පාසල් දරුවන්ගේ මව්පියන් බියවැද්දූ කප්පම් කල්ලියේ මහා මොළකරු කොටුවෙයි

පාසල් දරුවන්ගේ මව්පියන් බියවැද්දූ කප්පම් කල්ලියේ මහා මොළකරු කොටුවෙයි


පාසල් දරුවන්ගේ මව්පියන් බියවැද්දූ කප්පම් කල්ලියේ මහා මොළකරු කොටුවෙයි

(15.11.2023 – 23:01 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ සහ කොළඹ ප්‍රසිද්ධ පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ගේ මව්පියන් බියවද්දමින් ඔවුන්ගේ මුදල් ලබා ගන්නා පිරිසක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අනාවරණය කළේ පසුගිය 10 වැනිදායි.

පාසලේදී දරුවා හදිසියේ අසනීප වූ බව පවසමින් පිරිසක් විසින් එම දරුවන්ගේ නිවෙස්වලට දුරකථන ඇමතුම් ලබා දෙන අතර ඉන් පසු හදිසි ප්‍රතිකාර සඳහා බැංකු ගිණුමකට මුදල් තැන්පත් කරන ලෙස දන්වනවා.

ඒ පාසල් බලධාරීන් හා ගුරුවරුන් ලෙස පෙනී සිටිමින් අදාළ මුදල් තැන්පත් කරන මව්පියන්ට පසුව අවබෝධ වන්නේ තම දරුවාට එවැනි අසනීප තත්ත්වයක් ඇති වී නොමැති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි ලැබී තිබුණා.

කෙසේ වෙතත් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පමුණුගම පොලිසිය සමත් වුණා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාඅදුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි ‘මධුශංක ඒකනායක’ නම් 24 හැවිරිදි අයෙක්.

සැකකරු ගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී වංචනික ලෙස මුදල් බැර කර ගැනීම සදහා ගිණුම් කිහිපයක් භාවිතා කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අද (15) අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.

+


වෙළෙඳුන්ගෙන් මුදල් වංචා කරන අලුත් ජාවාරමක්

(15.11.2023 – 18:43 +0530 – sinhala.adaderana.lk)

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් බව සඳහන් කරමින් දුරකථන ඇමතුම් ලබාදී වෙළෙඳුන්ගෙන් මුදල් ලබාගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

පාලන මිල ඉක්මවා සීනි අලෙවි කිරීම සහ තොග සඟවා ගෙන සිටීමේ චෝදනා මත නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති වෙළෙඳසැල් සහ ආයතන වෙත මෙලෙස දුරකථන ඇමතුම් ලැබී ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.

එවැනි දුරකථන ඇමතුම් ලැබුණහොත් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

මේ අතර දින 10 ක් තුළ සිදුකළ වැටලීම්වලින් පාලන මිල ඉක්මවා සීනි අලෙවි කළ වෙළෙඳසැල් 300 ක් හඳුනාගෙන ඇති බව සඳහන් වෙයි.

එම වෙළෙඳසැල්වල හිමිකරුවන්ට එරෙහිව ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කරන බව එම අධිකාරිය පැවසුවේය ෴


ලුණුගම්වෙහෙරේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුට

(15.11.2023 – 20:46 +0530 – sinhala.adaderana.lk)

ලුණුගම්වෙහෙර රක්ෂිතය තුළදී වනජීවී නිලධාරීන් විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පවසන්නේ මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවය ෴


ඇමතිට ක්‍රිකට් ආයතනයෙන් තවත් නඩුවක්

(15.11.2023 – 21:50 +0530 – hirunews.lk/sinhala)

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපහාස නඩුවක් ගොනු කර තිබෙනවා.

කොළඹ දිසා අධිකරණයේ මෙම නඩුව ගොනුකර ඇත්තේ රුපියල් බිලියන 2.4 ක වන්දි මුදලක් ඉල්ලමින්.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කරන ලද හානිකර අපහාසාත්මක ප්‍රකාශවලට එරෙහිව මෙම නඩුව ගොනු කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කීර්තිය සහ අන්තර්ස ම්බන්ධතා ආරක්ෂා කිරීම සඳහා බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා, උප සභාපතිවරයා සහ භාණ්ඩාගාරික ඒකාබද්ධව, පසුගිය 13 වැනිදා කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම අපහාස නඩුව ගොනුකර තිබෙන අතර, එමගින් රුපියල් බිලියන 2.4 ක වන්දි මුදලක් ඉල්ලා ඇතැයි ක්‍රිකට් අයාතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත්, ක්‍රීඩා අමාත්‍යවරයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර ද රුපියල් ලක්ෂ 346 ක පමණ මුදලක් වැය කර ඇති බවද පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණා.

තේරීම් කමිටු සභාපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දායකත්වයෙන් මහනුවර ඉදිකිරීමට සැලසුම් කර තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කැම්පස් ආයතනය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදේශකයෙකු ලෙස කෝප් කමිටු සභාපති ලෙස ක්‍රියා කරන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා 2018 වසරේදී දායකත්වය සපයා ඇති බවට පැවසෙන ලිපියක් ද සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරනවා.

ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් බේරා දෙන ලෙස ඉල්ලමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්වුණා.

+


ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආබාධවලට හේතුව වෛද්‍යවරයෙක් ද?

(15.11.2023 – 17:40 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආබාධවලට හේතුව එහි සිටින එක් වෛද්‍යවරයෙකු විසින් ලබාදෙන ඖෂධ බව ඊයේ (14) COPE කමිටුව හමුවේ අදහස් දක්වමින් දයාසිරි ජයසේකර සඳහන් කර තිබෙනවා.

ඔහු පවසන්නේ එම වෛද්‍යවරයා වෘත්තිමය වශයෙන් ක්‍රීඩා වෛද්‍යවරයෙකු නොවන අතර ක්‍රීඩකයින්ගේ ආබාධ තවදුරටත් වර්ධනය වී ඇත්තේ ඔහු ලබාදෙන ඖෂධ හේතුවෙන් බවයි.

බිනුර ප්‍රනාන්දු නම් ක්‍රීඩාකයාට වසර 7 ක් තුළ කකුළේ අමාරුවක් සඳහා ප්‍රතිකාර කර තිබුණ ද ඔහුගේ ආබාධය තිබී ඇත්තේ කොන්දේ බවයි මෙහිදී පර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අදාළ වෛද්‍යවරයා වන්ෂොට් යන අන්වර්ථ නාමයකින් හැඳින්වෙන බවත් ඔහු ලබාදෙන වේදනා නාශකවල අතුරු ප්‍රතිවිපාක ලෙස ආබාධ මතුවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

එමෙන්ම ලක්ෂ ගණනින් වියදම් කරමින් මෙවැනි වෛද්‍යවරු තවමත් තබාගෙන සිටින්නේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබදවත් COPE කමිටුව හමුවේදී ඔහු ප්‍රශ්න කර තිබෙනවා.

+


ලුණුගම්වෙහෙර වෙඩිතැබීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු එළියට

(15.11.2023 – 22:46 +0530 – sinhala.adaderana.lk)

ලුණුගම්වෙහෙර රක්ෂිතය තුළදී වනජීවී නිලධාරීන් විසින් සිදුකළ වෙඩිතැබීමකින් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළිවී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ‘අසංක සම්පත්’ නමැති 31 හැවිරිදි වියේ පසුවන එක්දරු පියෙකි.

වනජීවී නිලධාරීන් පවසන්නේ අනවසරයෙන් රක්ෂිතය තුළට ඇතුළු වූ දඩයක්කරුවන් පිරිසක් වනජීවී නිලධාරීන් වෙත වෙඩිතැබීමක් සිදුකළ බවය.

එහිදී වනජීවී නිලධාරීන් විසින් ද පෙරළා වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර එහිදී එම පිරිස පළායාමට උත්සාහ දරා ඇති බවද වනජීවී නිලධාරීන් පවසයි.

එම අවස්ථාවේදී වනජීවී නිලධාරීන් විසින් එම පිරිස ලුහුබැඳගොස් ඇති අතර එහිදී වෙඩි වැදී වැටී සිටි පුද්ගලයා සොයාගෙන ඇත.

අනතුරුව එම පුද්ගලයා වනජීවී නිලධාරීන් විසින් ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

මේ අතර ඥාතීන් පවසන්නේ මසුන් මැරීම සඳහා ගිය තම ඥාතියාට වෙඩිතබා ඇති බවටය.

ලුණුගම්වෙහෙර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


රුවැති මවගේ මරුවා ‘හෙයාර් ඩ්‍රයර්’ එකෙන් එයි

(15.11.2023 – lankadeepa.lk)

විදුලි උපකරණයකින් (‘හෙයාර් ඩ්‍රයර්’) කොණ්ඩය සකස්කරමින් සිටි එක් දරු මවක ට එම උපකරණයෙන් විදුලිය කාන්දු වී විදුලි සැර වැදී නිවසේ උඩු මහලේ පිහිටි නාන කාමරය තුළ ඇද වැටී මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේපොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටී කාන්චනා සුභාෂිණි ලොකුහේවගේ නැමැති 30 හැවිරිදි කාන්තාවකි.

ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කළමනාකරණ සහකාරනිලධාරිනියක් ලෙස කාලයක් සේවය කර ඇති සුභාෂිණි මහත්මිය දරුවා ලැබීමෙන් පසු සේවයෙන් ඉවත් වී ඇත.

ඇය අවුරුදු තුනක දියණියකගේ මවක් වන්නීය ෴


බාල බෙහෙතේ මහ මොළකරු කැබිනට්ටුවේ

(15.11.2023 – lankadeepa.lk)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියේ මහමොළකරු සිටින්නේ කැබිනට් මණ්ඩලයේ බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන් මෙම සිද්ධියේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පුළුවන්නම් ඔහු අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තතුවට අද (15) අභියෝග කළේය.

සෞඛ්‍ය අමාතත්‍යංශයේ අයට වඩා ශ්‍රී ලංකාවේ මිනිස්සු පිළිබඳව තම සේවාදායකයා දුක් වන බවත් උසාවිය කුමන අන්දමින් අධිකරණ මනස යෙදවුවත් මෙම අපරාධට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා (2) පොලිසිය අත්අඩංගුවට ගන්නේ නැතැයි කී ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ටෙන්ඩර් පටිපාටියේ ඇති ගැටළු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගතයුතු අය අල්ලන්නේ නැතුව නිසි ටෙන්ඩර් පටිපාටිය අනුව කටයුතු කළ නිර්දෝෂී තම සේවාදායකයා අත්අඩංගුවට ගත්තේ ඇයිදැයි වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ඹෟෂධ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වා සතියක කාලයක් තුළ අධිකරණයට ඉදිරිපත් කිරීමට ඹෟෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට නියම කළ අතර අදාළ වාර්තාව ලබාදීමට පමා කළහොත් එය හිතාමතාම විමර්ශවලට බාධා කිරීමක් බවද පෙන්වා දුන් මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය සැකකරුට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් ඔහු ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කළාය.

ඉනන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

++++++++

+


ජීප් රිය කොල්ල කන්න හැදූ එස්.ටි.එෆ්. ලොක්කෙක් ඇතුළු හතක් (7) මාට්ටු

(15.11.2023 – lankadeepa.lk)

නිට්ටඹුව ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කිරීමේ ස්ථානයකින් ජීප් රථයක් මිලදී ගන්නා මුවාවෙන් පැමිණ එය පරීක්ෂාකර බැලීමට යැයි කියා එම ව්‍යාපාරිකයා ද සමඟ රැගෙන ගොස් එය පැහැර ගැනීමට තැත් කළේ යැයි කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පුද්ගලයින් හත්දෙනකු (7) අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.

ව්‍යාපාරික ස්ථානයට පැමිණි පුද්ගලයකු මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් මිලදී ගැනීමට පැමිණි බව කියා එය පරීක්ෂා කර බැලීමට රැගෙන යෑමට ඉල්ලීමක් කර ඇතැයි කියති.

ඒ අවස්ථාවේ ව්‍යාපාරිකයා ද රථයට ගොඩ වී එම පුද්ගලයා සමඟ ගොස් ඇතැයි පොලිසිය කියයි.

පස්යාල ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී මෝටර් රථ දෙකකින් (2) පැමිණි පුද්ගලයින් කණ්ඩායමක් ජීප් රථය නතර කර එය පැහැරගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේ ව්‍යාපාරිකයා ජිප් රථයේ සිටි පුද්ගලයාගේ තර්ජන නොතකා හරිමින් ජිප් රථය පදවාගෙන ව්‍යාපාරික ස්ථානයට පැමිණ සෙසු සේවකයින්ගේ ද සහාය ඇතිව ජිප් රථයේ සිටි පුද්ගලයා අල්ලා මෙල්ල කර මේ බව නිට්ටඹුව මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *