රේගු භාරයට ගත් විදුලි වාහන 7 ක් රඳවා ගැනිම වළක්වාලමින් නියෝගයක්

රේගු භාරයට ගත් විදුලි වාහන 7 ක් රඳවා ගැනිම වළක්වාලමින් නියෝගයක්


රේගු භාරයට ගත් විදුලි වාහන 7 ක් රඳවා ගැනිම වළක්වාලමින් නියෝගයක්

(02.11.2023 – 07:43 +0530 – hirunews.lk/sinhala)

2022 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව ආනයනය කරන ලද විදුලි වාහන 07 ක් රේගු භාරයේ රඳවා ගැනීමට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ (01) අතුරු නියෝගයක් නිකුත් කළා.

තම සමාගම විසින් නීත්‍යානුකූලව ආනයනය කළ විදුලි වාහන 07 ක් රේගු භාරයේ රඳවා ගැනීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් විසින මෙම නියෝගය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ආකාරයෙන් කටයුතු කර තිබෙන අතර රේගුව සමග ඉතා විශ්වාසවන්ත ආකාරයෙන් කටයුතු කර තිබෙන බවද සඳහන් කළා.

2022 වසරේ අගෝස්තු මස 31 වනදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය ප්‍රකාරව පෙත්සම්කාර සමාගම විසින් ගෙන්වන ලද විදුලි වාහන 07 ක් සම්බන්ධ ලේඛන නීති විරෝධී යැයි පවසමින් ඒවා මුදා හැරීම ප්‍රතික්ෂේප කිරීමට රේගුව කටයුතු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පවසා ඇත්තේ ෴


දුෂ්කර ප්‍රදේශවල දරුවන් පාසල් හැර යාමේ ප්‍රවණතාවක්

(02.11.2023 – 07:30 +0530 – hirunews.lk/sinhala)

දුෂ්කර ප්‍රදේශවල අවරුදු 12 ත් 13 ත් අතර පාසල් යායුතු වයසේ පසුවන දරුවන් පාසල් හැර යාමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය මේ බව සඳහන් කළා.

සමාජ මාධ්‍ය වෙත දරුවන් යොමු වීම තුළින් ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණපාන බවද නවතම පර්යේෂණවලින් අනාවරණය වී ඇති බවද ඇය කියා සිටියා ෴


ගතවූ කාලසීමාව තුළ දෙලක්ෂ පනස්දහසක් විදෙස් රැකියා සඳහා පිටත්ව යයි

(02.11.2023 – 09:40 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ගතවූ කාලසීමාව තුළ පුද්ගලයින් දෙලක්ෂ පනස්දහස් හාරසිය පනස් දෙනෙකු (2,50,450) විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා කියා සිටියේ සෞදිය, කුවේට්, කටාර් සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය සඳහා මෙම පිරිස් පිටත්ව ගොස් ඇති බවයි.

එමෙන්ම ඊශ්‍රායලයේ කෘෂිකාර්මික කටයුතු සදහා මෙරට ශ්‍රමිකයන්ට ඉදිරියේදී අවස්ථාව හිමිවන බවද ඔහු පවසා තිබෙනවා ෴


කප්පම් ඉල්ලන්නන් පිළිබඳව බිය නොවී පොලිසියට දැනුවත් කරන්නැයි ඉල්ලීමක්

(02.11.2023 – 08:52 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක පාතල කල්ලි සාමාජිකයින් සහ විවිධ ජාවාරම්කරුවන් විසින් කප්පම් මුදල් ඉල්ලා සිදුකරන බිය ගැන්වීම් සහ තර්ජන සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින්ට පොලිසිය විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

පසුගිය දිනවල කප්පම් ඉල්ලා ව්‍යාපාරිකයින් ඇතුළු පුද්ගලයින් බියට පත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී තිබුණා.

ඇතැම් ව්‍යාපාරිකයින් ප්‍රකාශ කළේ විදෙස්ගතව සැගවී සිටින පාතාල කල්ලි සාමාජිකයින්ගේ නම් යොදා ගනිමින් මෙරට සිටින ඇතැම් ජාවාරම්කරුවන් විසින් කප්පම් මුදල් ඉල්ලා සිටින බවයි.

කෙසේ වෙතත් කිසිදු අවස්ථාවක කප්පම් මුදල් ලබා දීමෙන් වැළකී සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ව්‍යාපාරිකයින් ඇතුළු ජනතාවගෙන් ඉල්ලීමක් කළා ෴


ඩෙංගු මරණ 32 ක් වාර්තා වෙයි

(02.11.2023 – 08:22 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු මරණ 32 ක් ද වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරනවා.

ජනවාරි පළමු වැනිදා සිට නොවැම්බර් පළමු වැනිදා දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 68,497 වාර්තා වී ඇති බවයි එම ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 32,862 ක් වන බවද සඳහන්.

එමෙන්ම ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරන්නේ මධ්‍යම පළතෙන් ඩෙංගු රෝගීන් 7,878 දෙනෙක් ද, වයඹ පළාතෙන් 5,671 දෙනෙක් සහ සබරගමු පළාතෙන් රෝගීන් 5,651 දෙනෙක් වාර්තා වන බවයි ෴


දුම්රිය රියදුරන් 150 ක හිඟයක්

(02.11.2023 – 08:15 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය රියදුරන් 150 කගේ හිඟයක් මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින බව වාර්තා වනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට දැඩි බාධා මතුව ඇති බවයි.

මේ හේතුවෙන් ඇතැම් රියදුරන් නිවාඩු නොගෙන රජකාරි සිදු කරන බවත් එම නිලධාරියා සඳහන් කළා.

ඇතැම් අවස්ථාවලදීද ධාවන කටයුතු සඳහා උසස් වීම් ලබාදී යොමු කළද දුම්රිය රියදුරු හිඟය දෙපාර්තමේන්තුවට ප්‍රධාන ගැටලුවක් වී ඇති බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් නව දුම්රිය රියදුරන් බඳවා ගනු ලැබුවද ඔවුන් පරිපූර්ණ රියදුරෙකු ලෙස පත් කිරීමට වසර 4 ක කාලයක් පමණ ගත වන බවයි වාර්තා වන්නේ ෴


ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ලබා ගත් සිසුවාගේ මවට පහර දීලා

(02.11.2023 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයට වැඩියෙන් ලකුණු ලබා ගත් සිසුවෙකුගේ මවට තවත් සිසුවෙකුගේ පියෙක් පහර දී තිබෙනවා.

අදාළ කාන්තාව ප්‍රතිකාර ලැබීම සඳහා රක්වාන දිසා රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ මවුපියන්ගේ සිසුන් එකම පාසලක අධ්‍යාපනය ලබන බවත් ඉදිරියේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් නගරයේ පැවැති උපකාරක පන්තියකට ද සහභාගි වී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාවගේ දරුවා ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයට වැඩි ලකුණු ලබා ඇති අතර මේ නිසා අනෙක් දරුවන්ගේ දෙමාපියන් උරණ වී පහර දී තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් රක්වාන පොලිසිය වැඩිදුරටත් විමර්ශණ සිදු කිරීමට නියමිතයි ෴


බිම වැටී තිබුණු රුපියල් 98,000 ක් යළි හිමිකරුට භාරදෙයි

(02.11.2023 – 10:23 +0530 – sinhala.adaderana.lk)

ත්‍රීවිල් රථයකින් වැටී තිබුණු මුදල් පසුම්බියක් අහුලා එහි තිබුණු රුපියල් 98,000 ක මුදලක් පොලීසියට භාරදුන් සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.

පසුම්බිය හමු වූ කාන්තාව එය අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට භාර දී ඇති අතර, පසු ව පොලීසිය විසින් පසුම්බියේ භාරකරු සොයා එය ඔහුට ලබා දීමට කටයුතු කර ඇත.

පසුම්බියේ හිමිකරු පවසා ඇත්තේ, තමා නිවසට විදුලි උපාංග රැගෙන යාමට පැමිණි අවස්ථාවේ දී මෙම මුදල වැටී ඇති බවයි.

මෙවන් ආර්ථික අපහසුතා රාශියක් තිබෙන කාලයක මෙවැනි සත් ක්‍රියාවක් කිරීම පිළිබඳ එම කාන්තාවට හා පොලිස් ස්ථානාධිපතිවරයා සිය ස්තූතිය පළ කළ බව ද වාර්තා වේ.

+


මිල්කෝ සභාපති පන්නන්නැයි සේවක විරෝධතා

(02.11.2023 – 12:40 +0530 – lankacnews.com)

මිල්කෝ සමාගමට අයත් නුවරඑළිය අඹේවල හයිලන්ඩ් කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සේවය කරන වෘත්තිය සමිති කිහිපයක සමාජිකයන් පිරිසක් දහවල් ආහාර පැයේදි ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් උද්ඝෝෂණයක නියැලිණ.

මිල්කෝ සමාගම පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වෘත්තීය සමිති සියල්ල විරෝධතාවයේ නියැලි සිටි අතර , මිල්කෝ සමාගම පෞද්ගලිකරණය කිරිම තුලින් සේවකයන්ගේ රැකියාව සුරක්ෂිත තාවය නැතිවීමට රජයේ මුළුමනින්ම වගකිව යුතු බවත් , හිඟ දීමනා ලබා දෙන ලෙසත් , සේවක අවශ්‍යතාවයන් තේරුම් නොගෙන වෘත්තීය සමිති අරගල ඔස්සේ දිනාගත් වරප්‍රසාද හා දීමනා ලබා නොදීමට කටයුතු කරන වත්මන් සභාපති රේණුක පෙරේරා තනතුරෙන් ඉවත් කරන ලෙසට බලකරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් වෘත්ති සමිති සේවක සංගම් නියෝජනය කරන සියළු සේවකයන් උද්ඝෝෂණයේ නිරත විය.

උද්ඝෝෂණයේ නියැලි වෘත්තිය සමිති සමාජිකයන් කියා සිටියේ මිල්කෝ ආයතනය පෞද්ගලීකරණය කිරිම හරහා සේවකයන්ගේ රැකියාවලට ඇතිවන බලපෑම් හා සුරක්ෂිතතාවයක් නොමැති වීම සහ වෘත්තීය සමිති අරගල මගින් දිනාගත් අයිතිවාසිකම් සේවකයන්ට ලබා නොදෙන වත්මන් සභාපති රේණුක පෙරේරා එම ධූරයෙන් ඉවත් කර සේවකයන්ගේ අවශ්‍යතාවයන් තේරුම් ගන්නා නව සභාපතිවරයෙක් පත් කරන ලෙසයි.

“පක්ෂ භේදයකින් තොරව සියලු දේශපාන පක්ෂ නියෝජනය කරන වෘත්තීය සමිති සියල්ලම එකතු වෙලා මෙම උද්ඝෝෂණය කරන්න හිතුවේ අපිට තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ,

2022 වසරේ ඉඳන් සේවකයන්ට ලබාදෙන ජීවන වියදම් දීමනාව එවකට රජයෙන් නැවැත්තුවා එම දීමනාව නැවත ලබා දෙන ලෙස කම්කරු අමාත්‍යංශයෙන් වත්මන් සභාපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නත් සභාපතිවරයා එය ලබා දෙන්න සූදානම් නෑ ,

සේවකයන්ගේ සුබසාධනය සේවකයන්ගේ අවශ්‍යතාවයන් ගැන නොහිතන තමන්ගේ වාසි ගැන විතරක් හිතන සභාපතිවරයෙක් අපට අවශ්‍ය නෑ ,

අපිට අවශ්‍ය වන්නේ සේවකයන් ගැන හිතුන බිම් මට්ටමේ අවශ්‍යතාවයන් තේරුම් ගන්න සභාපතිවරයෙක් අපි රජයෙන් ඉල්ලා නොවේ අපිට ඒ වගේ සභාපතිවරයෙක් අපේ ආයතනයට පත් කර දෙන ලෙසයි ,

ඒත් එක්කම අපට බලපාන තවත් ප්‍රශ්නයක් තමයි වැටුප් විෂමතාවය. අපිව අන්දන්න පුංචි ගානකින් වැටුප් වැඩිකරලා ඔන්න අපි වැටුප වැඩි කරා කියලා මාධ්‍ය සන්දර්ශන දාන්නෙ නැතුව අපේ ඉල්ලීම් වලට සරිලන වැටුප් වැඩි කිරීමක් සිදු කළ යුතුයි කියලත් අපි රජයෙන් ඉල්ලා සිටිනවා ,

ඊළඟ විශේෂ දේ තමයි අපේ ආයතනය මේ වන විටත් පෞද්ගලීකරයණය වෙලා ඒ ඔස්සේ අපේ රැකියාවල සුරක්ෂිතතාවයට දැඩි ගැටලුවක් මතුවෙලා තිබෙනවා ,

මේ කරුණ ගැනත් රජය හරි විදිහට හොයල බලලා අපේ රැකියාවලට වගකීමක් ලබා දෙන්න අවශ්‍යයි.”

රංජිත් රාජපක්ෂ


නාමල් කියපු දේ අහලා මට හිනා ගියා | දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දීලා | අය වැය එක්ක ආණ්ඩුව පෙරළෙයි ද ? (31.10.2023)

+


අකුරැස්ස හා මාතලේ ප්‍රදේශවලට අධික වර්ෂාවෙන් පීඩා

(02.11.2023 – 17:46 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට බලපා ඇති අධික වර්ෂාව සමඟ අකුරැස්ස හා මාතලේ ප්‍රදේශවලින් නායයෑම් හා නිවාස ඉරිතැලීම් සිදුව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ බලධාරීන් මැදිහත්ව තමන්ට මේ සඳහා නිසි විසඳුමක් ලබා දිය යුතු බවයි.

අකුරැස්ස ඉඹුල්ගොඩ ග්‍රාම නිලධාරි වසමේ නීල් පෙදෙසේ නිවාස 03 ක නිවැසියන්ට ඉවත්වන්නැයි දන්වා ඇතත් ඉරිතැලීම් පිපිරීම් හා ගිලා බැසීම් දිනෙන් දින ත්‍රීව්‍ර වීමෙන් නිවාස 30 ක පිරිසක් දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

ප්‍රදේශවාසින් බලධාරීන්නේ ඉල්ලා සිටින්නේ වහාම තම ප්‍රදේශයේ නිරීක්ෂණයක් කොට තම ජීවිත බේරා ගැනීමට පිහිට වන ලෙසයි.

මේ අතර, පසුගිය දින කිහිපය තුළ මාතලේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ උකුවෙල ලෑලිඅඹේ රත්වත්ත ප්‍රදේශයේ නිවාස 5 ක බිත්ති හා පොළොව පුපුරායාම හේතුවෙන් එම නිවාසවල ජීවත් වූ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා ෴


ඇඳුරු වර්ජනයෙන් සරසවි අධ්‍යයන කටයුතු නවතී

(02.11.2023 – 14:31 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් සරසවිවල අධ්‍යයන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

විශ්වවිද්‍යාලවලට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මෙම සංකේත වර්ජනය දියත් කරනු ලැබු බවයි සඳහන් වන්නේ ෴


මෛත්‍රීපාල ඇතුළු පිරිසට අධිකරණයෙන් නියෝගයක්

(02.11.2023 – 13:00 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධන යන පිරිස සම්පූර්ණ වන්දි ගෙවීමට අපොහොසත් වී ඇති බැවින් ඔවුන්ගේ වත්කම් බැරකම් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ වත්කම් බැරකම් 2023 දෙසැම්බර් 30 වැනිදාට පෙර දිවුරුම් ප්‍රකාශ මගින් ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *