රට පාවේ දීමේ වෑයමක් – ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගෙන් විශේෂ ප්‍රකාශයක්

රට පාවේ දීමේ වෑයමක් – ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගෙන් විශේෂ ප්‍රකාශයක්


රට පාවේ දීමේ වෑයමක් – ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගෙන් විශේෂ ප්‍රකාශයක්

(19.11.2023 – 11:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවන්නැයි ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලූ රහසිගත ලිපිය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (19) මාධ්‍ය හමුවේ හෙළිදරව් කළා.

මෙය රට පාවේ දීමේ වෑයමක් බවයි අමාතවරයා පෙන්වා දෙන්නේ.

2024 ජනවාරි මස මෙරට පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ ඉදිරි වසරවලදී මෙරට පැවැත්වීමට නියමිත ප්‍රමුඛ පෙළේ තරගාවලි 03 ක් ද වෙනත් රටවලට ලබාදෙන්නැයි එම ලිපියෙන් ශම්මි සිල්වා ඉල්ලා ඇති බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දූෂණ හා අක්‍රමිකතා චෝදනා එල්ල වීමත් සමග එහි විධායක කමිටුව අත්හිටුවා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය අන්තර් පාලන මණ්ඩලයක් යටතට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කටයුතු කළේ පසුගිය 06 වැනිදායි.

ඊට පසුදිනම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මෙරට ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාක්ලේ වෙත යොමු කළ රහසිගත ලිපිය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (19) මාධ්‍ය වෙත නිකුත් කළා.

පසුගිය 07 වැනිදා විද්‍යුත් තැපෑල මගින් මෙම ලිපිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාට යොමුකර ඇත්තේ ඉතා හදිසි ලිපියක් ලෙසයි.

එම ලිපියෙන් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සඳහන් කර ඇත්තේ ක්‍රිකට් පරිපාලනයට ක්‍රීඩා අමාත්‍යවරයා, ICC ක්‍රිකට් සාමාජිකත්ව ව්‍යවස්ථාව උල්ලංගණය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අන්තර් පාලන මණ්ඩලයක් පත්කිරිම මගින් ඔහුගේ සෘජු දේශපාලන මැදිහත්වීම ඒ තුලින් ඉස්මතු වන බවයි.

‘ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට ගත් තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවට ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

එබැවින් අන්තර් පාලන මණ්ඩලයක් මගින් ක්‍රිකට් ආයතනය පවත්වාගෙන යාමට කටයුතු කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමට බලපෑ හැකි කරුණක් බව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විසින් අවශ්‍යයෙන්ම කළ යුතුය.

එමෙන්ම 2024 ජනවාරි මස මෙරට පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, 2024 වසරේ මෙරටදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සැසිවාරය, 2026 පෙබරවාරි මස පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ 2027 වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-විස්ස කාන්තා චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනත් සාමාජික රටකට ලබාදීමට සිදුවන බව ද ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දීම අත්‍යවශ්‍ය බව සිහිපත් කරමි.’

මේ අතර දූෂිත ක්‍රිකට් පරිපාලනය ඉවත් කිරීම සඳහා වන යෝජනාව පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණු අතර එහිදී ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව එම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරගනු ලැබුවා.

එදිනම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා නැවත වරක් විද්‍යුත් තැපෑල මගින් හදිසි ලිපියක් යොමු කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වහා මැදිහත්වන ලෙසටයි.

++++++++

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

(19.11.2023 – 13:24 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිකට් සඳහා යම් දුෂ්කරතා මතු වන්නේ නම් ඒ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කිරීමට තමන් බැඳී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඔවුන් එම නිවේදනය නිකුත් කර තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (18) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලිපිය හා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින්.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සඳහා දේශපාලන මැදිහත් වීම් පවතින බැවින් ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පසුගිය අගෝස්තු 28 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යොමු කළ ලිපියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (18) පාර්ලිමේන්තුවේදී සභාගත කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා දේශපාලන මැදිහත්වීම් සිදුවන බව කරුණු 5 ක් යටතේ එමගින් පෙන්වා දී තිබූ අතර එහි පිටපත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු සාමාජිකයින් සහ සාමාජික රටවල ක්‍රිකට් ආයතන ප්‍රධානීන් වෙත යොමු කර තිබුණා.

ලිපිය සභාගත කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රාජකාරියට බැඳී සිටින අතර ICCයේ වගන්තිවලින්ද එහි වගකීම් තහවුරු කර තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යම් දුෂ්කරතා මතු වන්නේ නම් ඒ පිළිබඳව ICC දැනුවත් කිරීමට බැඳී සිටිනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සදහා පත් කළ අන්තර් පාලන කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති සහ රෙගුලාසිවලට පටහැනියි.

මේ අතර ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා ෴


පැල්වත්ත පස්සර ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි

(19.11.2023 – 15:53 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල, පැල්වත්ත – පස්සර ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ප්‍රදේශයට පවතින වර්ෂාවත් සමඟ හිඟුරුකඩුව රෝහල අසලින් අද (19) උදෑසන පස්කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ වන විට අදාල පස්කන්ද ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ ෴


අභියෝග මැඳ ජීවිතය දිනූ පුංචි ධෛර්යවන්තයා

(19.11.2023 – 15:24 +0530 – hirunews.lk/sinhala)

අඩුපාඩුකම් රැසක් මැද ජීවිතයෙන් පලා යාම වෙනුවට අහිමිවූ සියල්ල ලබාගන්නට වෙරදරන පුංචි ධෛර්යවන්තයෙක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වෙනවා.

දෑත් දෙපා සියල්ල නීරෝගීව තිබියදීත් ජීවිතයට එන පුංචිම පුංචි බාධක හමුවේ ජීවිතයෙන් පලා යන්න උත්සාහ දරන මිනිසුන් සිටින සමාජයක නමින් ‘සිතිල තෙවිජාන් දම්යුරු’ වන මෙම මල් කැකුළ මුලුමහත් සමාජයටම පරමාදර්ශී චරිතයක්.

සිතිල පරමාදර්ශී චරිතයක් වෙන්නේ දෙපා සවිමත් මිනිස්සු අතරේ තමන්ගේ දෙපා අහිමිවීමත්, දෑත් සවිමත් මිනිස්සු අතරේ දෑතේ අඩුපාඩුකම් සහිතවත්, පියසෙනෙහස හිමි දරුවන් අතරේ පිය සෙනෙහස අහිමිවීමත් නොසැලී දරාගනිමින් ජීවිතය දිනන්න දරන උත්සාහය නිසාමයි.

පුංචි සිතිල මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මේ සියලු අඩුපාඩුකම් මැද්දේ මුහුණ දෙනවා.

ඒ, වාරියපොල ශ්‍රී සුමංගල මධ්‍ය මහාවිද්‍යාලයටම ආදර්ශයක් වෙමින්.

තමන්ට දෛවයෙන් උරුම වූ සියලු අහිමිවීම් මැද සිතිල ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 160 ක් ලබාගනිමින් ජයග්‍රහණය කරනවා.

පුංචි සිතිලගේ බලාපොරොත්තු මල්ඵල ගන්වන්න ඔහු පසුපසින් යෝධ ශක්තියක් වූ සිතිලගේ අම්මා සිය පානීය ජල ව්‍යාපාරයෙන් ලැබෙන සුලු මුදලින් ජීවිතය ගැටගහගන්න දරන්නේ සුලු පටු වෙහෙසක් නෙවෙයි.

සියල්ල තිබියදීත් කිසිවක් නොලද්දවුන් අතරේ බොහෝ දෑ අහිමිව සියල්ල දිනන්නට වෙරදරන මේ ධෛර්යවන්තයා ලොකු කුඩා සියලුදෙනාට ජීවිතය කියාදෙන පාසලක් නොවේද?

+


ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කරයි

(19.11.2023 – 14:10 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කර තිබෙනවා.

අධික වර්ෂාව සහ ගංගා පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශ කිහිපකින් ජලගැලීම්ද වාර්තා වු අතර, සැඩ පහරකට හසුවීමෙන් තෙල්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ද මියගොස් තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අද (19) පස්වරුවේදිත් ප්‍රදේශ කිහිපයකටම වැසි අපේක්ෂා කරන බවයි.

මධ්‍යම කඳුකරයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමගම හාලිඇල නගරයේ කන්දේගෙදර මාර්ගය සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවුණා.

ජල ගැලීම්වලින් වෙළඳසැල්වලට මෙන්ම, මාර්ගයේ නවතා තිබු රථවාහනවලට ද හානි සිදුව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය දෙකකට (2) පමණ නවතා දැමීමට සිදුවු බවයි

මේ අතර, අධික වර්ෂාවත් සමඟ දැදුරු ඔය ජලාශයේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා.

එම ජලාශයේ වාන් දොරටු 8 ම විවෘත කිරීමට ද පියවර ගෙන ඇති අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ තත්පරයට ජලය ඝන අඩි 22,400 ක් නිකුත් කරන බවයි.

මේ හේතුවෙන් වාරියපොල, නිකවැරටිය, මහව, හලාවත සහ ආරච්චිකට්ටුව ඇතුළු දැදුරු ඔය ආශ්‍රිත පහළ ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා ෴


බිරිඳගේ පහර දීමෙන් සැමියා මරුට

(19.11.2023 – 10:11 +0530 – hirunews.lk/sinhala)

බිරිඳ විසින් සිය සැමියා ඝාතනයවුනු ඛේදනීය සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ ඉපලෝගම, විජිතපුර ප්‍රදේශයෙන්.

ඊයේ (18) රාත්‍රියේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

දෙදෙනා අතර කලක පටන් ඇතිව තිබූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පසු මෙලෙස බිරිද විසින් සැමියාට මුගුරකින් පහරදී ඝාතනයවී තිබෙන බවයි සිදුකළ මූලික විමර්ශණ වලදී අනාවරණය වී තිබෙන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉපලෝගම විජිතපුර, පලුගස්වැව ගොවිපල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 52 ක පුද්ගලයෙක්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මිය ගිය අයගේ බිරිඳ බව පවසන 47 හැවිරිදි කාන්තාවක්ද ඉපලෝගම පොලිසිය මගින් මේ වනවිට අත්අඩංගුවට පත්වී තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (19) පැවැත්වීමට නියමිතව ඇති අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර කාන්තාව අද (19) දිනයේ කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබන 22 සිට බෝවන රෝග පාලන කටයුතුවලින් ඉවත්වෙයි

(19.11.2023 – 09:42 +0530 – hirunews.lk/sinhala)

ලබන 22 වනදා සිට බෝවන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ විධායක සභික රොෂාන් කුමාර සඳහන් කළේ සිය ඉල්ලීම්වලට දිගින් දිගටම විසඳුම් ලබාදීමට විරෝධය පළ කරමින් මෙලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කළ බවයි ෴


මැරසාදුවෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා තුවාල ලබා සිටි පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත්වෙයි

(19.11.2023 – 08:35 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

දෙණියාය පල්ලේගම ප්‍රදේශයේදී මැරසාදුවෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා තුවාල ලබා සිටි පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ දෙනියාය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපලයෙක්.

තම යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී පල්ලේගම ප්‍රදේශයේ විහාරස්ථානයක ලැගසිටි වයස අවුරුදු 18 ක් පමණ වන මැරසාදුවා විසින් පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය අසළදී මෙම පොලිස් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

මෙම පොලිස් නිලධාරියා කටුවන ප්‍රදේශයේ පදිංචි විවාහක නිලධාරියෙකු වන අතර ඔහු සැකකාර මැරසාදුවාගේ වයස අවුරුදු 26 ක් වන සහෝදරියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වූයේ.

ඔහු අදාළ තරුණියගේ නිවසට ගොස් සිටියදී සැකකාර මැරසාදුවා නිලධාරියාට දුරකථනයෙන් පණිවුඩයක් ලබා දී ඇති අතර ඒ අනුව මැරසාදුවා සහ පොලිස් නිලධාරියා පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය අසළදී හමුවී තිබෙනවා.

එම අවස්ථාවේ සිදුවූ බහින් බස්වීමකින් පසුව සැකකාර මැරසාදුවා බෑගයේ සඟවා ගෙන සිටි තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයට පහර දී ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ෴

+++++

+


“ජනතාව හාමතේ ඉන්නකොට රට බංකොලොත් කළ රාජපක්ෂවරු එක්ක ජනපති කේක් කපනවා” – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

(18.11.2023 – 22:59 +0530 – hirunews.lk/sinhala)

රටේ ජනතාව බඩගින්නේ දුක්විදින කොට රටේ වත්මන් නායකයා සහ හිටපු රාජ්‍ය නායකයා විශාල කේක් ගෙඩියක් කපමින් උපන් දින සමරන බවත් රටේ ජනතාවගේ ජන ජීවිත බෙල්ලෙන්ම කපපු නායකයෝ වත්මන් නායකයාගේ පිහිටෙන් සැපවත් ජීවිතයක් ගත කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙය 2019 ගත් වැරදි තීන්දු තීරණවල ප්‍රතිඵල බවයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ බදුවතුගොඩ ශ්‍රී සුනන්දාරාමයේ පැවති උත්සවයකට අද (18) එක්වූ අවස්ථාවේදීයි.

රට බංකොළොත් කළ පුද්ගලයන්ට විරුද්ධව සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපය නියෝජනය කරන විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තිදෙනෙකු (3) ගොනුකළ පෙත්සම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් පසුගිය රජයේ පාලකයන් විසින් උල්ලංඝනය කර ඇති බවයි.

මේ නෛතික ක්‍රියාදාමය නිසා රටේ ලක්ෂ 220 ජනතාවට රට බංකොළොත් වීම නිසා තමාට සිදුවූ පාඩුව සහ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා නීතිය හමුවට යාමේ මාර්ගය විවෘත වූ බවත්, ඒ සඳහා අවශ්‍ය නීති සහාය ලබා දීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය වැඩපිළිවෙළක් දියත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී පැවසුවා ෴


යතුරුපැදියක් සොරකම් කළ පාසල් සිසුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(19.11.2023 – 18:23 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදියක් සොරකම් කර, එය පදවමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු (2) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගොඩ ප්‍රදේශයේ නිවසකින් යතුරුපැදියක් අතුරුදන් වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

පසුව සිදු කළ විමර්ශනයකදී අංක තහඩු නොමැතිව යතුරුපැදිය පදවමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී අනාවරණය වී ඇත්තේ මෙම යතුරුපැදිය ඔවුන් විසින් සොරකම් කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා (2) ගොඩගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *