ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම ගැන ඇමතිගෙන් විශේෂ හෙළිදරව්වක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම ගැන ඇමතිගෙන් විශේෂ හෙළිදරව්වක්


ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම ගැන ඇමතිගෙන් විශේෂ හෙළිදරව්වක්

(11.11.2023 – 14:00 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මතුවී ඇති අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන් කරුණු හෙළිකිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙලෙස කරුණු හෙළි කෙරේ.

එම සජීවි විකාශය :

++++++++

ක්‍රිකට් දූෂිතයින්ට දඬුවම් දෙන විදිහ (11.11.2023)

+

+


‘ඇපලටොක්සින්’ විෂ රසායනිකය අඩංගු මිරිස් කන්ටේනර් 25 ක් හරවා යවයි

(11.11.2023 – 16:07 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයෙන් ආනයනය කළ මිරිස් තොගයක ‘ඇපලටොක්සින්’ විෂ රසායනිකය අඩංගු වීම හේතුවෙන් ඒවා ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පසුගිය දින කිහිපය පුරා සිදු කළ සාම්පල පරීක්ෂාවෙන් පසුව කන්ටේනර් 25 ක් මෙලෙස ප්‍රතිඅපනයනය කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන් කළේ.

මීට අමතරව ‘ඇපලටොක්සින්’ විෂ රසායනිකය අඩංගු වීම හේතුවෙන් බඩඉරිගු තොගයක්ද ප්‍රතිඅපනයනය කර තිබෙනවා ෴


පෙර පාසල් ගුරුවරිය බිය වද්දා ග්‍රාමයා කප්පම් ඉල්ලලා

(11.11.2023 – 15:24 +0530 – hirunews.lk/sinhala)

= පෙර පාසල් ගුරුවරියක් බිය වද්දා ග්‍රාම නිලධාරි කප්පම් ඉල්ලලා =

හෝමාගම පිටිපන ප්‍රදේශයේ පෙර පාසලක ගුරුවරියක් බිය වද්දා රුපියල් ලක්ෂ විස්සක (20,00,000) කප්පම් ඉල්ලු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ගුරුවරියට දුරකථන ඇමතුම් ලබා දෙමින් කප්පම් මුදල් ඉල්ලු පුද්ගලයා පවසා තිබුණේ තමන් අපරාධ කල්ලියක සාමාජිකයෙක් බවත් රුපියල් ලක්ෂ 20 ක කප්පම් මුදලක් ලබාගන්නා ලෙසට තම කල්ලියේ ප්‍රධානියා තමන්ට දැනුම් දුන් බවයි.

එම මුදල ලබා නොදෙන්නේ නම් පෙර පාසල් ළමුන් ඝාතනය කරන ලෙස තම නායකයා දැනුම් දුන් බවයි ඔහු තර්ජනය කර ඇත්තේ.

මෙලෙස අවස්ථා කිහිපයකදී අදාළ ගුරුවරියට දුරකථන ඇමතුම් ලබාදෙමින් කප්පම් මුදල් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ මුදල් ලබාදෙන බව පවසමින් පෙර පාසල් ගුරුවරියගේ නිවස සමීපයට උපාය මාර්ගිකව කප්පම්කරුව ගෙන්වාගෙන ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

එහිදී අනාවරණ වී ඇත්තේ ඔහු ‘ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරි’ බවයි.

+


මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඇතුළු දෙදෙනාට අධිකරණයෙන් දුන් තීන්දුව

(11.11.2023 – 14:01 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ ඇතුළු දෙදෙනා (2) රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ව නොවැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සබරගමුව හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ද ඇතුළත් බව වාර්තා වෙනවා.

මෙහි විමර්ශන සිදු කර ඇත්තේ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින්.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක (1,00,00,000) අල්ලසක් ලබා ගනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් බවයි සඳහන් වන්නේ ෴

+++++++

+


බෙන්තොට හෝටලයක නාන තටාකයකට වැටී කුඩා දරුවෙකු මියයයි

(11.11.2023 – 14:00 +0530 – hirunews.lk/sinhala)

බෙන්තොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක නාන තටාකයකට වැටී අවුරුදු දෙකයි (2) මාස තුනක් (3) වයසැති කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දෙමාපියන් සමග බෙන්තොට ප්‍රදේශයේ සංචාරයකට ගොස් සිටි දරුවෙක්.

සිය දරුවා කාමරයේ නොමැති බව දැනගැනීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂාවේදීයි දරුවාගේ සිරුර නාන තටාකයේ පාවෙමින් තිබියදී ඊයේ (10) සොයාගෙන තිබුණේ.

ඔවුන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴


බත්තරමුල්ලේ නිවසක ගින්නකින් විදේශිකයෙකු මරුට

(11.11.2023 – 10:19 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල – ජයන්තිපුර ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් විදේශිකයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අද (11) අලුයම මෙම ගින්න හට ගෙන ඇති බවයි.

එය මේ වනවිට සම්පූර්ණයෙන් මැඬපවත්වා ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි ෴


උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

(11.11.2023 – 09:36 +0530 – hirunews.lk/sinhala)

උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිලාවේලි පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු බවයි සඳහන් වන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි ෴


ලොරි රථයකට වෙඩි තබා කප්පම් ඉල්ලූ දෙදෙනෙකු (2) වළස්මුල්ලේදී අත්අඩංගුවට

(11.11.2023 – 09:31 +0530 – hirunews.lk/sinhala)

වළස්මුල්ල ප්‍රදේශයේදී ලොරි රථයකට වෙඩි තැබූ සහ කප්පම් මුදල් ඉල්ලා දුරකථනයෙන් තර්ජනය කළ පුද්ගලයන් දෙදෙනෙකු (2) මත්ද්‍රව්‍ය සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පසුගිය 04 වනදා සැකකරුවන් ලොරි රථයකට වෙඩි තබා මෙම කප්පම් මුදල් ඉල්ලා තිබූ බවයි.

පසුව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් දෙදෙනා ඊයේ (10) හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 450 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 34 සහ 35 යන වයස්වල පසුවන මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් ෴


හිඟ සුරාබදු රුපියල් මිලියන 198 ක් ගෙවයි

(11.11.2023 – 08:38 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 198 ක මුදලක් හිඟ සුරාබදු ලෙස මේ වන විට ලැබී ඇති බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

පසුගියදා එම කාරක සභාව රැස් වූ අතර ඊට සහභාගීවූ සුරාබදු නිලධාරීන් සඳහන් කළේ මත්පැන් සමාගම් 5 කින් රුපියල් බිලියන 1.1 ක මුදලක් හිඟ බදු ලෙස ලැබීමට තිබූ බවයි.

ඉන් මේ වන විට රුපියල් මිලියන 198 ක මුදලක් ගෙවා ඇති බවත් ඉතිරි හිඟ මුදල් මෙම වසර නිමවීමට පෙර ගෙවා අවසන් කිරීමටද පොරොන්දු වී ඇති බවයි සුරාබදු නිලධාරීන් එම කාරක සභාවේදී සඳහන් කර ඇත්තේ ෴


රුපියල් මිලියන 136 ක මුදල් වංචාවක් සම්බන්ධව සැකකරුවකු අත්අඩංගුවට

(11.11.2023 – 11:30 +0530 – sinhala.adaderana.lk)

ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් මිලියන 136 කට අලෙවි කර මුදල් වංචා කළ පුද්ගලයකු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ල පොලිස් වසමේ කොටා පාරේ පිහිටි පර්චස් 87.5 ක ඉඩමක් සඳහා මෙසේ ව්‍යාජ ඔප්පුවක් සකසා අලෙවි කර ඇති බව පොලීසිය පවසයි.

සැකකරු ඊයේ (10) රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 55 ක රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු ඊයේ (10) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ශරීර ඇප මත නිදහස් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි ෴


‘සේනා දළඹු’ බලපෑමෙන් බඩ ඉරිඟු වගාව අවදානමක

(11.11.2023 – 09:46 +0530 – sinhala.adaderana.lk)

‘සේනා දළඹු’ හානිය හේතුවෙන් අනුරාධපුර, මහකනදරාව ගොවි ව්‍යාපාරයේ අක්කර දහසකට (1000) වැඩි බඩ ඉරිඟු වගාව දැඩි අවදානමකට පත් ව ඇති බව වාර්තා වේ.

බඩ ඉරිඟු කරල හටගන්නා අවස්ථාවේ දී මීට පෙර ‘සේනා දළඹු’ හානිය ඇති වුව ද මෙවර කන්නයේ දී බඩ ඉරිඟු වගාව ආරම්භ කර දින දොළහක් (12) පමණ වන විට මෙම සේනා දළඹු හානිය පැමිණ ඇති බව ගොවීහු පවසති.

වසර කිහිපයක සිට බඩ ඉරිඟු වගාවට ‘සේනා දළඹු’ හානිය ඇති වූ බවත් මේ පිළිබඳ අවස්ථා කිහිපයක දී අදාළ බලධාරින් දැනුම්වත් කළ ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු කිසිදු ආයතනයක් ඊට පිළියම් ලබානොදුන් බවත් බඩ ඉරිඟු ගොවීන් ගේ මතයයි.

සිය කන-කර උකස් කර මුදල් යොදවා වන සතුන් ගෙන් ද ආරක්ෂා කර ගනිමින් ආරම්භ කළ බඩ ඉරිඟු වගාව මේ වනවිට ‘සේනා දළඹු’ හානියට ගොදුරු වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් බලාපොරොත්තු වීමට නොහැකි බව ගොවී‍යෝ අවධාරණය කරති.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *