දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මතයි

දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මතයි


දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මතයි

(09.11.2023 – 18:08 +0530 – hirunews.lk/sinhala)

දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම සඳහා ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තුවේදී පක්ෂ නායකයින් ඊයේ (08) තීරණයක් ගත්තේ රට තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩි විරෝධයක් එල්ලවීමත් සමඟයි

ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සදහා දූෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුලු නිලධාරි මණ්ඩලය වහා ඉවත්විය යුතු බවට සහ ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් පනතක් හරහා සම්මත කළ යුතු බවට වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් එය ස්ථිර කළා.

විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම නිසා තමන්ට දුරකථන ඇමතුම් මගින් තර්ජන එල්ල වී ඇති බවයි.

ජනතා මතයට අනුව මෙම යෝජනාව සම්මත කිරීමට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළා.

එමෙන්ම අද (09) විවාදයට එක් වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරින් රාජ්‍ය බැංකුවකින් ඩොලර් මිලියන දෙකක මුදලක් ලබා ගැනීමේ උත්සාහක මේ වනවිට නිරත වන බවයි ෴

+

අවිශ්ක ප්‍රනාන්දු අතුරුදන්?

(09.11.2023 – 15:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට වන ඒකාබද්ධ යෝජනාව පිළිබද විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ ආරම්භ වී තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ස්ථාවර ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු නොමැති බවයි.

කණ්ඩායමේ සිටි අවිශ්ක ප්‍රනාන්දුට කුමක් සිදු වූයේ ද යන්න පසුගිය දිනක මුත්තයියා මුරලිදරන් ද ප්‍රසිද්ධියේ විමසා සිටි බවයි එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ :

“අවිශ්ක ප්‍රනාන්දුට වෙච්ච දෙයක් හොයාගන්නවත් නෑ.. මේ රටේ විතරයි ක්‍රීඩකයෝ ඔහොම අතුරුදන් වෙන්නේ.. වෙන කිසිම රටක මෙහෙම වෙන්නේ නෑ.. තේරීම් කමිටුව තමා මේ විදිහට ක්‍රීඩකයෝ අතුරුදන් වෙන එකට වග කියන්න ඕනේ.. ඩොලර් 20,000ක පඩියකුත් අරන් මෙහෙම වෙන්නේ.. අවිශ්ක ප්‍රනාන්දු 2019 වර්ල්ඩ් කප් එකේදී සෙන්චරි දෙකක් ගැහුවා.. ඒ නිසා තමා ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශ්වාසයක් නැත්තේ.. හෙට මාව කපයි ද කියලා බයෙන් ඉන්නේ.. ඒකයි ක්‍රීඩකයෝ සමත්භාවය වෙනුවට අසමත්භාවය පෙන්වන්න හේතු වෙන්නේ.”

+

+

කවදාවත් එළියේ කරන්න බැරි, පාර්ලිමේන්තු වරප්‍රසාද හමුවේ අද (09) පාර්ලිමේන්තුවේදී නලීන් කල කතාව (09.11.2023)

+

ක්‍රීඩා ඇමතිගේ සම්පූර්ණ කතාව – කලකට පසු පාර්ලිමේන්තුවම එකතු වෙයි (09.11.2023)

+

ජවිපෙ මග ඇරියාද? සජිත්ගේ උත්තරේ – කතානායකට චෝදනාවක් – රොෂාන්ට සජිත් සජබේ දොරටු අරී (09.11.2023)

+


විරෝධතාවයේදී වෛද්‍ය සිසුන් 21 ක් අත්අඩංගුවට

(09.11.2023 – 17:54 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය පිඨ සිසුන්ගේ විරෝධතාවයේදී 21 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අදාළ විරෝධතාවය සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක් ලබාදෙන ලෙස ඉල්ලා සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම විරෝධතාවය හේතුවෙන් මරදාන ඩීන්ස් පාර ද අවහිර වී ඇති බව සඳහන් වෙනවා ෴

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් සංවිධානය කළ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. අදාළ විරෝධතාවයට මරදාන දුම්රිය ස්ථානය අසල දී මෙසේ ජල ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ ෴

+


ගංජා පානය කළ ගුරුවරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(09.11.2023 – 17:11 +0530 – hirunews.lk/sinhala)

වැලිමඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක රාජකාරි කාලය තුළ ගංජා පානය කළ ගුරුවරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංගීත පන්ති කාමරය තුළ ගංජා සුරුට්ටු උරමින් සිටියදී අදාළ ගුරුවරුන් දෙදෙනා (2) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ නිර්නාමික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී ගංජා ග්‍රෑම් 1.9 ක් සොයාගත් බවයි.

සැකකරුවන් අද (09) වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා ෴


නවගමුවට දේවාලයේ සීල් තැබු පිං කැටවල අමතරව හොර කැට මුදල් ගරන බවට පැමිණිල්ලක්

(09.11.2023 – 16:25 +0530 – hirunews.lk/sinhala)

නවගමුවේ දේවාලවල මුද්‍රා තැබු පිංකැටවලට අමතරව රහසිගතව තවත් පිංකැට තබා මුදල් රැස්කරන ජාවාරමක් ඇති බැවින් ඒ පිළිබඳව කඩිනමින් සොයා බලන ලෙස ‘නවගමුව සුරැකීමේ සංවිධානය’ විගණකාධිපතිවරයාට හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දන්වා තිබෙනවා.

එසේම, දේවාලවලට පුජාකරන රත්තරන් බඩු ආදිය ගැනද, තවමත් නිසි විගණනයක් නැති නිසා දිගින් දිගටම වංචා සිදුවන බවද, පසුගිය 06 වන දින යවා ඇති එම ලිපියේ සඳහන්.

එම ලිපිය මෙසේය :

“නවගමුව පත්තිනි දේවාලය ඇතුළු මෙම පුදබිමේ ඇති සියළු දේවාලවලින් මාසික ලැබෙන රුපියල් කෝටි ගණනක ආදායම අවභාවිතාවන බව අප විසින් මීට පෙර ඔබතුමාටත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට පැමිණිලි කළෙමු.

ඒ අනුව ඔබ කාර්යාලයේ උපදෙස් මත බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලය මගින් නවගමුවේ සියළු පිං කැටවලට මුද්‍රා තබන ලදි.

නමුත් මේ වනවිට එම මුද්‍රා තැබු පිං කැටවලට අමතරව පත්තිනි මහ දේවාලය හැර අනෙක් සියලුම දේවාලවල අමතර පිං කැටයක් තබා රහසේම මුදල් එකතු කරගන්නා බව අපට නිරික්ෂණය වි තිබෙනවා.

එම නිසා අප ඉදිරිපත් කරන මෙම පැමිණිල්ල පිළිබඳව විශේෂ අවධානය යොමුකර නා කැලේ පත්තිනි දේවාලය, විෂ්ණු දේවාලය, කතරගම දේවාලය, ගම්භාර දේවාලය ඇතුළු සියලුම දේවාලවල මුද්‍රා තැබු පිං කැටවලට අමතරව තවත් පිං කැට තබා මුදල් රැස් කිරිමේ ජාවාරම වළක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

එසේම දේවාලවලට ලැබෙන රත්තරන් භාණ්ඩ ආදිය කිසිදු ලේඛනගත කිරිමක් නොකර තවමත් අවභාවිතා වන බවද, ඔබතුමන් වෙත මෙමගින් දැනුම් දී සිටිමු.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *