කෝප් සභාපති රංජිත් බණ්ඩාරට එරෙහිව ලිංගික හිංසන චෝදනාවක්?

කෝප් සභාපති රංජිත් බණ්ඩාරට එරෙහිව ලිංගික හිංසන චෝදනාවක්?


කෝප් සභාපති රංජිත් බණ්ඩාරට එරෙහිව ලිංගික හිංසන චෝදනාවක්?

(18.11.2023 – 19:58 +0530 – hirunews.lk/sinhala)

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව ඉදිරි සතිය තුළ කතානායකවරයා වෙත භාරදෙන බව සමගි ජනබලවේගය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර හස්ථ සංඥා මගින් සිදු කළ සන්නිවේදනයන් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් මතුව ඇති අතර, එම සිද්ධිය පාර්ලිමේන්තුවේ ද දැඩි දෝෂ දර්ශනයට ලක්වුණා.

කොප් කමිටු සභාපතිවරයාට එල්ල වන දැඩි දෝෂදර්ශන හමුවේ, කෝප් කමිටු රැස්වීම් නැවත දැනුම් දෙනතුරු නවතා දැමීමට ද කථානායකවරයා තීරණය කළා.

මෙවන් පසුබිමක කෝප් කමිටු සභාපතිවරයෙකු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරිනියක ලිංගික හිංසනයකට ලක්කර ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ඊයේ (17) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවට හෙළි කළා.

මේ සම්බන්ධයෙන් අදත් (18) පාර්ලිමේන්තුවේදී අදහස් පළ වූ අතර, අදාළ චෝදනාව එල්ලවී ඇත්තේ කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරට බව එහිදී හේෂා විතානගේ මන්ත්‍රීවරයා අනාවරණ කළා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර 2017 වර්ෂයේ සිට 2018 මැයි 31 වැනිදා දක්වා මහනුවර ප්‍රදේශයේ ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට අදාළව ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ වී‍ මුදල් ලබා ගෙන ඇති බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.

අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2020 පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගේ සභාපතීත්වයෙන් යුත් කෝප් කමිටු රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසා ඇති නමුත් එවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ගෙන් ලැබී තිබුණේ, නොමග යවනසුළු පිළිතුරුයි.

වසර ගණනාවක් පුරා මෙම ව්‍යාපෘතිය සුදු අලියෙක් බවට පත්ව ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ විධායක සභික තිලිණ බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු පිරිසක් අද (18) පැමිණියා.

ඔවුන් එසේ පැමිණියේ, වසර 07 කට පෙර මහනුවර, කටුගස්තොට ප්‍රදේශයෙන් බදු පදනම මත ලබාගෙන ඇතැයි කියන අක්කර 05 කට ආසන්න ඉඩම නිරීක්ෂණය කිරීම සඳහායි.

+

+


නිවැසියන්ගේ අවධානය නොලැබීමෙන් 14 හැවිරිදි දරුවා නිවසින් පැන ගිහින්

(18.11.2023 – 21:15 +0530 – hirunews.lk/sinhala)

මාදම්පේ ප්‍රදේශයේ 14 හැවිරිදි දරුවෙක් සිය නිවැසියන්ගේ අවධානය තමන්ට නොලැබීම නිසා කිසිවෙකුට නොදන්වා නිවසින් පැන ගොස් තිබෙනවා.

ඔහුගේ බාල සහෝදරයා මෙරව ශිෂ්‍යත්වයට පෙනී සිටි අතර ඔහු එම විභාගයෙන් සමත්ව ඇති බවයි සඳහන් වන්නේ.

දරුවාගේ මව රැකියාවක් සඳහා විදෙස්ගතව ඇති අතර ඔවුන් සීයා සමඟ ජීවත් වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ දරුවාගේ මව ඇතුළු වැඩිහිටියන් ශිෂ්‍යත්වය සමත් දරුවා ගැන කතාබහ කිරීම නිසා මානසිකව පීඩාවට පත් වූ මෙම දරුවා නිවසින් පැන ගොස් ඇති බවයි.

+


පාසල් දරුවන් ලෙඩ වූ බව පවසා මව්පියන් බිය වද්දා මුදල් ගැරූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

(18.11.2023 – 22:21 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ සහ කොළඹ පාසල් කිහිපයක සිසුන්ගේ මව්පියන් බිය වද්දා මුදල් කොල්ලකෑමේ ජාවාරමේ නිරත වූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිරාඳුරුකෝට්ටේ පොලිසිය සමත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම සැකකරු සමඟ මෙම කොල්ලකෑමට සම්බන්ධ තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් විසින් මෙලෙස රුපියල් ලක්ෂ විසිපහක (25,00,000) පමණ මුදලක් ලබා ගෙන ඇති බවට දැනට කරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රසිද්ධ පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ගේ මව්පියන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක මුදල් ජාවාරමක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති පසුගිය 10 වැනිදා අනාවරණ කළා.

පාසලට යන දරුවා අසනීප තත්ත්වයක් මත හදිසියේ රෝහල්ගත කළ බව පවසමින් මව්පියන්ට ඇමතුම් ලබාදෙන ජාවාරම්කරුවන් අනතුරුව මව්පියන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන තිබුණා.

මෙම ජාවාරම ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් ක්‍රියාත්මක වන බවයි හිරු ප්‍රවෘත්ති අනාවරණ කළේ.

එම අනාවරණයට පසු දිනම මෙම ජාවාරම සඳහා යොදා ගත් ජංගම දුරකථන අංකය අයත් සිම්පතේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වු අතර, ජාවාරමට සම්බන්ධ සැකකරුවෙක් 16 වැනිදා පමුණුගම පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

ජාවාරමේ ප්‍රධාන සැකකරු සොයා ගිරාදුරුකෝට්ටේ පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන් එක්ව වැඩිදුරටත් පරීක්ෂණ සිදුකළ අතර, ඒ අනුවයි ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ගිරාඳුරුකෝට්ටේ ස්වශක්තිගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදි අත්අඩංගුවට ගනු ලැබුවේ.

‘තුසිත් ප්‍රසන්න කස්තුරිආරච්චි’ නොහොත් ‘අලියා’ නමින් හඳුන්වන මෙම සැකකරු ගිරාදුරුකෝට්ටේ උක්වගාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගැනීමට හැකි වූ අතර, ඔහුගේ ගිණුමට ද රුපියල් ලක්ෂ ගණනින් මව්පියන් මුදල් තැන්පත් කර තිබුණා.

පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙරද රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයෙක් බවයි.

මෙම සැකකරුවන් ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකු දෙකක (2) පවත්වාගෙන යන ගිණුම් හරහා මුදල් ලබාගෙන තිබු අතර, මේ වන විට කරන ලද පරීක්ෂණවලින් අනාවරණ වි ඇත්තේ මව්පියන් බියවද්දමින් රුපියල් ලක්ෂ විසි පහක (25,00,000) පමණ මුදලක් මොවුන් ලබාගෙන ඇති බවයි.

+


“ජනතාව හාමතේ ඉන්නකොට රට බංකොලොත් කළ රාජපක්ෂවරු එක්ක ජනපති කේක් කපනවා” – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

(18.11.2023 – 22:59 +0530 – hirunews.lk/sinhala)

රටේ ජනතාව බඩගින්නේ දුක්විදින කොට රටේ වත්මන් නායකයා සහ හිටපු රාජ්‍ය නායකයා විශාල කේක් ගෙඩියක් කපමින් උපන් දින සමරන බවත් රටේ ජනතාවගේ ජන ජීවිත බෙල්ලෙන්ම කපපු නායකයෝ වත්මන් නායකයාගේ පිහිටෙන් සැපවත් ජීවිතයක් ගත කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙය 2019 ගත් වැරදි තීන්දු තීරණවල ප්‍රතිඵල බවයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ බදුවතුගොඩ ශ්‍රී සුනන්දාරාමයේ පැවති උත්සවයකට අද (18) එක්වූ අවස්ථාවේදීයි.

රට බංකොළොත් කළ පුද්ගලයන්ට විරුද්ධව සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපය නියෝජනය කරන විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තිදෙනෙකු (3) ගොනුකළ පෙත්සම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් පසුගිය රජයේ පාලකයන් විසින් උල්ලංඝනය කර ඇති බවයි.

මේ නෛතික ක්‍රියාදාමය නිසා රටේ ලක්ෂ 220 ජනතාවට රට බංකොළොත් වීම නිසා තමාට සිදුවූ පාඩුව සහ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා නීතිය හමුවට යාමේ මාර්ගය විවෘත වූ බවත්, ඒ සඳහා අවශ්‍ය නීති සහාය ලබා දීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය වැඩපිළිවෙළක් දියත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී පැවසුවා ෴


වෙළෙඳපොළේ සීනි සහ සම්බා සහල් හිඟයක්

(18.11.2023 – 20:23 +0530 – sinhala.adaderana.lk)

සහල් සහ සීනි සඳහා පාලන මිලක් නියම කිරීමට රජය කටයුතු කිරීම හේතුවෙන් වෙළෙඳපොළේ මේ වන විට සීනි සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී තිබේ.

මේ හේතුවෙන් සීනි සහ සහල් මිල දී ගැනීම සඳහා වෙළෙඳපොළට පැමිණි පාරිභෝගිකයන් ද දුෂ්කරතාවට පත් ව ඇති බව වාර්තා වේ.

ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා 2020 වසරේ සිට පැවති ශත 25 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ දැමිමට පසුගියදා රජය පියවර ගත්තේය.

බදු වැඩි කිරීමත් සමඟ බොහෝ වෙළෙඳුන් සීනි මිල ඉහළ දැමූ අතර, එය පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට රජයට සිදු විය.

ඒ, සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 275 ක් සහ දුඹුරු සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 330 ක් ලෙසිනි.

පවතින සීනි හිඟය සම්බන්ධයෙන් පිටකොටුව තොග වෙළෙඳුන් ගෙන් කළ විමසීමේ දී ඔවුන් ද සඳහන් කළේ, අලෙවිය සඳහා සීනි තොග නොලැබෙන බවයි.

මේ හේතුවෙන් සීනි මිල දී ගැනීම සඳහා වෙළෙඳපොළට පැමිණි පාරිභෝගිකයන් ද දුෂ්කරතාවට පත් ව සිටිනු දක්නට ලැබිණි.

වෙළඳපොළේ පවතින සීනි හිඟයට අමතර ව මේ වන විට සම්බා සහ කීරි සම්බා සහල් හිඟයක් ද නිර්මාණය වී තිබේ.

සහල් මිල දී ගැනීම සඳහා අද (18) දිනයේත් වෙළෙඳපොළට පැමිණි බොහෝ පාරිභෝගිකයන්ට සිදු වූයේ සහල් නොමැති ව ආපසු හැරී යාමටයි.

කෙසේ වෙතත් පනවා ඇති පාලන මිලෙන් බැහැර ව සීනි සහ සහල් අලෙවි කරන පුද්ගලයන් සොයා සිදු කරන වැටලීම් අඛණ්ඩ ව දියත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *