පාස්කු විමර්ශන රජය කඩා කප්පල් කළා : හිටපු CID ප්‍රධානියෙකු විදෙස් මාධ්‍යයට කියයි

පාස්කු විමර්ශන රජය කඩා කප්පල් කළා : හිටපු CID ප්‍රධානියෙකු විදෙස් මාධ්‍යයට කියයි


පාස්කු විමර්ශන රජය කඩා කප්පල් කළා : හිටපු CID ප්‍රධානියෙකු විදෙස් මාධ්‍යයට කියයි

(17.11.2023 – 13:20 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය පසුගිය රජය විසින් කඩාකප්පල් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව මීට පෙර කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න චෝදනා කරනවා.

ඔහු ඔස්ට්‍රේලියා ABC පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමිනුයි මේ බව සදහන් කර ඇත්තේ.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල කල පුද්ගලයන්ගේ භූමිකාව සැගවීමේ අරමුණින් හමුදා බුද්ධි අංශ පොලිසියට වැරදි තොරතුරු ලබා දුන් බවට හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මෙහිදී අනාවරණයක් කළා.

කළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කළ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අදාළ පොලිස් විමර්ශන කඩාකප්පල් කළ දේශපාලන ඇඟිලි ගැසීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය බවයි ABC පුවත් සේවය පෙන්වා දෙන්නේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මාස හයකට පසු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමග තම කණ්ඩායම අදාළ විමර්ශනලින් ඉවත් කළ බව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පැවසූ බවද ABC වාර්තාවේ සඳහන්.

+


සෞඛ්‍ය සේවකයින් ‘ඇඟිලි සලකුණු තබා සේවයට පැමිණීම’ ප්‍රතික්ෂේප කරයි

(17.11.2023 – 15:46 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවකයින් ‘ඇඟිලි සලකුණු තබා සේවයට පැමිණීම’ ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත් කළ අනු කාරක සභාවේදී ප්‍රශ්න කෙරුණා.

වෘත්තීය සමිති ඊට දැඩි විරෝධයක් ප්‍රකාශ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා එහිදී පැවසුවේ.

කෙසේ වෙතත් කෝපා අනු කාරක සභාව උපදෙස් දී ඇත්තේ කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇඟිලි සලකුණු ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි ෴


ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ‘ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට’ කැඳවයි

(17.11.2023 – 14:33 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහව ලබන 21 වනදා ‘ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය’ වෙත කැඳවා තිබෙනවා.

ඒ ක්‍රීඩා අමාත්‍යාංශය එම ඒකකයට කළ පැමිණිල්ලක් මතයි.

ලෝක කුසලාන තරගාවලි පරාජයෙන් අනතුරුව තේරීම් කමිටු සභාපතිවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ‘ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකයෙන්’ ඉල්ලීමක් කර තිබුණා ෴


ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු දරුවන් 5 දෙනෙකුට

(17.11.2023 – 12:19 +0530 – hirunews.lk/sinhala)

මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ දී නිකුත් වුණා.

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුයේ ඔක්තෝම්බර් 15 වනදා වන අතර, එයට දරුවන් තුන් ලක්ෂ තිස් දෙදාස් නවසිය හතළිස් නමයක් (3,32,949) ඉදිරිපත් වී ඇති බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමයන්ත පවසනවා.

ඉන් දරුවන් 5664 ක් කඩඉම් ලකුණු ලබා ගෙන ඇති බව ඔහු සඳහන් කළා.

ගිය අවුරුද්දට සාපේක්ෂව මෙවර කඩඉම් ලකුණු සීමාව ඉක්මවා ගිය දරුවන්ගේ ප්‍රතිශතය 15.22% බවයි සඳහන් වන්නේ.

ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලබාගත් පළමු 5 දෙනා ලකුණු 198 ක් ලබා ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

මෙවර ද ප්‍රතිඵල නිකුත් කිරීමේදී දිවයිනේ ප්‍රථමයා හෝ දිස්ත්‍රිකක්යේ ප්‍රථමයා ප්‍රකාශ කර නොමැත.

කොළඹ, ගම්පහ, මහනුවර, ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක සිංහල මාධ්‍යයෙන් වැඩිම කඩඉම් ලකුණ 154 ක් වන අතර, එය ඉහළ කඩඉම් ලකුණ ද වනවා.

දෙමළ මාධ්‍යයේ ඉහළම කඩඉම් ලකුණු සීමාව 147 ක්.

හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සීමාව 150 ක් වන අතර, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණු සීමාව දැක්වෙන්නේ 149ක් ලෙසයි.

අම්පාර, පුත්තලම, අනුරාධපුර දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 148 ක් වන අතර, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල එම සීමාව දක්වා ඇත්තේ ලකුණු 146 ක් ලෙසයි.

වව්නියාව, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු සීමාව 145 ක් ලෙස දක්වා තිබෙනවා. ප්‍රතිඵල පිළිබදව පාර්ලිමේන්තුවේදි අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් දැක්වූ අතර, හිටපු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ද ඊට මැදිහත් වුණා.

+

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත පරික්ෂා කිරීමේ අභියාචනා ‘ඔන්ලයින්’ ඔස්සේ සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා ප්‍රතිඵල නැවත පරික්ෂා කිරීමේ අභියාචනා මෙසේ ‘ඔන්ලයින්’ ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ෴


නැවත දැනුම් දෙන තුරු කෝප් කමිටුව රැස් නොවන බව කථානායක කියයි

(17.11.2023 – 11:53 +0530 – hirunews.lk/sinhala)

කෝප් කමිටුව නැවත දැනුම් දීමක් සිදු කරන තුරු රැස් නොවන බව අද (17) කථානායකවරයා දැනුම් දී තිබෙනවා.

මෙලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අවසන්වරට රැස් වූයේ පසුගිය 15 වනදා.

+


ජනපති ‘ජේ.ෂා’ට දුන් දුරකථන ඇමතුමක් ගැන පාර්ලිමේන්තුවේ දී අනාවරණයක්

(17.11.2023 – 11:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇති වී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලය පවරා ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර අද (17) පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එම කමිටුව ICCයෙන් රැස්වීමක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර හරීන් ප්‍රනාන්දු විසින් ද අද (17) පාර්ලිමේන්තුවේ දී විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඔහු පවසා සිටියේ ජනාධිපතිතුමා විසින් ‘ජේ.ෂා’ට දුරකථන ඇමතුමක් ලබා දී ක්‍රිකට් ගැටළුව පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි.

එමෙන්ම මේ වන විට මෙම ගැටළුව ක්‍රිකට් අර්බුදයක එහා ගිය ජාත්‍යන්තර අර්බුදයක් බවට පරිවර්ථනය වී ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා :

“මම රොෂාන් රණසිංහ මැතිතුමාට කිසිම විරුද්ධත්වයක් නැහැ.එකේ සංයුතිය වෙනස් විය යුතුයි. නමුත් ඒ පනතක් විදියට, නීතියෙන්, උසාවියෙන් ගිහිල්ලා තමයි ඒ වෙනස කරන්න ඕනේ. ඊයේ දවසේදී ජනාධිපතිවරයා ‘ජේ.ෂා’ කියන, ඉන්දියාවේ ඉන්න කෙනාට කතා කරා දුරකථන ඇමතුමෙන්. ඒකට හේතුව, අද මේක ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. ‘ජේ.ෂා’ගේ තාත්තා තමයි, අම්රිෂා. මෝදි ඇමතිතුමාගේ දකුණු අත කියලයි කියන්නේ. දැන් මේක දේශපාලන අර්බුදයක් විතරක් නෙමෙයි, ජාත්‍යන්තර අර්බුදයක් සහ ක්‍රිකට් අර්බුදයකටත් වඩා එහාට ගියා මේ ප්‍රශ්නය. දේශපාලන වශයෙන් මේකෙන් වාසියක් ගන්න සමහර අය උත්සාහ කරනවා.”

+


දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනු කළ පෙත්සමට අද (17) ලබා දුන් තීන්දුව

(17.11.2023 – 10:53 +0530 – hirunews.lk/sinhala)

බුදුදහමට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල වී සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මෙරටට පැමිණෙන අවස්ථාවේ ගුවන්තොටුපලේදී අත්අඩංගුවට නොගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය අද (17) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

දිවයිනට පැමිණිමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48 ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවයි අධිකරණය දැනුම් දුන්නේ.

ඉන් අනතුරුව, දේවගැතිවරයාට එරෙහිව සාමාන්‍ය පරිදි නීතිය ක්‍රියාත්මක කළ හැකි බව අභියාචනාධිකරණය දැනුම් දුන්නේ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ලබාදෙමින්.

අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න, චමත් මොරායස් යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

පසුගිය අප්‍රේල් මාසයේ පැවති දේවමෙහෙයකදී දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අදාළ ප්‍රකාශය සිදුකර තිබූ අතර, පසුව ඔහුට එරෙහිව පාර්ශව රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබුණා ෴


පවුලේ හතර දෙනාම එකටම තුරුල් වී අවසන් ගමන් ගිහින්

(17.11.2023 – 09:28 +0530 – hirunews.lk/sinhala)

බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගවරන්හේන ග්‍රාම නිලධාරී වසමේ වෑහින්තැන්න ගම් ප්‍රදේශයේ සිදු වූ නාය යෑමෙන් ජීවිතක්ෂයට පත් වූ එකම පවුලේ මව, පියා හා දියණියන් දෙදෙනාගේ (2) මරණ පරීක්ෂණ බලන්ගොඩ මූලික රෝහලේ දී පවත්වා තිබෙනවා.

මෙසේ මියගියේ එච්. චමින්ද සුමිත් කුමාර (47), ඊ.කේ. සිරියලතා (41), තසාරා නමෝදි (16) සහ විමංසා ඉසුරි ධනංජනී (10) යන එකම පවුලේ සිව්දෙනායි (4).

මෙහිදී සාක්ෂි දුන් මියගිය චමින්ද සුමිත් කුමාරගේ නැගණිය වූ එච්. විමලා රංජනී නමැති අය මෙසේ අදහස් දැක්වූවා :

“මෙසේ මියගොස් සිටින්නේ මගේ අයියා හා ඔහුගේ පවුලේ අයයි. මෙදින මගේ අයියාගේ උපන්දිනය යෙදී තිබුණා. එදින උදේ මම නිවසට පැමිණි විට අයියා මට පෙන්නුවා පොඩි දුව ඔහුට දුන් සුබ උපන්දිනයකට ආශිර්වාද කර සකස් කරන ලද කාඩ්පත. එම දුව මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වී ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියා. මෙදින හැන්දෑ වරුවේ වැස්ස පැවතුණා. අපේ නිවස තිබුණේ අයියලාගේ ගෙදරට ආසන්නයේමයි. හැන්දෑ වනවිට වැස්ස වැඩිවුණා. ඒ නිසා අපේ අම්මයි, තාත්තයි තව පවුලේ කිහිපදෙනකු සමඟ පැලක නැවැත්තුවා. එයට හේතු වූයේ ගමේ අය මේ ප්‍රදේශයේ නායයාවි යැයි බියක් ඇති කරගෙන තිබූ නිසයි. මම අයියාටත් කිව්වා දරුවන් සමඟ ඉක්මනට පිටවෙන්න කියා. අයියා කිව්වා පොඩි දුව නිදි කියලා. අයියා පිටවීමට සූදානම් වෙද්දී අපි ආරක්ෂිත පැළට ගියා. එහි යන අතරේ දී විශාල ශබ්දයක් ඇසුණා. ඒ සමඟ ම පස් කන්දකින් අයියලාගේ ගෙය වැසී ගියා.”

සිද්ධිය වූ දින සවස එම නිවසට පැමිණි අසල්වැසියෙකු මෙසේ සාක්ෂි ලබා දුන්නා :

“සිද්ධිය වූ දින සවස මම චමින්දගේ ගෙදරට ආවා. මම කිව්වා අද වැස්ස වැඩියි. ඉවත් වී ඉඳිමු කියා. මීට පෙර මෙම ප්‍රදේශයේ නායයෑම ගැන දැනුවත් වී නොසිටියත් පැවති තත්ත්වය හමුවේ බොහෝ දෙනෙක් බියෙන් පසු වුණා. ඒ නිසා මගේ දුවගේ මාස එකොළහක් පමණ වයසැකි කුඩා දරුවාත් ඔසවාගෙන අනෙක් දරුවනුත්, බිරිඳත් සමඟ එම ස්ථානයෙන් ඈතට ගියා. ගත වූයේ විනාඩි දහයකට අඩු කාලයක්. ඉහළ සිට ගල් සහ පස් කන්දක් පෙරළී ඇවිත් චමින්දගේ ගෙය බිමට සමතලා වුණා.”

මෙම මළසිරුරු සෙවීමේ කටයුතුවල නියැලී සිටි නිලධාරීන්ට සිරුරු සොයා ගැනීමේ දී ඉතා සංවේදී සිද්ධියකට මුහුණ දීමට සිදු වුණා.

නිවසේ නින්දේ සිටි කුඩා දැරිය තුරුල් කරගත් ඇයගේ මව සහ අනෙක් දෙදෙනා එකම තැනක මියගොස් සිටීම දැකීමෙන් ඔවුන් සියල්ලන්ම කම්පනයට පත් වූ බවයි වාර්තා වන්නේ ෴


‘කොන්ක්‍රීට්’ බැම්මක් කඩා වැටීමෙන් මියගිය දියණියගේ මව ලංකාවට

(17.11.2023 – 08:24 +0530 – hirunews.lk/sinhala)

වැල්ලම්පිටිය, වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සහ ජල බේසම් සවි කර ඇති ‘කොන්ක්‍රීට්’ බැම්මක් කඩා වැටීමෙන් අනතුරට ලක් වී මිය ගිය දැරියගේ මව ඊයේ (16) පස්වරුවේ සෞදි අරාබියේ සිට දිවයිනට පැමිණ තිබෙනවා.

ඇය එරට අවුරුදු 1 යි මාස 2 ක් පමණ කාලයක් ගෘහ සේවයේ යෙදී සිට ඇති බවයි වාර්තා වන්නේ.

ලංකාවට පැමිණි ඇගේ මව දැක්වූයේ මෙවන් අදහසක්,

“මම රට ගියේ මගේ දරුවෝ තුන් දෙනාගේ අනාගතය හදා ගන්න. ඉන්න ගෙයක් හදා ගන්න. ඊයේ දුවගෙ උපන් දිනේ. මම කතා කරලා ඇහුවා, මොනවා ද ඕනෙ කියලා. එයා කිව්වා කේක් ඕන කියල. මම කිව්වා මට තව මාස 8 ක් තියෙනවා එන්න. ඒ එනකොට කේක් අරං එන්නම් කියලා. ඒත් මට කේක් අරං එන්න බැරි වුණා. ඉස්කෝලෙ බිත්තිය කඩා වැටිලා, අන්තිමේදී මගේ දුව නැති වුණා. දැන් මට ඉන්නෙ මගේ පුතාලා දෙන්නා විතරයි. අනේ අපිට ගෙයක් හදා ගන්න උදව් කරන්න.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *