ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වෙයි

(09.11.2023 – 09:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට වන ඒකාබද්ධ යෝජනාව පිළිබද විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ ආරම්භ වී තිබෙනවා.

එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉදිරිපත් කළ අතර ආණ්ඩුව වෙනුවෙන් ස්ථිර කරනු ලැබුවේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින්.

ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සදහා දූෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුලු නිලධාරි මණ්ඩලය වහා ඉවත්විය යුතු බවට සහ ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් ,පනතක් හරහා සම්මත කළ යුතු බවට එමඟින් යෝජනා කර තිබෙනවා.

+++++++++

++++++++

ක්‍රිකට් පාලකයින්ට එරෙහි විවාදයේ විස්තර ICCයට

(09.11.2023 – 12:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට වන ඒකාබද්ධ යෝජනාව පිළිබද විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වී තිබෙනවා.

එහිදී අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ 225ම එකතු වී මෙය සම්මත කරවීම හරහා මෙය දේශපාලන බලපෑමක් නොවන බව තහවුරු වන බවයි.

එමෙන්ම මෙම සම්පූර්ණ සාකච්ඡාව ඉංග්‍රීසියට පරිවර්ථනය කර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යැවිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී යෝජනා කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම ක්‍රිකට් දූෂිතයින් එළවන්න නෛතිකමය වශයෙන් තීරණ ගත යුතු බවත් මෙම වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවා නිසි දඬුවම් ලබා දිය යුතු බවත් ය.

මෙම විවාදයේ දී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කර සිටියේ අදාළ විවාදයේ සම්පූර්ණ විස්තරය අග්‍රවිනිශ්චකාරවරයාට යැවිය යුතු බවයි.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල,
“ක්‍රිකට් දූෂිතයි කියලා ලංකාවම දන්නවා. ඒක අධිකරණයෙන් දැනගන්න ඕනේ. එයාලට කියන්න බෑ දන්නේ නෑ කියලා. විනිශ්චකාරවරයා දුන් තීන්දුව වැරදි නිසා තමයි දූෂිතයින්ට ආයේ හොරකම් කරන්න අවස්ථාවක් ලැබුණේ.”


ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයෙක් පත්වෙයි

(09.11.2023 – 12:23 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයෙක් පත්කර තිබෙනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ඩී.ඩී. බුලත්සිංහල ජාතික ඖෂධ නියාමන අධිකාරියයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත්කර ඇති බවයි වාර්තා වෙන්නේ ෴


“කතරගම පුජා වට්ටිවල පලතුරු ආහාර ගැනීම නුසුදුසුයි” – වෛද්‍ය අජිත් කුමාර

(09.11.2023 – 11:44 +0530 – hirunews.lk/sinhala)

කතරගම පූජා නගරයෙන් මිල දී ගෙන පූජා කරන වට්ටිවල පලතුරු ආහාරයට ගැනීමට සුදුසු මට්ටමක පවතින ඒවා නොවන බව කතරගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් කුමාර ප්‍රකාශ කර තිබෙනවා.

එහි පලතුරු වර්ගවල විවිධ ගටලුන් පවතින අතර විවිධ රසායනික යොදා ඉදවූ පලතුරු ගැට, බොහෝ පලතුරු කඩවල්වල විකුණන බව ද ඔහු පවසා ඇති බවයි වාර්තා වන්නේ ෴


මිය ගිය තෙහැවිරිදි (3) දරුවාගේ වකුගඩුව අතුරුදන්?

(09.11.2023 – 08:03 +0530 – hirunews.lk/sinhala)

වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තෙහැවිරිදි (3) දරුවෙක් මිය ගොස් තිබෙනවා.

ඔහුගේ වම්පස වකුගඩුව තම අංශය භාරයේ සුරක්ෂිතව තබා ඇති බව ඊයේ (08) එම රෝහලේ වකුගඩු අංශය භාර විශේෂඥ වෛද්‍ය ශාන්තිනී ගුණරත්න පවසා තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ දරුවාගේ මරණය සම්බන්ධයෙන් පොලිසියෙන් විමසීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ නිරෝගී තත්ත්වයේ තිබූ බව කියන දකුණු වකුගඩුව තම අංශයට නොලැබුණු බවයි.

එහෙත් මිට පෙර එම දරුවාගේ දකුණු වකුගඩුව කිසිදු අසමානතාවයකින් තොරව නියමිත ස්ථානයේ තිබූ බව දරුවාගේ රෝග තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී තිබුණා.

කෙසේ වෙතත් දරුවාගේ වම වකුගඩුවේ ක්‍රියාකාරීත්වය 9% ක් ලෙසත් දකුණු වකුගඩුවේ ක්‍රියාකාරිත්වය 91% ක් ලෙසත් ක්‍රියාත්මක වී තිබු බවයි රෝහලේ අධ්‍යක්ෂකවරයා පවසා සිටියේ ෴


අනුරාධපුර තරුණයෙකු වාර්තාගත ආදායමක් උපයයි

(09.11.2023 – 07:22 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ප්‍රදේශයේ තරුණයෙකු අක්කර භාගයක මිරිස් වගාකර රුපියල් ලක්ෂ 70 ක වාර්තාගත ආදායමක් ලබාගෙන තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය භාවිතා කරමින් තිරප්පනේ ගොවි තරුණයෙකු විසිනුයි මෙම මිරිස් වගාව සිදු කර ඇත්තේ.

සාම්ප්‍රදායික ක්‍රමය යටතේ අක්කර භාගයක මිරිස් පැළ 6000 ක් පමණයි වගා කළ හැක්කේ. එහෙත් අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ මිරිස් පැළ 13,000 ක් වගා කළ හැකියි.

මහඉළුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් දැනටමත් නව මිරිස් ප්‍රභේද දෙකක් (2) හදුන්වා දී තිබෙනවා ෴


ළමා නිවාස පාලිකාව විසින් දැරියකට විෂ බිජ නාශක දියර පොවලා

(09.11.2023 – 07:01 +0530 – hirunews.lk/sinhala)

නාරහේන්පිට ළමා සුබසාධන හා සංවර්ධන මධ්‍යස්ථානයක ප්‍රධාන පාලිකාවකගේ සහ සේවිකාවකගේ බැණවැදීම් සහ පහරදීම් ඉවසාගත නොහැකි වූ මෙම දැරිය වැසිකිළි පිරිසිදු කිරීමට ගන්නා විෂබීජ නාශක දියරයක් පානය කිරීමෙන් රෝහල්ගත කර තිබෙනවා.

දැරිය අදාළ විෂ බිජ නාශක දියරය පානය කරන අවස්ථාවේදී ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව විසින් “බීපන් තව බීපන්, මැරෙන්නම බීපන්” යැයි පවසමින් පහර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙලෙස අදාළ දැරියට නිරතුරුවම පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

දැරිය මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා ෴


තැපැල් වර්ජනයෙන් ලක්ෂ විස්සක (20,00,000) ලිපි සහ භාණ්ඩ සිරවේ

(09.11.2023 – 13:00 +0530 – hirunews.lk/sinhala)

සංකේත වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ අනෙකුත් තැපැල් ස්ථානවල ලිපි සහ භාණ්ඩ ලක්ෂ පහළවත් විස්සත් (15-20) අතර ප්‍රමාණයක් සිර වී ඇති බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.

මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිලි සංචාරක හෝටල් ආරම්භ කිරීම සදහා ලබාදීමට විරෝධය පළ කරමින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ මෙම සංකේත වර්ජනය ආරම්භ කෙරුණු අතර එය අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත් වර්ජනය අතරතුර තැපැල් සේවය අත්‍යවශ්‍යය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් සිය ගැටලු‍වට විසඳුම් ලබාදීමට බලධාරින් කටයුතු නොකරන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සදහන් කළේ ෴


ක්‍රිකට් ආයතනයට දැඩි ආරක්ෂාවක්

(09.11.2023 – 13:27 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුලු නිලධාරි මණ්ඩලය ඉවත්කිරීමට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අතරතුර ජනතා විරෝධයක් එල්ලවීමට ඉඩ ඇති බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඒ අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙනවා.

එමෙන්ම, හමුදාව, කැරළි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය ද ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය, කොළඹ විද්‍යා මාවතෙන් අද (09) පෙරවරුවේ තාවකාලිකව වසා දැමුණු අතර පසුව එය ගමනාගමනයට විවෘත කරනු ලැබුවා.

එමෙන්ම ක්‍රිකට් ආයතනයට ගමන් කළ හැකි සියලු පිවිසුම් මාර්ග, පොලිසිය විසින් අවහිර කර තිබූ අතර පසුව ඒවා ගමනාගමනයට විවෘත කිරීමටයි පියවර ගත්තේ.

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සිවිල් ක්‍රියාකාරින් සහ ක්‍රීඩාලෝලීන් රැදී සිටින අතර 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ විගණන වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් අද (09) පෙරවරුවේ සංදේශයක්ද භාරදුන්නා.

මේ අතර, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති අර්බුදකාරි තත්ත්වයෙන් මුදාගැනීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ දරණ උත්සහය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකික සංසදයේ ප්‍රසාදය හිමිව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කළේ ක්‍රිකට් ආයතනය දූෂිත බවට විගණන වාර්තාවකින් පවා තහවුරු වී ඇති බවයි. ඒ හේතුවෙන් ක්‍රිකට් ආයතනයේ නිලධාරින් ධුරවලින් වහා ඉවත්විය යුතු බවටයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා සංසදය පෙන්වා දෙන්නේ ෴


ශ්‍රී ලංකාවේ විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුවෙන් හමු වෙයි

(09.11.2023 – 11:42 +0530 – sinhala.adaderana.lk)

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමු වී ඇති බව පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කරයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොළොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින් මෙම අතිශය දුර්ලභ ශිලා ලේඛනය සොයාගෙන තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි මෙම ශිලා ලේඛනය පිටපත් කිරීම සඳහා මසකට අධික කාලයක් ගත වන බව වාර්තා වේ.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමි සඳහන් කළේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් සහ සේවකයන් කණ්ඩායම දිඹුලාගල කඳු වැටියේ නවාතැන්ගෙන පසුගිය 26 වැනිදා සිට එම ශිලා ලේඛනය පිටපත් කිරීම් කටයුතු සිදු කිරීම ආරම්භ කර ඇති බවයි.

මෙම ශිලා ලේඛනය දිගින් අඩි 45 ක් සහ උසින් අඩි 18 ක් පමණ වන බව වාර්තා වේ.


ආචාර්ය සූරිය ගුණසේකර සමුගනී

(08.11.2023 – gossiplankanews.com)

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු හා ඉතිහාසඥයෙකුවූ ආචාර්ය සූරිය ගුණසේකර මහතා අද (8) අභාවප්‍රාප්ත වූයේය. මියයනවිට 81 වන වියේ පසු වූ ඒ මහතා සිංහල ජාතික ව්‍යාපාරයේ මහඟු සේවයක් කළ අයෙකි.

ගවේෂණාත්මක ඉතිහාසඥයකු ප්‍රකට ලේඛකයකු හා දේශකයකු ද වන ඔහු වඩාත් ප්‍රකටවූ අදහස් දැක්වීම් අතර පුරාණ රාවණා සහ හෙළ රාජධානිය පිළිබඳ පළ කළ මත විශේෂිතය.

1942 නොවැම්බර් මස පිලියන්දල දී උපත ලැබූ සූරිය ගුණසේකර මහතා, මූලික අධ්‍යාපනය ලැබුවේ හොරණ රෙමුණ මිශ්‍ර පාසල සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙනි.

උසස් අධ්‍යාපනය සදහා 1960 වසරේ දී පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වී සිංහල, ඉතිහාසය සහ භූගෝල විද්‍යාව පිළිබද උපාධියක් ලැබූ එතුමා මුල්ම රැකියාව ලෙස ගුරු වෘත්තියට පිවිසියේය.

පසුව පරිපාලන සේවයට එක්වූ ඔහු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු ලෙස කටයුතු කළේය.සංස්කෘතික අමාත්‍යාංශයේ හිටපු ලේකම් වරයකු මෙන්ම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ලේකම් ධුරයේද කටයුතු කළේය.

ජාතික පුවත්පත් රැසකට විශේෂාංග ලිපි සපයා ඇති ඔහු ‘ලන්ඩන් ගිය බණ්ඩා’ තීරු ලිපිය නිසාද ප්‍රකට විය. ඔහු ලියූ ග්‍රන්ථ අතර සූක්ෂ්මව වනසන සිංහල , ඓතිහාසික රාවණා , කොටි දඩයම, මහා ඓතිහාසික අසාධාරණය හා ලංකා ඉතිහාසයේ හෙළ යුගය වෙයි.

අද (08) පෙරවරුවේ සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ සූරිය ගුණසේකර මහතා එක්දරු පියෙකු විය.

දේහය පිටකෝට්ටේ කෝට්ටේ පාරේ රුවන් පෙදෙසේ අංක 454/2 නිවසේ තැන්පත් කර ඇත අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *