මත්පැන් නිෂ්පාදන සමාගම් 5 ක බලපත්‍ර අත්හිටුවයි

මත්පැන් නිෂ්පාදන සමාගම් 5 ක බලපත්‍ර අත්හිටුවයි


මත්පැන් නිෂ්පාදන සමාගම් 5 ක බලපත්‍ර අත්හිටුවයි

(02.11.2023 – 16:37 +0530 – hirunews.lk/sinhala)

හිඟ බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් 5 ක බලපත්‍ර අත්හිටවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙලෙස බලපත්‍ර අහෝසි කර ඇත්තේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්, රන්දෙණිගල සහ වයඹ ඩිස්ටිලරීස් ඇතුළු සමාගම් 5 ක් බවයි සඳහන් වන්නේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ සඳහන් කළේ දීර්ඝ කාලයක සිට හිඟ බදු නොගෙවූ එම සමාගම්වල වාර්ෂික බලපත්‍රය පසුගිය ඔක්තොම්බර් 30 වනදා අවසන් වූ පසු එම බලපත්‍ර අලුත් නොකල බවයි.

ඒ අනුව අදාල සමාගම්වලට මත්පැන් නිෂ්පාදනය සහ තොග බෙදා හැරීමද තහනම් බව ඔහු කියා සිටියා ෴


සීනි බදු වංචාවේ සුලමුල හෙළිවෙයි

(02.11.2023 – 14:41 +0530 – hirunews.lk/sinhala)

සීනි බදු වංචාවක් අත ළඟ යනුවෙන් ‘හිරු ප්‍රවෘත්ති’ ඊයේ (01) වාර්තා කළ පුවත සත්‍යයක් වී තිබෙනවා.

මෙරට සිටින මහා පරිමාණ සීනි ආනයනකරුවෙකු මීට දින කිහිපයකට පෙර සීනි මෙට්‍රික් ටොන් 18,000 ක් අඩංගු නෞකාවක් කොළඹ වරායට ගෙනවිත් තිබෙන බව මීට පෙර අප වාර්තා කළා.

අදාළ නෞකාවේ තිබුණු සීනි මෙට්‍රික් ටොන් 18,000 මේ වන විට වරායෙන් එළියට ගෙන අවසන් වෙමින් තිබෙන අතර, එවැනි තත්ත්වයක් තුළ රජය විසින් ඊයේ (01) දින සිට බලපැවැත්වෙන පරිදි සීනි සඳහා රුපියල් 50 ක බද්දක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව ඊයේ (01) නිකුත් කර තිබෙනවා.

මේ අනුව අදාළ බද්ද සීනි මෙට්‍රික් ටොන් 18,000 මෙරටට ආනයනය කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාට බල නොපාන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරනවා.

මීට පෙර අපේ රටේ වාර්තා වූ මහා පරිමාණ සීනි බදු වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයාම මෙම සීනි තොගය මෙරටට ආනයනය කර ඇති බවට රේගු ආරංචි මාර්ග සැක පල කරනවා.

අදාල ව්‍යාපාරිකයා සීනි මෙට්‍රික් ටොන් 18,000 ආනයනය කර අවසන් වූ පසුව රජය විසින් මෙම රුපියල් 50 ක බද්ද නියම කිරීමෙන් පෙනී යන්නේ අදාළ සීනි ව්‍යාපාරිකයා සහ රජයේ ඉහළ ප්‍රධානීන් අතර තිබෙන සම්බන්ධතාවය බවයි අපට තොරතුරු දුන් මෙරට ප්‍රධාන ආනයනකරුවන් කිහිප දෙනෙකුම පැවසුවේ.

මේ අනුව හෙට – අනිද්දා වන විට ම මෙරට සීනි මිල නව බද්දත් සමඟ රුපියල් 50 කට වඩා වැඩි අගයකින් ඉහළ යනු ඇති.

එමගින් මෙම සීනි තොගය ආනයනය කළ ව්‍යාපාරිකයාට විශාල ලාභයක් උපයා ගැනීමට ද හැකි වන බවයි වාර්තා වී ඇත්තේ.

එළැඹෙන අයවැයෙන් කිසියම් වූ සහනයක් බලාපොරොත්තුවෙන් සිටින ජනතාවට අයවැයට පෙරම මෙවැනි බදු පැනවීම හරහා බරපතළ පීඩාවක් රජය විසින් ඇති කරන බවයි මේ පිළිබඳව තොරතුරු ලබාදුන් මෙරට ප්‍රධාන පෙළේ ආහාර ආනයනකරුවන් කිහිපදෙනෙකුම සඳහන් කළේ.

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පනවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙම තීරණය ගෙන තිබෙන්නේ සීනි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩි කළත්, දැනටමත් ආනයනය කර ඇති සීනි තොගවලින් වෙළෙඳුන් අනිසි ලාභ ලැබීම වැළැක්වීමේ අරමුණින් බවයි සඳහන් වන්නේ ෴


පාලම දෙකඩ වී ඇදවැටුණු ටිපර් රථය

(02.11.2023 – 14:54 +0530 – sinhala.adaderana.lk)

තිස්සමහාරාම චෛත්‍යය ආසන්නයේ දී රිය අනතුරක් සිදු වී තිබේ.

චෛත්‍ය ආසන්නයේ පිහිටි පාලමක් මතින් ටිපර් රථයක් ධාවන කිරීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව සඳහන්ය.

පාලම මතින් ධාවනය කිරීමේ දී පාලම දෙකට කැඩී ටිපර් රථය ඇළට වැටී ඇති බව වාර්තා වේ.

+


14 හැවිරිදි දැරියක් අපයෝජනය කළ තිදෙනෙකු (3) කොටු වෙයි

(02.11.2023 – 22:12 +0530 – hirunews.lk/sinhala)

මව් පිය රැකවරණ අහිමි අවුරුදු 14 ක් වයසැති දැරියක් වරින් වර අපයෝජනය කළ ඇගේ සීයා කෙනෙකු ඇතුළු තිදෙනෙකු (3) මොරගහහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම දැරිය අපයෝජනය කළ තවත් කිහිපදෙනෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

හොරණ මොරගහහේන ප්‍රදේශයේ සිය මිත්තණියගේ භාරයේ සිටි අවුරුදු 14 ක් වයසැති දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවුරුදු 80 ක් වයසැති එම දැරියගේ සීයා කෙනෙකු ඇතුළු තිදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට පත් සෙසු දෙදෙනා (2) එම දැරියගේ නැන්දාගේ සහ ලොකු අම්මාගේ දරුවන් බවයි.

එම දැරියගේ බාප්පා බව පැවසෙන පුද්ගලයෙක් සහ පාසල් සිසුවෙක් ඇතුළු තවත් දෙදෙනෙකු (2) අත්ඩඅංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය සඳහන් කළා.

අපයෝජනයට ලක් වු දැරියගේ මව දැරිය කුඩා කලදීම විදේශගතව ඇති අතර, පියා වෙනම ජීවත්වන බව දැරිය භාරව සිටි මිත්තණිය පැවසුවා.

එම දැරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සමඟ සබඳතාවක් පවත්වාගෙන යන බවත්, ඔහු රාත්‍රි කාලයට එම නිවසට පැමිණෙන බවත්, අසල්වැසියෙකු විසින් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කර තිබු අතර, ඒ සම්බන්ධයෙන් දැරියගේ පාසලේ ගුරුවරුන්ද මිත්තණියගෙන් විමසා තිබුණා.

පොලීසියට ලද පැමිණිල්ලට අනුව දැරිය පොලිසියට ගෙන්වා කළ ප්‍රශ්න කිරීම්වලදි මෙම අපයෝජන සිද්ධීන් සම්බන්ධ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

දැරිය පොලිසිය හමුවේ මෙලෙස පවසා තිබුණා :

“මම පහ (5) වසරේ ඉගෙන ගන්න කාලේ මම නැවතිලා හිටිය අතුරුගිරිය ප්‍රදේශයේ තිබුණ නිවසේ හිටිය සීයා වරින් වර මාව අපයෝජනය කළා.

නැන්දගේ පුතාත් මාව අපයෝජනය කළා. ඒ පැත්තේ වැඩබිමක සේවය කළ කෙනෙක් එක්ක මම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියා. එයත් එක්ක අවස්ථා දෙකක් (2) රාත්‍රි කාලයේදි නිවසින් බැහැරව හිටියා. ඒ කාලේ මම ඉගෙන ගත්තේ 7 වසරේ. දෙල්කඳ ප්‍රදේශයේ නිවසකට ගිය වෙලාවේදි ඒ නිවසේ හිටිය බාප්පත් මාව අපයෝජනය කළා.

පාසල් සිසුන් සමඟ පෙම් සබඳතා පවත්වාගෙන ගිය හින්දා අතුරුගිරියේ නිවසින් මාව මොරගහහේන ඉන්න ආච්චිගේ නිවසට ගෙනත් ඇරලුවා. මම එහෙ ඉඳන් පාසල් යද්දි තවත් කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන ගියා. එයා රෑට අපේ ගෙදරටත් එනවා.”

පසුව ක්‍රියාත්මක වු පොලිසිය පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට ගත්තා.

පොලිසිය පැවසුවේ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හොරණ රෝහලට ඇතුළත් කළ බවයි.

+


ගුවන්තොටුපලේ දි අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ රැසක් හෙළි කරයි

(02.11.2023 – 21:45 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන්තොටුපලේ දි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදි ඔහු විසින් කරන ලද අපරාධ රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා එම සැකකරු සීතාවක කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘ගනේමුල්ල සංජීව’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙක් වන ‘රොෂාන් චතුර්ක’ නමැති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපලේ දි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගත්තා.

පසුව වැඩිදුර විමර්ශන සඳහා එම සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට භාර දුන්නා.

එහිදි කරන ලද ප්‍රශ්නකිරීම්වලදි ඔහු විසින් සිදුකරන ලද අපරාධ රැසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ වි තිබෙනවා.

එහි ප්‍රධානතම චෝදනාව වන්නේ දැනට විදේශගතව සිටින ‘කෙහෙල්බද්දල පද්මේ’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ පියා වන ‘නෙවිල් පෙරේරා’ 2008 වසරේ පෙබරවාරි මාසයේදි වෙඩි තබා ඝාතනය කිරීමයි.

ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට ඒරෙහිව ගම්පහ මහාධිකරණයේ නඩුවක් ද පවරා තිබෙනවා.

‘ගනේමුල්ල සංජීව’ සහ ‘කෙහෙල්බද්දල පද්මේ’ අතර ගැටුම් උග්‍ර වන්නේ මෙම ඝාතනයෙන් අනතුරුවයි.

මේ අතර, කොල්ලකෑම් සහ හෙරෝයින් ජාවාරම් කිහිපයක් සම්බන්ධයෙන් ද අත් අඩංගුවට පත් සැකකරුට චෝදනා එල්ලවන අතර, ඔහු පසුව ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.

එහි සිට ද සැකකරු විසින් අපරාධ කිහිපයක්ම මෙහෙයවා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඉන් ආසන්නතම සිදුවීම වන්නේ පසුගිය ජූලි මස 14 වැනදා ගලපිටමඩ දුණුමාල ප්‍රදේශයේදි වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමයි.

T56 වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි තැබීම සිදුකර තිබු අතර, ‘දුණුමාල සරත්’ නමැති පුද්ගලයෙක් වෙඩි වැදීමෙන් මියගියා.

එම වෙඩි තැබීම අත්අඩංගුවට පත් ‘රොෂාන් චතුර්ක’ නැමති සැකකරු විසින් ඩුබායි හි සිට මෙහෙයවා තිබෙනවා.

එම ඝාතනය ඇතුළු තවත් අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සැකකරු සීතාවක කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

වැඩිදුරටත් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වි ඇත්තේ අත්තනගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ අරමුණින් ඔහු මෙරටට පැමිණ තිබු බවටයි.

මේ අතර, විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘කලුදුර චමින්ද’ හෙවත් ‘බොබ්මාලේ’ නමැත්තා පොලිසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගත්තා.

2021 වසරේ අගෝස්තු මස 31 වැනිදා බේරුවල මුහුදු තීරයේදි හෙරොයින් කිලෝග්‍රෑම් 288 ක් සමඟින් සැකකරුවන් පස් දෙනෙකු (5) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් අතර, එම හෙරෝයින් ප්‍රවාහනය කල ධීවර යාත්‍රාවේ නියමුවා වශයෙන් ඔහු කටයුතු කර තිබු බවත්, පසුව ඔහු පළා ගොස් තිබු බවත් පොලීසිය පැවසුවා.

බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු අත්අඩංගුවට පත්වන විට විදේශ ගතවීම සඳහා වීරපාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටි බවද පොලිසිය පැවසුවා.

මේ අතර, පුවත්වල පළවන මංගල දැන්වීම්වල සඳහන් දුරකථනවලට ඇමතුම් ලබාදෙමින් කප්පම් ලබාගන්නා පුද්ගලයෙකු (1) සහ ඊට අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකු (2) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *