ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්න ශම්මි ICCයෙන් ඉල්ලු ලිපිය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්න ශම්මි ICCයෙන් ඉල්ලු ලිපිය මෙන්න


ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්න ශම්මි ICCයෙන් ඉල්ලු ලිපිය මෙන්න

(18.11.2023 – 13:31 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් අත්හිටුවීමක් පැනවූයේ පසුගිය 10 වැනිදායි.

ලොව සුපතල ක්‍රීඩා වෙබ් අඩවියක් වන ESPN CRICINFO වෙබ් අඩවිය ඊට පසු දිනම සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවට පැනවූ ක්‍රිකට් අත්හිටුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම පරිදි සිදුවූවක් බවයි.

එලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‍යේ සභාපති ශම්මි සිල්වා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යොමු කළ බව පැවසෙන ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (18) පාර්ලිමේන්තුවේදී සභාගත කළා.

අදාළ ලිපිය අගෝස්තු 28 වෙනිදා ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිලයෙහි, සභාපති ග්‍රේක් බාක්ලි වෙත ඉදිරිපත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එහිදී අදහස් දැක්වූ විපක්ෂනායකවරයා :

“මම බරපතල ප්‍රකාශයක් කළා. මං කැමතියි ඒකට අදාළ සාක්ෂි ඉදිරිපත් කරන්න. මම පහුගිය දිනවලත්, ඊයේ (17) දවසෙත් මම ප්‍රකාශයක් කරා අපේ රටේ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එල්ලවුණු තහනම සඳහා ඒ වාතාවරණය, පරිසරය, වපසරිය ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන්ම යෝජනා කරපු දෙයක් කියන එක. මං ළඟ තියනවා දැන් ලිඛිත සාක්ෂි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකේ ග්‍රේක් බාක්ලි, චෙයාමන් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකට ලියලා තියෙනවා අගෝස්තු 28 වෙනිදා. මේ ලිපියේ තියෙනවා .. මේ දෙවෙනි කමියුනිකේෂන් එක අයි සී සී එකට යවන. මොකක් ගැනද? රජයේ ඇඟිලි ගැසීම්වලින් සිදුවෙන අභියෝග”

රජයෙන් එල්ල වන අභියෝග 5 ක් පිළිබඳව මෙම ලිපියට ඇතුළත් කර තිබෙනවා.

එම ලිපියේ දක්වා ඇති පළමු (1) අභියෝගය වන්නේ ක්‍රිකට් තරගවලදී ඒවයේ ක්‍රියාත්මක වීම, ඒවායේ ක්‍රමවේදය හා ශ්‍රේණිගතකිරීම්වලින් යම් ක්‍රිකට් සමාජයක් පහළ සිට ඉහළයාම පිළිබඳව ක්‍රියාත්මක කරපු ක්‍රියාදාමයට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අත පොවනවා යන කාරණාවයි.

දෙවන (2) අභියෝගය ලෙස ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලයේ වැටුප් සහ දීමනා පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ලිපියක් ඉල්ලුම් කිරීම දැක්විය හැකියි.

LPL තරග ක්‍රියාත්මක කිරීම සඳහා අවසරයක් ගත යුතු බවට ක්‍රීඩා අමාත්‍යංශය විසින් ක්‍රිකට් ආයතනයට බලපෑම් සිදු කළ බව තුන්වන (3) කාරණාව ලෙස දක්වා ඇති බවයි විපක්ෂනායකවරයා සඳහන් කර සිටියේ.

හතරවෙනි (4) කාරණාව ලෙස එම ලිපියේ සඳහන් වන්නේ ක්‍රීඩා අමාත්‍යංශය විසින් ඒකපාක්ෂිකව ක්‍රීඩා ව්‍යවස්ථාවක් ගොනු කිරීමට කටයුතු කිරීම යන්නයි.

විගණන වාර්තාව අවසරයකින් තොරව මුදා හැරීම තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අගතියක් සිදු වූ බව පස්වෙනි (5) කාරණාව ලෙස එම ලිපියේ සඳහන් වනවා.

විපක්ෂනායකවරයා එහිදී තවදුරටත් තම අදහස් ප්‍රකාශ කර සිටියේ මෙලෙසින් :

“සභාගත කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්ටනැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකට ඉදිරිපත් කරපු චෝදනා පහට (5) අමතරව තව චෝදනාවකුත් තියෙනවා. අර හයවෙනි (6) එක. විශේෂයෙන් මේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩා අමාත්‍යශය ඇඟිලි ගසනවයි කියන කාරණාව. මං මේක හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. විශේෂයෙන්ම සියලුම මන්ත්‍රීතුමන්ලා – දෙසිය විසි පස් දෙනාගේම (225) දැනගැනීමටත්, රටේ ක්‍රිකට්ලෝලීන්ගේත්, ජනතාවගෙත්, ඒ වගේම මාධ්‍ය ක්ෂේත්‍රයේත් දැන ගැනීම සඳහා..”

+


කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාරට එරෙහි විශ්වාසභංගයක්

(18.11.2023 – 09:42 +0530 – hirunews.lk/sinhala)

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ ක්‍රියාකලාපයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ ඉදිරි සතිය තුළ මෙම විශ්වාසභංගය කථානායකවරයාට භාර දෙන බවයි.

ඊට අදාළ සාකච්ඡා මේ වනවිට සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴


හේෂා ගේ චෝදනාවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

(18.11.2023 – 15:33 +0530 – sinhala.adaderana.lk)

ලිංගික අල්ලස් ඉල්ලූ කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් සම්බන්ධයෙන් පාලර්මේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සිදුකළ හෙළිදරව්ව සම්බන්ධයෙන් අද (18) පාර්ලිමේන්තුවේ දී සංවාදයක් ඇති විය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා :

“ඊයේ (17) සාකච්ඡාවේ දී හේෂා විතානගේ මන්ත්‍රීවරයා ගේ කටින් කියවුණා ලිංගික අල්ලස් ගත්තු කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් කියලා. හිටපු සභාපතිවරු ගොඩක් ඉන්නවා. මම විශ්වාස කරනවා මේ ප්‍රකාශය හා සම්බන්ධ සභාපතිවරයාව ඇත්තටම හොයන්න ඕනේ නැත්නම් පාර්ලිමේන්තුවටත් ඒ සභාවටත් විශාල අගෞරවයක් වෙනවා.”

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාලර්මේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා :

“මම සදාචාරත්මක ව මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටිකත් එක්ක ඕකත් අර ඇඟිල්ල කටේ තිබ්බ මහත්තයා ගේ ඇඟට දාන්න බැරි හින්දා පාර්ලිමේන්තුවේ අවදානයට යොමුකරන්න මේක කිව්වේ. මේකට වර්තමාන සභාපතිවරයා සම්බන්ධයි.”

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාලර්මේන්තු දයාසිරි ජයසේකර මහතා :

“ඔබතුමා ගේ අණකින් මේ දෙසැම්බර් මාසේ වෙන තුරුම මේ කෝප් කමිටු රැස්වීම් නවත්වලා තියෙනවා. මේ මාසේ හොඳට වෙලාව තිබුණා ආයතන ගණනාවක් ගෙනල්ලා කතා කරන්න. මම 2004 ඉදලා කෝප් කමිටුවේ සාමාජිකයෙක් විදිහට වැඩකරලා තියෙනවා සෑහෙන කාලයක්. එතකොට අපි දැක්කා කිසිම වෙලාවක කොප් කමිටුවේ කථා කරපු එකක් ගෙනල්ලා පාර්ලිමේන්තුව ඇතුළේ කථා කරන්නේ නැහැ අපි. එළියේ ගිහිල්ලා පත්තරවලට කියන්නෙත් නැහැ. එළියේ ගිහිල්ලා රූපවාහිනීවලට කියන්නෙත් නෑ අපි. එහෙම ගෞරවයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෝප් කමිටුව ඇතුළේ අපි තියාගෙන හිටියා. හැබැයි දැන් ඒක සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනවා මේ සියලුම සාමාජිකයින්ට ඉස්සර වෙලා උගන්නන්නට ඕනේ කෝප් කමිටුවේ වැඩ කරන්නේ කොහොමද කියලා. වර්තමාන කෝප් කමිටුවේ සභාපතිවරයාත් සමඟ විශාල චෝදනාවක් ඇතිවෙලා තියෙනවා. ඒකට මේක වහලා දාන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ලබන සඳුදා හරි කථා කරලා මේක අවසන් කරන්න.”

+


බිරිඳ සිදු කළ පහරදීමකින් සැමියෙකු ජීවිතක්ෂයට

(18.11.2023 – 12:06 +0530 – hirunews.lk/sinhala)

තිස්සමහාරාම – කාවන්තිස්සපුර ප්‍රදේශයේදී බිරිඳ සිදුකළ පහර දීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ පවුල් ආරවුලක් දුර දිග යාමෙන් බිරිඳ විසින් නිවසේ තිබූ ක්‍රිකට් පිත්තකින් සැමියාගේ හිසට පහරදී ඇති බවයි.

බරපතළ තුවාල ලැබූ සැමියා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙක්.

පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් 42 හැවිරිදි බිරිඳ අත්අඩංගුවට ගත් බවයි ෴


සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකට ඇදවැටී අවුරුදු 6 ක දැරියක් මරුට

(18.11.2023 – 11:33 +0530 – hirunews.lk/sinhala)

සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකට ඇදවැටී අවුරුදු 6 ක දැරියක් මියගොස් තිබෙනවා.

මෙම දියණිය බදුරලිය ඉලුක්පොත හෝටලයක විවේකයක් ගත කිරීම සදහා ඊයේ (17) දෙමව්පියන් සමඟ පැමිණ සිටිය දී නාන තටාකයට ඇදවැටී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ දැරිය කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි බදුරලිය පොලිසිය සඳහන් කළේ.

මෙසේ මියගොස් ඇත්තේ වැලිවේරිය ඇඹරළුව උතුර ප්‍රදේශයේ පදිංචි දැරියක් වන අතර බදුරලිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴


සමගි ජන බලවේගයෙන් ජනපතිට සන්දේශයක්

(18.11.2023 – 08:14 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අර්බුදයට වගකිවයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ පුද්ගලයින්ට හිමි විශ්‍රාම වරප්‍රසාද සහ දීමනා වහාම නතර කළ යුතු බව සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී බලවේගය පවසනවා.

ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරමින් ජනාධිපති ලේකම්වරයා වෙත එම පිරිස ඊයේ (17) සංදේශයක් භාර දුන්නා.

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයට අනුබද්ධ ජනතාවාදී බුද්ධි මණ්ඩපයේ සාමාජිකයින් පිරිසක් ගොනුකළ පෙත්සමකට අදාළව පසුගිය 14 වැනිදා මෙම නඩු තීන්දුව ලබා දී තිබූ අතර, එමගින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණා.

එම සංදේශයෙන් ජනාධිපතිවරයාගේ අවධානයට ලක්කර ඇත්තේ ඔවුන්ට ජනතා බදු මුදලින් ලබාදෙන විශ්‍රාම වැටුප්, නිල නිවාස, නිල වාහන ආරක්ෂාව ඇතුළු අනෙකුත් සියලු‍ දීමනා වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසයි ෴


වැස්සට වැලිමඩ හෝදගෙනම යයි | ළමයින්ගේ පොත්පත් ගන්න දෙයක් නෑ | මෙන්න වැලිමඩට වෙච්ච දේ (18.11.2023)

+


පාසල් සිසුවෙක් අතුරුදන්

(18.11.2023 – 18:37 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ප්‍රදේශයේ ජාතික පාසලක ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් අතුරුදහන් වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම දරුවා පෙරේදා (16) පාසලට ගොස් ඇති අතර එතැන් සිට අතුරුදන් වී ඇති බවයි.

මොහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙක් වන අතර ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටිමින් අධ්‍යාපන කටයුතුවල නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ සිසුවා තවත් පුද්ගලයෙකු සමඟ ඊයේ (16) කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් ගෙන ඇති බවයි එම මාර්ගයේ සීසීටීවී කැමරා දර්ශණවල සටහන් තිබෙන්නේ.

අනුරාධපුර, දිවුල්වැව හා කුරුණෑගල කටුපොත යන පොලිස් ස්ථාන මඟින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් පවතිනවා.

+


පොලිස්පති සේවා දිගුව ඒකමතිකව ප්‍රතික්ෂේප කරයි

(18.11.2023 – 19:50 +0530 – hirunews.lk/sinhala)

පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්නට ජනාධිපතිවරයා විසින් ලබාදුන් තුන්වන (3) හා සිව්වන (4) සේවා දිගු ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළිත් වරක් අද (18) රැස්වූ අවස්ථාවේ එම සභාව ඒකමතිකව තීරණය කර ඇත්තේ අවසන් සේවා දිගු දෙකම (2) ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දීමටයි.

+


බදුල්ල – වැලිමඩ මාර්ගයේ අවහිරතාවයක්

(18.11.2023 – 20:20 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – වැලිමඩ මාර්ගය පුහුල්පොල ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. ඒ පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන්.

හාලිඇල කැටවල මාර්ගය කිරිගොල්ල ස්ථානයෙන් පස්කන්දක් කඩාවැටී සම්පූර්ණයෙන් අවහිර වී තිබුණා.

බෝගහකූඹුර වැලිබිස්සාවෙල හරහා හෙවනකුඹුර මාර්ගය ස්ථාන කිහිපයක්ද පසු කඳු කඩා වැටී අවහිර වී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *