) විවෘත කර තිබෙනවා.

එමෙන්ම පිටත්වීමේ මගීන් සදහා නව වාහන නැවතුම් අංගනයක් විවෘත කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගුවන් තොටුපොළ මෙහෙයුම් ක්‍රියාවලිය සදහා නව ගුවන් ගමනාගමන කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සහ ගුවන් තොටුපොළ විදුලි බල අවශ්‍යතා සදහා නව සූර්ය බල පද්ධතියක් විවෘත කිරීම ද සිදු කෙරුණා ෴


පැරණි පෙම්වතා නිවසට ගෙන්වාගෙන කප්පම් ගත් යුවළ අත්අඩංගුවට

(20.11.2023 – 19:32 +0530 – sinhala.adaderana.lk)

තරුණයෙකුව නිවසට ගෙන්වාගෙන සිරකර කප්පම් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අඹුසැමි යුවළක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ, හල්තොට තලාව ප්‍රදේශයේ පදිංචි යුවළකි.

සැකකාර බිරිඳගේ වයස අවුරුදු 25 ක් වන අතර සැකකාර සැමියාගේ වයස අවුරුදු 30 කි.

සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ 25හැවිරිදි තරුණයා සහ අත්අඩංගුවට ගෙන ඇති සැකකාර කාන්තාව මීට වසර හතරකට (4) පමණ පෙර පෙම් සම්බන්ධතාවයක් පවත්වා ඇත.

එම කාලසීමාවේ ඔවුන් කැලණිය මාබිම ප්‍රදේශයේ වාසය කර ඇත.

එම කාන්තාව සැකකාර පිරිමි පුද්ගලයා විවාහ වීමත් සමග මෙම තරුණයාව මගහැර ගොස් තිබේ.

සැකකාර කාන්තාව විසින් මීට දින කිහිපයකට පෙර දුරකථන ඇමතුමක් ගෙන අදාළ තරුණයාට සිය නිවසට පැමිණෙන ලෙස ඇරයුම් කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

තමන් විවාහ වී සිටින බවත් සිය සැමියා විදේශගතව සිටින බවත් පවසමින් අදාළ කාන්තාව තරුණයාට එම ආරාධනාව කර තිබේ.

ඒ ඔහුව බැලීමට කැමැත්තෙන් සිටින බව පවසමිනි.

හැටන් ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා එම ආරාධනාව පිළිගෙන පසුගිය දිනක හොරණ ප්‍රදේශයට පැමිණ ඇත.

එතැන් සිට සැකකාරියගේ උපදෙස් මත එම තරුණයා ත්‍රිරෝද රථයක නැගී ඇයගේ නිවස ආසන්නයට ගොස් සිට තිබේ.

පසුව රාත්‍රිය උදාවීමත් සමග සැකකාර කාන්තාව පැමිණ එම තරුණයා ඇයගේ නිවස වෙත කැඳවාගෙන ගොස් ඇත.

අනතුරුව එම කාන්තාව තමන්ට කාමරයකට වී සිටින ලෙසත් ඇය වටපිටාව සෝදිසි කර නැවත පැමිණෙන බවත් පවසා නිවසින් පිටව ගිය බව තරුණයා පවසා තිබේ.

පසුව නිවස තුළ සැඟව සිටි ඇයගේ සැමියා සහ වෙනත් අයෙකු එක්වරම කඩාවැදී තමන්ට පහරදුන් බව තරුණයා පවසා ඇත.

එම ස්ථානයෙන් තරුණයාව මුදාහැරීමට රුපියල් 50,000 ක කප්පම් මුදලක් ඔවුන් ඉල්ලා තිබේ.

එහිදී තරුණයා තමන් සතුව රුපියල් 25,000 ක මුදලක් තිබූ බැංකුවේ ATM කාඩ්පත සහ එහි රහස් අංකය ඔවුන් වෙත ලබාදීමෙන් අනතුරුව සැකකාර සැමියා බැංකුව වෙත ගොස් ඇත.

එම අවස්ථාවේ සැකකාර කාන්තාව සහ අනෙක් පුද්ගලයා තමන්ට නිවසින් පිටවීමට නොදී තමන් එහි බලහත්කාරයෙන් රඳවාගෙන සිටි බවද තරුණයා සඳහන් කර තිබේ.

පසුව ඉතිරි රුපියල් 25,000 මුදල වෙනුවට තමන්ගේ ජංගම දුරකථනයද ඔවුන් ලබාගත් බවත් තරුණයා පවසා තිබේ.

තමන් එම දුරකථනය රුපියල් 25,000 කට ඔවුන්ට උකස් කළ බවත් දින 14 ක් ඇතුළතදී එය බේරාගැනීමට අපොහොසත් වුවහොත් එහි අයිතිය හිමිවන බවටත් සඳහන් ව්‍යාජ ලිපියක් එහිදී සැකකරුවන් විසින් තමන් ලවා බලහත්කාරයෙන් ලියාගත් බවත් තරුණයා සඳහන් කරයි.

එම නිවස තුළ තරුණයෙකුව සිරකරගෙන පහරදෙන බවට පොලීසියට ලද තොරතුරකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ මිල්ලනිය පොලීසිය මෙලෙස සැකකාර අඹුසැමි යුවල අත්අඩංගුවට ගෙන තිබේ.

පහරකෑම හේතුවෙන් තුවාල ලබා සිටි තරුණයා ප්‍රතිකාර සඳහා හොරණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

එහිදී සැකකරුවන් විසින් ලබාගෙන තිබූ කප්පම් මුදලින් රුපියල් 24,500 ක මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය, සැකකරුවන් සන්තකයේ තිබී පොලීසිය සොයාගෙන ඇත.

ඊට අමතරව තරුණයාට පහරදීමට යොදාගත් උදළු මිටක්, දෙකට වෙන් වුණු තිරරෙදි පොල්ලක්, කොසු මිටක්, ඉදල් මිටක් සහ කොස් ලී පටියක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවෙකු සොයා පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

සැකකාර අඹුසැමි යුවළ හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මිල්ලනිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *