කෝප් සභාපති රංජිත් බණ්ඩාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ව්‍යාපාරික සම්බන්ධතා හෙළිදරව් වෙයි

කෝප් සභාපති රංජිත් බණ්ඩාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ව්‍යාපාරික සම්බන්ධතා හෙළිදරව් වෙයි


කෝප් සභාපති රංජිත් බණ්ඩාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ව්‍යාපාරික සම්බන්ධතා හෙළිදරව් වෙයි

(15.11.2023 – 15:28 +0530 – hirunews.lk/sinhala)

කෝප් කමිටුවේ සභාපති රංජිත් බණ්ඩාරට ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ පැවති ව්‍යාපාර සම්බන්ධතා පිළිබඳව තොරතුරු හෙළි වී තිබෙනවා.

ඔහු මහනුවර නගරයේ ක්‍රිකට් විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ උපදේශකයෙකු ලෙස වගකීම් භාරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියාවේ පැවති පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව කෝප් කමිටුව හමුවේ ඊයේ (14) සාකච්ඡාවට ලක්වූ අවස්ථාවේ ඔහු විසින් දබර ඇඟිල්ලෙන් හස්ත සංඥාවක් ද ලබා දුන් බවට මේ වන විට බොහෝ දෙනා කෝප් කමිටුවේ සභාපතිට විවේචන එල්ල කරමින් පවතිනවා.

මේ සම්බන්ධයෙන් අද (15) පාර්ලිමේන්තුවේදී ද ඔහුව දෝෂ දර්ශනයට ලක් වුණා.

විපක්ෂ නායකවරයා කියා සිටියේ මන්ත්‍රීවරුන් කෝප් කමිටුව හමුවට පැමිණ සිටි සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී කෝප් කමිටු සභාපතිවරයා දඹරැගිල්ලෙන් හස්ත සංඥා ලබා දීමෙන් සාක්ෂිකරුවන් පාලනය කළ බවයි.

මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.

කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටියේ පිරිසක් පැමිණ එම ‘ස්වාධීන කමිටුව’ දේශපාලනීකරණය කිරීමට උත්සාහ කළ බවයි.

[ලිපි ලේඛන]


120 පාරේ බිහිසුණු අනතුරක්

(15.11.2023 – 17:30 +0530 – sinhala.adaderana.lk)

කහතුඩුව පොල්ගස්ඕවිට මංසන්ධියේදී බස් රථයක් සහ සුඛෝපභෝගී වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවියක් ඇතුළු 6 දෙනෙකු රෝහල්ගතකර ඇත.

මත්තේගොඩ දෙස සිට පැමිණි වෑන් රථය කොළඹ දෙසට හැරවීමට සූදානම් වීමේ දී කැස්බෑව දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් ගමන් ගත් පෞද්ගලික බස් රථයේ ගැටී මෙම අනතුර වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ අනාවරණය වී ඇත.

අනතුරත් සමග බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා එම ස්ථානයෙන් පලාගොස් කහතුඩුව පොලිසිය වෙත භාරවී ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් පුද්ගලයෙකු, බස් රථයේ ගමන් ගත් පාසල් සිසුවියක (1) සහ කාන්තාවන් තිදෙනෙකි (3).

අනතුරින් පසුව වෑන් රථයේ සිරවී සිටි පුද්ගලයෙකු ඉන් මුදාගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත.

වෑතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන්කළ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

කහතුඩුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි ෴

+

+


මහ පාරේ පුද්ගලයෙකු කැපූ සැකකරු අත්අඩංගුවට

(15.11.2023 – 17:29 +0530 – sinhala.adaderana.lk)

නගරයක් මැද පුද්ගලයෙකු කපා කොටා බරපතළ තුවාල සිදුකර පළාගිය සැකකරුව කළුතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙනෝදාහක් දෙනා බලාසිටියදී ඉකුත් 13 වනදා පස්වරුවේ කළුතර නගර මධ්‍යයේදී බස් කොන්දොස්තරවරයෙකුට මෙලෙස තියුණු ආයුධයකින් පහරදී කපා කොටා බරපතළ තුවාල සිදුකර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සැකකරුවෙකි.

පහරදීම සඳහා භාවිත කළ මන්නා පිහියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම පහරදීම සිදුකළ දින දහවල් කාලයේදී කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළ අසල පාසල් යන වයසේ සිසුන් පිරිසක් අතර ගැටුමත් හටගෙන ඇත.

එම ගැටුම සමථ කිරීමට මැදිහත්වූ මෙම බස් කොන්දොස්තරවරයා එක් සිසුවෙකුට කම්මුල් පහරක් දී පිටව යන ලෙස අවවාද කර තිබේ.

එයින් උරණවූ එක් සිසුවෙක් තවත් මිතුරන් දෙදෙනෙකු (2) සමග පැමිණ දැනට රෝහල්ගතව සිටින පුද්ගලයාට එළව එළවා පහරදී ඇත.

බස් කොන්දොස්තරවරයාගේ දෙඅත්වලට බරපතළ හානි සිදුවී ඇති අතර ඔහුට සැත්කම් කිහිපයක් සිදුකිරීමට අවශ්‍ය බව කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම පහරදීමට පැමිණි පුද්ගලයින් තිදෙනා (3) ගෙන් ප්‍රධාන සැකකරු මේ වනවිට කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පහරදීම සිදුකළ තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) සොයා පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසයි.

පහරකෑමට ලක්වූ පුද්ගලයා වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක්දරු පියෙකි.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

සැකකරුවන් තිදෙනා (3) තියුණු ආයුධ රැගෙන පහරදීමට පැමිණෙන ආකාරය CCTV කැමරාවක ද සටහන්වී තිබුණි ෴


වැට් වදින භාණ්ඩ ලැයිස්තුව හර්ෂ හෙළිකරයි

(15.11.2023 – 17:07 +0530 – sinhala.adaderana.lk)

වැට් බදු අය නොකළ භාණ්ඩ 100 කට වැට් බදු අයකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (15) හෙළිකළේය.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසීය.

+


තේරීම් කමිටුවේ පැටිකිරිය ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිසර පෙරේරා හෙළි කරයි

(15.11.2023 – 20:52 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් වත්මන් තේරීම් කමිටුව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඉවතට විසි කරමින් කටයුතු කළ අදුරදර්ශී පිළිවෙත, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා ඇති දරුණු පරාජයන්ට හේතුවී ඇති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිසර පෙරේරා පවසනවා.

වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුවේ කෙණෙහිලිකම් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන් තිසර වැඩිදුරටත් පවසන්නේ නව තේරීම් කමිටුවක් මගින් ඉල්ලීමක් කළහොත් තමන්ට යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණීමට හැකි බවයි.

නමුත් මෙම තේරීම් කමිටුව සිටින තෙක් තමා එවැනි තීරණයක් නොගන්න බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එහිදී අදහස් දැක්වූ තිසර පෙරේරා :

“මගේ කණ්ඩායමේ හිටියා ගිය අවුරුද්දේ අවිශ්ක ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, perform කරලත් ඒගොල්ලෝ වර්ල්ඩ් කප් ස්කොඩ් එහෙක නැහැ. මම දන්නේ නැහැ මොනවගේ මට්ටමකින් මේගොල්ලෝ තේරුවද කියලා. වර්ල්ඩ් කප් එකේ සිලෙක්ට් වෙලා තියෙන කණ්ඩායම් හතර දිහා බැලුවොත් එහෙම ඔය ජ්‍යෙෂ්ඨයින් පිළිබඳ උපරිම උදාහරණයක් තියෙනවා. එතන ඉන්න ක්‍රීඩකයෝ ඔක්කොම තිස් තුනත්, තිස් හතත් අතර තමයි වැඩි හරියක් ඉන්නේ. ජ්‍යෙෂ්ඨත්වය ඉතාමත් බලපානවා මේ වර්ල්ඩ් කප් එකක ස්පෙෂල්. මේ රට දිනවන්න ඕනේ නම් එහෙම දක්ෂයාට සහ සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනේ. ඉතින් මේගොල්ලන්ගෙන් මේ ඒ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. මං 2021 අයින් වුණාට මට කතා කරන්න බැරි වෙලා හිටියා. මොකද හේතුව මම බෝඩ් කන්ට්රැක් එහෙක ඉඳලා අවුරුද්දක් යනකං.. අපිට මීඩියා එකට කතා කරන්න බැහැ. දැන් මං මේ කතා කරන්නේ අපේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙනුවෙනුත්, සිලෙක්ෂන් කමිටි එකේ ලොකු ෆේවරේෂන් එකක් තියෙනවා එක එක ප්ලේයර්ස්ලට.”

+


සත් (7) හැවිරිදි දියණියක පැහැරගත් තරුණයෙක් අත්අඩංගුවට

(15.11.2023 – 19:35 +0530 – sinhala.adaderana.lk)

අමනාප වූ පෙම්වතිය යළි ගෙන්වාගැනීම සඳහා ඇගේ සහෝදරයා ගේ සත් (7) හැවිරිදි දියණිය තරුණයකු විසින් පැහැරගැනීමේ සිදුවීමක් හොරණ, ගෝනපොළ, ඇටඹහේන ප්‍රදේශයෙන් වාර්තා වේ.

පසු ව පෙම්වතා සිය පෙම්වතිය ගෙන්වාගෙන තිබුණේ, දැරිය සමඟ සිටින ඡායාරූපයක් පෙම්වතියට යවා, ඇය නොපැමිණියහොත් දැරිය මරා දමන බවට තර්ජනය කරමිනි.

පසු ව දැරිය පෙම්වතිය ගේ ඥාති නිවසකට ගෙනගොස් දමා ඔහු සිය පෙම්වතිය රැගෙන පළා ගොස් තිබිණි.

ඒ අනුව පැහැර ගැනීමට ලක් වූ තරුණිය සොයා විමර්ශන ආරම්භ කළ මොරගහහේන පොලීසිය විසින් ඊයේ (14) සැකකාර පෙම්වතා හා පැහැරගැනීමට සහාය වූ ඔහු ගේ මස්සිනා ගෝනපිනුවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වූ තොරතුරුවලට අනුව, ගෝනපීනුවල ප්‍රදේශයේම පිහිටි සැකකාර පෙම්වතා ගේ නිවසේ රඳවා සිටි තරුණිය ද සොයා ගැනිණි.

පැහැරගැනීමට සැකකරුවන් භාවිත කළ මෝටර් රථය ද පොලීසිය සොයාගෙන ඇති අතර, එය කුලී පදනම මත ලබාගත් එකක් බව අනාවරණ වී තිබේ ෴

+


පාසල් බැම්ම කඩාවැටුණු හැටි හෙළිවෙයි

(15.11.2023 – 19:29 +0530 – sinhala.adaderana.lk)

වැල්ලම්පිටිය, වෙහෙරගොඩ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ බැම්මක් කඩාවැටී පළමු (1) ශ්‍රේණියේ පුංචි දැරියකට අවාසනාවන්ත ලෙස අද (15) දිවි අහිමි විය.

තවත් දරුදැරියන් 05 දෙනෙකු අනතුරින් තුවාල ලැබීය.

අනතුරින් මියගියේ ‘සෙහන්සා නෙත්මි’ නම් දැරියක් වන අතර ඇයගේ 6 වැනි උපන්දිනය ද යෙදී ඇත්තේ අද (15) දිනටය.

වැල්ලම්පිටිය, වෙහෙරගොඩ විද්‍යාලයේ පළමු (1) වැනි ශ්‍රේණියේ පන්ති කාමරය ඉදිරිපිට පිහිටි ජල කරාම පෙළ වෙත සිසු සිසුවියන් පිරිසක් ගොස් තිබුණේ අත් සේදීම සඳහාය.

විවේක කාලය යෙදී තිබුණු පෙරවරු 10:30 ට පමණ ඔවුන් එහි ගොස් තිබුණේ වෙනදා පරිදි, පුරුදු දඟකාරකමිනි.

අත් සෝදමින් සිටි සිසු සිසුවියන් 6 දෙනෙකු අනතුරට ලක්කරමින් නොසිතූ ලෙස එක්වරම එම ඉදිකිරීම කඩා වැටී තිබුණි.

එහිදී, මෙම වෙන්වී ගොස් ඇති කොන්ක්‍රීට් කොටස තුළ සිසුවියන් දෙදෙනෙකු (2) සිරවී තවත් සිසු සිසුවියන් සිව් (4) දෙනෙකුට ද තුවාල සිදුවුණි.

කොන්ක්‍රීට් කොටස තුළ සිරවූ සිසුවියන් දෙදෙනා (2) බේරාගැනීමට ගුරුවරු, පාසලට පැමිණ සිටි මව්පියන් මෙන්ම අනතුර සැලවූ අසල්වාසීන් ඇතුළු පිරිසක් මහත් පරිශ්‍රමයක් දරා තිබුණි.

තුවාල ලැබූ සිසු සිසුවියන් 6 දෙනාගෙන් සිසුවියන් දෙදෙනෙකු (2) හා සිසුන් 3 දෙනෙකු කොළඹ ජාතික රෝහලට කඩිනමින් ඇතුළත් කෙරුණි.

කොන්ක්‍රීට් කොටස තුළ සිරවී බරපතළ තුවාල ලබා සිටි සිසුවිය රෝහල්ගත කරනවිටත් මෙලොව හැරගොස් තිබූ බව වාර්තා විය.

තුවාල ලැබූ අනෙක් සිසුවිය ඇතුළත් කෙරුණේ, රිජ්වේ ආර්යා ළමා රෝහලටය.

අනතුරින් ජීවිතය අහිමි වුණේ, ‘සෙහන්සා නෙත්මි කෝදාගොඩ’ නමැති දැරියටය.

ඇය වැල්ලම්පිටිය, වෙහෙරගොඩැල්ල පාර ප්‍රදේශයේ පදිංචිව සිටියේය.

හද සලිත කරවන කරුණ නම් පුංචි සෙහන්සාගේ 06 වැනි උපන්දිනයද අදට (15) යෙදී තිබීමය.

වැඩිමල් සහෝදරයින් දෙදෙනෙකුගේ (2) සුරතල් නැගණියක් වන ‘සෙහන්සා’ගේ මව විදෙස්ගතවී සිටින අතර ඔවුන් හැදීවැඩී තිබුණේ සිය මිත්තණිය සමගය.

අනතුරෙන් මියගිය සෙහන්සාගේ සහෝදරයා :

“ඒ මගේ නංගි. යාළුවෝ එක්ක සෙල්ලම් කර කර හිටියා. මල්ලි කෙනෙක් හිටියා. ඒ මල්ලි අර තාප්පේ උඩට නැග්ග ගමන් ඒක කඩන්වැටුණා. ඒක ඇඟට වැටුණා.”

ඇගේ පියා එම නිවස අසල වෙනම නිවසක පදිංචිව සිටින බවද වාර්තා වෙයි.

මේ අතර අනතුර සැලවීමත් සමග ඇතිවූ කලබලකාරී තත්ත්වය සමග සිසු සිසුවියන් පිටතට යෑම වැළැක්වීම සඳහා විදුහල්පතිවරයා පාසලේ ගේට්ටුව වසා දැමීමට උපදෙස් දී ඇති අතර, ඊට උරණ වූ මව්පියන් පිරිසක් පාසලට පැමිණ විදුහල්පතිවරයාට පහරදී තිබුණි.

පහරදීමෙන් තුවාල ලැබූ විදුහල්පතිවරයා රෝහල්ගත කර තිබේ.

පාසල තුළ ඇතිවූ තත්ත්වය සමතයකට පත් කරන්නට ග්‍රෑන්ඩ්පාස් හා දෙමටගොඩ පොලිස් නිලධාරීන්ට අමතරව, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද විදුහලට කැඳවීමට පියවර ගැනුණි.

විදුහල්පතිවරයාගේ උපන් දිනයද අදට (15) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් ඔහු දරුදැරියන්ට ටොෆී හා ලොලිපොප් බෙදා දී තිබූ බවද වාර්තා වෙයි.

අනතුර සිදුවූ ස්ථානයේ ස්ථානීය අපරාධ පරීක්ෂණයක් සහ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (15) සිදුකෙරුණි.

ඒ අලුත්කඩේ අංක 4 වැඩබලන මහෙස්ත්‍රාත් ශාන්ත හේරත් මහතා විසිනි.

එමෙන්ම වැඩිදුර පරීක්ෂණ සඳහා මහෙස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහල වෙතද පැමිණි සිටියේය.

අනතුරට හේතුව, ‘ජල කරාම සවිකර ඇති ඉදිකිරීම නිසි ප්‍රමිතියෙන් ගොඩනංවා නොතිබීම’ බවට මව්පියන් හා අසල්වාසීන් චෝදනා කරයි.

‘එම ඉදිකිරීම පොළවට නිසි පරිදි සම්බන්ධ කර නොමැති’ බව දර්ශනවලින්ද මනාව දැකගත හැකිය.

ජල කරාම සවිකර තිබූ ප්‍රමිතියෙන් තොර මෙවැනිම ඉදිකිරීම් එම විදුහලේ තවත් තිබෙන බව ‘අද දෙරණ’ට නිරීක්ෂණය වුණි.

කෙසේ වෙතත් මේ නොසැලකිල්ලට අවසානයේ වන්දි ගෙව්වේ අහිංසක මල් කැකුළකි.

‘සෙහන්සා’ යළිත් පාසල් නාවත්, පන්ති කාමරයේ ඇයගේ මේසය, පුටුව හිස් වුණත් ඇය සමුගන්නේ පාසලේ හැමදෙනා අතර මතකයක් වෙමිනි.

ඒ වගේම ‘අවදානම්සහගත ඉදිකිරීම් මින් පසු පාසලක නොතිබිය යුතු’ බවට වන පණිවුඩයත් ලබාදී බලධාරීන්ගේ ඇස් අවදිකරමිනි ෴

++++++++

දැරියකට දිවි අහිමිවූ සිද්ධියේ පාසල් විදුහල්පතිගේ ඇසකට හානි

(15.11.2023 – 19:22 +0530 – sinhala.adaderana.lk)

පාසලක බැම්මක් කඩාවැටී දැරියට දිවි අහිමිවූ සිද්ධියත් සමග උරණවු පිරිසක් විසින් අදාළ පාසලේ විදුහල්පතිවරයාට පහරදීමක් සිදුකර තිබුණි.

වැල්ලම්පිටිය, වේරගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ බැම්මක් කඩා වැටීමෙන් සිසුවියක් මියගොස් තවත් දරු දැරියන් 05 දෙනෙකු මෙලෙස තුවාල ලබා තිබුණි.

අනතුර සැලවීමත් සමග ඇතිවූ කලබලකාරී තත්ත්වය සමග සිසු සිසුවියන් පිටතට යෑම වැළැක්වීම සඳහා විදුහල්පතිවරයා පාසලේ ගේට්ටුව වසා දැමීමට උපදෙස් දී ඇති අතර, ඊට උරණ වූ මව්පියන් පිරිසක් පාසලට පැමිණ විදුහල්පතිවරයාට පහරදී තිබේ.

පහරකෑමෙන් ඇසකට හානි සිදුවී ඇති විදුහල්පතිවරයා මේ වනවිට අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

විදුහල්පතිවරයාගේ උපන් දිනයද අදට (15) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් ඔහු දරුදැරියන්ට ටොෆී හා ලොලිපොප් බෙදාදී තිබූ බවද වාර්තා වෙයි.

අද (15) පෙරවරු 10:30 ට පමණ එම පාසලේ ජල කරාම සවිකර තිබු කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණි.

පාසල තුළ ඇතිවූ තත්ත්වය සමතයකට පත් කරන්නට ග්‍රෑන්ඩ්පාස් හා දෙමටගොඩ පොලිස් නිලධාරීන්ට අමතරව, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද විදුහලට කැඳවීමට පියවර ගැනුණි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *